රතු ගේ කුරුල්ලාගේ ජවනිකාව | සිළුමිණ

රතු ගේ කුරුල්ලාගේ ජවනිකාව

 

කෘතිය - ඩොමිනිකා

රතු ඔත්තුකාරි

පරිවර්තක - කුමාර සිරිවර්ධන

සරසවි ප්‍රකාශනයකි.

මිල රු. 975

දුරකථනය 011 2792 518

 

ඔහුගේ පෙනුම ඔත්තුකරුවෙකුට වඩා සමාන වන්නේ උසස් විද්‍යාලයක විදුහල්පතිවරයෙකුට ය. සන්සුන්, ඉවසිලිවන්ත ඔහු වෙතින් යම් උදාසීන බවක් ද ප්‍රකට වෙයි. ඔහුගේ පෙර රැකියාව (බුද්ධි අංශය) පිළිබඳ ඔහු වෙතින් හෙළිදරව් වන්නේ නම් ඒ කතාබහ කරන විට ඔහු භාවිතා කරන බුද්ධි අංශයන්ට අදාළ වචන නිසා ය. 68 හැවිරිදි ජේසන් මැතිව්ස් වසර තිස් තුනක කාලයක් අමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවයේ නැතහොත් සී. අයි. ඒ. හි සේවය කොට තිබේ.

එහෙත් මේ මිනිසාව ලෝකය හඳුනා ගන්නේ 2013 වසරේ දී ඔහුගේ අලුත්ම නවකතාව වන “රෙඩ් ස්පැරො” නම් කෘතිය සමඟ ය.

ඔහු ලේඛකයෙකි යි අමෙරිකානුවෝ සිතූ හ.

එහෙත් ඒ ලේඛකයා බිහි වන්නෙ ඔත්තුකරුවෙකුගේ ජවනිකාව අවසානයේදී ය. පසුගිය දා කෘතහස්ත ලේඛක කුමාර සිරිවර්ධන විසින් පරිවර්තනය කොට එළි දක්වන්නට යෙදුණු “ඩොමිනිකා රතු ඔත්තුකාරි” කෘතිය ජේසන් මැතිව්ස්ගේ උක්ත කෘතියේ සිංහල පරිවර්තනය යි.

අමෙරිකන් ලේඛකයෙකු විසින් ලියන ලද හොඳම නවකතාව සඳහා පිරිනැමෙන එඩ්ගාර් සම්මානය (2012) මෙන් ම හොඳම පළමු නවකතාව වෙනුවෙන් පිරිනැමෙන “අයි. ටී. ඩබ්ලිව්. ත්‍රිලර් සම්මානය” රෙඩ් ස්පැරෝ වෙනුවෙන් ජේසන් මැතිව්ස් එකවර දිනා ගත්තේ ය.

විචාරකයන්ගේ අවධානය මතු නොව පාඨකයන්ගේ ද අවධානය දිනු ජනප්‍රිය කතාවක් වු එය පසුව ඒ නමින් ම සිනමාවට ද නැඟුණේ ය.

2018 වර්ෂයේ දී තිරගත වු එහි ජෙනිෆර් ලෝරන්ස් හා ජොයෙල් එඩ්ගාර්ටන් ප්‍රධාන චරිත බවට පත් වුහ. කෙසේ වුව මේ සිනමා පටය හා නවකතාව අතර බොහෝ වෙනස්කම් තිබිණි.

ජේසන් මැතිව්ස් එසේ සම්මානිත ලේඛකයෙකු වුණත් ඔහු ලේඛන කලාව හැදෑරු අයෙක් නොවේ.

එහෙත් බුද්ධි අංශයට බැඳීමට පෙර ප්‍රවෘත්ති පත්‍ර කලාව පිළිබඳ පාඨමාලාවක් නම් ඔහු හදාරා තිබුණි. කෙසේ වුව අමෙරිකානු මධ්‍යම බුද්ධි සේවාවේ පළමු ඔත්තුකරුවා ජේසන් නොවන තරමට ම ඔත්තු සේවාවෙන් පසුව නවකතාකරුවෙකු බවට පත් වු එකම නවකතාකරුවා ද ඔහු නොවේ.

අඩුම තරමින් එම ඉතිහාසය අයර්ලන්ත ජාතික අර්ස්කන් මිල්ඩර්ස් වෙත දිව යන අතර ඔත්තුකරුවෙකු මතු නොව ගිනි අවි ජාවාරම් කරුවෙකු ද වු ඔහු 1903 දී රිඩ්ල් ඔන් ද සෑන්ඩ්ස් නම් නවකතාව ලියුවේ සිය ඔත්තු සේවයේ අත්දැකීම් පාදක කරගනිමිනි. ඔත්තු සේවාවෙන් පසු නවකතා ලියු ප්‍රකට පුද්ගලයා වුයේ ජේම්ස් බොන්ඩ් කතා පෙළ ලියු ඉයන් ප්ලේමින් ය.

රෙඩ් ස්පැරෝ ලිවීමෙන් අනතුරුව 2015 හා 2018 යන වසරවල දී ජේසන් මැතිව්ස් එයට ම ඈඳුනු තවත් නවකතා දෙකක් ලියා ඇත. ඒ “පැලස් ඔෆ් ටි්‍රසන්” සහ “ද ක්‍රෙම්ලින්ස් කැන්ඩිඩේට්” යන නවකතා ය.

කුමාර සිරිවර්ධන මෙරට පාඨකයාගේ නිර්මාණශීලි විඳීම හා ලෝක දේශපාලනය හසුරුවන්නා වු මහ බලවතුන්ගේ ඔත්තු සේවාවේ හැසිරීම පිළිබඳව නාටකීය හෙළිදරව්වක් බඳු උක්ත කෘතිය සුමට නිර්මාණාත්මක බසකින් සිංහලට නගා ඇත්තේ එහි බිහිසුණු සෙවණැලි ද උචිත ලෙසත්, ඇවැසි ලෙසත් ඉස්මතු වන ආකාරයෙනි.

“නව රුසියාවේ ඔත්තුකාරිය ඩොමිනිකා ඉගෝරොෆ් වටහා ගත්තේ තවමත් තමා අවට පැතිර ඇත්තේ පැරණි සෝවියට් රුදු වනාන්තරය ම බව ය.”

“එය මාරාන්තික ක්‍රීඩාවකි. එවැනි ක්‍රීඩාවක් මධ්‍යයේ එකිනෙකා හා පෙමින් බැඳීම ද මාරාන්තික ය.”

 

Comments