‘සෑම නිල­ධා­රි­යෙක්ම මානව හිමි­කම් රැකී­මට බැඳී සිටි­නවා’ | Page 2 | සිළුමිණ

‘සෑම නිල­ධා­රි­යෙක්ම මානව හිමි­කම් රැකී­මට බැඳී සිටි­නවා’

පොලිස් කොස්තාපල්වරයකු විසින් මහමඟදී රියැදුරකුට අමානුෂික ලෙස පහරදීමේ සිදුවීමත් සමඟ පොලිස් පහරදීම් සම්බන්ධයෙන් සමාජ කතිකාවක් ගොඩනැඟී ඇත. පොලිසිය විසින් සිවිල් ජනතාවට පහරදීමේ සිද්ධි කිහිපයක්ම පසුගිය කාලය පුරා සිදුවූ අතර එවැනි සිදුවීම් සමාජ ජාල වෙබ් අඩවි මඟින් සමාජගත කිරීමත් සමඟ සමාජ කතිකා ගොඩනැඟුණද ඒ සිදුවීම් සියල්ල මඟින් සමස්ත පොලිස් පහර දීම් සම්බන්ධයෙන් හැඳින්වීමක් කළ නොහැකිය. පොලිස් පහරදීම් විශාල සංඛ්‍යාවක් සමාජගත නොවී සිදුවන අවස්ථාද බොහෝය.

මෙවැනි සිදුවීමක් සමාජගත නොවුණේ නම් තත්ත්වය මීට වඩා වෙනස් වන අතර, කිසිවකු විසින් මේ සිදුවීම් පිළිබඳ කතා නොකරනු ඇත. මෙවැනි සිදුවීම් කතබහට ලක්කිරීමට නම් ඒවා සමාජ ජල මාධ්‍ය හරහා ප්‍රචාරය විය යුතුමද යන්න ගැටලුවකි. සාක්ෂි සම්බන්ධ ගැටලු නිසා මෙවැනි සිදුවීම් බොහෝ දුරට යටපත් වී යන අවස්ථා ද වෙයි. ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳව දැනුම්වත්වීමක් නැති වීම පිළිබඳ කාරණාව මෙහිදී සාකච්ඡාවට බඳුන් විය යුතු ප්‍රධාන කරුණකි.

පොලිස් නිලධාරියාගේ රාජකාරියට බාධා කිරීමක් හෝ යම් පීඩාවක්, හිංසනයක් කිරීමට තැත් නොකරන සිවිල් පුද්ගලයකුට පහරදීමට කිසිසේත් අයිතියක් නැත. මෙලෙස අමානුෂික ලෙස පහර දීම කිසිසේත් අනුමත කළනොහැකිය. කෙසේ වෙතත් පොලිස් නිලධාරියකුට විරුද්ධව ආත්ම ආරක්ෂාවේ අයිතිය යටතේ ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සිවිල් පුද්ගලයකුටද අයිතියක් ඇත.

මෙහිදී පැහැදිලි කළ යුතු කරුණක් ඇත. එනම්, පොලිසියට නිලධාරීන් බඳවා ගැනීමේදී රජයෙන් විශාල මුදලක් දරා කාලයක් මුළුල්ලේ පුහුණුවක් ලබා දෙයි. එවැනි පුහුණුවක් ලත් නිලධාරියකුට මෙවැනි ප්‍රහාර එල්ල කළ නොහැකිය. මේ සිදුවීමට අදාළව පහර කෑමට ලක්වූ පුද්ගලයාට යම් සාධාරණයක් ඉටු වී ඇත.

