ශුභ ඵල දෙන ළිඳක් කැපීම | Page 2 | සිළුමිණ

ශුභ ඵල දෙන ළිඳක් කැපීම

 

පසුගිය ‘සිළුමිණ’ කලාපයක ඉදිරිපත් කරන ලද වාස්තු, විද්‍යා ලිපියේ අතිශයින් වැදගත් බ්‍රහ්මපාදය (බ්‍රහ්මස්ථානය) සම්බන්ධ දීර්ඝ ලෙස වැදගත් කරුණු ඉදිරිපත් කරන ලදී.

 

දැනට අප පදිංචිව සිටින නිවසේ බ්‍රහ්ම පාදය ස්ථානගතවීම පිළිබඳව අවබෝධයක් ඇතිව එම උතුම් ස්ථානය පූජනීයව තබා ගත යුතු බව නිරන්තරයෙන් සිහිපත් කරන්න. පවුලේ සියලු සාමාජිකයන් ඒ ගැන දැඩි අවධානයක් යොමු කළ යුතුවේ.

මෙම ස්ථානයේ ආගමික වතාවත් පැවැත්විය යුතු අතර පවිත්‍රව පූජනීය ස්ථානයක් ලෙස නිබඳව තබාගත යුතු ය.

අද අපගේ වාස්තු විද්‍යා ලිපියෙහි නව නිවසක් ඉදි කිරීමේදී සැලකිය යුතු විශේෂ තවත් විශේෂ කරුණක් ගැන අවධානය යොමු කරනු ලැබේ.

අද අපි නිවැසියන්ට ශුභපල දෙන ලෙස ළිඳක් කැපීම හෝ ජල ටැංකියක් ස්ථානගත කිරීම සම්බන්ධව ඉතා වැදගත් වාස්තු විද්‍යා කරුණු ඉදිරිපත් කරන්නෙමු. ළි‍ඳෙන් ලැබෙන ජලය ළිඳ එය සුදුසු ලෙස ශුභ ඵල දෙන ආකාරයට පිහිටීමෙන් නිවසට යහපත නිවැසියන්ගේ නිරෝගී බව වාසනාව ආයුබල සම්පත් ඇති කරවයි.

මේ සම්බන්ධව වාස්තු විද්‍යාවෙහි ඉතා වැදගත් කරුණු සඳහන් වී ඇත.

 

ළිඳක් කැපීමට සුදුසු ශුභ දිසාව

 

නිවසේ උතුර - ඊසාන - බටහිර දිසාවල ළිං කැපීම් නිසා ධන සම්පත් නිරෝගී බව ගෙදර දියුණුව සැලසෙයි. මෙයින් වඩාත් සුදුසු ඊසාන දිසාව වෙයි.

ගිනිකොණ දිසාවට ළිං කැපීමෙන් ලෙඩ දුක් අකල් විපත් පීඩා ඇති වෙයි. නිවැසියන් අතර අසමගිය ඇති වෙයි.

දකුණු දිසාවට ළිං කැපීම නිසා පවුලට ඉමහත් දුක් විපත්ද නිරිත දිසාවේ ළිං කැපීමෙන් පවුලේ අසමගිකම් තදබල ලෙස ඇති කරවන බව ජ්‍යොතිෂයේ දැක්වේ..

නැ‍ඟෙනහිර ළිඳ නිවසේ ගෘහ මූලිකාවට තදබල අපල ඇති කරයි. නිවසේ සිට හැකි නම් රියන් 7, 13, 15 ප්‍රමාණය දුර ප්‍රමාණයක් තැබීම ඉතා ශුභ ඵල දෙයි. කුඩා ඉඩම්වල ඉඩ ප්‍රමාණ සීමිත නිසා දුර ප්‍රමාණ නීතිය නිවැරැදිව තබා ගැනීම අපහසු වෙයි.

