කබඩි ඇදගෙන නාපු කොපිය | සිළුමිණ

කබඩි ඇදගෙන නාපු කොපිය

 

වර්තමානය නියඟලා මල් පිපෙන සමයැක්දැයි අලුතෙන්ම ප්‍රදර්ශනයට පැමිණි ‘කබඩි‘ චිත්‍රපටය නරඹද්දී සිතේ. හර්ෂ උඩකන්දගේ පස්වෙනි කටයුත්ත ‘කබඩි‘ය. කබඩි ලෙස එළිදක්වා ඇත්තේ දකුණු ඉන්දීය නළු විජය රඟපෑ 2004 වසරේ තිරගත වූ ‘ගිල්ලි‘ චිත්‍රපටය නරඹමින් කොපි කිරීමට කළ වෑයමකි.

 

සම්ප්‍රදායික දුෂ්ටයා ශිෂ්ටයා පෙම්වතිය මැදිකරගත් මෙම කතාව නිවැරැදි පරිකල්පනයකින් තොරව පිටපත් කිරීමට ගත් අසාර්ථක උත්සාහය මුළු චිත්‍රපටය පුරාම ප්‍රබලව දිස්වේ. 2003 වසරේ නිර්මාණය වූ ‘ඔක්කාඩු‘ නම් තෙළිඟු චිත්‍රපටය අනුව 2004 වසරේ දෙමළ ‘ගිල්ලි‘ නිර්මාණය වී ඇත. දුෂ්ටයා විසින් සොහොයුරන් දෙදෙනෙකු ඝාතනය කරන අන්දම අවබෝධයක් නැති දර්ශන මැවීමකින් ඇරඹෙන මෙම කතාව දුෂ්ටයා, චිත්‍රපටයේ වීරවරියගේ නිවසට ගොස් බලහත්කාරයෙන් විවාහ කර ගැනීමේ වෑයමක් දක්වා ක්ෂණයකින් ඡේදනය වන්නේ දෙමළ චිත්‍රපටයේ එම සිදුවීම් ගලපා ඇති ආකාරය කබඩි අධ්‍යක්ෂවරයාගේ ළදරු මනසට අවබෝධ කර ගැනීමට නොහැකි නිසාමය.

කබඩි යනු ඉන්දීය ක්‍රීඩාවකි. ‘ගිල්ලි‘ තිරගතවූ 2004 වසරේ මෙන් නොව වර්තමානයේදී එම ක්‍රීඩාව ඉන්දියාවේ ඉතා ප්‍රබල නවීන තලයකට වර්ධනය වී තිබේ. බැඩ්මින්ටන් ක්‍රීඩාවේ මෙන් රේඛා සහිත ගෘහස්ත බිමක නවීන පාවහන් හා ඇඳුම් පැලඳුම් සහිතවැ එය වර්ධනය වී ඇත. වර්තමාන තත්ත්වයවන් අවබෝධ කර නොගෙන චිත්‍රපටයක තේමාව තෝරා ගැනීම කවර අතකින් බැලුවත් නොදන්නාකමකි. කබඩි ඉන්දීය ක්‍රීඩාවක් වුවද එය අපේ රටේ ‘චක්කුඩු‘ ක්‍රීඩාවට සමානය. විදේශීය චිත්‍රපටයක් අප රටේ ප්‍රේක්ෂකයා ඉලක්ක කර ප්‍රතිනිර්මාණයේදී එයට දේශීය ගුණ සුවඳ රෝපණයට පරිකල්පනයක් නිර්මාණ කෞෂල්‍යයක් ඇති අධ්‍යක්ෂවරු සමත්වී ඇති බව අතීතය දැනුම් දෙයි. ක්‍රීඩාවක් පාදක කරගත් ඉන්දීය හෝ බටහිර චිත්‍රපටවල එම කෘතිය පුරා ක්‍රීඩාව හා බැඳි කුතුහලය පිරි උද්වේගයක් අපට අත්දැකීමට ලැබෙන්නේ අධ්‍යක්ෂවරයාගේ වික්‍රමයෙනි. මෙහි එවැන්නක් ගෑවිලාවත් නොමැත.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයෙන් අමිල කරුණානායක නම් අලුත් නළුවකු තිරයට හඳුන්වා දෙයි. ඔහුගේ පියා ලෙස රඟන ශ්‍රියන්ති මෙන්ඩිස් පොලිස් නිලධාරිවරයා ඔහුගේ මේ පුතාට පවසන්නේ ඔහු පෙනී සිටීමට නියමිත උසස් පෙළ විභාගය හොඳින් සමත්විය යුතු බවයි. කතා නායිකාව වන්නේ සෙනාලි ෆොන්සේකාය. මේ සෙනාලිගේ ප්‍රථම වීරවරියගේ චරිත රංගනයයි. හොඳ රංගනවේදිනියක වීමට ඇවැසි කැපවීම මුළු චිත්‍රපටය පුරාම සෙනාලි වෙතින් දිස්වුවද ගංගාවල වැටෙමින් ගිරි දුර්ග තරණයෙන් මහා මාර්ග පුරා දුවන්නට සිදුවීමෙන් ඇයගේ සිරුරට දරා ගැනීමට නොහැකි දැඩි විඩාව චිත්‍රපටය නරඹන අපට ද දැනෙයි. මෙවැනි ක්‍රියාදාම චරිත මැවීමකදී හෝ අනාගත රංගන විජිතයේ පැවැත්ම උදෙසා සෙනාලි තම සිරුර නිවැරදිව පාලනය කර ගැනීම වැදගත්ය. අතීතයේදී පෘෂ්ඨිමත් සිරුරු සහිත නිළියන් දකුණු ඉන්දීය චිත්‍රපටවලදී නිබඳවම දක්නට ලැබුණ ද වර්තමානයේදී එය වෙනස්වී ඇති බව ‘ගිල්ලි‘ හී ට්‍රීෂා හා ‘ඔක්කාඩු‘ හි බූමිකා චව්ලා නිළියන්ගේ රුව යූටියුබ් නාළිකාවෙන් නැරඹීමෙන් කෙනෙකුට වටහාගත හැකිය.

