සමාජ අධ්‍යයනයක් වූ නවකතාවක් | සිළුමිණ

සමාජ අධ්‍යයනයක් වූ නවකතාවක්

 

කෘතිය - ආරාමදාස

කර්තෘ ආරියවංශ අබේසේකර

විදර්ශන ප්‍රකාශනයකි.

මිල රු-700

දුරකථනය 075 265 0945

 

මින් කලකට පෙර උපන් සිංහල ළමයිනට තැබූ පිරිමි නම් අතර වන බුද්ධදාස, විජේදාස, සෝමදාස, ප්‍රේමදාස, විමලදාස ආදී වූ කෙළවරක් නැති දාසලා අතරට මෑතකදී එක්වූ දාස නාමය ආරාමදාස ය. එය කරළියට එන්නේ මෑතකදී පළවූ නවකතාවක් හරහා ය. ආරියවංශ අබේසේකර එසේ තම නවකතාව නාම ගන්වා ඇතත් එහි එන චරිත අතර ආරාමදාස නමින් කිසිදු චරිතයක් නොඑයි. එහෙයින් පාඨකයන් වශයෙන් අපට නවකතාව කියැවීමෙන් පසු ආරාමදාස සොයා නවකතාවෙන් එළියට බසින්නට සිදු වෙයි.

දාස යනු පැරණි තරාතිරම් නාමයකි. පැරණි සාහිත්‍ය, වංශ කතා, සන්නස් පත්‍ර, ශිලා ලේඛන ආදී වූ ලේඛනයන් අතර බහුලව කියැවෙන රජ, බමුණු, වෙළෙඳ, ගොවි, කරණවෑමි, මාලාකාර ආදී වූ පැරණි තරාතිරම් නාමයන් අතර දාස යන නාමයෙන් හැඳින්වෙන තරාතිරමක් හෙවත් සමාජ ආර්ථික ක්‍රියාවලියෙහි ක්‍රියාශීලී තත්ත්වයක් වෙයි. රජුන් රටවල් පාලනය කරන අතර බමුණෝ ආගම් හා ශාස්ත්‍ර භාරව කටයුතු කරති. කරණවෑමියා මිනිසුන්ගේ කෙස් රැවුල් කපන විට ගොවියා පොළොව සී සා ධාන්‍ය එළවළු නිපදවයි. එහෙත් පැරණි ලෝකයේ දාසයාට පාලනය කරන්නට රටක් හෝ ඉගෙන උගන්වන්නට ආගමක් ශාස්ත්‍රයක් හෝ ගොතන්නට මාලයක් හෝ නැත. ඔහුගේ කටයුත්ත සෙස්සන් කරන කටයුතුවල ඔවුන්ගේ අණින් ශ්‍රමය වැගිරවීම ය. එසේ අනුන්ගේ අණට කීකරුව යටහත් පහත් සේවයක යෙදීමෙන් ආහාර පිඩක්, වස්ත්‍රයක්, ආයාසකර දවස අවසානයේ වැද නිදන්නට පැල්පතක් මිස ඔහු ලබා ඇති අන් කිසිවක් නැත. ඔහුට තම ජීවිතය පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ අයිතියක් පවා තිබුණේ නැත. ඔහු වෙනුවෙන් ඔහු විසින් කළ යුතු කාර්යයන් පිළිබඳව මතු නොව, ඔහු ගත කළ යුතු ජීවිතය පිළිබඳව පවා තින්දු තීරණ ගත්තේ ඔහුගේ ස්වාමියා ය. ඉන් අදහස් වන්නේ දාසයා යනු කිසියම් බලවතෙකු සතු දේපොළක් බවය.

රජවරුන් වැනි ප්‍රභූන් පූජ්‍යස්ථානයන්ට කරන ලද පූජාවන් අතර දාසයින් ද වූ බව පැරණි ලේඛනයන්හි එයි. ඇතැමුන් තමන් විසින් තමන් ම පූජ්‍යස්ථානයන්ට ආරාමදාසයින් වශයෙන් පූජා කොට, මුදල් ගෙවා දාසභාවයෙන් මිදුණු සැටි ද ආගමික ලේඛනයන්හි එයි. ඉන් පැහැදිලි වන්නේ දාසයෙකු ආගම වෙනුවෙන් පූජා කිරීම මහත්ඵල මහානිසංශ ලැබෙන කටයුත්තක් සේ සැලකුණු බවය. එසේම කිසියම් දාසයෙකුට අවශ්‍ය නම් මුදල් ගෙවා දාස භාවයෙන් මිදී නිදහස් පුරවැසියෙකු ද විය හැකි බවය. ඒ අනුව දාසභාවය යනු දුගී භාවයේ අනිවාර්ය ඵලයක් විය.

