ක්‍රීඩාව කියන්නේ විනය වඩන බන්ධනාගාර වසන මන්තරයට | සිළුමිණ

ක්‍රීඩාව කියන්නේ විනය වඩන බන්ධනාගාර වසන මන්තරයට

 

 

එහි ඇති රිද්මය මානව ජීවිතයේ පන්නරය ගොඩනංවනවා

මම බැඩ්මින්ටන් ක්‍රීඩාවට වගේම මේස පන්දුවටත් කැමතියි

පිළියන්දල නගර මධ්‍යයේ ජනාකීර්ණ පෙදෙසක ඝෝෂාකාරී පරිසරයක් තුළ අඩි 42×20 ක අසපුවක් තිබුණා. ඒ් අසපුවේ අපි එහි යන විට අසුන්ගෙන සිටියේ යෝගියෙක් නෙවෙයි. ඒත් එහි සිට අපට මුණගැසුණේ රසවතෙක්ව. වෘත්තියෙන් නීතිඥයෙක් වුණු ඔහු සමාජය තුළ නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්, නාට්‍ය පිටපත් රචකයෙක් වගේම ටවර්හෝල් රඟහල පදන⁣මේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකුද වනවා. ඔහු නමින් ඩග්ලස් සිරිවර්ධන. අපේ පැමිණීම ඔහු ඉතසිතින් පිළිගත්තා. කලාවේදියාගේ ක්‍රීඩාව සම්බන්ධයෙන් කතාකරන්න ඔහු ඉදිරිපත් වුණේ කැමැත්තෙන්. මේ ඔහුගේ හඬ.

සංස්කෘතික අමාත්‍යංශය සංවිධානය කළ නාට්‍ය පිටපත් රචනය පිළිබඳ තරගයකින් හොඳම නාට්‍ය පිටපත් රචකයා සම්මානය මට හිමිවුණේ 1972 අවුරුද්දෙදියි. ඒ නිසා මම වැඩිය කැමති මම නාට්‍යකරුවෙක් විදිහට හඳුන්වනවාට.

කාලයක් මම බස්නාහිර පළත් සමුපකාර කොමිසමේ සභාපති, නාට්‍ය අනුමණ්ඩලයේ සභාපති, නාට්‍ය කලාවෙන් පරිබාහිරව පේෂකර්ම සංස්ථාවේ විවිධ අංශයන්හි සේවය කළා. ඒ අතරතුර මගේ රැකියාව අහිමි වුණා. පසුව නීති විද්‍යාලයට ඇතුළත්ව නීතිඥයෙක් වුණා. ටවර්හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් කාලය තුළ නාට්‍ය කලාව ප්‍රවර්ධනයට ඉමහත් සේවයක් කරන්න පුළුවන් වුණා.

“මම ඉපදුණේ මත්තෙගොඩ පොල්වත්තේ. අම්මා ගෘහණියක්. තාත්ත වතු පාලකවරයෙක්. මගේ මුල්ම පාසල අවිස්සාවේල්ල මිශ්‍ර පාසල. හැබැයි එහි ඉන්න ලැබුණේ ටික දවසයි. තාත්ත එතනින් එනවා ඉංගිරිය තේ වත්තකට. එතකොට මගේ පාසල වෙන්නේ සුමණජෝති විද්‍යාලය. එතැනින් පස්ස් තාත්තාගේ රැකියාවේ නවාතැන් පොළ වෙන්නේ ගොඩිගමුව වතු යාය. ඒ් ආසන්නයේ පාසලක් නොමැතිකමින් කොළඹ දිස්ත්‍රික්කයේ කුඩාම පාසල වන වෙනිවැල්කොල රජයේ පාසල මගේ පාසල බවට පත්වෙනවා. එක ගොඩනැඟිල්ලයි තිබුණේ. එක පැත්තක වගා කරනවා. අනෙක් පැත්තෙ සොහොන් පිට්-ටනිය. සොහොන් පිට්ටනිය තමයි අපේ ක්‍රීඩා පිට්ටනිය. මීනී කනතු අස්සෙ දුවන්නෙ. මට සුන්දර මානසිකත්වයක් ඇති වුණේ එතැන සෙල්ලම් කරද්දියි. සෑම පාසලක් ළඟමම සොහොන් පිට්ටනියක් තියෙනවා නම් හොඳයි කියලා මට දැන් හිතෙනවා. මොකද එතකොට හිතේ බය නැති වෙනවා. මිථ්‍යා මත දුරුවෙනවා. ‘මැදිහත් වෙන්න අවශ්‍ය වන්නේ කතාව ගලනය වෙන්නේ නැත්නම්නෙ. එහෙමත් නැත්නම් පැහැදිලි කරගත යුතු තැන් මතු වන විට. නමුත් මෙතැන එහෙම අවිනිශ්චිත බවක් තිබුණේ නෑ. ඒ නිසා ඔහු කියා-ගෙන යනවා. අපිට බාධා කරන්න දෙයක් නෑ. කතාව රසවත් නිසා අපි සවන් දුන්නා.

