සලකුණු | සිළුමිණ

සලකුණු

මෙවර කෙටි කතාව ලියන්නේ ප්‍රවිණ ලේඛක වෛද්‍ය සමන් ගුණහේරත්ය. වෘත්තියෙන් වෛද්‍යවරයකු වුවද පාසල් වියේ සිටම සාහිත්‍යයට වැඩි ඇල්මක් දැක්කවූ කවි, කෙටි කතා ලියුවේය. ඔහු ලියූ ගී අතර නැසී ගිය ගුණදාස කපුගේ විසින් ගායනා කරන “අහස උසට නැග ගියාට“ යන ගීතය ඇතුළු තවත් ගී රැසක් වේ. සමන් විසින් ලියන ලද පොත පත අතර බොල් පොළොව, මඟ වැරඳුණ මිනිසා යන කාව්‍ය සංග්‍රහ හා සෙන් කතා කෘති වේ. බිබිලාදෙනිය උඩුබද්දාවේ උපන් සමන් ගුණහේරත් කොළඹ කේරී විද්‍යාලයේ අධ්‍යාපනය ලබා පසුව ඉන්දියාවේ මධුරාසි විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලැබුවේය.

ඔහු බසයෙන් බැස්සේය. පිට්ටු බම්බුව පෙනෙන මානයේය. යෝක් වීදියේ ඒක දිශා වාහන ගමනාගමනය ඔහු තුළ ඇති කළේ මඳ ආතතියකි. කුමක්දැයි දන්නා නොදන්නා භීතියක් සිතට දැනේ. දිග සුසුමක් ගෙන හිත හදාගත් හෙතෙමේ පියවි ගමනෙන් කාගිල්ස් ගොඩනැගිල්ලේ ආරුක්කුව යටට ඇතුඵ විය. පට්ට කූටක අව්වේ දාහයෙන් මඳකට මිදෙන්නට හැකිවීමත් එක් සුවයකි.

“ගෙදර එවුනුත් බලන්නෙ මගෙ දිහා වැරදියට. මම කළේ මනුස්සයෙකුට උදව්වක්. ඒකි ගම කාපු අම්මණ්ඩියෙක් කියල මං කොහොමද දන්නෙ ?”

“අනේ පලයන් යන්න බං, උඹ කී දවසක් ඒකිගෙ ගෙදර බුදිය ගත්තද?” තම හිත ඇතුළේ සිටි කවුදෝ වහාම ඔහුගේ ඔළුවට ම පහර දුන්නේය.

විශාල කෙළ ගුලියක් ගිලු හෙතෙම කාගීල්ස් බිල්ඩිමේ ආරුක්කුව යටින් ඉදිරියට ගමන් කර යෝක් වීදිය අවසන් වන සර් බාරොන් ජයතිලක මාවත ළඟ නැවතී වටපිට බැලුවේය. එතැනින් ඉදිරියේ ඇති ගොඩනැගිල්ල අලුත්වැඩියා කෙරේ. “මිනිසුන් උඩ වැඩ හා ආන්ත්‍රාවයි. පරිස්සම් වන්න.” ලෙස සටහන් කරන ලද පුවරු දෙකක් එම ගොඩනැගිල්ලේ උඩට වන්නට සටහන් කර ඇත. එය සී. අයි. ඩීය හෙවත් අපරාධ පරීක්ෂණ ගොඩනැගිල්ල බව ඔහු දනී. ගෙදරින් කිසිවකු කැඳවා ගෙන ආවා නම් හොඳ යැයි සිතුණත් “ඊට වඩා හොඳයි මෙහෙම, කවුරුත් දන්නෙ නෑනෙ එතකොට” යි තමාටම කියා ගත් හේ දිග සුසුමක් හෙළා වටපිට බැලුවේය. පුද්ගලයන් කිහිපදෙනෙකු ත්‍රීවිල් රියකින් බැස පරවියන්ට සහල් ඇට විසි කරති. ඔහු ඔවුන් දෙස බලා සිටියේය. පරවි රෑන හා මුසු වූ කපුටන් කිහිපදෙනෙක් ද සහල් අහුලා කති. අනාරාධනයෙන් පැමිණි කපුටා පරවි දෙනකට අරියාදු කරයි. පරවිදෙන වඩාත් තම රෑනට කිට්ටු වෙමින් සහල් ඇට අනුභව කරයි. එය බලා සිටි තවත් එක් පරවියෙකු ගෙලවට රෝම පුප්පමින් හා තටු ගසමින් ඈ පසුපසට පැමිණෙයි. ඕ පියාඹා ගියාය. සහල් ඇට අහුලමින් සිටි කපුටා මෙන්ම පරවියා ද පරාජිත මුහුණු වලින් වටපිට බලති. මාවත පදිකයන් සඳහා පාර පැනීමට තවමත් අවසර නොදෙයි. රතු මිනිස් රූපය පදිකයන් දෙස ඔරවා බලා සිටියි. ඉරිදා උදෑසනක් හෙයින් මාර්ග වල සෙනග නැත. පාර මාරුවීමට සිටියේ ඔහු පමණි. රතු එළිය එසේ ඔරවා සිටියදීම ඔහු පාර පනින්නට පියවරක් තැබීය. පිඹගෙන ආ ත්‍රීවිලරය, වෙට්ටුවක් දමා අනතුර වළක්වා ගනිමින් ඔහුගේ මුහුණට අසභ්‍ය වචන රැසකින් පහර දී නොපෙනී ගියේය. එසැණින් කොළ එළිය දැල්විණි.

