පුරා දශක තුනක්-ජීවි­ත­යෙන් තුනෙන් එකක් එකම වැඩ­ස­ට­හ­න­කට කැප කළ පුරා­වෘත්ත තුනක් | සිළුමිණ

පුරා දශක තුනක්-ජීවි­ත­යෙන් තුනෙන් එකක් එකම වැඩ­ස­ට­හ­න­කට කැප කළ පුරා­වෘත්ත තුනක්

චරිතා දැක්ක මුල්ම දවසේ මම හිතුවේ නෑ ඇය එක්ක කවදාවත් මට මෙහෙම වැඩ කරලා මගෙ හොඳම මිතුරියක් විදිහට ඇසුරු කරන්න ලැබෙයි කියලා
- ශිරෝමි

 

අපි තුන්දෙනාගෙම ආකල්ප බොහොමයක් සමානයි. ඒ නිසයි අපි මේතරම් සහෝදරකමින් බැඳිලා ඉන්නේ

- රේණුකා

 

රේණු අක්කා මටත් මම රේණු අක්කාටත් ජීවිතේ අවශ්‍ය හැම මොහොතකම හිටියා - චරිතා

 

පුරා දශක තුනකට වැඩි කාලයක් එකම ආයතනයක් එක්ක එකතු වී එකම වැඩසටහනක නොකඩවා නිවේදන කාර්යයේ වගකීම දරා ගැනීම කිසිසේත්ම පහසු කටයුත්තක් නොවෙයි. අප අද රසඳුන වෙනුවෙන් පිළිසඳරේ යෙදෙන්නෙ ඉතිහාසයක් නිර්මාණය කරමින් අදත් පවත්වාගෙන එන පුරාවෘත්ත බඳු නිවේදන ශිල්පිනියන් තිදෙනෙක් සමඟයි. ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලය හා එක්ව ජාතික රූපවාහිනියේ හා ස්වාධීන රූපවාහිනිය හරහා දශක තුන හමාරක් තිස්සේ විකාශය කෙරෙන ලොතරැයි ප්‍රතිඵල සන්නිවේදන වගකීම ප්‍රධාන වශයෙන්ම දැරුවේ මේ නිවේදන ශිල්පිනියන් තිදෙනා විසින්.

 

ඔවුන් සිය ජීවිතයේ සන්නිවේදන භූමිකාව පුළුල් ශාස්ත්‍රීය පරාසයක පැතිරවූ අය. එම ක්ෂේත්‍ර තුළ සාර්ථකත්වය සනිටුහන් කළ අය. එම ශිල්පීනියන් නොකඩවා පවත්වා ගෙන ආ ලොතරැයි සන්නිවේදන භූමිකාව මුල් කරගෙන සංවාදයක් ඇති කරන්න අප උත්සාහ කළා.

ඔවුන් තිදෙනා තමයි රේණුකා බාලසූරිය, චරිතා ප්‍රියදර්ශනී පීරිස්, සහ ශිරෝමි ප්‍රියදර්ශනී,

අප කතා බහ ආරම්භ කළේ ලංකාවේ මුල්ම ලොතරැයි සන්නිවේදන වැඩසටහන ඉදිරිපත් කළ ප්‍රවීණ නිවේදිකාව වූ රේණුකා බාලසූරියගෙන්. රූපවාහිනී සන්නිවේදන ඉතිහාසයේ අසහාය සන්නිවේදන පෞරුෂය ප්‍රකට කරපු ප්‍රේමකීර්ති ද අල්විස් සමඟයි රේණුකා ලංකා ඉතිහාසයේ මුල්ම ලොතරැයි සන්නිවේදන වැඩසටහන ඉදිරිපත් කරන්නේ.

“ මම හැත්තෑවෙ දශකයෙ දි ක්ෂේත්‍රයට එන්නේ ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක් විදිහට. රූපවාහිනියට එන්න දොර විවර වෙන්නේ ඩී.බී. නිහාල්සිංහ මහත්තයගෙ ටෙලි සිනේ ආයතනයෙන් නිෂ්පාදන කළ වෙළෙඳ දැන්වීම්වල රඟපෑමෙන්. පසුව සම්බන්ධීකරණ නිවේදිකාවක් ලෙස නිවේදන වෘත්තිය පටන් අරන් කාලීන හා ප්‍රවෘත්ති අංශයෙ වැඩසටහන් ගණනාවක් කළා. ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙසත් කටයුතු කළා.