ළිඳක් කැපීම ශුභ මුහුර්තයක් සෑදීමේදී බක්, වෙසක්, නිකිණි, උඳුවප් මැදින් මාසවල නැකත් සාදා ගැනීම සුදුසුයි. මෙයින් ධන සම්පත් කීර්තිය යසස සෞභාග්‍යය ඇති කරවයි.

පුර පක්ෂයේ සඳු බලවත්ව සිටින කාලයේදී ළිං කැපීම ඉතා සුදුසු වෙයි.

ළිඳක් කැපීමේ ගොක් අතුමල් පැලක් උතුරු නැ‍ඟෙනහිර දිසාවට ආලෝකය වැටෙන ලෙස සිටුවා ඒ තුළ මල් වර්ග 5 ක් තබා සතරවරම් දෙවිවරුන්ට පහන් 4 ක් ද ශිව විෂ්ණු කතරගම හා ලක්ෂ්මී දෙවිවරුන්ට පහන් 3 ක් ද තැබිය යුතුයි. එම ස්ථානයේ බිම පැතලි ගලක් තබා බුලත් 7 ක් මත බහිරව දේවතාවන්ට කැපකර පහනක් දැල්වීම සුදුසුයි.

නැකත් වේලාවට ප්‍රථම මෙම පූජා තැබිය යුතුයි. නැකතට ගෘහ මූලිකයා පස් පළමු පිඩැල්ල කැපිය යුතුයි. එය පරිස්සමෙන් ගෙන ගොස් පසු දිනක ගංගාවකට දැමිය යුතුයි.

ළිඳ බැඳීමේදී නිවස දෙස බලා වතුර ඇදීම සුදුසු නොවේ.

නිවසට පසු පස හරවා වතුර ඇදීම නොගැළපේ. මෙම අශුභ පිහිටීම් මඟ හැරෙන ලෙස ළි‍ඳේ කණු සකස් කරගත යුතුයි.

ළිඳට දෝෂ ඇතිවන අතිවිශේෂ කරුණු මෙහි චිත්‍ර සටහනින් දැක්වෙයි.

 

 

අංක 1 -‍

නිව‍සින් පිටට බසින දොරටු ඉදිරියේ ළිඳ කැපීම අශුභ වෙයි.(උළුවහුවලට හසුවන සේ)

ළිඳ නිවස ළිඳ

 

අංක 2 -

නිවසේ වහලයෙන් ළිඳට ඇතිවන දෝෂ

(නිවසේ මුඳුන් ලී කානු පරාල, මූල පරාලවලට ළිඳ වැටීම අශුභ පල දෙයි.)

අශුභයි

 

අංක 3 – 

ශුභපල ලබා දෙන ළිං ස්ථාන ගත කිරීම

 

ගිණිකොණ ළිඳ ඉතා අශුභයි. - උතුර ඊසාන දිසාවන් ඉතා ශුභයි. බටහිර ශුභයි

 

අංක 4 නිවසේ බ්‍රහ්ම පාදය මුල් කරගෙන වැටෙන විකර්ණ රේඛා හතරට ළිඳ හසුවීම ඉතා අශුභයි.

නිවසේ දිග අතට යොදන රේඛා අතරට සහ හරස් අතට යෙදෙන රේඛාවලට ළිඳ වැටීම අශුභ වෙයි. නිවසේ දිග පැතිවලින් හරි මැද ද නිවසේ පළල පැතිවලින් හරි මැදද ළිං කැපීම අශුභවෙයි.‍

ළිඳක් කැපීම කළ නොහැකි භූමිවල එමෙන්ම ප්‍රධාන ජල සැපයුම් මාර්ගයෙන් ජලය ලබා ගැනීමේදී ප්‍රධාන ජල ටැංකිය ළිඳ ලෙස සිතා මෙම දෝෂ මඟහරවා ගත යුතු වෙයි. ජ්‍යොතිර් විද්‍යාවට අනුව ළිඳ නිවසක ප්‍රධාන වශයෙන්ම නිසි ලෙස ස්ථාන ගත කළ යුත්තකි.

Comments