බිම් ගෙයෙහි ආරම්භය එතැනය. තුන් පැත්තකින් ම තහඩු වලින් සකසන ලද තෙත අඳුරු මුඬු ගඳ ගහන බිම් ගෙයෙහි මුරට සිටි නිලධාරියා ළඟ ඔහු මඳක් එකල මෙකල වූයේ හිතේ ඇති තෝන්තුවාවටය. මිත්‍රශීලී මුහුණක් පෑ නිලධාරියා ඔහුට බිම් ගෙය දිගේ ඉදිරියට යන්න යැයි අතින් සංඥා කළේය. කැඩී බිඳී ගිය අඳුරු ගුහාවේ මාර්ගය උගුලක් වැනිය. ගැහෙන දෙපා වලින් ඔහු එහි අවසානය තෙක් ඇවිද ගියේය. කැරකෙන ගේට්ටුවේ වූ විමසීම් මඟින් ඔහුට කීවේ හතරවැනි තට්ටුවේ එස්. අයි. යූ. හතර අංශයට යන ලෙසය.

හතර වැනි තට්ටුව යන වදන ඇසෙන විටම ඔහු සලිත වී ගියේය. දොඩම්පේ මුදලාලි හතරවැනි තට්ටුවෙන් එළියට පියෑඹීමට ගොස් ඇද වැටී මිය ගියේ ඔහු කුඩා කොලුවකු වූ අවධියේ දීය. ඉන්පසු යමක් එක දිගට සිහියට නොආවත් රිචඩ් හතරවැනි තට්ටුවට ඇතුළු වීමෙන් පසු මතු වූයේ ගල්කිස්සේ මුහුදෙන් බව ලෝකය පුරා මහත් උණුසුම් පුවත මැවූ බවත්, ඒ උණුසුම් පුවත විකුණා බලයට පැමිණි චන්ද්‍රිකා ඇතුළු කණ්ඩායම රටට කළ මළ ඉලව්වක් නැති බවත් ඔහුට ඉබේටම සිහිවන්නට විය. එසැණින් ඔහුගේ මිත්‍ර දොස්තර අතුල මතක ගබඩාවෙන් හිස දැම්මේය. ජේ. ආර්. නොවන්නට අතුල පතුලක් නොමැති අගාධයකය. දැන් ඉතින් ඔහුට ඒ කූප්‍රකට හතරවැනි තට්ටුවට ඔහුට යන්නට සිදුවී ඇත.

විදුලි සෝපානය 4 ඉලක්කම දල්වා බලා සිටී. විවෘත වූ දොරෙන් එළියට ආ හෙතෙමේ දොර ළඟ නැවතී දිග හුස්මක් ගත්තේය. හදවත තුළ වූ භීතිය ඉහින් කනින් දාඩිය සේ උතුරා යයි. කෙළද හිඳී ගොස්ය.

“ආපහු ගියොත් කදිමය”

“මහත්මයා ඇයි ?” කවුදෝ නාඳුනන මුත් නිලධාරියකුගේ පෙනුම ඇති අයෙකු ඔහුගෙන් විමසුවේය.

ඔහුගේ හඬ පිටවුනිද නැද්ද ඔහුම නොදනී.

