නළු­වෙක් වෙන්න කෙටි මාර්ග හොයන්න එපා | Page 2 | සිළුමිණ

නළු­වෙක් වෙන්න කෙටි මාර්ග හොයන්න එපා

 

 

ආලෝක සම්පත් කියන්නේ වේදිකාව හා ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ගෞරවය දිනාගන්න සමත් වුණ තරුණයන් අතර දක්ෂයෙක්. මෙවර රසඳුන සංවාදයේ යෙදෙන්නෙ මේ දිනවල 'පාවෙන යකඩ', 'බස් එකේ ඉස්කෝලේ' සහ 'සංසාර සිහිනේ' වැනි ටෙලි නාට්‍ය ඔස්සේ පුංචි තිරයේ දස්කම් පාන ඒ දක්ෂ යොවුන් රංගන ශිල්පියා සමඟයි. බොහෝ දේ කතා කරන්න තිබුණු නිසා අපි කෙළින්ම සංවාදයට ප්‍රවේශ වුණා. අතීත මතක අවුළුවාලමින් මා ඔහු විමසුවා.

 

වර්ෂ 1999 දි දවසක අලෝක තරුණයා කන්තලේ ඉඳලා කොළඹට එන්න තීරණය කරනවා. එතැනින්ම අපි කතාව පටන් ගමු. ඔහු හැඟීම්බර හඬින් කතා කළා.

" ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය පාසලට ඇතුළත් වෙන්න ආ ගමන මට තාම මතකයි... කන්තලේ ස්ටේෂන් එකේ ඉඳන් කොළඹට එනකම් මං නළුවෙක් වෙන හැටි හීන මැව්වා. කවදහරි ඒ හීනයට ළං වෙනවා කියන අධිෂ්ඨානයක් එදා මට ඇති වුණා. “

කන්තලේ ඉඳල ආපු මම තමයි නාට්‍ය පාසලේ හිටපු ළාබාලතම සාමාජිකයා. කණ්ඩායමේ සහෝදර සහෝදරියන් එදා ආදරෙන් මාව පිළිගත්තා. මට ඒ මුහුණු අදත් මතකයි. අපේ කණ්ඩායමේ හිටියේ ලංකාවෙම තෝරගත් දක්ෂ පිරිසක්. ඒ අතරට එක්වෙන්න ලැබීමත් එක්තරා ආකාරයක වාසනාවක්. අපි එක පවුලක් වගේ සහෝදර බැඳීමක ආපු ගමනක් තිබුණා. ඒ බැඳීම කිසිදාක බිඳෙන එකක් නෑ ඉදිරියටත්."

ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ ඩිප්ලෝමාව ලබා ගත් ආලෝක යෞවන සම්මාන නාට්‍ය උලෙළ වෙනුවෙන් "තනියෙක් විශිෂ්ටයි" කෙටි නාට්‍ය නිර්මාණය කරමින් අධ්‍යක්ෂක භූමිකාවට ප්‍රවේශ වෙනවා. යෞවන සම්මාන නාට්‍ය උලෙළේ විතරක් නොවෙයි. රාජ්‍ය සම්මාන නාට්‍ය උලෙළ තුළත් එම කෙටි නාට්‍ය සම්මානනීය නිර්මාණයක් ලෙස ඇගයීමට ලක් වෙනවා.

මේ සියල්ල ඔහු ලබන්නේ ජාතික තරුණසේවා සභාවෙන් ලැබූ ශාස්ත්‍රීය ශික්ෂණයත් එක්ක. නාට්‍ය කලාව හැදෑරීමට ඔහුව පෙලඹුණේ කෙසේද යන්න අප ආලෝකව විමසුවා.

“එවකට කන්තලේ වේදිකා නාට්‍යයක් දකින්න වරම් ලැබුණේ කලාතුරකින්. යුද්ධය තිබුණ වකවානුව නිසා අවුරුදු හතර පහකට සැරයක් තමයි වේදිකා නාට්‍යයක් ඒ ප්‍රදේශයට එන්නෙ. එක නාට්‍ය දර්ශනයයි පෙන්නුවේ. ඒ හවස 2.30ට. පොඩි කාලෙදි මම සුගත් සමරකෝන් මහත්මයාගේ "උතුරේ රාහුල හිමි" නාට්‍ය නරඹලා තියෙනවා. කන්තලේට නාට්‍යයක් ආවොත් මම නොවැරදීම බලනවා.

වේදිකා නාට්‍ය නරඹද්දී මට දැනුණා නළුවෙක් වෙන්න නම් ඒ ශිල්පය ඉගෙන ගන්න ඕන කියලා. ඒ නිසා තමයි මම ජාතික තරුණ සේවා සභාවට ඇතුළත් වෙන්න තීරණයක් ගන්නේ.

