අවාසනාවෙන් බොඳ වෙන ලෝක කුසලාන සිහිනයේ උරුමක්කාරයෝ | සිළුමිණ

අවාසනාවෙන් බොඳ වෙන ලෝක කුසලාන සිහිනයේ උරුමක්කාරයෝ

 

‘අවාසනාව පරම්පරා ගත වෙනවා ද? එය කිසිවකුට පැවසිය හැකි ද කියන්න අපි දන්නේ නෑ. නමුත් ඔවුන්ගේ නම ඉදිරියේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ නම් අවසානාවන්ත බව කියන්නේ කරණම්කාරයෙක් වගේ. පසුගියදා ලෙජන්ඩ් ක්‍රිකට් ගැටුමේ අවසන් පූර්ව තරගයට ඇවිත් සුපුරුදු ආකාරයට අවසන් තරගයට පැමිණීමටත් පෙර පරාජය වෙන්න දකුණු අප්‍රිකානුවන්ට සිද්ධ වුණේ අන්න ඒ ඉපැරණි අත්දැකීම් සමුදාය නිසාම වෙන්න ඇති. ඒ නිසා අවසානාවන්ත භාවයේ කරණම දකුණු අප්‍රිකාව විෂයේ සදාකාලික ඉරණම්කාරයෙක්ම ද?’

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සාමාජික රටවල් අතර දකුණු අප්‍රිකාවට හිමි වන්නේ ප්‍රබල ස්ථා-නයක්. ඔවුන් සිය පළමු ටෙස්ට් තර-ගයට ක්‍රීඩා කරන්නේ 1889 වසරේ දී. එංගලන්තය සමඟ පෝට් එලිසබෙත් ක්‍රීඩාංගණයේ දී දකුණු අප්‍රිකාව පළමු ටෙස්ට් තරගයට මුහුණ දෙනවා. අයි.සී.සී.යේ පූර්ණ සාමාජිකත්වය පළමුවෙන්ම හිමි වූ රටවල් තුන අතර දකුණු අප්‍රිකාව ද සිටින්නේ ඒ අනුවයි. 1909 ජුනි 15 වැනිදා ඕස්ට්‍රේලියාට එංගලන්තය හා දකුණු අප්‍රිකාවට අයිසීසීයේ සාමාජිකත්වය හිමිවෙනවා. කෙසේ නමුත් දකුණු අප්‍රිකාවට එක්දින වරම් හිමි වන්නේ 1991 වසරේ දී යි. ඒ වන විට 1981 වසරේ අයි.සී.සී.යේ සාමාජිකත්වය ලැබූ ශ්‍රී ලංකාව පවා පළමු එක්දින තරගයට ක්‍රීඩා කර තිබුණා.

එම නිසා දකුණු අප්‍රිකාව ලෝක කුසලාන තරගාවලියකට මුලින්ම සහභාගී වන්නේ 1992 වසරේ දී. එතැන් පටන් 2019 දක්වාම ඔවුන් අඛණ්ඩව ලෝක කුසලාන තරගාවලි නියෝජනය කරනවා. තරගාවලියෙන් තරගාවලියට අතිදක්ෂ ක්‍රීඩකයන් සමඟ ලෝක කුසලානය වෙනුවෙන් තරග වැදුණත් ඒ සෑම තරගාවලියකම පාහේ තීරණාත්මක තැනකදී ඔවුන් අවාසනාවන්ත ලෙස තරගාවලියෙන් ඉවත් වෙනවා. ලෝක කුසලාන තරගාවලිවල පමණක් නොව ක්‍රිකට් ඉතිහාසයේ ලෝකයේ අවාසනාවන්තම රට විදිහට දකුණු අප්‍රිකාව හැඳින්වීම වරදක් නැහැ.

92 අවාසනාව

1992 ලෝක කුසලානයේ අවසන් පූර්ව තරගය දක්වාම තරග කරන්නට දකුණු අප්‍රිකාව සමත් වුණා. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවැති මේ තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් එංගලන්තය ලබාදුන් ඉලක්කය කඩුලු 6 ක ට ලකුණු 252 ක්. තරගයට විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. පන්දුවාර 45 ක දී ලකුණු 253ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසෙන අප්‍රිකානුවන් පන්දු වාර 43 ක දී ලකුණු 231 ලබා ගෙන ප්‍රබල තත්ත්වයක පසුවෙද්දී තරගයට බාධා එල්ල කළේ වර්ෂාව විසිනුයි. වර්ෂාවෙන් අනතුරුව පිටියට පිවිසෙන දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන්ට තරගයේ ගෙවී ගිය කාලයට අනුව එක් පන්දුවක් තුළ ලකුණු 22 ක ඉලක්කයක් හිමිව තිබෙන බව ලකුණු පුව-රුවේ දර්ශනය වෙනවා. ඒත් වර්ෂාවෙන් තරගය නතර කරන විට ඔවුන් පන්දු 13කට ලකුණු 22 ක් ලබාගත යුතු බවයි කියැවුණේ. පහසුවෙන් ලෝක කුසලානයේ අවසන් තරගයට පිවිසීමට තිබූ අවස්ථාව අවාසනාවන්ත ලෙස ඔවුන්ට එදා අහිමිව ගියේ ඒ අයුරිනුයි.