“ආ යමු, මම අයි. පී. මහත්තයට ඔහේව මුණ ගස්සන්නං.”

පාද ඉදිරියට යන විට ඔහුට මතක් වූයේ කාගේ දෝ ගීතයක්

“සිත මිස කය නැති පුරවරයේ....”

යකාගෙ මඟුලක්නෙ යකෝ මං මොනවද මෙච්චර බය වෙන්නෙ, මං මොනව කරන්නද? මට තිබුණේ ඉන්දිරා ගැන ආසාව විතරනෙ?

දැක්ක දුටු මෙහොතේ පටන් ඇගේ රුවට හැඩට පුසුඹට වශී වූ ඔහු ඇය ගැන කිසිම තොරතුරක් සොයා බලා නැත. අඩුම තරමින් ඈ කොහේ සිට නගරයට පාත් වූ සමනලියක් දැයි දැනගැනීමටවත් වුවමනාවක් ඔහුට නොවීය. තම කොමියුනිකේෂන් ගොඩනැගිල්ලට දවසක් දා ඇය පැමිණියේ දුරකථන ඇමතුමක් ගැනීමටය. එදා ගත් ඒ දුරකථන ඇමතුම ගිය දුර මෙතරම් වෙතැයි ඔහු කිසිදා නොසිතූ බව නම් ඇත්තකි. මඳක් උස පිරුණු සිරුරකින් හෙබි ඈ රූප සුන්දරියක් නොවේ. නමුත් වරක් බැලූ අයෙකුට නැවත වරක් හැරී බැලෙන සුලු මොකක්දෝ සුන්දරත්වයක් ඇයට තිබුණි.

දෑතේ මුල සිට අගටම රන් වළලුත් ගෙල බැඳි මාලයත් එල්ලෙන කරාබුත් ඇහි බැම, තොල් හා නිය ආලේපනත් ඔහුට පසක් කළේ ඇය විදේශගතව සිට පැමිණි කාන්තාවක් බවය.

“මේකිගෙ අතේ සෑහෙන සල්ලිත් ඇති. මිනිහෙකුත් ඇති වගේ. වයස පේන්නේ නැති වුණත් 35 පැනලා ඇති.” දිනක් ඇය දුරකථන ඇමතුමක් ගන්නා විට ඈ දෙස බලාගත්වතම ඔහු සිතුවේය.

“ලස්සන ගෑනි”

දුරකථනයට පිළිතුරු දෙමින් ඔහුගේ දෙනෙත දෙස එක එල්ලේ බලමින් ඕ සුන්දර මන්ද ස්මිතයක් පෑවාය. මල් මඳ සිනාවකින් පිළිතුරු දුන් ඔහු ඇගේ දුරකථන සාකච්ඡාව අවසන් වන තුරු ඉවසීමෙන් බලා සිටියේය.

ඕනෑම පුරුෂයකු වසඟ වනවාට අමතරව දැපනේ වැටෙන මුකුළු ප්‍රේමාන්විත සිනහවක් සමඟ ඇය ඊළඟ තත්පරයේ කැෂියර් මේසය අසලය. ඔහුගේ හෘද ස්පන්දය නැවතී ඇත්තා සේය. ඇගේ අතේ සුලැඟිල්ල හෝ ඇල්ලීම මහා සුවයකැයි පළමු වරට ඔහුට සිතුණේ ඒ මොහොතේය.

“අයියෙ කීයද ගාන?” ඇය බෑගයේ සිප් එක අරිමින් විකසිත මුකුළු සිනාවක් මුව පුරවා ගනිමින් ම විචාලාය.

මෙය විදෙස් රටකට ගන්න ඇමතුමක්. ඇමතුම් ගාස්තුව මුද්‍රණය වී ඇත. රුපියල් 320/- කි. ඇගේ රත් පැහැ සායම් තවරන ලද සිහින් ඇඟිලිතුඩු මත හාදු වැස්සක් වස්සන්නට......

“කියන්නකො අයියේ බිල් එක” ඇය කතා කරන දෙනෙතින් ඔහුගේ දෙනෙතට කිට්ටු වී එබෙමින් ඇසුවාය.

“නෑ නංගි සල්ලි එපා.”