“කොහොමින් හරි මගෙ ජීවිතය දරුවො එක්ක ගෘහ­ිණියක් විදිහට යම් තරමකට කාර්යබහුල වෙනකොට මම වාණිජ සන්නිවේදිකාවක් විදිහට ලොතරැයි සන්නිවේදනය තෝර ගත්තා. මේ වෙලාවෙදි ජාතික රූපවාහිනියට හා ලොතරැයි මණ්ඩලයට අප්‍රමාණව ස්තුතිවන්ත වෙනවා. මොකද රේණුකා බාලසූරිය කියන බ්‍රෑන්ඩ් එකක් ඔවුන් විසින් නිර්මාණය කළා.“

චරිතා ප්‍රියදර්ශනී අවුරුදු 34ක් තිස්සෙ ශානිදා වාසනාව වැඩසටහන් 3265ක් සෑම සතියකම ඉදිරිපත් කළ ශිල්පිනියක්. එය ඇගේ ජීවිත කාලය බැලුවොත් තුනෙන් දෙකක්ම ඇය සංවර්ධන ලොතරැයි මණ්ඩලය එක්ක සම්බන්ධව මේ වැඩසටහන මෙහෙයවා තිබුණා. ගුවන් විදුලි ඒ ශ්‍රේණියේ ගායිකාවක්, ගුවන් විදුලි නිවේදකාවක්, ප්‍රවෘත්ති නිවේදිකාවක්, රූපවාහිනී නිවේදිකාවක්, පුළුල් ශාස්ත්‍රීය අධ්‍යයනයක් සහිත ශාස්ත්‍රපති උපාධිධාරිනියක් ලෙස අද ක්ෂේත්‍රය තුළ ප්‍රභූ භූමිකාවක් රඟ දක්වන චරිතා නිවේදන ක්ෂේත්‍රයට එන්නෙ රේණුකාට පෙරයි.

“මම ගෙදර පවුල් පසුබිමම සන්නිවේදන වෘත්තියට සම්බන්ධයි. තාත්තා ආරියදාස පීරිස්. ඔහු නිවේදකයෙක්. තාත්තගෙ සහෝදරයො දෙන්න ජයන්ත පීරීස් සහ රංජිත් පීරිස් ගුවන් විදුලියේ හිටියා. අපේ ගෙදර නිවේදනය කියන එක අලුත් දෙයක් නෙවෙයි. මම මුල්ම ගුවන්විදුලියේ සජීවී නිවේදිකාවක් වෙන්නේ 1983 දි. එතකොට මට වයස අවුරුදු 16යි. ඒ අවුරුද්දෙම තමයි රූපවාහිනියටත් සම්බන්ධ වෙන්නේ. ඒ ‘සුජිකලා ආරාධනා‘ වැඩසටහනට. එතැන් සිට දීර්ඝ කාලයක් තිස්සේ නොකඩවා වැඩසටහන් කළා. සාගරිකා ගෝමස්ගෙ වියෝවෙන් පස්සෙ 'මතකයෙ රැඳුණු ගී' අවුරුදු 15ක් එක දිගට හැම බ්‍රහස්පතින්දාවකම කළා. 1987 දී තමයි මම මුල්ම වරට 'ශනිදා වාසනාව' වැඩසටහනට සම්බන්ධ වුණේ. එතකොට මට අවුරුදු 20යි. අමරදාස ගුණවර්ධන සහ ලලිත් හීන්ගම දෙදෙනායි එදා මාව දැකලා තෝරා ගත්තේ. ඒ ගමන තමයි මේ තාම යන්නෙ"

චරිතා දීර්ඝ කතාවක් සංක්ෂිප්ත කළා. ශිරෝමි ප්‍රියදර්ශනී මේ දෙපළටම වඩා වෙනස් පරිසරයකින් සන්නිවේදන වෘත්තියට පැමිණි කෙනෙක්. ඇය ඒ කතාව කියන්නෙ හරිම රසවත්ව.

“ මම බොහොම සාමාන්‍ය පහළ මධ්‍යම පන්තික පවුලක කෙනෙක්. ඇත්තටම මට නිවේදිකාවක් වෙන්න හීනෙකින්වත් හිතලා තිබුණෙ නෑ. මට අවශ්‍ය වුණේ රංගන ශිල්පිනයක් වෙන්න. “

“හිතපු නැති අවස්ථාවක ලොතරැයි මණ්ඩලයෙන් පළ කරපු දැන්වීමක් දැකලයි නිවේදනයට යොමු වුණේ. ඒක තමයි මම රැකියාවකට දැම්ම මුල්ම ඉල්ලුම්පත්‍රය. එතකොට මට වයස අවුරුදු 18යි. “

