මම මේ සංගමයේ නාම පුවරුවට මුවා වෙලා මිනිස් ජාවාරම් කරන්නෙ නෑ | සිළුමිණ

මම මේ සංගමයේ නාම පුවරුවට මුවා වෙලා මිනිස් ජාවාරම් කරන්නෙ නෑ

 පස්වසරක් ජාතික ජිම්නාස්ටික් ශූරයාගේ ප්‍රංශ පිම්මෙන් ශ්‍රී ලංකාවට උරුම වුණු රෝද සපත්තු ක්‍රීඩාව

ක්‍රීඩා ඇමැතිගෙන් රෝද සපත්තු මංතීරුවක් බලාපොරොත්තු වෙනවා

නව සම්මේලනය තුළ වැඩ කළාට තවමත් මම ජිම්නාස්ටික් ක්‍රීඩාවට පණ වගේ ආදරෙයි

මට ක්‍රීඩා නිලධාරී පත්වීමක් වත් ලැබුණේ නෑ ඒ නිසයි මම ප්‍රංශයට ගියේ

රෝද සපත්තු සංගමය මෙරට ක්‍රීඩා නාමාවලියට එක්වූයේ 2015 වසරේ ය. එදා සිට අද දක්වා එහි ලේකම් ධුරය හොබවන්නේ නීල් පෙරේරා ය. රෝද සපත්තු සංගමය බිහිවූ දා සිට එහි යාවජීව ලේකම් ධුරය හොබවන ඔහු සමඟ 'ක්‍රීඩා' සම්මුඛ වූයේ මෙකී ක්‍රීඩා සංගමය සම්බන්ධයෙන් ඇති බොහෝ ගැටලු නිරාකරණය කර ගැනීමේ අපේක්ෂාවෙන් යුතුවය.

 

මොකක්ද මේ රෝද සපත්තු සංගමය කියලා කියන්නේ?

ඔලිම්පික් ක්‍රීඩාවක් වශයෙන් ලෝකය තුළ පිළිගැනීමක් සහිත ක්‍රීඩාවක් තමයි රෝද සපත්තු සංගමය නැත්නම්, නැෂනල් රෝලර් ස්කෙටිං ඇෂෝසියේෂන් කියලා කියන්නෙ.

රෝද සපත්තුවක් උඩ නැඟලා යන එක ක්‍රීඩාවක් වෙන්නේ කොහොම ද?

එතන ක්‍රීඩාව තුළ තිබිය යුතු සියලු කරුණු ඇතුළත් වෙනවා. ක්‍රීඩකයකුගේ නමණීය භාවය, සචල භාවය, කඩිසර භාවය, දරාගැනීමේ හැකියාව ඇතුළු බොහෝ දේ මෙම ක්‍රීඩාව මඟින් ලබාගත හැකි වෙනවා. එහෙම නැතිව මේක නිකම්ම නිකං රෝද සපත්තුවක් උඩ හිටගෙන යන ගමනක් වත් තරුණ පරපුරේ ගමන් බිමන් වෙනුවෙන් යොදාගන්නා සංචරණ ක්‍රමයක්වත් නෙවෙයි.

දැන් ඔබ රෝද සපත්තු සංගමයට එන්නේ කොහොම ද? කොහේ හිටපු කෙනෙක්ද මේ එකපාරටම රෝද සපත්තුවක් අල්ලාගෙන එළියට එන්නෙ? මොකක්ද ඒක පිටිපස්සේ තිබෙන කතාව?

මම රෝද සපත්තුවක් අල්ලාගෙන එළියට එන්න ඉස්සර මේ ක්‍රීඩාව ගැන ඉගෙන ගත්තා. මම තමයි මේ ක්‍රීඩා සංගමය ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කරන්න මූලිකත්වය ගන්නේ. මගේ හිතමිතුරන් කීපදෙනෙක් එක්ක තමයි ඒ ක්‍රීඩාව ලංකාව ඇතුළේ හඳුන්වාදීමක් කරන්නේ. ඇත්තටම කියනවා නම් මම ජාතික ජිම්නාස්ටික් ශූරයෙක්. ජාතික ජයග්‍රහණ ලබාගෙන පදක්කම් කීපයක් හිමි කර ගැනීමට හැකිවුණු ක්‍රීඩකයෙක්. ක්‍රීඩාව ගැන මට හොඳ පසුබිමක් තිබෙනවා. එහෙම තමයි මම මේ ක්‍රීඩාව සමඟ එකතු වෙන්නේ.