“හානේ තෑන්ක්ස් අයියේ.” කියූ ඇය ඇගේ ඇඟිලි තුඩු දෙකකින් ඔහුගේ අතට ආදර කෙනිත්තීමක් කර ඔහු දෙස හැරී බලා දෑසින් වෙඩි තබා කෝල සිනාවක් පා කොමියුනිකේෂයෙන් පිටවූවාය. ඕ ඇඟළු යාඩ්ලි විලවුන් සුවඳ මේ දැනුත් ඔහුට දැනේ.

“ආ තමුසෙද? ඔහොම වාඩි වෙනවකො” යෝධයෙකු බඳු කඳ බඩ මහත බුරුසු රැවුලක් සහිත නිලධාරියා කීවේය. ඔහු වාඩි වුණා නොව ඉන්ද වුණේය. දෙවියන් යදින ගාථා කට පාඩමේ උවත් ඒවා එකක්වත් මේ මොහොතේ මෙනෙහි නොවේ. නිලධාරියාගේ මුහුණ කිසිදු තෙතමනයක මාත්‍රයක්වත් නැත. වාලුකා කාන්තාරයේ අතරමං වූවායැයි හැඟීමකින් ඔහු පෙළෙන්නට විය.

අනෙක් පොලිස් නිලධාරීන් මෙන් නොව සී. අයි. ඩියෙ මහත්තුරු නිල ඇඳුම් නොඅඳින්නේ මන්දැයි ඔහුට කල්පනා විය. ළා නිල් අත් කොට කමිසයක් හැඳ සිටි නිලධාරියා ඔහුගේ හිසේ සිට දෙපතුල දක්වා එක් බැල්මක් හෙළීය. ඔහු සලිත වී ගියේය. නිලධාරියාගේ කමිස කොලරය දිගේ කුඩා කූඹියෙකු ඇවිද යයි.

“මේ යකාගේ තඩි මහත රළු ඇඟිලි වලට කූඹියා හසු වුවහොත් ඌ චුරු පච්චම් වී යනු ඇත.”

“එතකොට කූඹියා කවුද ? මමද ?”

“මං මොන මඟුලකට ඉන්දිරාට කුලියට ගෙවල් සොයා දුන්නාදැයි ” ඔහු තමාටම කියා ගත්තේය.

“දැන් කියමු බලන්න තොරතුරු ටිකක්.” නිලධාරියා අත්ල එකිනෙක අතුල්ලමින් කියයි. “ආ කුමාර මහත්තයා, මෙයා අර කොල්ලො රට පටවන ගේම් එකේ හාදයා.” බුරුසු රැවුල් නිලධාරියා උස් හඬින් වෙනත් අසුනක වාඩි වී වැඩක් කරමින් සිටි අයකු අමතා උස් හඬින් කීවේය.

තොල කට වේළී උඟුර පැටලී ඇති හෙයින් වචන එළියට නොඑන බව ඔහුට වැටහෙයි.

“කොහොමද ඒකී සීදේවිද ?”

කුමාර නමින් හැඳින්වූ නිලධාරියා දුර සිටම උස් හඬින් විමසුවේය. පෙරදා තමාට හමුවූ ඒ සුන්දර ගැහැනිය හා සැතපෙන්නට නොහැකි වන එකම කරදරකාරයා මූ යැයි බුරුසු නිලධාරියාට එකවරටම සිතුණේය.

“ඒකිව බේරෙන ආකාරයට මූගෙන් කට උත්තරයක් අරගෙන මූව ඇප නැතිව මාස තුනකට ඇතුළට යවා ගත්තා නම් .......” ඔහුගේ මුහුණේ නාසයේ කෙළ බේරෙන හිවල් හිනාවකි.

“එෆ්. ඕ. සී නාරි මාංශ අති මිහිරිය.”

එසැණින් ඔහුට කොරලවැල්ල සිහිපත් විය.

පිස්සු යකා කොල්ලො දෙන්න මරල මූදෙ පා කරන්න ඕනැයැ ඩී. ඕ එකක් ගහල තියාගෙන සබ්බුව දීල පස්සෙ ඇතුළට යවන්න තිබුණ එකනෙ.

ඔහුගේ මුහුණට නැවතත් ප්‍රකෘති නොවන සිනාවක් මතුවිය.

“තමුසෙයි ඉන්දිරායි ගහපු ගේම් අපි දන්නවා. දැන් ඉතින් කතා කරනව හොදේ.

ඔහු තළු මරා කෙළ ගුලියක් ගිල්ලේය.

“ස...ස... සර්..”

“ඔව්...”