එහෙත් පහරදීම පිළිබඳ සැලකීමේදී පොලිසිය මෙලෙස පහරදෙන්නේ ඇයි යන කාරණාවට ස්ථිරසාර විසඳුමක් නැතිවා සේම විසඳුමක් ලබාගැනීමටද පොලිසිය සමත් වී නැත. අපරාධ මර්දනය සම්බන්ධයෙන් පොලිසියට සාර්ථක පුහුණුවක් ඇත. එහෙත් පොලිසිය සිවිල් ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කළ යුත්තේ මොනවාද? පොලිසියට ඇති වගකීම් කුමක්ද? ජනතාවගේ දඩ මුදලින් නඩත්තු වන, ජනතාව වෙනුවෙන් පවතින පොලිසිය, ජනතාවට සේවය සපයන, ජනතාවට සමීප ආයතනයක් බවට පත් කරන්නේ කෙසේද? යන කාරණා පිළිබඳ දැනුම්වත් වී නැත. පසුගිය කාලයේදී පොලිසියේ මතුපිට වෙනස්කම් යම් ප්‍රමාණයක් සිදුකර ඇති බව පෙනේ. පොලිසිය ඉදිරිපිට ස්ථානාධිපතිගේ දුරකථන අංකය හා ජනතා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රදර්ශනය කිරීම හා පැමිණිලිකරුවන්ට පොලිසියේදී සිදු වන ප්‍රමාදය වැළැක්වීම ආදී බාහිර කරුණුවලට වඩා ප්‍රගතිශීලී ගැඹුරු වෙනස්කම් අවශ්‍යව ඇත.

සාධාරණයක් ඉල්ලා පොලිසියට ගිය කෙනකුගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන ආකාරයට කටයුතු කරන්නේ නම්, නීතියට පිටින් මිනිසුන් ඝාතනය වේ නම්, අතපය කඩන්නේ නම් එහි ඇති ඵලය කුමක්ද? සිවිල් ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් අපරාධ මර්දන ක්‍රියාවලිය සිදු කරන්නේ කෙසේද යන කාරණාව පිළිබඳ පොලිසිය මනා පුහුණුවක් ලැබිය යුතුය.

අපේ රටේ පොලිසියට ස්තූතිවන්ත විය යුතු ඇතැම් කරුණු ද වේ. දේශපාලනික බලපෑම්වලට යටත් නොවී ස්වාධීනව රාජකාරිය ඉටු කරන නිලධාරින් විසින් අපරාධ කඩිනමින් විසඳීමට කටයුුතු කිරීම අගය කළ යුතුය. ඇතැම් රජයන් යටතේ දැවැන්ත දේශපාලන අතපෙවීම් ඇති සිදුවීම් තවමත් නොවිසඳුණු අපරාධ ලෙස ඉතිරි වී ඇත. අනෙක් සියලු අපරාධ විසඳීම සම්බන්ධයෙන් චෝදනාකරුවන් අත්අඩංගුවට ගැනීම, කරුණු විමසිම්, චෝදනා ගොනු කීරීම හා උසාවියට ඉදිරිපත් කිරීමට පොලිසිය සමත් වී ඇත.

එහෙත් පසුගිය කාලය පුරා අපි පොලිසිය සම්බන්ධයෙන් දුටු ප්‍රධාන කාරණාවක් වෙයි. මාධ්‍ය සමඟ ඇති ගනුදෙනුව තුළ සමහර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයන් පුවත් මවන්නකු බවට පත්වීමක් දැකිය හැකි විය. වත්මන් මාධ්‍ය ප්‍රකාශකවරයා සම්බන්ධයෙන් අපට එවැනි විවේචනයක් නැත.

උදාහරණයක් ලෙස සේයා සදෙව්මී දැරිියගේ ඝාතනය සම්බන්ධයෙන් ගත් විට විශාල ආන්දෝලනයක් රට පුරා ඇති විය. එවැනි තත්ත්වයක් ඇති වූ විට පොලිසිය උත්සාහ කරන්නේ ඉතාමත් කඩිනමින් අපරාධකරුවන් සෙවීමටය. ඒ තුළ යම් කිසි ලෙසකින් විමර්ශනයේ ප්‍රතිඵල නිතර ලබා ගැනීමටත් එය මාධ්‍ය හරයා ප්‍රචාර කිරීමටත් කලබලයක් වෙයි.