ඒ කොහොම ද? රෝද සපත්තු ක්‍රීඩාවක් ලංකාව ඇතුළේ තිබුණේ නෑනේ?

ඔව්. මම කිව්වේ මේ ක්‍රීඩාව මම මූලික වෙලා තමයි රටට හඳුන්වා දුන්නේ කියලා. ඒක වුණේ මම ප්‍රංශයට ගොස් ආවයින් පසුවයි. හරියටම කියනවා නම් 2000 වසරේ මම ප්‍රංශයට යනවා. ඒ රටේ වසර පහක කාලයක් ගත කරනවා. එහෙම ගිහින් ඉඳිද්දී තමයි මේ රෝලර් ස්කේටිං කියන ක්‍රීඩාව දකින්නේ. ඒක මුලින්ම මම ප්‍රගුණ කරනවා. ඊට පස්සේ තමයි මේ ක්‍රීඩාව ලංකාව ඇතුළේ ව්‍යාප්ත කරන්නෙ.

ඒත් ඔබ ශ්‍රී ලංකාව ඇතුළේ ප්‍රකට වුණේ ජිම්නාස්ටික් ක්‍රීඩකයෙක් විදිහට නේද?

ඔව්, මම පස් වරක් ශ්‍රී ලංකාවේ ජාතික ජිම්නාස්ටික් ශූරයා. ආධාරක අශ්වයා, සමාන්තර දණ්ඩ කියන ඉසව්වන්ගෙන් මම දක්ෂතා දක්වලා තිබෙනවා.

එහෙම නම් ඔබ ප්‍රංශයට පැන්නේ කොහොම ද?

මම ප්‍රංශයට පැන්නෙ නෑ. නමුත් ලංකාව ඇතුළේ මම ජිම්නාස්ටික් ජාතික ශූරයා වුණාට අඩුම තරමේ ක්‍රීඩා නිලධාරී තනතුරක්වත් දුන්නේ නෑ. මම ඉල්ලුම් කළත් ලැබුණේ නැති වෙද්දී කලකිරුණා. ක්‍රීඩාව ඇඟේ තිබියදීම තමයි රටින් යන්න ඕනෑ, විදේශ ගත වෙලා රැකියාවක් කරන්න ඕනෑ කියන සිතිවිල්ල මට ඇතිවුණේ. ඒ අනුව පෞද්ගලික මුදලින් ප්‍රංශ තානාපති කාර්යාලයෙන් වීසා ඉල්ලුම් කළා. ඒ ඉතාලියට යන්න ඕනෑ කියන අදහසත් එක්කයි. මට වසර පහකට යුරෝපා වීසා ලැබුණා. ඉතින් මම ප්‍රංශයට ගියා. ගිහින් වසර පහක් එහි රැකියාවක නිරත වුණා. නැතිව හොර පාරෙන්, ක්‍රීඩාව විකුණගෙන රට ගියේ නෑ.

ජිම්නාස්ටික් ජාතික ශූරයාගේ ප්‍රංශ පිම්ම කොහොමද රෝද සපත්තු ක්‍රීඩාවත් එක්ක ගැට ගැහෙන්නෙ?

එහෙදි මම රෝද සපත්තුවෙන් ගමන් බිමන් යන තරුණ, තරුණියෝ දැක්කා. වයස් භේදයක් නැතිව හැමෝම වගේ රෝද සපත්තු උඩ යනවා. මමත් රෝද සපත්තු දෙකක් අරන් හෙමින් හෙමින් පුරුදු වෙලා වැඩට යන්න පටන් ගත්තා. එහෙම තමයි මේ රෝද සපත්තු ගැන මා තුළ පැහැදීමක් ඇතිවුණේ.

දැන් ඔය රෝද සපත්තු දෙකක් ගනිද්දි පදින්න පුළුවන් වෙයි කියලා හිතුණා ද?

ඔව්, මට විශ්වාසයක් තිබුණා. මොකද මම ජිම්නාස්ටික් ක්‍රීඩකයෙක් නිසා සමතුලිතතාවය ගැන ගැටලුවක් ඇති නොවන බව මම දැන සිටියා. ඒක ඇත්තටම එහෙම වුණා. බලාගෙන ඉඳිද්දී අමාරුයි කියලා හිතුණාට එහෙම අමාරුවක් නෑ. රෝද සපත්තු පදින්න ඉගෙන ගන්න පුළුවන්.

