ජීවන අත්දැකීම් හා හැදෑරීම් එකට කැලතූ අපූරු ලේඛකයා | සිළුමිණ

ජීවන අත්දැකීම් හා හැදෑරීම් එකට කැලතූ අපූරු ලේඛකයා

 

ගලා එන්නේ - ගලා එන්නේ

මගේ සිතුවිලි දහර ඔස්සේ

ඈත මුහුදේ රැල්ල මැද්දෙන්

ඈත අහසේ නිල්ල මැද්දෙන්

සීත කඳුවැටි - පාළු මීදුම්

සීත කඳුරැලි - සෝක කඳුළැලි

කෙරෙන් මතු වී ගලා එන්නේ

මගේ හදවත වෙතට එන්නේ

නඟා අත් යුග - සලා ඉඟ සුඟ

පවා මඳහස - වවා සෙනෙහස

කොයින් දෝ ඔබ හමා එන්නේ...

සේකරයන්ට කවි සිතිවිලි ගලා ආවේ එසේ ය. ඒ නිර්මාණාවේශය සිතෙහි ජනිත කරවන ආහ්ලාදජනක බව සම කළ හැක්කේ කුමකට ද? වැව් තාවල්ලක ඉර බැස යන නිමේෂයේ සිතට නංවන ශෝකාකුල විරහව වරෙක ගීයක් විය හැකි ය. රෑ මැදියමේ සේපාලිකා මල් පිපෙන්නට අරඅඳින නිමේෂය සුපහන් ගී පදයක් සිතේ නින්නාද කරනු ඇත. ගොම්මන් අඳුර විනිවිද හිත කීරිගස්වමින් ඇසෙන උලලේනාගේ විලාපය තවත් කවි සංකල්පනාවක් ඇති කරනු විය හැකි ය. නිර්මාණකරුවාගේ මනසේ අදහසක් උත්පාදනය වීමට මේ කුමක් ම හෝ හේතුකාරක විය හැකි ය.

රාජ්‍ය සම්මානලාභී නවකතාකරුවකු කෙටිකතා රචකයකු හා ළමා කතා රචකයකු වන ලීලානන්ද වික්‍රමසිංහ අප අතර සිටින ප්‍රතිභා සම්පන්න ලේඛකයෙකි. නවකතා, කෙටිකතා, ළමා කතා නාට්‍ය හා තීරුලිපි හා අධ්‍යාපන ග්‍රන්ථ රැසක් රචනා කර ඇති ඔහුගේ අලුත්ම නවකතාව වන රස පොළොව හි අත්දැකීම ගැන සිය අදහස පැවසුවේ මේ ආකාරයෙනි.

‘ මම එහෙම සිතුවේ නෑ. කලක පටන් මේ නවකතාවට අදාළ වස්තු බීජය මගේ සිතේ තිබුණා. මම නිවී සැනසිල්ලේ එය සිතේ වැඩෙන්නට ඉඩ හැරියා. සුදුසු කාලය ආවාම ලියන්නට පටන් ගත්තා. නවකතාවක් ලියනවාට වඩා හොඳ කෙටිකතාවක් ලියන එක දුෂ්කර කාරියක්. එය ඉතා පටු මඟක සීරුවෙන් ගමන් කළ යුතු වගේ අමාරු කාරියක්. කෙටිකතාවේ මූලික ධාරණාවට චරිත හා සිදුවීම් කේන්ද්‍රීයව සම්බන්ධ කරන්නට ගියාම එය අතිශය වේදනාකාරීයි. නවකතාව විශාල වපසරියක වැඩෙන ගසක් වගේ; අතු ඉති ලා ලියලන්නට ඕනෑ තරම් ඉඩකඩ තියෙනවා. එහෙත් නවකතාවෙත් චරිත හා සිදුවීම තේමාවට අනුරූපව බද්ධ වන විදියට පරෙස්සමෙන් සකස් කරන එකත් ලේසි වැඩක් නෙවි’

අත්දැකීම විසින් ලේඛකයා කම්පනයට පත්කරන ප්‍රමාණය වඩා හොඳ නවකතාවක් බිහිවීම සඳහා හේතු කාරක වෙයි. ජීවිතය විඳවීම, වින්දනය යන කොටස් දෙකෙහි ම සංකලනයකි. එය ජීවන ගමනේ ලාලාසාව මෙන්ම කටුකත්වය ද මනා ව නිරූපණය කරනු ලබයි.