“ඒ වෙනකොට මට කිසිම නිවේදන අත්දැකීමකට තිබුණේ පන්තියෙදි ළමයින්ට ඇහෙන්න පාඩම් පොත කියවන එක විතරයි. ඒත් මම ඇප්ලිකේෂන් එක දැම්මා. මට ඉන්ටර්විව් එන්න කිව්වා. තුන්දාහක් ඇප්ලිකේෂන් ඇවිත් තිබුණා කිව්වා. මම ඉන්ටර්විව් 05කට ගියා. කොහොම හරි ඒ තුන්දාහෙන් තේරුණ එකම කාන්තාව මම. “

“ සංවර්ධන ලොතරැයිය නිසා තමයි ශිරෝමි ප්‍රියදර්ශනී කියන නිවේදිකාව බිහි වුණේ. එහෙම නොවුණා නම් මගෙ අනාගතය බොහෝ වෙනස් වෙන්න තිබුණා. දැනට අවුරුදු 32 ක් පුරා මම සංවර්ධන ලොතරැයිය එක්ක රැඳී ඉන්නවා. අවුරුදු තිස් දෙකක් රැඳී ඉන්නේ ආයතනයත් එක්ක තියන විශ්වාසය නිසා. මම ඒ විශ්වාසය ආරක්ෂා කළා.“

ඔබ තුන්දෙනා මිතුරියො ද? ඒ මිත්‍රකම ඇතිවෙන්නෙ කොහොම ද? එකිනෙකා සිනාසෙමින් උත්තර දුන්නා.

මුලින්ම රේණුකා. “මම චරිතව හඳුනා ගන්නෙ එඩ්වඩ්ගෙන්. එතකොට මෙයා විවාහ වෙලා නෑ. මම හිතන්නේ අවුරුදු 30කට විතර එපිට කාලයක් ඒක. ඒ හඳුනා ගැනීම මිත්‍රකමට එහා ගිය මහා බලගතු බැඳීමක්. ශිරෝමි මෑත කාලෙදි මගෙ ජීවිතයට සමීප වුණු වටිනා යාළුවෙක්. අපි හැමෝගෙම ආකල්ප ගොඩක් එකයි. ඒ නිසයි අපි මේතරම් සහෝදරකමින් බැඳිලා ඉන්නේ...

මට චරිතා ගැන මේ ටික කියන්න දෙන්න... මගෙ ජීවිතේ මට අසීමිත වටිනාකම් එකතු කරන, කල්‍යාණ මිත්‍ර සම්පතක් චරිතා කියන්නෙ. අද මම ශාස්ත්‍රපති උපාධි ධාරිනියක්. මාව ඒ තැනට තල්ලු කරන් ගියෙ චරිතා. ඇය මා ලංකාවෙ නැති අතරේ තිබුණු ඉන්ටර්විව්වලදි මා ගැන කියලා මා වෙනුවෙන් වෙනම සම්මුඛ පරීක්ෂණයක් ලෑස්ති කර තිබුණා. පාඨමාලාවට තේරුණාම මට මඟහැරෙන පාඩම් කියලා දීලා, ටියුට් ලියලා දරුවකුට උගන්වනවා වගේ තමයි ඉගැන්නුවේ. වාර ගණනක් මේ අධ්‍යාපනය අත්හරින්න මම උත්සාහ කළත් චරිතා ඒකට ඉඩ දුන්නේම නෑ. මම චරිතාට කිව්වා “මේ සහතිකය ගත්තට පස්සෙ මම ඇවිත් ඔයාගෙ කකුල් දෙක අල්ලලා වඳිනවා“ කියලා. මම ශාස්ත්‍රපති උපාධි සහතිකය අරන් මුලින්ම ගියෙ ඇයව බලන්න.“ රේණුකා හැඟීම්බරව සිනාසුණා.“ කල්‍යාණ මිත්‍රයො එහෙමයි නංගියෙ... ඒ අය යාළුවන්ගෙ ජීවිත සරසනවා. වටිනාකම් එකතු කරනවා.“