“සර්.....සර් මම ඉන්දිරාට ගෙයක් හොයල දුන්නා. ඒක ඇත්ත.”

“ඊට පස්සේ තමුසෙ ඒකිත් එක්ක පවුල් කෑවා”

“න්...නෑ සර්.....නෑ ඔ.....ඔව් සර්.... පවුල් කෑවම නෙවේ. සර්..... මෙ.....මේ..”

“හරි තමුසෙයි ඉන්දිරයි පවුල් කෑවා නෙවේ, තාච්චි පැන්නා කියමුකො, ඉතින් ඊට පස්සෙ තමුසෙ මිනිස්සු රට යවනව කියල උන්ගෙන් සල්ලි ගැලෙව්වා.”

“අනේ අනේ සර්, මං...මං..” ඉන්දිරා මිනිස්සුන් ව්‍යාජ ආකාරයෙන් රට පැටවූ බව ඔහු දනී. ඇය එය කළේ කෙසේ දැයි ඔහු නොදන්නා බව කිසිවෙකුත් පිළිනොගනී. කෙසේ නමුත් ඇය මිනිසුන්ගෙන් මුදල් වංචා කළා යැයි කීම අසත්‍යකි. එකවරම ඔහුට ඉතාලි පැනීමට පැමිණි තරුණයා සිහි විය.

මොකක්ද උගේ නම...? ම්..ම් මිස්ටර් කුරුඋඩුව. විමල් කුරුඋඩුව. කුරුඋඩුවේ විමලසාර නමින් පැවිදි නමක් සහිත ගමන් බලපත්‍රයක් තිබූ මේ හාදයා තමාගේ කොමියුනිකේෂනයට පැමිණියේ කෙසේදැයි ඔහු අදත් නොදනී. තමා කුරුවාව ඉන්දිරාට හඳුන්වා දුන් බව සැබෑය. එතනින් පසු ඔහු එම සිද්ධිය ගැන නොදනී.

“මේ... මහත්තයො, උඹ මාව වටේ යවන්න නං හිතන්න එපා. තෝයි එකියි ගමේ පොලිසියෙ උන්ට.......

“බුදු හාමුදුරුවනේ. මේකා නොදන්නා දෙයක් නැති තරම්ය”. ඔහු හතර අත විසිරී යන තම සිතුවිලි එකතැන් කරගන්නට තැත් කළේය.

“දඩාං” පුටුව පෙරළුනේ මන්දැයි ඔහු තේරුම් ගැනීමට යත්න දැරුවේ තම වම් කණ ඇතුළතින් කුරුමිණියෙකු හඬනවා වැනි ශබ්දය සමඟ ඇති වේදනාව කුමක්දැයි සිතමින්ය.

“වැටී සිටින්නේ මමද? වෙන කෙනෙක් ද?”

වයින් බෝතලයෙන් භාගයක් හිස් වෙන්නටත් පෙර තමා මත් වූයේ මන්දැයි ඔහු කල්පනා කරන්නට විය. කමල්ගේ මුහුණ පෙනෙන්නේ මීදුමකට මැදි වූ ආකාරයෙන් ය. වයින් වලට මත් වෙන බව ඇත්තකි. නමුත් මේ ආකාරයෙන් මත් වීමක් ඔහුට තේරුම් ගත නොහැකිය. අනෙක තමාට සාමාන්‍යයෙන් වොඩ්කා භාගයක් කරදරයක් නැතිව ගිල දැමිය හැකි බව ඔහුට එසැණින් මතක් විය.

“මාර වැඩේ වයින්.....”

“හෙහ් හෙහ් හෙහ්...” කාගේදෝ හිනාවක් ඔහුට ඇසෙයි. ඒ කමල්ගේ හිනාව නම් නොවේ. ඔහුගේ දෙනෙත් ඉදිරියේ අමුතු මුහුණක් මැවී පෙනේ. “මේ බුරුසු රැවුලා කවුද ?”

“ඉන්දිරාගේ තොරතුරු විමසන හඬ කාගේද? ඇත්තටම තමා ඉන්දිරා ගැන දන්නා මළඉලව්වක් නැත. මේ දිගින් දිගටම ඉන්දිරාගේ ක්‍රියා කලාපය ගැන කතා කරන්නේ කවුද?”

“අනෙක යකෝ මං කාත් එක්ක අහවල් කටයුත්ත කෙරුවත් අහක ඉන්න එකෙකුට එය විමසිය හැක්කේ කවර නම් පදනමකින්ද.”