‘ මේ නවකතාවට බල පෑ සාධක දෙකක් තියෙනවා. ඒ කාලේ මගේ ඥාතිවරයෙක් හිටියා තරමක ගම්බද පළාතක. එයා ඉඩකඩම් ගැන දැක්වූයේ පුදුුම තණ්හාවක්. කුඩා ඉඩම් කෑල්ලකට පවා නඩු කියූවා. නිතර ඔහු උසාවිය පැත්තේ ගැවසෙනු දකින්නට ලැබුණා. අවසානයේ ඔහු මිය ගියේ එක බිම් අඟලකටවත් හිමිකමක් නැතිවයි.

දෙවැනි සාධකය සුත්‍ර දේශනාවක එනම් අග්ගඤ්ඤ සූත්‍රයේ දේශනා කළ කතාවක්. කල්ප මිලියන ගණනක් ඈත අතීතයේ මේ පොළොව වෙඬරු පිඬක් සේ මොළොක්ව පැවති බවක් එම සූත්‍රයේ බුදුන් වහන්සේ වදාරා තියෙනවා. එසේ පැවති පොළොව එක් දිව්‍ය පුත්‍රයෙක් දිව ගා බැලූ කතාවක් එහි කියවෙනවා. එහිදී කාම රාගය හට ගත්තා. එයින් සත්ත්වයාගේ විනාශය ළංවීමට හේතුවන බව මට ඒත්තු ගියා. එය සර්ව කාලීනව සත්‍යයක්. මට සිතුණා මෙය අපූරු පුවතක් කියා. රාගය ඉඩම්වලට ඇති සීමා රහිත තණ්හාව හා ප්‍රචණ්ඩත්වය යන විනාශයට හේතුවන සාධක සඳහා අරුන්දතී, ජුලියස් හා මිගාර පිළිවෙළින් තෝරා ගෙන එයින් සමස්ත මිනිසා විනාශයට යන අයුරු ගොඩනැඟුවා.‘

ලෝකය පිළිබඳ කියැවීම, දැක්ම ජීවිතය ගැන වන අනන්ත අපරිමාණ දැනීම, සිත ගැන වන අංශුමාත්‍රික විවරණය ආදි කිසි දෙයක් ලේඛකයා අතින් නො ගිලිහේ. යාන්ත්‍රික ශිල්පකරණයේ දී ලෝකය පුළුල් ව හදාරා තිබීම, මිනිස් මනස සියුම් ව ස්පර්ශ කිරීම ආදිය බොහෝ ප්‍රයෝජනවත් දෙයක් නොවීමට ඉඩ ඇත.

එහෙත් නව නිමැවුමක අසිරිය විඳිනට නම් නිර්මාණකරුවා තමා ගත පිස හමන මුදු සුළඟ ගැන මෙන් ම, තම පයට පෑගෙන සියුම් ම වැලිකැටයට පවා සංවේදී විය යුතු බව ඔබ පිළිගන්නවාට සැක නැත. ලේඛනය හෝ නිර්මාණකරණය සැපෙන් සම්පතින් පිරුණු ලොවකට එළැඹීමේ පහසු මාර්ගයක් ලෙස නො ව, තමා ලද ජීවිතයේ මහාර්ඝ ඵලය වෙනුවෙන් ලොවට හෘදය සංවේදී මිනිසුන් බිහි කරන්නට කරනු ලබන වෑයමක් පමණක් ම වන්නේ ය.