‘ඉන් පස්සෙ මම එනවා හොරණ විද්‍යාරත්නෙට. ඒක මට තවත් විශ්ව විද්‍යාලයක්. දැන් අපිට ස්ථිර පදිංචියක් තියෙනවා. අපේ ගම හල්තොට. සුන්දර ගමක්. සුදු වැලි තලාව. වෙල් යාය. රබර් වතු මගේ සාහිත්‍ය රසය තවත් වැඩි කළා.’ දැන් අපිත් මනසින් ගියා හල්තොටට. ගැමි සිරිය දැනෙන්න වුණා. ඒත් ඒ අතීත සක්මන යළි බිඳුණේ ඔහුගේ හඬින්.

‘පාසල් එන්නෙ යන්නෙ පයින්. පැය භාගයකින් පාසලට ගියාට ගෙදර යන්න පැය තුනක් විතර යනවා. ඒ ගමන හරියට විනෝද චාරිකාවක් වගේ. ගමේ කොල්⁣ලො කුරුට්ටො හවසට එකතු වෙන තැන ලෙනවර පන්සල. පන්සල තියෙන්නේ ගලක් මුදුණේ. ඒක අපේ නවාතැනක් වුණා. සාහිත්‍ය කලාව රසවින්දනය ගැන කතා කරනවා. හිටපු පොලිස්පති වික්ටර් පෙරේරා එතැන හමුවුණු සාහිත්‍ය රසයක් ඇති රසවතෙක්.

කුඩා කාලයේ සිටම මට ලැබුණු සෑම පරි-සරයක්ම ක්‍රීඩා කරන්න පුළුවන් පරිසර. පරිසර ආශ්‍රිත ක්‍රියාකාරකම් ඇති තරම් කරන්න ලැබුණා. ක්‍රීඩාවට වාසිදායකම පාසල වුණේ හොරණ විද්‍යාරත්නෙ ජීවිතයයි. බැඩ්මින්ටන්, මේස පන්දු, වොලිබෝල් වගේම නිවාසාන්තර ක්‍රීඩා. තමන්ගෙ නිවාසයට දිනුමක් අරන් දීමයි එකම අරමුණ. බැඩ්මින්ටන් ක්‍රීඩාවට මම ගොඩක් ආස කළා. නිශ්චිත අරමුණක සිට ක්‍රීඩා කිරීම, අවධානය, ඉලක්කයට පහර දීම, මුළු සිරුරම ක්‍රියා කිරීම ජ්‍යාමිතිකව කිරා මැන කළ යුතු මානසික ක්‍රීඩාවක්. මම ආස කරන අනෙක් ක්‍රීඩාව තමයි මේස පන්දු. ඒ ක්‍රීඩාවේදී අධිවේගයෙන් තීන්දු තීරණ ගන්න ඕනැ. බැඩ්මින්ටන් ක්‍රීඩාංගණය කුඩා කරලා මේසයක් උඩ දිගහැරලා කියලයි මට හිතෙන්නෙ. තමන්ට වදින ප්‍රහාරයක් වළක්වා ගැනීම සහ වේගවත් ප්‍රති ප්‍රහාර එල්ල කිරීම මගේ ජීවිතේ හදා ගැනීමට උපකාරී වුණා. මේස පන්දු ක්‍රීඩාව ගොඩක් සතුටු වෙන්න පුළුවන් ක්‍රීඩාවක්. තවත් මිතුරෙක් සමඟනෙ සටන් කරන්නෙ. හතුරෙක් පරාජය කරනවාට වඩා මිතුරෙක් පරාද කිරීම සතුටක්.’ ඩග්ලස් සිරිවර්ධනයන් කිව්වා.

ඔහු කීුඩාවේ විවිධ අවධි අවබෝධාත්මක පසු කරමින් ඉදිරියට පැමිණි අයෙක්. මේ කතාවේ දී අපට එය තවත් හොඳින් වැටහුණා.

