ජාතික ක්‍රිකට් නවෝදයක පහන් සිළුවක් වන්නට සිහින දකින්නා | සිළුමිණ

ජාතික ක්‍රිකට් නවෝදයක පහන් සිළුවක් වන්නට සිහින දකින්නා

ඔබ්සර්වර් එස්.එල්.ටී. මොබිටෙල් පාසල් ක්‍රිකට් සම්මාන උලෙළේ මෙවර වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මානය දිනා ගත්තේ ගාල්ල මහින්ද විද්‍යාලයේ නවෝද් දිනූශ්‍රී පරණවිතාන ය. තම පිත්තෙන් හා පන්දුවෙන් තමන් නියෝජනය කරන පාසලට නිරන්තරයෙන්ම කීර්තියක් අත් කර දුන් නවෝද් දිනූශ්‍රී පරණවිතාන මෙලෙසින් සම්මාන ලැබුවේ එම සම්මානය ලැබූ පළමු මහින්ද විදුහල් ක්‍රීඩකයා ලෙසය. මේ ක්‍රීඩා ඔහු හා පැවැත් වූ කෙටි සංවාදයකි.

නවෝද් කෙහොම ද ක්‍රිකට් ක්‍රීඩාව ට යොමුවුණේ ?

මම පාසලේ මුලින්ම ක්‍රීඩා කළේ පාපන්දු. පාපන්දු පුහුණුවීම් අතරතුර පිට්ටනියේ පැත්තක ක්‍රිකට් ක්‍රීඩා කළා. මගේ අයියත් පාසලේ ක්‍රිකට් ගැහුවා. ඒ කාලෙදි මම බෝල් කරනවා දැකලා තාත්තා ඇහුවා ක්‍රිකට් ගහන්න කැමැති ද කියලා. මම කැමැතියි කිව්වා. තාත්තා මහින්ද විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩා කරලා තිබුණු නිසා තමයි මාව ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කළේ. පාසලේ 6 පන්තියේ දී තමයි ක්‍රිකට් ක්‍රීඩාවට යෙමුවුණේ.

ඔබ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලැබූ ජයග්‍රහණ?

2015 වසරේ දී 13 න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ලකුණු 1182 ක් රැස් කළා. ඒ 13 න් පහළ ක්‍රීඩකයෙක් තරග වාරයක දී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව. 15න් පහළ වයස් සීමාවේ දී ත්, 2017 වසරේ දී ලකුණු 1023 ක් රැස්කළා. 2015 වසරේ පැවැති 13 න් පහළ තරගාවලියේ දක්ෂතම පිතිකරු සහ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබුවේත් මම. ගාල්ල දිස්ත්‍රික් සහ දකුණු පළාත් 13 න් පහළ ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කළා. 2018 වසරේ දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට තේරුණා. 2019/20 තරගවාරයේ ධර්මාශෝකයට එරෙහිව ලකුණු 409ක් රැස් කළා. එය ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රීඩකයකු ඉනිමකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවයි. වයස අවුරුදු 13න් පහළ අවසන් වසරේදී විද්‍යාලයීය පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන්න ලැබුණා . එතකොට මගේ වයස අවුරුදු 13යි මාස 10යි.

ගෙදර තොරුතුරු?

මම ඉන්නේ ගාල්ලේ ඇත්තලිගොඩ. මම තමයි පවුලේ මද්දුමයා. අම්මයි, තාත්තයි, අයියයි, මල්ලියි ඉන්නේ අපේ පවුලේ. මගේ තාත්තා විශ්‍රාමලත් හමුදා නිලධාරියෙක්. එක ගෙදර දෙන්නෙක් ක්‍රිකට් ගහන්න අමාරු නිසා අයියා ක්‍රිකට් නැවැත්තුවා.

පාසල සම්බන්ධව කිව්වොත්?

මම පළමු ශ්‍රේණියේ සිට ඉගෙන ගන්නේ මහින්ද විද්‍යාලයේ. ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළ දවසේ සිට මේ දක්වා පාසලෙන් මට විශාල සහයෝගයක් ලැබුණා. මෙවර උසස් පෙ විභාගයට කලා අංශයෙන් පෙනී සිටීමට සූදානම් වෙනවා. මඟ හැරුණු පාඩම් වැඩවලට ගුරුවරුන් මට විශාල සහායක් ලබාදුන්නා.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමට එක්වීමට ලැබීම සම්බන්ධයෙන් කතා කරනවා නම්?

මම පාසල් ක්‍රිකට් තරගාවලිවල දී දැක්වූ දස්කම් නිසා පළාත් කණ්ඩායමත්, ටැමිල් යූනියන් කණ්ඩායමට ත් ක්‍රීඩා කරන්න ලැබුණා. ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් පිල නියෝජනය කළා. එහිදී මට පුළුවන් වුණා ලකුණු අතරට යන්න. එල්.පී.එල්. තරගාවලියටත් මාව තෝරාගත්තා.

විදෙස් තරග සංචාරවල නියැළිලා තිබෙනවා ද?

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට එක්වුණාට පසුව බංග්ලාදේශය, බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකාව යන රටවල්වල පැවැති තරගාවලීන්ට සහභාගි වුණා.

මේ ගමන එන්න උදවු කළ අය කවු ද?

ගාල්ල මහින්ද විද්‍යාලයේ වත්මන් විදුහල්පති ගාමිණි ජයවර්ධන, ක්‍රිකට් භාර ආචාර්යවරුන් ලෙස කටයුතු කළ වසන්ත ගම්මුදුවත්ත, අරවින්ද රත්නායක, වත්මන් ක්‍රිකට් භාර ආචාර්ය වයි. නිශාන්ත කුමාර මහත්වරු ඇතුළු සමස්ත ආචාර්ය මණ්ඩලයම මට උදවු කළා. විශේෂයෙන්ම ආදි ශිෂ්‍ය නලීන් හේරත්, ආදි ශිෂ්‍ය අතීල් ගුණසේකර (ඔස්ට්‍රේලියාව) ඇතුළු ආදි ශිෂ්‍යයින් රාශියක් මට උදවු කළා.

අනාගත බලාපොරොත්තු?

මේ අවුරුද්ද මම පාසලට ක්‍රීඩා කරන අවසන් අවුරුද්ද, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එක්වීම තමයි මගේ අනාගත බලාපොරොත්තුව.

මගේ පළමු පුහුණුකරු වුණේ ලකී අරඹවෙල සර්. ඒ පාසලේ ක්‍රිකට් ඇකඩමියේ. රොඩ්නි ප්‍රදීප් සර්, සුනෙත් කුඩාහෙට්ටි, ධනුෂ්ක දෙනගම, අනිල් රිදීගම්මනගෙදර සහ යොමාල් සංජීව යන පාසල් පුහුණුකරුවන් මෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලේ පුහුණුකරුවන්, දිස්ත්‍රික් සහ පළාත් පුහුණුකරුවන් සහ ටැමිල් යූනියන් පුහුණුකරු මගේ මේ ගමනට උදව් වුණා.

 

ඡායාරූප - ජගත් ඉරෝෂණ

ඉෂානි යද්දෙහි

 

Comments