‘නවකතාවේ ප්‍රධාන චරිතයක් වන අරුන්දතී ඛේදජනක ඉරණමකට ගොදුරු කළේ ඇයි දැයි බොහෝ දෙනා විමසනවා. එහෙත් මා එය කළේ නෑ. එයට වගකිව යුත්තේ ඇයමයි. ඇය වැපුරූ දේ ඇය කපා ගත්තා. එහෙත් ඇය පිළිකුලට හා අවමානයට ලක් නොවීමට මට කළ හැකි හැම දෙයක්ම කළා.

පාඨකයා වගේම මමත් ඇයට කැමතියි. ඇතැම් විට ඇය මගේ මේසය ඉදිරිපිට අසුනේ ඉඳගෙන ඉන්නවා වගේ මට පෙනෙනවා. ඇය දිවිනසා ගත්තාද; ඔයට වැටුණාද කියා තීරණයක් පවා නුදුන්නේ අපවාදයෙන් ගලවා ගන්නයි. ඇගේ හැසිරීම් ප්‍රශ්න කරන්නට නොගිහින් සිටීම වඩාත් හොඳ යැයි මට සිතුණා. මම ඔවුන්ට බලපෑමක් තරන්නට ගියේ නෑ‘

ජීවන පරිඥානයෙන් තොර ලේඛකයන්ගේ කතාවක් හෝ නිර්මාණයක් කියැවූ විට, රස විඳි විට නිර්මාණකරුවා විසින් හඳුන්වා දෙන චරිත කරන නොවැදගත්, රළු ක්‍රියාදාම නිසා පාඨක මනසේ ඉතිරි වන්නේ චිත්ත පීඩාවක් පමණි. ඉතා දුක සේ අප ඒ චරිත හඳුනාගන්නට, කියවාගන්නට උත්සාහ කළත් ඒ චරිත අභ්‍යන්තරයට සැබෑ මිනිස් ලක්ෂණ ඇතුළත් කරන්නට ලේඛකයා අසමත් වී ඇති බැවින් පාඨක සහෘදයන්ට ඉන් ආනන්දයක් ලැබෙන්නේ නැත. වත්මනෙහි වත්මන් ජීවිතය පසු කරගනිමින් ලියැවෙන බොහෝ කෘති, ඒ කෘතියෙන් කියැවෙන අදහසට අවතීර්ණ වන්නේ ‍බලෙනි. එයට මූලික හේතුව වන්නේ ලේඛකයාගේ භාවමය නොගැඹුර පමණක් ම නො වේ; අප පෙර කී පරිදි නිර්මාණකරණයේ දී අවැසි ම වන සියුම් නිරීක්ෂණ ද ඔහු අතින් ගිලිහී ගොස් ඇති බැවිනි.

ලීලානන්ද වික්‍රමසිංහ ජ්‍යෙෂ්ඨ ලේඛකයා සිය ඇසූ පිරූ දෑ එක්කරමින් රසපොළව රස කරන්නේ පාඨක අපට බොහෝ සංවේදනා හා දැනුම ජනිත කරමිනි. එහි ඉතිහාසය ද, වත්මන ද, අනාගතය ද නිරූපිතය. ජීවිතය වනාහි ගලා යන්නක් මෙන්ම එහි සියලු දෑ අප දැරිය යුතු බව ද ලේඛකයා සියුම් ව කෘතිය ඔස්සේ සනාථ කරයි. සොබාදහම හා ලේඛකයාගේ වන ගනුදෙනුව කෘතියට එක්කරන ප්‍රභාව සුළුපටු නොවේ.

‘පොළොව කියන්නේ සියලු දුක් වේදනා දරා ගන්නා ප්‍රබල වස්තුවක් නේ. ඒ වගේම සත්ත්වයා ජීවිත් වෙන්නෙ එහි රස ගුණය නිසයි. මල් ඵල දරන්නේ ගංගා ඇළ දොළ ගලන්නේ කෙත්වතු සාර වෙන්නේ තුරුලතා ජීවය ලබන්නේ එහි ඇති රසෝඝය නිසයි. කල්ප මිලියන ගණනක් ඈත අතීතයේ මේ පොළොව වෙඬරු පිඬක් සේ මොළොක්ව පැවති බවක් අග්ගඤ්ඤ සූත්‍රයේ බුදුන් වහනසේ වදාරා තියෙනවා.