‘විශේෂයෙන් ක්‍රීඩාවේ රිද්මයට මම ආසා කරනවා. වොලිබෝල්, මේස පන්දු වගේ ක්‍රීඩා ඇතුළේ හොඳ රිද්මයක් තිබෙනවා. ප්‍රතිඵලය දැන් ලැබෙන්න ඕනෑ. කරන වැඩේ ඉවර වෙන්න ඕනෑ. ඇත්තටම කියනවා නම් ක්‍රීඩාවෙන් තමයි අපේ ජීවිතේ පන්නරය ලැබෙන්නෙ. සෞන්දර්යය තමයි අපේ ජීවිතේ පාලනය කරන්නෙ. තවත් විධිහකින් කියනවා නම් භෞතික මිනිස් සිරුර පාලනය කරන්නෙ ක්‍රීඩාවයි. විශේෂයෙන්ම ක්‍රීඩකයෙක් සෞන්දර්යය රස වින්දනයක් සහිත පුද්ගලයෙක් වුණොත් ඔහුගේ ජීවිතය වඩා සාර්ථකයි.

ඒ වගේම මගේ නාට්‍ය ඇතුළෙ රංග අභ්‍යාස වගේම රංග ක්‍රීඩාවත් ඇතුළත් කරන්න මම හැමවිටම උත්සුක වන්නේ මේ නිසාමයි. ඒ් රංග අභ්‍යාස තුළින් හුස්ම ගැනීම, ආංගික අභිනය, කටහඬ පාලනය වැනි දේ ඉලක්ක ගත කරනවා. ක්‍රීඩකයෙකුට නළුවෙක් වෙන්න ලේසියි. හැබැයි සැහැල්ලු භාවයට පත් කර ගන්න අමාරුයි. රංග ක්‍රීඩාව තුළින් ඒ දේ කර ගන්න පුළුවන්.’

පිළියන්දල නගරය අඳුරේ ගිලෙමින් තිබෙනවා. වීථි ලාම්පු එකින් එක දැල්වෙන්න පටන් අරගෙන. ඒ ළඟ එන අඳුරට අභියෝග කරන්න ද එහෙමත් නැත්නම් ඒ අඳුර තවතවත් දැඩිව වෙළාගන්නද තේරෙන්නෙ නෑ.

‘ක්‍රීඩකයෙකුගේ පෞරුෂය වර්ධනය වෙන්නත් ඕනෑ. ආර්ථිකය වර්ධනය වෙන්නත් ඕනෑ. ඒ වගේමයි සෞඛ්‍යය වර්ධනය වෙන්නත් අවශ්‍යයි. ඒ සමඟම මිනිසා අාධ්‍යාත්මික වශයෙන් සං-වර්ධනය වෙන්නත් වුවමනායි. අද රටේ සිදුවන අකටයුතුකම්වලින් බොහොමයක් සිදුවන්නෙ හික්මීම, ගරු කිරීම නැතිකමින්.

හැබැයි මතක තියාගන්න නිරෝගී සිරුරක් තුළ නිරෝගී මනසක් තියෙනවා කියන එක. එවන් නිරෝගී මනසක් තුළ නිරෝගී හා නිවැරැදි තීන්දු ගැනීමේ හැකියාවක් තිබෙනවා. නිරෝගී තීන්දු ගැනීමේ හැකියාව තුළ අපරාධ අඩු වෙනවා. අපරාධ අඩු රටක රෝහල්, පොලිසි, අධිකරණ, බන්ධනාගාර භාවිතය අඩු වෙනවා. මේ සංවර්ධිත මිනිසා බිහිකිරීම සදහා ක්‍රීඩාව, ක්‍රීඩාව තුළ තියෙන විනය,සෞන්දර්ය, සෞන්දර්යය තුළ ඇති විනය, විවිධ විෂයන්ගෙන් ලබා ගන්නා දැනුම. මිශ්‍රිතව අධ්‍යාපනය සකස් විය යුතුයි. ඒ කියන්නෙ සමාජය සකස්වීමේදී ක්‍රීඩාව ප්‍රමුඛ වෙනවා. ක්‍රීඩාශීලි පුද්ගලයන් බහුල රටක හිර ගෙවල් වසා දමන්න පුළුවන් වේවි. එහෙම නැත්නම් සිද්ධ වෙන්නේ බන්ධනාගාර අයින් කරලා රට වටේට තාප්පයක් බඳින්නයි. ඒක වළකවන්න හැකිවෙන්නේ ක්‍රීඩාව හා කලාවටයි.’ ඔහු අවසන් වශයෙන් පැවැසුවා.

 

සටහන හා ඡායාරූප - සුදම් ගුණසිංහ

Comments