ඒ කියන්නේ ප්‍රංශයේදී ජිම්නාස්ටික් ක්‍රීඩාව අතහැරියා කියන එකනෙ?

නෑ. මට ප්‍රංශයේ දී ත් ජිම්නාස්ටික් ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබුණා. ඒ විදිහට ක්‍රීඩා කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඒ රටේ අගනුවර වන පැරිස් හි පැවැත්වෙන අන්තර් නාගරික ජිම්නාස්ටික් තරගාවලියේ දී සමාන්තර පෝලය, හා ආධාරක අශ්වයා කියන ඉසව් දෙකෙන් රන් පදක්කම් දිනාගන්න හැකිවුණා.

එතකොට රෝද සපත්තු ක්‍රීඩාවක් බවට පත් කර ගන්නේ කොහොමද ?

මෙහෙමයි. මම ජිම්නාස්ටික් පුහුණුවට ක්‍රීඩාංගණයට යද්දී සෙසු ක්‍රීඩකයන් වගේ මමත් රෝද සපත්තු උඩ ගියා. ඒ ක්‍රීඩාව ගැන වැඩිදුරට ඉගෙන ගත්තා. පුහුණු තාක්ෂණය ගැන දැනගත්තා. පුහුණුකරුවෙක් වශයෙන් කටයුතු කරන්නේ කොහොමද කියන එක ගැන පුහුණුවක් සමඟ අවබෝධයක් ගත්තා. එහෙම තමයි මේ ක්‍රීඩාව සමඟ මම පෑහුණේ.

ප්‍රංශය ඇතුළේ රෝද සපත්තු ප්‍රවාහන මාධ්‍යයක් වශයෙන් යොදා ගැනෙනවා නේද?

ඔව්, එහෙදී තරගකාරී ක්‍රීඩාවට අතිරේකව රෝද සපත්තු කියන්නේ ප්‍රවාහන මාධ්‍යයක් තමයි. මේ ප්‍රවාහන මාධ්‍ය මඟින් සංචරණ අවශ්‍යතා සපුරා ගන්න විශාල පිරිසක් සිටිනවා. ඒක පරිසර හිතකාමීයි. ආරක්ෂිතයි, තදබදයෙන් තොර නගරයක් වෙනුවෙන් ආධාරයක් වෙනවා.

ඒ වගේමයි රෝද සපත්තු වෙනු-වෙන් වෙනම මංතීරුවක් ඉදිකර තිබීම. පාපැදි මංතීරුවත් එතැනම තිබෙනවා. ඉතිං දවසකට කිලෝ මීටර් 8 ක පමණ දුරක් මම වැඩට ගියේ ආවේ රෝද සපත්තුව භාවිත කරගෙනයි.

එහෙදි පාපැදිකරුවොයි, රෝද සපත්තු කාරයොයි එකට ගැටෙන්නේ එහෙම නැද්ද?

නෑ. ඇත්තටම විනයක් තිබෙන නිසා මිනිස්සු හැසිරෙන්නේ හරිම නීත්‍යානුකූල ආකාරයටයි. ඒ නිසා එතැන කිසි ගැටලුවක් නැතිව රෝලර් ස්කේටිංවලින් තමන්ගේ කටයුතු කර ගන්න පිළිවන්.

ඒ ක්‍රීඩාව ඔබ ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ කොහොම ද?