එසේ පැවති පොළොව එක් දිව්‍ය පුත්‍රයෙක් දිව ගා බැලූ කතාවක් එහි කියවෙනවා. එහිදී කාම රාගය හට ගත්තා. එයින් සත්ත්වයාගේ විනාශය ළං වීමට හේතුවන බව මට ඒත්තු ගියා. එය සර්ව කාලීනව සත්‍යයක්. මට සිතුණා මෙය අපූරු පුවතක් කියා. මම ලියන්නට පෙර නිතර නිතර ඒ ගැන සිතමින් සිටියේ. ඇවිදින විට, ආහාර ගන්නා විට, නින්දට යාමේදී මේ හැම විටම. එහෙත් එය පරෙස්සමින් කළ යුතු වැඩක්. සමහර විට ලියා ගෙන ගිය පිටු ගණන් කපා හැරි අවස්ථා තියෙනවා‘

රස පොළොව ගැනත් එහි විවිධ පරිකල්පනත් දෙස් විදෙස් ලේඛකයන්ගේ අවධානයට ලක් වී තිබේ. ලියෝ තෝල්ස්තෝයි ‘හතර රියන‘ ලියන්නේත් සුගතපාල ද සිල්වා ‘පවර නිරිඳෙක් වීය බඹදත්‘ ලියන්නේත් මේ කාරණය ගැනමය. එකිනෙකට වෙනස් ලේඛන ක්‍රමවේද වුවත් මේ ස්පර්ශ කරන්නේ එකම කාරණයය. ලීලානන්ද වික්‍රමසිංහ ලේඛකයාත් මේ ලියන්නේ සර්වකාලීනව ලේඛකයන් හා පාඨකයන් විස්මයට පත් කළ කාරණයක් ය.

ලීලානන්ද වික්‍රමසිංහ අපට බොහෝ නිර්මාණ ඉසව් ඔස්සේ හමුවෙන නිර්මාණකරුවෙකි. හේ ස්වීය ජීවන අත්දැකීම් නිර්මාණකරණය සඳහා භාවිත කරන්නේ අතිශය සුමට ව හා කල්පනාකාරීව ය.

බොහෝ කෘතිවල එන චරිතවල අභ්‍යන්තරය වටහා ගැනීමට හෝ ඒ චරිතවල සංකීර්ණ බව වටහා ගන්නට අප කුඩා හෝ උත්සාහයක් ගෙන නැත. එහෙත් ඒ චරිත සියුම් ව කියැවූවා නම් ඔබට හැඟෙන යමක් කීමට මට අවසර දෙන්න;

ඒ චරිත හැම එකක්ම පාහේ අප දන්නා හඳුනන අයගේ චරිත පමණක් ම නොවෙයි; ඔබේ ම, මගේ ම චරිතවල ලක්ෂණ ද ඊට ඇතුළත් නොවන්නේ ද? එහෙත් අප පුරුදුව සිටින්නේ පිටස්තර ව සිට ඒවා දෙස බැලීමට මිස තමා හා ඒ ලක්ෂණ සංයෝග කරගැනීමට නොවේ. එවිට ඒ චරිතවල වන බොහෝ සූක්ෂ්ම දේ අපෙන් මඟ හැරී යන්නේය. ඒවා තමාගේ ම කියැවීම් බවට, තම අභ්‍යන්තර කියැවීම් බවට පත් නොවන්නේ ය.

බොහෝ පොත් කියවන අය සිටියත් ඒවා සිය ජීවිතය හා බද්ධ කරගන්නන් අවම එබැවිනි. ඔබට මට බොහෝ දේ මඟ හැරෙන්නේ ද එබැවිනි.

 

Comments