පෞද්ගලික වාර්තාවලට පල්ලමක් වූ පල්ලෙකැලේ ටෙස්ට් එක | සිළුමිණ

පෞද්ගලික වාර්තාවලට පල්ලමක් වූ පල්ලෙකැලේ ටෙස්ට් එක

 

“පල්ලෙකැලේ ක්‍රීඩා පිටියේ විකට්ටුව සම කළ හැක්කේ 1997 ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව ලකුණු 952 ක් ලබා ගනිමින් ලෝක වාර්තාවක් පිහිටු වූ ආර්. ප්‍රේමදාස පිටියේ තණතීරුවට පමණයි.” පසුගියදා ජය පරාජයෙන් තොරව අවසන් වූ ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය සම්බන්ධයෙන් ඇතැම් ක්‍රිකට් විචාරකයන් එසේ අදහස් දක්වා තිබුණේය.

සැබැවින්ම මෙම තණ තීරුවෙහි පන්දු යවන්නන්ට කිසිදු වාසිදායක තත්ත්වයක් දැක ගැනීමට නොහැකි වූ අතර, තරගයේ අවසන් දින වන තුරුත් මුල් ඉනිම් අවසන් වී නොතිබීමෙන් එම තත්-ත්වය තේරුම් ගත හැකිය. එයද සම්පූර්ණයෙන් අවසන් වීමක් නොවිණි. බංග්ලාදේශය කඩුලු 07 කට ලකුණු 541 ක් ලබා තෙවැනි දිනයේ තම ඉනිම අත්හිටුවූ ආකාරයටම ශ්‍රී ලංකාව ද කඩුලු 08 ක ට ලකුණු 648ක් ලබා තම ඉනිම අතරමඟ අත්හිටුවූයේ තරගයේ අවසන් දිනයේ දිවා කාලය ආසන්න වද්දී ය.

කෙසේ වුවත් මෙම තරගය පිතිකරුවන්ගේ වාර්තා සම්බන්ධයෙන් මතකයේ රැඳුණු තරගයක් වූයේ යැයි කිව හැකිය. මේ අනුව පළමු තරගය ශ්‍රී ලංකා මුල් ඉනිමේ දී ද්විත්ව ශතකයක් (244) ලබා තරගයේ වීරයා බවට පත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්නට අමතක නොවන තර-ගයකි. එය ටෙස්ට් ඉනිමක ඔහු ලැබූ ඉහළම ලකුණු සංඛ්‍යාව මෙන්ම මුල්ම ද්විත්ව ශතකය ද විය.

මේ අනුව මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් ද්විත්ව ශතක ලැබූ කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, මාවන් අතපත්තු, අරවින්ද ද සිල්වා, තිලාන් සමරවීර, සනත් ජයසූරිය, හෂාන් තිලකරත්න, බ්‍රෙන්ඩන් කුරුප්පු, ඇන්ජලෝ මැතිව්ස්, රොෂාන් මහානාම ඇතුළත් වන සමාජයට එක්වීමට දිමුත්ට හැකිවිණි.

එමෙන්ම ටෙස්ට් පිටියේ දී ඔහු ලැබූ 11 වැනි ශතකය මෙය ය. ඉන් ශතක 05 ක් ම ලකුණු 150 හෝ ඊට වැඩි ගණනක් වාර්තා වූ ඉනිම් වීම ද විශේෂිතය.

“පසුගිය කොදෙව් තරගවලදී මුල් පන්දු වාර කීපය තුළ මම වේගයෙන් ලකුණු රැස් කිරීමට උත්සාහ කළා. මේ සම්බන්ධයෙන් මම පුහුණුකරු සමඟ සාකච්ඡා කළා. ඔහු මට කීවේ ආරම්භක පිතිකරුවා වශයෙන් පිටියේ තැන්පත්ව, පීඩනයට මුහුණ දෙමින් කඩුල්ල ආරක්ෂා කර ගනිමින් සිටින්න උත්සාහ කරන්න කියායි. එවිට මට හොඳ ඉනිමක් ක්‍රීඩා කරන්න ලැබෙනවා කියලා ඔහු පෙන්නුවා. ඉතින් මම කළේ ඒ අනුව කටයුතු කිරීම තමයි.” තරගයෙන් අනතුරුව දිමුත් කරුණාරත්න පවසා තිබිණි.