මම ලංකාවට ආවේ රෝද සපත්තු කීපයක් අරගෙනයි. එහෙම එද්දී මට මේ ක්‍රීඩාව ලංකාව ඇතුළේ ව්‍යාප්ත කරන්න උවමනාවක් ඇතිවුණා. මුලින්ම මේ ක්‍රීඩාව මම ලංකාවේදී පුරුදු කළේ මගේ වැඩිමහල් දූවරුන් දෙදෙනාටයි. ඒ එක්කම මගේ මිතුරෙක් කොටිකාවත්ත ධර්-මපාල විදුහලේ විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කළා. මම ඔහු සමඟ සාකච්ඡා කරලා මේ ක්‍රීඩාව ඒ පාසල තුළ ව්‍යාප්ත කළා. මුලින්ම ස්කේටිං කළේ මගේ වැඩිමහල් දූවරු දෙන්නායි. ඊට පස්සේ මගේ ජිම්නාස්ටික් හිතමිතුරන්ට කියලා දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් මේ ක්‍රීඩාව ව්‍යාප්ත කළා. ඇත්තටම ඒක ලෙහෙසි වුණේ නැහැ. 2009 තමයි මුලින්ම සංගමය ලංකාව තුළ ස්ථාපිත කළේ. ලියාපදිංචිය ලැබුණේ 2015 දීයි. එවකට ක්‍රීඩා ඇමැති වුණේ දයාසිරි ජයසේකර මහත්මයයි. එතුමාට තමයි රෝලර් ස්කේටිං ලංකාව තුළ ඇති කිරීමේ අවස්ථාව ලබාදුන් ඇමැතිවරයා කියන ගෞරවය හිමිවන්නේ.

දැන් ඔබ රෝලර් ස්කේටිං ක්‍රීඩාව ලංකාව තුළ ව්‍යාප්ත කරන්න උත්සහ කළේ අනාගත ව්‍යාපාරයක් ඔළුවේ තබාගෙන ද?

නෑ. කිසිම ව්‍යාපාරික අදහසක් මට තිබුණේ නෑ. ව්‍යාපාර කරන්න ඕනෑ නම් ඒකට ක්‍රීඩාව අල්ලා ගන්න උවමනා නෑනෙ. මම මේක කළේ ක්‍රීඩාව කෙරේ පවතින බැඳියාව එක්කයි.

ඒත් රෝද සපත්තු විකුණන ව්‍යාපාරයක් මේක පිටිපස්සේ තිබෙනවානෙ?

මම එක රෝද සපත්තුවක්වත් ගෙනල්ලා විකුණලා නෑ. දැනට රෝද සපත්තු ලංකාවට ගෙන එන්නෙත් කොළඹ තදාසන්න එක වෙළෙඳ ආයතනයක්. ඔවුන් ගේන රෝද සපත්තු හරි නැති බව මම ක්‍රීඩකයන්ට කියලා තියෙනවා. හොඳම එකක් අවශ්‍ය නම් පිටරටින් ගෙන්වා ගන්න කියලා තමයි මම ඔවුන්ට උපදෙස් දෙන්නේ. එහෙම නැතිව මම රෝද සපත්තු විකුණන ව්‍යාපාර කරන්නේ නෑ. උදාහරණයකට අනුරාධපුරේ දරුවකුට මමම ගෙනාපු රෝලර් ස්කේටිං සපත්තු දෙකක් දුන්නා. එයා පසුගිය දා ඒ සපත්තු දෙකෙන් මගේ දූව පරාජය කළා. ඒ නිසා මගේ ළඟ ව්‍යාපාර මනසක් තිබෙනවා නම් මෙහෙම හැසිරෙන්නේ නෑ.

සංචාර යන්න බලාගෙන මේ සංගමය අටවාගෙන ඉන්නවා කියලා කිව්වොත් වගේම මිනිස් ජාවාරම කරලා හොඳට සල්ලි හොයනවා නේද කියලා චෝදනා කළොත් මොකද කියන්නේ?

ඔප්පු කරලා පෙන්වන්නකො. මම ඕනෑතරම් රට ගිහින් තිබෙනවා. ප්‍රංශයේ ජීවත් වෙන්න වීසා තිබියදී මම ලංකාවට එන්නේ ඇයි? ඒ මගේ රට ඇතුළේ ජීවත් වෙන්න. මගේ රටට දෙයක් කරන්න. නැතිව රට යන තණ්හාවක් මට නෑ. ඒත් අපි, දිගටම අපිම රට ගියා. ඒ ගියේ අපේම මුදලින්. වෙන කෙනෙක් යවලා මේ සංගමය තව-දුරටත් විකාශනය කර ගන්න බැරි නිසා තමයි අපිම මේ වැඩවලට ගියේ. අනික ඔබ කරන මිනිස් ජාවාරම් චෝදනාව. කිසිම වෙලාවක අපි අනවශ්‍ය අයව මේ සංචාරවලට එක්කාගෙන ගිහින් නෑ. එහෙම දේවල් සිද්ධ වෙන්නෙත් නෑ. සහතික වශයෙන් මට එය කිව හැකියි.