ඉහත කී සේයාගේ සිදුවීමේදී දාහත් හැවිරිදි පාසල් සිසුවකු අත්අඩංගුවට ගැනීම හා පොලිස් පහරදීම් ගැන සමාජයේ කතාබහක් ඇති විය. කොටදෙනියාව පොලිසියේ නිලධාරින් එම දරුවාට විරුද්ධව ගොනු කර තිබූ සියලු කරුණු සත්‍යයෙන් තොර බව තහවුරු වීමෙන් එම තරුණයාගේ චරිතය විශාල ඝාතනයකට ලක්විය. ඒ දරුවා වෙනුවෙන් ඔහුගේ මව පොලිසියට විරුද්ධව මානව හිමිකම් කවුන්සිලයේ පැමිණිල්ලක් ගොනු කිරීම සිදුවිය. ඉන්පසු ඒ සිදුවීම සම්බන්ධයෙන් එක්දරු පියකු ද සැකපිට අත්අඩංගුවට ගනු ලැබිණි.

ඉන් පසුව පොලිසියට විරුද්ධව ඔහුත් මානව හිමිකම් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලදී. එහිදී යළිත් කොණ්ඩයා යන පුද්ගලයා පිළිබඳ විශාල සමාජ කතිකාවක් ගොඩනැඟුණු බව අපි දනිමු. මාධ්‍ය ප්‍රකාශකවරුන් ඒ සම්බන්ධයෙන් කරුණු රැසක් හෙළිදරව් කරන ලද අතර අවසානයේ කොණ්ඩායාගේ වැඩිමහල් සොහොයුරා ඝාතකයා විය. ඔහු එල්ලුම් ගසට නියම විය.

පුවත් කඩිමුඩිය නිසා මෙවැනි සිදුවීම් විය හැකිය. අපරාධයක් සිදුවූ විට සාධාරණ විමර්ශනයක් කර සැකකරුවන් පිළිබඳව සොයා බලා කටයුතු කිරිමට වඩා මාධ්‍යවලට පුවත් මැවීමට ඇතැම් පොලිස් නිලධාරින්ට උනන්දුවක් ඇත. පොලිස් පහරදීම් ආදී අසාධාරණ සිදුවීමට ප්‍රධාන හේතුව එයයි. අමානුෂික පහරදීම්වලට අමතරව තවත් මෙවැනි මානුෂික හිංසනයන් සිදුවන්නේද යන්න ගැටලුවකි. පොලිසියේ විමර්ශන ක්‍රියාවලියේදී කොතරම් මානව හිමිකම් කඩවීම සිදුවනවාද යන්න එහිදී ඉතා පැහැදිලි වෙයි.

තවද පහරදීම් සම්බන්ධයෙන් කතා කිරීමේදී රත්නපුර ප්‍රදේශයේ බට්ටි නැමැති කාන්තාවට පොලිස් නිලධාරියකු පහර දෙන ලදී. ඇය විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ආකාරයට ඇය ලිංගික ශ්‍රමික කාන්තාවකි. ලිංගික ශ්‍රමිකයන්ට සහ සංක්‍රාන්තික ලිංගික පුද්ගලයන්ට පොලිසිය විසින් කරන අඩත්තෙට්ටම් රැසකි. අහම්බෙන් විඩියෝගත නොවුණා නම් එම සිදුවීමත් ඒ ආකාරයෙන් යටපත් වීමට ඉඩ තිබුණි. මූලික අයිතිවාසිකම් නඩුවක් ඇගේ අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවරිණි. කරුණු විමසීමෙන් පසුව ඇයගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම නිසා රුපියල් පනස් පන්දහසක මුදලක් පොලිස් නිලධාරියාට සහ පොලිස් දෙපාර්තමේන්තුවට ගෙවීමට නියම විය. මෙවැනි ලිංගික ශ්‍රමිකයන්, යාචකයන් දූවිලි ලෙස ඇතැම් මිනිස්සු සලකති. එහෙත් එවැනි මිනිස්සුන්ට පවා මූලික අයිතිවාසිකම් සමානය.