99 ත් එහෙමයි

1999 ලෝක කුසලාන තරගාවලියේත් අවසන් පූර්ව තරගය දක්වාම දකුණු අප්‍රිකාව තරග වැදුණා. ඒ වසරේ ඔස්ට්‍රේලියාව සමඟ තරගයේ ලකුණු සම වීම නිසා තරගාවලි‍යෙන් ඉවත් වන්නට දකුණු අප්‍රිකාවට සිදුවුණා. ජයග්‍රහණය උදෙසා අවසන් පන්දුවාරයේදී එක් කඩුල්ලක් අතැතිව පන්දු 4 ක දී ලබා ගන්නට තිබුණේ එක් ලකුණක් වුවත් අනවශ්‍ය ලෙස කඩුලු අතර දිව යෑමෙන් ඔවුන්ට ලෝක කුසලානයේ අවසන් තරගයට පිවිසීමට තිබූ තවත් අවස්ථාවක් අහිමි වුණා.

මූලික වටයෙන් ඉවතට

2003 වසරේ ලෝක කුසලාන තරගාවලියෙන් දකුණු අප්‍රිකාව ඉවත් වෙන්නේ මූලික වටයෙන්මයි. ශ්‍රී ලංකාව සමඟ පැවැති එම තරගය ද දකුණු අප්‍රිකාව පරාජයට පත් වන්නේ එක් ලකුණකින්. මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 9 ක ට ලකුණු 268 ක් ලබා ගන්නවා. නිරන්තරව ඇදහැලුණු වර්ෂාව තරගයට බාධා කළ නිසා ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව පන්දුවාර 45 ක දී ලකුණු 230 ක ඉලක්කයක් ද. අප්‍රිකාවට හිමි වුණා. කෙසේ නමුත් පන්දුවාර 45 ක දී ඔවුන් ලබා ගන්නේ ලකුණු 229 ක්. එම නිසා තරගයේ ලකුණු සම වෙනවා. වැඩි වාසිය හිමි කර ගත් ලංකාව ඉදිරියට යන අතරතුර අප්‍රිකාවට එවරත් ලෝක කුසලානය සිහිනයක්ම වුණා.

ලොකුම අවාසනාව

2007 20-20 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සමඟ පැවැති අවසන් පූර්ව තරගයත් අප්‍රිකානුවන්ගේ අවාසනාව හොඳින්ම පෙන්වූ තරගයක්. මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දියාව ලබා ගත් ලකුණු 153 හඹා යෑමට පිටියට පිවිසි ඔවුන්ගේ මුල් කඩුලු 5 ලකුණු 31 ක් තුළ දැවී යනවා. නමුත් ඉනිම ක්‍රමයෙන් ගොඩනඟමින් සිටි මාක් බවුචර් ලකුණු පුවරුව 101 ක්ව තිබියදී 6 වැනි කඩුල්ල ලෙස දැවී යෑම, අප්‍රිකානුවන් නැවතත් පරාජය දෙසට දෝලනය කරන්නක් වුණා. බවුචර් දැවී ගිය පන්දුව නිපන්දුවක් වුවත් විනිසුරු විසින් එය නිපන්දුවක් ලෙස සංඥා නොකිරීම අවාසනාවට කරුණක්.

ක්‍රිකට් තරගයක් ජය ගැනීමට දක්ෂ කණ්ඩායමක් පමණක් නොව වාසනාව ද තිබිය යුතුයි යන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායම හොඳම නිදසුනක්. ක්‍රිකට් ක්‍රීඩාවේ වසර 132 ක පමණ දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන දකුණු අප්‍රිකාව තවමත් එක්දින, විස්සයි විස්ස ආදි කිසිම රටාවක ලෝක කුසලානයක් හිමි කර ගෙන නැහැ. අඩු තරමින් ලෝක කුසලානයේ අවසන් තරගයකට හෝ පැමිණීමට ඔවුන්ට අවස්ථාවක් ලැබී නැහැ. මේකට කියන්න වෙන්නේ ‘අවාසනාව’ කියලා මිසක් වෙන කිසි නමක් නොවෙයි නේද?

පසිඳු මිහිරාන් රැටියල

 

Comments