චරිතා තුන්දෙනාගෙ මිත්‍රත්ත්වය සිහි කරන්නෙ ඉතාම පහන් හැඟීමකින්. මුලින්ම මට හම්බ­‍ෙවන්නේ රේණු අක්කාව. අපි හැමදාම අපට අවශ්‍ය මොහොතෙ හිටියා. අපි දෙන්නගෙ ජීවිත අත්දැකීම පුදුමාකාර විදිහට සමානයි. අපි කල්පනා කරන විදිහ අනුන් ගැන කටයුතු කරන විදිහ එකවගේ. මුල් කාලෙ ඉඳන් අපි ජීවිතේ දුක, සැප, වේදනාව, බෙදා ගත්තා. අධ්‍යාපනයෙ දි විතරක් නෙමෙයි, අපට අසීරු හැම අවස්ථාවකම අපි එකට හිටියා. ශිරෝමි මට මුලින්ම හම්බවෙන්නේ 1988 දි ශනිදා වාසනා වැඩසටහන කරන්න ඇය මුලින්ම ආපු දවසෙ. එදා ඉඳන් අද දක්වා අපි දෙන්න හරිම සමීප යාළුවෝ. වැදගත්ම දේ අපේ ආකල්ප හා සිතුම් පැතුම් එකවගේ වීම.“

ශිරෝමි සිය ජ්‍යෙෂ්ඨයන් දෙදෙනා වූ දැන් ඇයගේ ප්‍රිය මිතුරියන් දෙදෙනා ගැන කතා කරන්නේ හරිම අවංක හැඟීමකින්.

"අනේ මම කියන්න ඕන. මම මුලින්ම චරිතව දැක්කෙ ගෙවල් ළඟ සංගීත ප්‍රසංගයක දි. මගෙ තාත්තා මාවයි නංගියි එක්කගෙන ආව ප්‍රසංගය බලන්න. චරිතගෙ තාත්තා තමයි ප්‍රසංගය මෙහෙයුවෙ. චරිතා තාත්තා එක්ක ඇවිත් හිටියා. මම ඇයව දැක්කෙ ඈතින්. හරිම ලස්සනයි. එදා මම හිතුවේ නෑ චරිතා එක්ක කවදාවත් මට මෙහෙම වැඩ කරලා මගෙ හොඳම මිතුරියක් විදිහට ඇසුරු කරන්න ලැබෙයි කියලා. “

“මම මුලින්ම නිවේදන වගකීම බාරගන්න කලින් වැඩසටහනක් කළ යුතු ආකාරය බලන්න මාව යොමු කළා. ඒ වැඩසටහන මෙහෙයවනු ලැබුවේ චරිතා. ඇය ආධුනික මා පිළිගත් විදිහට ගැන මට ලොකුම ආත්ම විශ්වාසයක් ආවා. ඒක පුදුමාකාර කාරුණික, හෘදයාංගම පිළිගැනීමක්. ඒ මෙහොතෙ ඇතිවුණු බැඳීම එක අංශුවක් වෙනස් නොවී අපි දෙන්න අතරෙ තියනවා. රේණු අක්කා දිහා මම හැමදාම බලන් හිටියෙ ඈතින්. හරිම ගෞරවයකින්. චරිතා නිසා තමයි මට රේණු අක්කව මුණගැහෙන්නෙ. දැන් මට මගෙ ජීවිතේ ඉන්න වටිනාම යාළුවො දෙන්න තමයි චරිතයි රේණු අක්කයි. ඔවුන් දෙන්නගෙ මිත්‍රකම මේ ලෝකෙ මට ලැබුණු වාසනාවන්තම දෙයක්.“

අවසාන වශයෙන් අපි ඔවුන්ගෙන් ඇහුවෙ තමන් ජීවිතේ ලබපු අමතක නොවන අත්දැකීම මොකක් ද කියලා.

චරිතා සිනාසෙමින් ඉතාම කෙටි පිළිතුරක් දුන්නා. “මේ සන්නිවේදන කාලයම අමතක නොවන අත්දැකීමක්. අවුරුදු 34ක් තිස්සේ වැඩසටහන් 3265ක්...“ ඇත්තටම එය නිවේදිකාවක් ලෙස සැමරිය යුතු වාර්තාවක්.

ශිරෝමිගෙ අත්දැකීමත් හරිම වෙනස්. තුන්දාහකින් තෝරාගතත්තු ඇගේ නිවේදන රැකියාව දේශපාලන ප්‍රශ්නයක් උඩ නැතිවෙන තැනට වැඩ යෙදිලා තිබුණා.