ඒ වුණාට රෝලර් ස්කේටිං කියන්නේ ඔබ ඇතුළු නිලධාරීන් කීපදෙනෙක්ගේ බූදලයක් වගේනෙ. මේක හරියට පවුලේ ව්‍යාපාරයක්ද කියලත් හිතෙනවා?

මේක අපේ බූදලයක් නෙවෙයි. රෝලර් ස්කේටිං කියන්නේ ඔලිම්පික් ක්‍රීඩාවක්. රටේ උරුමයක්. ඒක රට ඇතුළේ ව්‍යාප්ත කරන එක තමයි අපි කරන්නේ. වෙන කවුරුහරි වැඩ කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවානම් ඇවිත් වැඩ කරන්න පුළුවන්. ඒකට කිසිම තහංචියක් බාධාවක් නෑ. හැබැයි අපේ සංගමයට ශතයක්වත් ලැබෙන්නෙ නෑ. අපේ අතේ සල්ලිවලින් තමයි මේ සංගමය පවත්වාගෙන යන්නේ. හුඟාක් වෙලාවට මගේ පෞද්ගලික ධනය මේ වෙනුවෙන් වැය කරලා තිබෙනවා. වෙන දෙයක් නෙවෙයි මේ සංගමය මව් සංගමයේ ලියාපදිංචි වෙන්න අවශ්‍ය ඩොලර් 750 ක මුදල ගෙව්වෙත් මගේ අතින්.

දැන් රෝලර් ස්කේටිං ක්‍රීඩාව ලෝකය ඇතුළේ ඔලිම්පික් ක්‍රීඩාවක්. අපි මේ වන විට මේ ක්‍රීඩාව තුළ ඉන්නේ කොතැනද?

අපිට ආසියානු ක්‍රීඩා උලෙළ වෙනුවෙන් සහභාගිවෙන්න ලැබිලා තිබෙනවා. ඒ වගේම පසුගිය වතාවේ දකුණු ආසියානු ක්‍රීඩා උලෙළට ඇතුළත් කළේ නෑ. නමුත් අපි උත්සාහ කරන්නේ ඉදිරියේදී දකුණු ආසියානු රෝලර් ස්කේටිං සංගමයක් ස්ථාපනය කරගන්න. මේ දිනවල ඒ වෙනුවෙන් මුදල් සොයාගැනීමේ අර්බුදයක් තිබෙනවා.

පදක්කම් ගැන හැමෝම කතා කරන පසුබිමක රෝලර් ස්කේටිංවලින් පදක්කම් සිහින දකින්න පුළුවන්ද?

අනිවාර්යෙන් පුලුවනි. ඒත් ක්‍රීඩා කරන්න ධාවන පථයක් නැතිව අපිට ඒ ගැන බලා-පොරොත්තු තියන්න බෑ. අනික රෝලර් ස්කේටිං තාක්ෂාණානුකූලව ඉගෙන ගත යුතුයි. ඒ හැම-දෙයක්ම කරන්න යටිතල පහසුකම් සකස් වෙන්න උවමනායි.

ඊට අමතරව ප්‍රවාහන මාධ්‍යයක් වශයෙන් ස්කේටිං භාවිත කරන්න පිළිවන්. ඒ ගැන ඔබේ අදහසක් ඇති?

ඔව්. මම රජයෙන් ඉල්ලන්නේ රෝලර් ස්කේටිං, පාපැදි මංතීරුවක් තබා ප්‍රතිපත්ති සම්පාදනය කරන්න කියලයි. මේ ගැන මම බොහෝ දෙනෙක්ට කියලා තිබෙනවා. ක්‍රීඩා ඇමැතිවරයාටත් දැන් දැනුම් දුන්නා. ජනාධිපතිතුමාට මේ අදහස් දෙන්න අපි සූදානමින් ඉන්නේ. කවදා හරි දවසක ශ්‍රී ලංකාව ඇතුළේ තැනෙන මංමාවත් මත රෝලර් ස්කෙටිං, පාපැදි මංතීරුවක් හැදෙනවානම් එදාට අපි සතුටු වෙනවා.

කසුන් ඉරුගල්බණ්ඩාර

ඡායාරූප - ජගත් ඉරෝෂණ

Comments