මම ජනපද සංස්කෘතියකින් බිහි වූ ලේඛිකාවක් | සිළුමිණ

මම ජනපද සංස්කෘතියකින් බිහි වූ ලේඛිකාවක්

 

කොළඹින් බොහෝ දුර බැහැර මහවැලි ගම්මානයක ජීවත් වන ඇය යාය හයේ දුටුගැමුණු විධ්‍යාලයෙන් සහ කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයෙන් ඇය අධ්‍යාපනය ලැබුවාය. ඇය විසින් ලි්යන ලද “වරාමල්“ නවකතාවේ අත්පිටපතට ඩී. ආර්. විජේවර්ධන සම්මානයෙන් පිදුම් ලැබීමෙන් අනතුරුව එම කෘතිය මුද්‍රණය වීමෙන් පසු එයට විද්‍යෝද සම්මානය හිමිවිය. ඇය විසින් ලිය ලද පරඬැල්, පුළිඟු, සඳ මඬල, ද්වාර, වරා මල්, වාලුකා, සරුංගල්, හැන්දෑව, වංකගිරිය සහ අංගනා ඉන් සමහරෙකි.

පරඬැල් නවකතාව ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ හොඳම කෘති 5 අතරට තේරී පත්විය. වාලුකා ස්වර්ණපුස්තක සම්මාන හොඳම කෘති 12 අතරට ඇතුළත් විය.

කවිය නුඹ, විය සිදුර, ගිරිකුළ, එරන්ලන්දු, මද්හන, හැන්දෑව ටෙලිනාට්‍යයට නැගුන අතර රන්ගොල්ලය, සංග්‍රාමය චිත්‍රපටියටද නැගුණි.

ශාන්ති අලුත්ම නවකතාව වන “අගාධ” පසුගිය දින ප්‍රකාශයට පත් වුණි. ඒත් සමඟම සකර්ම නමින් ඇගේ නවකතාවක් පදනම් කොටගත් ටෙලි නාට්‍ය විකාශනයක් ද ආරම්භ වුණි.

 

ඔබේ අලුත් නවකතාව ‘අගාධ‘ ගැන සිතන්නේ කෙසේ ද?

“කෙළවරක් නොපෙනෙන අගාධයක් යන අරුතින් මගේ අලුත් නවකතාව “අගාධ” යැයි නම් කරනවා. මම පුංචි කාලයේ ඉඳලම ජීවත් වෙන්නේ ජනපද සමාජ සංස්කෘතියක් තුළ යි. එහි හැසිරීම් රටාව සාම්ප්‍රදායික ගැමි සමාජ සංස්කෘතියකට වඩා වෙනස්. මේ ගමේ අදටත් ඉඳලා හිටලා හරි, කැලෑ පත්තරයක් ගැහෙනවා. ඔබ දන්නවා කැලෑ පත්තරයකින් මිනිහෙකුට කරන්නේ හොඳක් නෙවෙයි. අවමානයක්. ගහක් ගලක් ගානේ අලවන ඒ අවමානය ම තමයි අද සමාජ මාධ්‍ය ජාලා ඔස්සේත් සිද්ධ වෙන්නෙ. ගැමියා නාගරිකයා වෙලා. තාක්ෂණය වෙනස් වුණ පළියට මිනිහා වෙනස් වෙලා නෑ. වහල් යුගය අපි අවසන් කළාය කියල කියනව. ඒත් ඒක එහෙම ද? ස්වරූපය වෙනස් වුණාට වහල්කම අදටත් තියෙනවා.

මන්තරකරුවන්ගේ බස් අහලා නිවැරැදි මිනිසුන්ව මරා දාන්න නියම කරපු කාලයක් තිබුණා. ඒ මානසිකත්වය අදටත් වෙනස් වෙලා නැහැ. දෙවියන්ව නිර්මාණය කරගත්තේ මිනිසුන්ම යි. ඒත් අන්තිමට සිද්ධ වුණේ තමන් නිර්මාණය කරගත් දෙවියන්ගේ අත් අඩංගූවට මිනිසා පත්වීම නෙවෙයි ද? කුල භේදය ගැනත් කියන්න වෙන්නේ ඔය ටික ම තම යි. තරුණ ප්‍රේමයක් කුල භේදය නිසා දෙපැත්තට විසිවෙලා යනවා. ඒ ආදරය කවදාවත් ඔවුන් තුළින් මිය යන්නෙ නෑ. ඒත් අර කුල භේදය පරාජය කරන්න ඒ තරුණ ආවේග සමත් වෙන්නෙ නෑ. කාලයත් සමඟම ඔවුනුත් ඒ පසුගාමී අදහස් අනුමත කරන තැනකට පත් වෙනවා. මගේ අලුත් නවකතාවේ පසුබිමේ එවැනි සමාජ විමසීමක් දකින්න පුළුවන්.