කමල් ඉතා සන්සුන් මුහුණින් තව මධුවිතක් ගිල දමා නිවි සැනසිල්ලේ තවත් වයින් වඩියක් තම වීදුරුවට වත් කරයි. ඔහුට මත් ගතිය දැනේ. හරිම පුදුමය. වයින් බෝතලයෙන් අඩක් වත් තවම ඉවර නැත. ඒ මදිවට කටට පොඩි ලේ රසක් දැනෙයි. බයිට් එකට ගත් ඉස්සාගේ අඬුවක් වැදී කට තුවාල වී වන්නට ඇත. ඒත් මේ බැදපු ඉස්සන් මෙලෝ රහක් නැත. මත් ගතිය හා තෝන්තුව අතර වෙනස කුමක්ද? කමල් එක දිගට කතා කරයි. ඒත් ඒ ඔහුගේ හඬ නොවේ යැයි ඔහුට සිතේ. ඊටත් කමල් ඉන්දිරා ගැන දන්නේ ද නැත.

“ඉන්දිරා කොතරම් ප්‍රියමනාපද?” ඇගේ සිරුරේ සුවඳ දැන් ඔහුට දැනේ. ඇගේ මෘදු දේහයේ ඇත්තේ නිම නොවන සන්තුෂ්ටියකි. තෘප්තියකි. ඔහු ඇය වැලඳ ගැනීමට අත දික් කළේය. තමාව ළඟට ඇය ඇදගත් නමුත් ඒ පහස ඇගේද? ඇගේ නොවේද? මොකක්දෝ අවුලක් ඔහුට දැනේ. “නෑ මේ ඉන්දිරා නෙවේ. ඇගේ අත්ල රෝස පෙත්තක් සේ සිනිඳුය. මේ සා ගොරහැඩි වූ අතක් ඇයට නැත.”

“කතා කරපං යකෝ....” හිටගෙන ඉන්නටත් බැරි තරමින් තමා මත්වී ඇත. ඔහු වැනෙයි. ඒත් එය නොසිදුවිය හැක්කකි. කමල් සමඟ වයින් පානය කරන පළමු අවස්ථාව මෙය නොවේ.

අතකින් ඇස් පිහිදා බලන්නට හදන විටම තමා අහකට විසිවනවා වැනි හැඟීමක් ඔහුට ඇති විය. ඉන්දිරා කරන මේ සෙල්ලමට ඔහු අකමැතිමුත් ඇගේ හිත රිදවීමට වූ අකමැත්ත නිසා ඔහු ඉවසා සිටියේ ඇතැම් විට ඇය තම පපුව සියුම් ලෙස සපනවා වැනි ඉවසීමකින්ය.

“තග්” හඬින් යමක් බිම වැටෙනවා වැනි හැඟීමක් ඔහුට ඇති වූවද ඒ කවරක් දැයි ඔහුට අවබෝධ වූයේ නැත. තම දකුණු කනෙන් දියරයක් වෑස්සෙනු ඊළඟ තත්පරයේදී ඔහුට දැණුනි.

“අපේ අප්පා එදා දාපු කන් බේත මේ වෙලාවෙම කලාදුරු ටිකත් එළියට වමාරන්න හිටියානේ”

ඔහුගේ මුහුණේ ඇතිවූයේ සිනාවකි. නැතහොත් විරිත්තීමකි.

කමල් තවත් කාවද සමඟ තමා ඔසවා ගන්නේ ඇයි දැයි ඔහුට ගැටලුවකි. එසැණින් සීතල දියපහරකින් ඔහුගේ සිරුර තෙමී ගියේය. පුදුමාකාර නිදහස් බවක්, දවස පුරා හිරකරගෙන සිටි මහා මුත්‍රා බරකින් නිදහස් වුණා වැනි හැඟීමක් ඔහුට දැනී නොදැනී ගියේය.

පොලිස් අපරාධ අංශයෙන් රෝහල් හදිසි අනතුරු අංශයට ගොස් භාර දුන් රෝගියා රෝහල් ගත කරන විටත් මරණයට පත් වී ඇති බව ඇඳ ඉහ පතේ සටහන් කළ වෛද්‍යවරයා, රෝහල් පොලිසියට දුරකථන ඇමතුමක් ගත්තේය.

 

 

Comments