2014 වසරෙන් පසු ශ්‍රී ලංකා පිතිකරුවෙකු ටෙස්ට් ඉනිමක ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ ද මෙයය. පසුගිය වසර හයක කාලය තුළ මෙරට පිතිකරුවෙකු වෙතින් වාර්තා වූ දෙවැනි ද්විත්ව ශතකය වන්නේ ද මෙයය. අනෙක් ද්විත්ව ශතකය ඇන්ජලෝ මැතිව්ස් ගේ ය. ඒ සිම්බාබ්වේ පිලට එරෙහිව 2019-20 නොදැවී ලැබූ ලකුණු 200 ය. ඔවුන් දෙදෙනාට පෙර අවසන් වරට ද්විත්ව ශතකයක් වාර්තා කර තිබුණේ සුපිරි පිතිකරු කුමාර සංගක්කාර විසිනි. ඒ 2014-15 නවසීලන්තයට එරෙහිවය. මෙයින් පෙන්නුම් කෙරෙනුයේ පසුගිය යුගයේ ශ්‍රී ලංකා පිතිකරුවන් දිගු ඉනිම් ක්‍රීඩා කිරීමේ දී ප්‍රදර්ශනය කළ මානසික අසමතුලිත භාවය ය.

දවස පුරාම එකම කඩුල්ලක් හෝ බිඳ නොවැටීම තරගයේ සිවුවැනි දිනයේ දැක ගැනීමට ලැබුණු විශේෂත්වයකි. ශතකයක් රැස් කළ (166) ලැබූ ධනංජය ද සිල්වා නායක දිමුත් කරුණාරත්න හා එක්ව එදින දවස පුරාම කඩුල්ලේ රැඳී සිටිමින් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 283 ක් එක් කිරීම කැපී පෙනිණි.

මීට පෙර අර්ජුන රණතුංග හා අසංක ගුරුසිංහ 1985-86 පාකිස්තානයට එරෙහිව පී. සරවනමුත්තු පිටියේ දී ලකුණු 240 ක් රැස් කළේ පස්වන දිනයේ ය. සනත් ජයසූරිය හා රොෂාන් මහානාම 1997 ඉන්දියාවට එරෙහිව ආර්. ප්‍රේමදාස පිටියේ දී ලකුණු 283 ක සඹඳතාව තරගයේ තෙවන දිනයේ සටහන් වද්දී ඔවුන් දෙදෙනාම එම තරගයේ දී ම සිව්වැනි දිනයේ ලකුණු 265 ක සඹඳතාවක් පැවැත්වීය.

කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධන 2006 දකුණු අප්‍රිකාවට එරෙහිව එස්.එස්.සී. පිටියේ දී දෙවැනි දිනයේ ලකුණු 357 ක් ද, ඇන්ජලෝ මැතිව්ස් හා කුසල් මෙන්ඩිස් 2018 -19 නවසීලන්තයට එරෙහිව නවසිලන්තයේ වෙලින්ටන් හි දී තරගයේ සිවුවැනි දිනයේ ලකුණු 239 ක් ද ලබමින් මෙම ආකාරයෙන් දස්කම් දක්වා තිබේ.

අවසන් වුණු පළමු ටෙස්ට් තරගයේ දී පිතිකරුවන් ට වාසිදායක වූ කඩුල්ලේ වාර්තා වූ ශතක ගණන 04 කි. මෙයින් ශතක තුනක්ම ලකුණු 150 ඉක්මන ඉනිම් විය. බංග්ලාදේශ කණ්ඩායමේ නජ්මාල් හුසේන් ලකුණු 163 ක් ලබමින් තම මංගල ටෙස්ට් ශතකය වාර්තා කළේ පල්ලෙකැලේ දී දිගු ශතක ගමනකට මුල පුරමිනි. එමෙන්ම ධනංජය ද සිල්වාගේ ශතක ගණන 07 ක් දක්වා ඉහළ නැඟිණි.කෙසේ වුව ද පිතිකරුවන්ට වාසිදයක වූ තණතීරුවක වේග පන්දු යවන්නෙකු වශයෙන් විශ්ව ප්‍රනාන්දු කඩුලු හතරක් දවාලීය.