කෙනෙකුට මෙහිදී තර්ක කරන්න පුළුවන් මෙවැනි දේවල් තවදුරටත් හාරා අවුස්සන එකේ තේරුමක් තියෙනව ද? අද මේවා සමාජගතව නෑ නේද කියලා. ඒත් අපේ ආගමික සංස්ථාව, දේශපාලනය අරගෙන බලන්න, කුල සාධකය තවමත් ඒ තැන්වල බලවත්. එවැනි පසුබිමක නිර්මල ගැමි සංස්කෘතියක් දකින්න පුළුවන්කමක් නෑ. ඒත් ගම දුෂිතයි. අන්තිමට ම නරකයි කියල තැනක මම ඉන්නවා කියල එයින් අදහස් වෙන්නෙ නෑ. මං කියන්නෙ තාක්ෂණික සංවර්ධනය නව ලෝකය කියන මේ මොන විදිහට මිනිසා තමන්ගේ වර්තමානය ගැන කතා කළත් ඒ මිනිසා ම තවත් අවස්ථාවක දී හොල්මන් අවතාර වැනි ගූඪ දහම් සමඟත් ගනුදෙනු කරනවා කියල යි. එහෙම බලනකොට ආකල්පමය වශයෙන් නුතන මිනිසා තවමත් පරණ යි.

 

ඔබ පවසන අන්දමට මිනිසාගේ වර්තමාන දියුණුව පිළිගත නොහැකියි. නමුත් එය එසේමයි කියලා කියන්න පුළුවන් ද?

“පහුගිය කාලේ ම යුද්ධයක් මේ රට ඇතුළේ තිබී පරාජය වුණා. නමුත් එතැන දී සටන් වැදී සිටියේ අපේ ම රටේ දෙපාර්ශ්වයක්. අනිත් අතින් එහෙම වුණත් අදටත් අපිට සතුරෙක් නැතිව ජීවත්වෙන්න බෑ. එහෙම සතුරෙක් නැත්නම් සතුරෙක් ව නිර්මාණය කරගන්න හරි අපි කටයුතු කරනවා. මිත්‍රශීලි බව, ආදරය, සංවේදීතාව යන මේ දේවල් පොදුවේ බැලුවම අදටත් අපිට ආගන්තුක යි. මම හිතනවා අපි සටන් කළ යුත්තේ උසස් මානව සදාචාරයට එරෙහිව නිර්මාණය වන සතුරු බලවේග වලට එරෙහිව මිසක් අපිම නිර්මාණය කරගන්නා සතුරන්ට එරෙහිව නෙවෙ යි කියලා.

 

සකර්ම‘ ටෙලි නාට්‍ය ඔබේ නවකතාවක් පසුබිම් කරගත්තක්. මේ ගැන ඔබට සිතෙන්නේ කුමක්ද?

“‘සකමර්‘ නාට්‍යයට පදනම් වෙන්නේ මගේ “පරඬැල්” කියන නවකතාව යි. එය ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවසන් වටයට තේරුණා. මීට පෙරත් මගේ “මහ පොළොව” කියන නවකතාව ඇසුරින් ‘වාළුකා‘ නමින් ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය වුණා. මම මුලදිත් කියපු විදිහට මිනිසා තාක්ෂණය අතින් කොයි තරම් පෙර ගමන් ගියත් දෙවියන් ඇදහිල්ලෙන් නිදහස් වෙන්න, තමන්ගේ ආත්ම ශක්තිය මත පිහිටා ජීවත් වෙන්න ඔහුට පුළුවන් වෙලා නෑ. ජනගහනයට සාපේක්ෂව දෙවියන්ගේ සංඛ්‍යාව ද වැඩිවෙලා මිසක් අඩු වෙලා නෑ. අනිත් අතට කුල භේදය වගේ දේවල් නිසා වගේ ම රෝගී තත්ව නිසාත් මිනිස්සු, මිනිස්සුන්ව කොන් කරනවා. මගේ අර නවකතාවේ චරිතයක් බවට පත් වෙනවා සුදු කබර වැළඳුණ තරුණියක්. දියුණු සංවර්ධනීය සමාජයක අපි හොඳටම දැනුවත් වෙලා ඉන්නවා රෝග ගැන. ඖෂධ ගැන. මේ හැම දෙයක් ගැන ම. ඒත් පොදු සමාජයේ දී අපි රෝග නිසාත් මිනිස්සුන්ව කොන් කරනවා. ටෙලි නාට්‍යය සම්බන්ධයෙන් අද අපට තියෙන්නේ ඒ තරම් හොඳ ප්‍රතිරූපයක් නෙවෙයි. ඒත් මා විශ්වාස කරනවා යහපත් දෙයක් කියන්න අපට ඒ මාධ්‍යය පාවිච්චි කරන්න පුළුවන්නම් ඒක හොඳයි කියලා.“

 

සාහිත්‍යකරණයට බල පෑ ඔබේ සමාජ පසුබිම කුමක්ද?