“ ඒ වෙනකොට රටේ ජනාධිපතිවරයා ජේ. ආර්. ජයවර්ධන මහත්මයා. මට එතුමා හමුවෙලා මගෙ අසාධාරණය කියන්න අවස්ථාවක් ලොතරැයි මණ්ඩලයෙ වැදගත් මහත්වරු මට හදලා දුන්නා. මම අවුරුදු 18 ළමයෙක්. ජනාධිපතිතුමා හමුවෙන්න ගියෙ ගැහි ගැහී. ගිහින් එතුමා මුණ ගැහුණා. එතුමා ඉතාම කාරුණිකව මගෙන් ඇහුව මොකක්ද පුතේ ප්‍රශ්නය කියලා. මම මට මුහුණ දෙන්න සිද්ධ වුණු තත්ත්වය කිව්වා. එතුමා මගෙ ප්‍රශ්නය විසඳලා මට කිව්වා "පුතේ ඔයා දිහා දැක්කම මට පෙනනවා හොඳ අනාගතයක් තියෙනවා කියලා. පරෙස්සමෙන් මේ ගමන යන්න" කියලා. එතුමා එදා කියපු විදිහටම මම මගෙ ගමන ගොඩනඟා ගත්තා.“

රේණුකාගෙ අත්දැකීම් කැටි කරලා කතා දෙකක් කිව්වා. පළවෙනි කතාව මිනිස්සුන්ගෙ විටිනාකම තේරුම් ගන්න වටිනා හින්දා ලියලා තබන්න හිතුණා.

“ එක මුස්ලිම් මහත්තයකුට පළමු ලොතරැයි දිනුම ඇදුණා. මට තමයි ඒ මුදල් ලබා දීමේ කටයුතු සම්බන්ධීකරණය කරන්න සිද්ධ වුණේ. ඒ මහත්මයා ඇවිත් මට කිව්වා නෝනා... මට ගොඩ දෙනෙකුට සල්ලි බෙදන්න තියෙනවා. පුළුවන් නම් එහෙම බෙදන්න පුළුවන් විදිහට සල්ලි ටික දෙන්න කියලා. මම හරිම සතුටින් ඒ මහත්මයා කියපු විදිහට උදව් කළා... ඔහු සියල්ල ලෑස්ති වුණාම මගෙන් අහනවා ඔබ තුමියට තෑග්ගක් විදිහට කීයක් දුන්නොත් ඇද්ද කියලා. මම හිනාවෙලා කිව්වා බොහොම ස්තුතියි මහත්මයා. ඔබතුමාගෙ සමාජ කටයුතු ගැන පුදුම තරම් පැහැදුණා. ගිහින් ඒ කටයුත්ත කරන්න. ඔබතුමාට සුබ පතනවා කියලා. ඔහු බොහොම ගෞරවයෙන් මා දිහා බලන් ඉඳලා හිස වනලා නැගිට්ටා... මුළු ලොතරැයි මණ්ඩලයටම සෑහෙන්න මස්කට් තොගයක් අරන් දිලා තමයි ඔහු ගියේ..

අනෙක් කාරණාව... ඒක මට සිහි නොකර ඉන්න තිබුණා නම් හොඳයි...

“එදා ප්‍රේම් අයියයි මමයි තමයි ශනිදා වාසනා වැඩසටහන මෙහෙයවන්න හිටියෙ. ඒත් ප්‍රේම් අයියට එන්න බැරි වුණා. මම තනියම වැඩසටහන කළා. පහුවදා ප්‍රේම් අයියා ආවේ හරිම සතුටින්. ඔහු අපට දේවල් ඉගැන්නුවේ අපට උගන්වන බව නොතේරෙන්න බව මට වැටහුණේ ඒ වැඩසටහන කරපු වෙලාවෙදි. ප්‍රේම් අයියා එදා වැඩසටහනේ සජීවිව කිව්වා "මට පුදුමාකාර සතුටුයි. මම නැතත් මගේ සහායිකාවට මේ වැඩසටහන කරන්න පුළුවන්. ඒත් මම ඔබට පොරොන්දු වෙනවා නැවත කවදාවත් මේ වැඩසටහනට නෑවිත් ඉන්නෙ නෑ" කියලා. එහෙම කියලා ප්‍රේම් අයියා ගියා. ඒත් පහුවදා උදේ එයාව ඝාතනය කර තිබුණා. ප්‍රේම් අයියා ආයෙ කවදාවත් ආවේ නෑ,...“

ඒ අතීත මතකය සියලු දෙනාම ගොළු කළා. අසීමිත මුදලක් වාසනාවන්තයන් අත බෙදා දෙමින්, රට පෝෂණය කරන ආයතනයක් සමඟ එක්ව තෘප්තිමත් මෙහෙවරක් කරන මේ උපේක්ෂා සහිත කාන්තාවන් තිදෙනාගෙන් සමුගත්තෙ ජීවිතයට යමක් එකතු කරගනිමින්.

 

ඡායරූප - තිලක් පෙරේරා

Comments