තරගය ආරම්භ වීමට කලින් වේග පන්දු යවන්නන් හට වාසිදායක සේ පෙනුණු පල්ලකැලේ ක්‍රීඩාපිටියේ තණ-තීරුව මත කාසියේ වාසිය ජය ගෙන මුලින්ම පන්දුවට පහර දීමට බංග්ලාදේශ නායකයා ගත් තීන්දුව නිවැරැදි එකක් විය.

“අපි අනිවාර්යයෙන්ම මෙම තරගයේ ජයග්‍රහණය ගැන සිතනවා.” ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු මිකී ආතර් සිවුවැනි දින අවසානයේ පවසා තිබිණි.

“ජයග්‍රාහි කණ්ඩායමක් වීමට පෙර පරාජය කිරීමට අපහසු කණ්ඩායමක් වීමයි අපේ ඉලක්කය.” තවදුරටත් මෙසේ පවසා සිටි පුහුණුකරු බලාපොරොත්තු වූ අයුරෙන් ශ්‍රී ලංකා පිතිකරුවන් අවසන් දිනයේ තරමක වේගයෙන් ලකුණු රැස් කිරීමට උත්සාහ ගනු පෙනිණි. මෙහි දී විස්තර විචාරකයින්ගේ අදහස වූයේ මුල් ඉනිමේ ලකුණු 160 ක් හෝ 170 ක් ඉදිරියෙන් සිටීමට ශ්‍රී ලංකාවට හැකි වුව හොත් එය ජයග්‍රහණයක් සම්බන්ධයෙන් යම් බලාපොරොත්තුවක් ගොඩනංවනු ඇති බවය. කෙසේ වුවද ඉනිම අවසන් කරන විට ශ්‍රී ලංකා පිලට ඉදිරියෙන් සිටීමට හැකි වූයේ ලකුණු 107 කින් පමණි.

ඔෂධ ප්‍රනාන්දු, පැතුම් නිශ්ශංක, අශේන් බණ්ඩාර යන තරුණ පිතිකරුවන් ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය භාර ගැනීම සඳහා සූදානමින් සිටින බැවින් මේ වන විට ශ්‍රී ලංකාව අවධානය යොමු කළ යුත්තේ ප්‍රතිවාදී ඉනිමක කඩුලු 10 ම දවාගත හැකි පන්දු යවන්නන් සොයා ගැනීම කෙරේය.

“කොදෙව් කණ්ඩායම සමඟ අපිට ම්ව්බිමේ දී ත් ඉන්පසු රටෙන් පිටතදීත් සාර්ථක වීමට හැකි වුණේ නැහැ. ඒ විදිහට බලන විට මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීම අපේ පැත්තෙන් ධනාත්මකයි. සම්පූර්ණ කණ්ඩායම් හැඟීමකින් අපි තරග වැදුණා.” බංග්ලාදේශ නායකයා තර-ගයෙන් පසු අදහස් දක්වා සිටියේ එලෙසය.

ඒ අනුව බලන කල පල්ලේකැලේ අවසන් වුණු පළමු ටෙස්ට් තරගය පිතිකරුවන්ට 'පල්ලමක්' වූයේ යැයි කිව හැකිය. එම වාසිදායක ස්වභාවය බිඳී ගිය පිතිකරු මානසිකත්වය අවධි කිරීමට ඉවහල් විණි. එය ටෙස්ට් තරගයක් පාර්ශ්වයෙන් සාර්ථක වූ තණතීරුවක් නොවන බව පමණක් පැවසිය යුතුම ය.

අනිල් වීරසිංහ

Comments