“ මම හැදී වැඩුණේ ජනපද සමාජ සංස්කෘතියකින් නිර්මාණය වුණ ගමක යි. අපේ ඥාතීන් එක ගමක එක මුලකින් ආපු අය නෙවෙ යි. ඒ අය විවිධ පළාත්වලින් ඇවිල්ලා ඒ ගොවි ජනපදයේ පදිංචි වු අයයි. ඒ නිසා සාම්ප්‍රදායික ගමක ඒ හැඩ රුව මට ආගන්තුක දෙයක් වුණා. පාසැල් නේවාසිකාගාරයේ දී ගම්වලට ගිහිං ආපු මගේ යාළුවෝ ඒ ගම්වල ආදරණීය සෙනෙහස, ඥාතී ස්නේහය ගැන හැඟීම්බරව කතා කරද්දී මට ඒ දේවල් හරිම ආගන්තුක වුණා. අපේ කිරි අම්මා, කිරි අත්තාගෙන් තමයි එවැනි දේවල් ගැන මම අපේ පැත්තෙන් අහලා දැන ගත්තෙ. අපේ තාත්තා කඩයක් දාලා වෙළඳාම් කරපු කෙනෙක්. ඒ වෙනුවෙන් කැප වී හිටපු කෙනෙක්. කඩේට රැස්වෙන එයාගෙ අයත් එක්ක බණ්ඩාරනායක මහත්තයාගේ දේශපාලනය ගැන කතා වෙනවා මට නිතර ඇහිලා තියෙනවා.

කුඩා කාලයේ සිටම පොතපත කියවීමට මා දැක්වු ඇල්මට අපේ කිරි අත්තා නම් කැමැත්තක් දැක්වුයේ නෑ. ඒ නිසා සමහර දවස්වල මම ගහකට නැගලා පොත් කියෙව්වේ. බෂාම් ගේ අසිරිමත් ඉන්දියාව පොත මම කියෙව්වේ ළමා වයසේදීම යි. ලෝකය තනි යායක්ය කියන හැඟීම ඒ පොත නිසා මට ඇති වුණා. මා වඩාත් ප්‍රිය කළ පොතක් තමයි පියෙකු දුවට ලියු ලියුම් ඒ පොත. එතනදී මට සංවේදීව දැනුණ දෙයක් තමයි ඒ පියා හා දුව අතර තිබුණ සම්බන්ධය. ඒ පියා තමයි ජවහාර්ලාල් නේරු. දුව ඉන්දිරා ගාන්ධි. පසු කාලයක ඉන්දිරා ගාන්ධිව ඝාතනය කරපු වෙලාවෙ මට ඇඬුණා. එදා මගේ තාත්තා මට කිව්වා දුවේ බණ්ඩාරනායක මහත්තයා ඝාතනය කරපු වෙලාවෙ මමත් ඔය විදිහට ම ඇඬුවා කියලා ඒවා දේශපාලන ඝාතන. තාත්තා එහෙමත් කිව්වා.“

 

එදා ඒ අතීතයත් සමඟ අද සමාජ සංස්කෘතිය ගැන සැසඳීමක් ඔබට කළ හැකිද?

“අද සාහිත්‍ය කලා ඒ වගේ ම සංස්කෘතිය අපේ ජීවිතයට පරිබාහිර දේවල්. ඒ අතින් අපේ කිරි අත්තලාට සංස්කෘතිය කලාව සමඟ බැදුණ ජීවන භාවිතාවක් තිබුණා. පොදුවේ ජන මාධ්‍යය තුළ පවා වෙළඳ පරිභෝජනය ම මුල් කරගත්ත හැසිරීමක් මිසක් සංස්කෘතික භාවිතාවක් දකින්න ලැබෙන්නෙ නෑ. මේ වියෝව හරි භයානක යි. සාහිත්‍ය කලා සංස්කෘතික ඇසුර නිසා තමයි මිනිසෙක් තවත් මිනිසෙකුගේ වටිනාකම තේරුම් ගන්නෙ. අපි අපේ සාක්ෂරතාව ගැන ඉහළින් කතා කරනවා. ඒත් මම නං කියන්නෙ අපේ දේශපාලන ඒ වගේ ම සමාජ සංස්කෘතික සාක්ෂරතාවත් ඉහළ මට්ටමකට යා යුතු යි.

Comments