පැරණි බෞද්ධ සිද්ධස්ථානයන්ට පිවිසෙන දොරටු සෝපාන පන්තීන්හි සහ බිත්තීන්හි බර දරා සිටින අන්දමින් අඹන ලද සහ කැටයම් කරන ලද විසුළු පෙනුමැති මිටි විකෘත්ති මානව රූප විශේෂයක් වෙයි. ඒවා වාමන හෝ බහිරව රූප නම් වෙයි. සිංහල ජන විශ්වාසයන්ට අනුව බහිරව යනු භූමිගත දේපොළ රකින අමනුෂ්‍ය කොට්ඨාසයකි. කිසිවෙකු කිසියම් හේතුවක් නිසා තමන් සන්තක වස්තුව ගල්පර්වතයන්හි හෝ භූමියෙහි තනන ලද සිදුරක ගබඩා කොට, තම දාසයෙකු බණවා ‘මේ වස්තුව මෙතැන් පටන් තොපට භාරයැ’යි කියයි. දාසයා වස්තු ලෝභයෙන් එයට එකඟ වූ සැණ ඔහුගේ හිස ගසා මරණයට පත් කරනු ලැබේ. එතැන් පටන් වස්තු ලෝභයෙන් බහිරව ආත්මයෙහි උපත ලබන දාසයා සිය ස්වාමියා විසින් තමන් වෙත පවරන ලද වස්තුව දිවා රෑ රකී. ආරාමදාස නවකතාවෙහි ලේඛකයා මේ මානව විකෘත්තීන් උක්ත ආරාමදාසයන්ගේ ජීවිත හා සම්බන්ධ කරයි. නවකතාවට අනුව ආරාමදාසයින් වනාහී රජුන් සහ බලවතුන් විසින් ආරාමයන්ට පූජාකරන ලද දාසයන් වන අතර, ආගමික පූජ්‍යයන් මෛත්‍රී බුදුන් බුදුවන දා උන්වහන්සේගෙන් බණ අසා නිර්වාණාවබෝධය ලබා ගැනීමේ හැකියාව පවරා ආරාමදාසයන් සේවයට බඳවා ගැනෙයි. ඒ අනුව ආරාමදාසයන් වූකලී බෞද්ධ විහාරාමයන්හි බර උසුලාගෙන සිටින අවවරප්‍රසාදිත මනුෂ්‍ය කොට්ඨාසයකි. ‘ආරාමදාස’ නවකතාව තුළ දිග හැරෙන්නේ මේ ආරාමදාසයන්ගේ කතාවයි. නවකතාව කියවා අවසන් වන විට ආරාමදාසයන් වෙසෙනුයේ ඉතිහාසය තුළ පමණක් නොවන වග අපට පසක් වෙයි.

පැරණි හෝ නූතන ලාංකීය බෞද්ධ ගොඩනැගීම් අතර නිරන්තරව අපේ ඇසට ලක් වන, විසුළුභාවය නිසා ලොකු කුඩා නරඹන්නන්ගේ සදය උපහාසය ලබන සිංහල ජන විශ්වාසයන්හි අනුන්ගේ වස්තුවක් රකින්නට සිය ජීවිතය කැප කළ වාමන හෙවත් බහිරව රූප හරහා ඇතැම් ආගමික ඇදහීම්වල නිස්සාර භාවය සහ ලාංකීය දාර්ශනික දිළිඳුභාවය පිළිබඳ ගැඹුරු කියැවීමකට ලේඛකයා අපට ආරාධනා කරයි. ඒ යථාර්ථය වෙත ඔහු අප ගෙනයෑම සඳහා මාවත තනන්නේ ඉන්ද්‍රජාලික යථාර්ථවාදය හරහාය. සැබැවින් ම ආරාමදාස නවකතාවේ කතාවක් නැත. ලේඛකයා විවිධ චරිත සහ සිදුවීම් අප ඉදිරියේ තබයි. අපට අවශ්‍ය නම් ඉන් කතාවක් ගොඩනගා ගත හැකි අතර, එසේ නොකළත් ලේඛකයා හඳුන්වා දෙන ලාංකිය ශ්‍රමික සහ චින්තන දාසයන් හෙවත් වහලුන් හඳුනා ගැනීමට අපට බාධාවක් නැත.