මෙම කබඩි චිත්‍රපටයේ විශිෂ්ටතම රංගනය ප්‍රධාන දුෂ්ට නළු භූමිකාව මවන ධර්ශන් ධර්මරාජ්ගේය. චිත්‍රපටය පුරාම පැතිරුණු තම චරිතය මනාව වටහාගෙන තැනට සුදුසු අයුරින් තම ප්‍රතිභාව පෙන්වීමට ධර්ශන් සමත්වී සිටියි. ශ්‍රී ලංකාවෙන් ඉදිරියේදී බිහිවන විශිෂ්ට නළුවෙකුගේ ගුණ සුවඳ ඔහු කෙරෙන් විද්‍යාමාන වීම සන්තුෂ්ටිය දනවන කරුණකි. ඉන්දීය චිත්‍රපට දෙකෙහිම මේ චරිතය මවන ප්‍රකාශ්රාජ්ට වඩා ධර්ශන් ධර්මරාජ් බොහෝ ඉදිරියෙන් සිටී. කබඩි චිත්‍රපටයේ සෙනාලිගේ මල්ලි අනුජ් රණසිංහය. බැලූ බැල්මටම අනුජ් සෙනාලිට වඩා වසර දහයකින් පමණ වැඩිමහලුය. සෙනාලිගේ අයියාට රඟන නළුවා එහි ඇගේ පියා හා මව ලෙස රඟන ආනන්ද වික්‍රමගේ සහ කුමාරි මුණසිංහගේ අයියාට ගැළපෙන බව පෙනේ.

ඉන්දියාවේ යෞවනයන් ඉතා කඩිසරව ක්‍රීඩාවේ නියුතු මෙම කබඩි ක්‍රීඩාවට ලංකාවේ තෝරාගෙන ඇති නළු නිළියන් මැදිවිය දකිමින් සිටින ආරන ලද උදර සහිත අයය. පෞද්ගලික ඇයි හොඳයිකම් සඳහා නළු නිළියන් තෝරා ගැනීම තුළින් අලෙවි කටයුත්තක් වන චිත්‍රපටයකින් සාර්ථකත්වයක් ලැබිය නොහැකිය. කොපියක් වුවද දේශීයව ගැළපෙන පරිදි පිටපතක් ලියා ගැනීමටත් ඊට ගැළපෙනම නිවැරැදි නළු නිළියන් තෝරා ගැනීමටත් මෙහි නිෂ්පාදක නිශාන්ත ජයවර්ධන සිහියට ගතහොත් සිනමාවේ දිගු ගමනක් යෑමට සිටින ඔහුගේ අරමුණු සාක්ෂාත් වනු ඇත.

Comments