පසුගිය දිනක සිදුවු පොලිස් නිලධාරියා විසින් ඝාතනය කරන ලද තරුණිය සම්බන්ධයෙන් කතා කිරීමේදී අදාළ හෝටල් කාමරයේ දොර අසල තිබුණ රුධිර පැල්ලම හැර සියල්ල අතුරුදන් කිරීමට ඔහු කටයුතු කර ඇති බව පෙනේ. විනයක් සහ ශික්ෂණයක් යටතේ අවම බලයක් ලබාදීම යන කරුණ ඉතා වැදගත් වේ. අපරාධකරුවකු වෙනුවෙන් පමණක් අවම බලය පාවිච්චි කළ යුතුයි.

විශේෂයෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට පහරදිම සම්බන්ධයෙන් කතා කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව භාෂණයේ රැස්වීමේ සමාගමේ රැකියාවේ සහ යාම්ඊම් යනාදියේ නිදහස, භාෂණයේ නිදහස සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහස, සාමකාමීව රැස්වීමේ නිදහස යන අයිතීන් වෙයි. වෘත්තිය සමිති පිහිටුවීමට වෘත්තිය සම්බන්ධයෙන් උද්ඝෝෂණ සාමකාමීව රැස්වීමට අයිතිය පවතී. ඒ සියලු අයිතිවාසිකම් වෙනුවෙන් උද්ඝෝෂණය කිරීමේ අයිතිය ජනතාවට වෙයි.

බොහෝ රජයන් යටතේ මේ උද්‍ඝෝෂණ මර්දනය කිරීමට නිල නොවන බලපත්‍රයක් පොලිස් නිලධාරින්ට ලැබෙයි. ඒ නිල නොවන අවසරය යටතේ මේ වෘත්තිය අරගල සහ උද්ඝෝෂණ මර්දනය වන්නේ දේශපාලන අධිකාරිය යටතේය.

කෙසේ වෙතත් මෙතැනදී අවශ්‍ය වන්නේ අදාළ ප්‍රඥාප්ති, ව්‍යවස්ථා, නීති රීති උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් තර්ක ගොඩනැගීමට වඩා මිනිසුන් විසින් තමන්ගේ අයිතිය පිළිබඳ දැනුම්වත් වීමයි. පොලිස් නිලධාරින්ගෙන් පහර කෑමට ලක් නොවී, නින්දා අපහාසවලට ලක්නොවී පොලිස් නිලධාරීන්ට පාවිච්චි කළ අවම බලය පිළිබඳ ජනතාව දැනුම්වත් විය යුතුයි. තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සහ අනෙක් අයගේ අයිතිවාසිකම් පිළිබඳව දැනුම්වත් වී සිටිය යුතුයි. නීත්‍යානුනුකූලව හැසිරෙන්නේ නැති පොලිස් නිලධාරියකුට විරුද්ධව ක්‍රියා කිරීමටට පමණක් නොව යම් කෙනෙකුට හිංසා පීඩා, පහරදීම් සිදුවේ නම් ඊට එරෙහි වීමේ අයිතියද වෙයි. එවැනි අසාධරණවලට විරුද්ධව කටයුතු කිරිමට වෙනත් පාර්ශ්වයකට හැකිය.

තමන්ගේ බලය පාවිචිචි කිරීමට පොලිස් නිලධාරීන්ට හැකි අවස්ථා වෙයි. තම නිලධාරියාගේ ආරක්ෂාවට යම් තර්ජනයන් වන අවස්ථාවලදී අවම බලය පාවිච්චි කිරීමට පොලිස් නිලධාරියාට හැකියාව ඇත.

නමුත් නිරපරාදේ යම් පහරදීමක් කරන්නේ නම් එවැනි අවස්ථාවලදී විරුද්ධ වීමට හැකියාවක් සිවිල් ජනතාවට ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි වගන්තියේ මේ බව ඉතා පැහැදිලිව සඳහන් කර ඇත. ඒ අනුව කිසිම තැනැත්තකුට වධ හිංසාවලට ‍හෝ ක්‍රෑර අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් නොකළ යුත්තේය. එමෙන්ම 12 වැනි වගන්තියේද මුලික අයිතිවාසිකම් පිළිබඳ පැහැදිලි කර ඇත.

සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම ( නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීමද නීතියේ රැකවරණයද සර්ව සාධාරණ විය යුත්තේය )

2. කිසිම පුරවැසියකුට වර්ගය, ආගම, භාෂාව, කුලය ස්ත්‍රී, පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුත්තේය. යන්න ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ ඉතා පැහැදිලිව සඳහන් කර ඇත.

එබැවින් ජනතාව තම අයිතිවාසිකම් පිළිබඳව දැනුම්වත් විය යුතුය.

අමානුෂික පහරදීමකදී එය වීඩියෝ කිරීමට වඩා එයට විරුද්ධවීමේ අයිතිය ජනතාවට වෙයි. මෙවැනි දේකට නිහඬව සිටීමෙන් සමාජය කෙතරම් බරපතළ තැනක සිටින්නේද යන කාරණාව මතුවෙයි.

ඒ මොහොතේ ඒ විරෝධතාව ගොඩ නොනැඟෙන්නේ නම්, තම අයිතිවාසිකම් පිළිබඳව සමාජයේ නොදැනුවත්කම බව ඉතා පැහැදිලිය. පොලිස් නිලධාරීන් පහර දීමේදී එයට විරුද්ධ වීමට ආත්මාරක්ෂාවේ අයිතිය වෙනුවෙන් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට පවා තමන්ට අයිතියක් ඇති බවට ජනතාව දැනුම්වත් විය යුතුය.

පහරදීමට ලක්වන පුද්ගලයාට හෝ අවට සිටින පුද්ගලයන්ට විරුද්ධ වීමේ අයිතියක් තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10.1 වගන්තිය අනුව සිරභාරයට ගැනීමේ සිට පහරදීම දක්වා කරුණු ගණනාවක් වෙයි.

යම් සමාජයක නීතිය ක්‍රියාත්මක කිරීමේදී අභිමතානුසාරි බලයක් යම් පිරිසකට ලබාදී ඇත. සීමාවන්ට යටත්ව පොලිස් නිලධාරින්ටත් යම් අභිමතානුසාරි බලයක් වෙයි. නමුත් අභිමතානුසාරි බලයක් ලබා දිය යුතු වන්නේ සුවිශේෂි පුහුණුවකින් සහ බලයකින් විනයානුකූල ශික්ෂණයක් තුළයි. මේ සියලු පුහුණුවීම් හා දැනුම්වත්වීම් යාවත්කාලීන විය යුතුය. පොලිස් පුහුණුවීම් යාවත්කාලීන වූයේ කෙතරම් කාලයකට පෙරද යන කරුණ ගැන සැලකිලිමත් විය යුතුය. විනයක් සකසන්නේ නොමැතිව යම් පිරිසකට අභිමතානුසාරි බලය ලබාදිය යුතුද යන්න පිළිබඳ සුවිශේෂයෙන් සාකච්ඡා විය යුතුය.

විශේෂයෙන් පොලිස් නිලධාරින් සම්බන්ධයෙන් කතා කිරීමේදී ඔවුන් වැඩිදෙනකු ගත කරන්නේ අතෘප්තිකර දැඩි පීඩාකාරී ජීවිතයකි. ඔවුන්ට ප්‍රමාණවත් වැටුපක් නොලැබෙයි. පෑනේ සිට දුරකථන පහසුකම්, ගමනාගමනය ආදී සියල්ල තමන් විසින් සපයාගත යුතුය. එවැනි පහසුකම් නැති අතෘප්තිකර සේවයකට බලහත්කාරයෙන් නිරත කර සිටින පිරිසකි. උසස්වීම් ලබාදීමේදීද ප්‍රමාදයක් වෙයි. අයිතිවාසිකම් වෙනුවෙන් ඔවුන්ට උද්ඝෝෂණ කිරීමට නොහැකියි. මේ පීඩාවන් පිටවන්නේ බොහෝ අවස්ථාවලදී ජනතාවගෙනි. කෙසේ වෙතත් තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ජනතාව දැනුම්වත් විය යුතුයි. එසේ තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳව දැනුම්වත් වූ විට පොලිසිය මෙවැනි මෙවැනි හිංසනයන්ට විරුද්ධව නැඟී සිටීමට ජනතාවට හැකිවනු ඇත.

Comments