ලංකාවේ පුරාවිද්‍යා පර්යේෂණ ආරම්භ වූ සමයේ පටන් බොහෝ කාලයක් ගත වන තුරු එම කටයුත්තෙහි ව්‍යාවෘත පර්යේෂණ කණ්ඩායම් වලට යෙදුණු ජනප්‍රිය නාමය වූයේ ‘බෙල්පාටිය’ යන්නය. ඒ ලාංකීය පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ අමතක නොවන නමක් තැබූ, ආරම්භක පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයකු වන එච්.සී.පී. බෙල් නමිනි. බෙල්ගේ කාලයට පසු පොලොන්නරුවේ පුරාවිද්‍යා වැඩබිම්හි කම්කරුවන් වශයෙන් කටයුතු කළ සිංහල, දෙමළ හා මුසල්මාන කම්කරුවන් පිරිසක් කේන්ද්‍ර කරගනිමින් ආරාමදාස නවකතාව ඇරඹෙයි. එසේ ඇදී යන කතාව තුළ කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සමසමාජකාර කම්කරුවෙකු ද ඔහු ඇසුරේ වැඩෙන කම්කරු නිවාස පෙළ වන ලැයිමේ ළමයින් සහ විවිධ තරාතිරමේ කම්කරුවන් ද, අතිතයේ පටන් පැවත ආ වනගත ගම්මානයක සිට පුරාවිද්‍යා වැඩබිම්හි සේවයට පැමිණෙන දෙමළ කම්කරුවන් ද, නැගෙනහිර පළාතේ මුසල්මාන ප්‍රදේශයන්හි සිට පැමිණ ජරාවාස තෝපාවැව අසල ඉදිකරගත් තාවකාලික ගම්මානයක සිට එන මුසල්මාන කම්කරුවන් ද අපට හමු වෙයි. ඔවුහු පුරාවිද්‍යා වැඩබිම්හිදී සහෝදර කැළක් බවට පත් වෙති. ලේඛකයා මොවුන් අතරේ ඉපිද හැදී වැඩෙන ළමයෙකු වන හේමරත්න කතාව තුළ ඉස්මතු කොට, ඔහුගේ කරට උඩින් පොලොන්නරුව පුරාවිද්‍යා වැඩ බිම්, ආසන්නයේ වන පුරාණ කොටුවෙල ගම්මානය, එහි වන තෝපාවැව පාසල, වැව අසල මුසල්මාන ගම්මානය, නුදුරේ කැලෑව මැද ආනෛඋලන්දන් දෙමළ ගම්මානය සහ ජනවර්ග තුනේම ඇත්තන්ගෙන් සැදි ලැයිම හා සම්බන්ධ ජීවිතය දෙස බලන්නට අප එකඟ තරවා ගනී. ඒ අතරේ ඔහු නවකතාවේ ප්‍රධාන චරිතය හෝ චරිතයන් වන ඉපැරණි ආරාමදාසයන්ගේ දුක්ඛිත ජිවිතයන් කරා අප ගෙන යයි.

මේ අතර වාරයේ වියළි කලාපය යළි සශ්‍රීක කරවීමේ ප්‍රයත්නයෙහි ව්‍යාවෘත වෙමින් සිටින යටත් විජිත ආණ්ඩුව පොලොන්නරු රාජ්‍ය යුගයෙන් පසු කැඩී බිඳී වල්බිහිව කැලෑවට යටව පැවති පරාක්‍රම සමුද්‍රය නැවත බඳවා මහා ගොවිජනපදයක් බිහිකිරීමේ කටයුතු ආරම්භ කරයි. හබරන මංසන්ධිය හා මඩකලපුව යා කොට විහිද ගිය මාර්ගය අසබඩ හුදකලාව පැවැති තෝපාවැව කඩමණ්ඩිය අලුත් ජනපදයට අනුගතව පිබිදෙන්නට පටන් ගැනීමත්, නව සංවර්ධන යෝජනා ක්‍රමයේ අවශ්‍යතාවන් සපුරාලීමට දසතින් එහි ඇදී එන ජන ගංගාවත්, ඒ අතර වාරයේ පංසලේ පිංකැටය කඩාගෙන අලුත් පැවැත්මක් සොයා දකුණුකරයෙන් එහි එන බෞද්ධ භික්ෂුවකගේ ආගමනයත් යන නව ප්‍රවේශයන් පුරාවිද්‍යා වැඩබිම්හි අතීතය ගොඩදැමීමේ යෙදී සිටින අහිංසක කම්කරුවන්ගේ සරල ජීවිත පවා සංකීර්ණත්වයට පත් කොට අවසන ඔවුන් වර්ගවාදී සුළිසුළඟෙහි පරණලාපත් බවට පත් කොට දමයි. හේමරත්න හා ඇසුරේ වූ මිතුරන් මේ පීඩාවන් මඟ හැර අලුත් ලෝකයක් සොයා පිටව යන අතර මේ සියල්ල මැද හේමරත්න ඉපැරණි බෞද්ධ ආරාමයන්හි බිත්ති සහ සෝපාන ඔසවාගෙන සිටින වාමනයන් සමඟ රහසිගත හාදකමෙහි ම පැටලෙයි. උක්ත පසුබිම තුළ වාමනයන්, ගහ කොළ හා මුරගල්වලට අධිගෘහිත නාගමුලාදෑනීන් සහ හේමරත්න අතර වන සුහද ඇසුර ක්‍රමයෙන් ඔහු පුරාවිද්‍යා වැඩබිම් කරා කැඳවයි.

ආරාමදාස මෙතෙක් අප කියැවූ නවකතාවන්ට වඩා හාත්පසින් වෙනස් මඟක් ගත් නවකතාවකි. ඉතිහාසය හරහා වර්තමානය දක්වා අඛණ්ඩව ගලා එන ආරාමදාස නම් මනුෂ්‍ය කොට්ඨාසයක් ඔහු අපට මේ තුළින් හඳුන්වා දෙයි. ඔවුන් අලුත් වෙනස් මිනිසුන් නොවේ. එය වටහා ගත හැක්කේ ආරාමදාස කියැවීමෙනි.

Comments