මගේ මුල්ම නාට්‍යය නිර්මාණය කරන්න අවුරුදු හතක් ගත්තා. ඊට එකතු කරගත්තේ මගෙත් එක්ක එකට ඉගෙන ගත්ත සහෝදර පිරිස. ඔවුන්ගේ ධාරිතාව කැපවීම වගේ හැම දෙයක් ගැනම මට වැටහීමක් තිබුණා. එයත් එක්තරා ආකාරයකින් මේ සාර්ථකත්වයට හේතුවක්.

අලෝකගේ රංගකලා ජීවිතය ආරම්භ වෙන්නේ වේදිකාවෙන්. ඔහු ඒ ගැන කතා කරන්නේ ආඩම්බරෙන්...

“එය මා ලබපු භාග්‍යයක්. වේදිකාව කියන්නෙම කැපකිරීමට තවත් නමක්. ඒ කැපකිරීම කරන්න බැරි නම් කලාවට එන එකේ තේරුමක් නෑ. මගේ නම නාට්‍යකරුවෙක් ලෙස සනිටුහන් වෙන්නේ එතනදී. ඒ අපි වගුරවපු දහදිය මහන්සිය එක්ක. අවංකව වේදිකාවේ පය තියපු කෙනකුට කිසි දවසක වරදින්න විදිහක් නෑ. ඒ තරමටම ජීවිතය පිළිබඳ සමාජය පිළිබඳ විශ්වීය මානයක් නාට්‍යකරුවා තුළ නිර්මාණය වෙනවා."

එහෙත් අලෝක වඩාත්ම ජනාදරයට පත් වන්නේ 'පබළු' ටෙලි නාට්‍යයෙන්.

" 'පබළු' ටෙලි නාට්‍යය එක්තරා ආකාරයක මගේ ජීවිතේ සන්ධිස්ථානයක්. එදා බෙනා මාමාට අහුවුණු මාව ප්‍රේක්ෂකයන්ට අහුවෙන්නෙත් ඒ නාට්‍ය හරහා. බෙනාගේ චරිතය රූපණය කළේ ප්‍රියන්ත සෙනෙවිරත්න අයියා. ඔහුගේ මස්සිනා රිකී විදිහටයි මට එදා රඟපාන්න තිබුණේ.

මහේෂ් සත්සර මද්දුමආරච්චි අයියා තමයි මේ ටෙලිනාට්‍ය ලියන්නෙ. අධ්‍යක්ෂණය කළේ ශාන්ත සොයිසා අයියා. මං හිතනවා ඒ චරිතය වෙනුවෙන් සාධාරණයක් ඉටු කරන්න මට පුළුවන් වුණා කියලා.

ඊට පසුව මහේෂ් අයියාගේ තිර රචනයකට අනුව ශාන්ත අයියාම අධ්‍යක්ෂණය කළ 'සඳා' ටෙලි නාට්‍යය මගේ ජනප්‍රියත්වය තවත් ඔසවා තැබුවා. එතනින් පසුව ටෙලිනාට්‍ය සෑහෙන ප්‍රමාණයක මට රඟපාන්න අවස්ථාව ලැබුණා. වේදිකාවෙන් ලබාගත් පන්නරය මට රූපවාහිනි නාට්‍යවලට එද්දී අනිවාර්යෙන්ම හොඳ පසුබිමක් නිර්මාණය කර දුන්නා. ඒ හැම නිර්මාණයකම සියලුම නිර්මාණකරුවන් සහ අනෙකුත් ශිල්පීන් සියලු දෙනාම මගේ ගමනේ කොටස්කරුවන්."

ආලෝකට සහෘද රසිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද. කතාව අතරෙදි අප ඔහුව විමසුවා.

" මම බොහෝ වෙලාවට පෞද්ගලික ප්‍රවාහන සේවාවල යන කෙනෙක්. ඒ නිසාම සහෘදයන්ගේ උණුසුම් ප්‍රතිචාර අනිවාර්යෙන් අත්විඳිනවා. මේ ප්‍රතිචාර වෙලාවකට මාව පුදුම කරනවා. "

ආලෝක ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය හා රංග කලාව පුහුණු පාඨමාලාව මෙහෙයවමින් තමන් උගත් දැනුම අලුත් පරම්පරාවට නිර්ලෝභීව බෙදා දෙන්නට සිය කාලය කැප කළ කෙනෙක්. ඔහු ඒ සඳහා ඉඩ හසර ලබා ලබා ගන්නේ වර්ෂ 2007 සිටයි.

“දැන් අවුරුදු 14ක්... ඒක සුවපහසු රාජකාරියක් නොවෙයි. මට මතක් වෙනවා අපි වෙනුවෙන් කැප වෙලා උගන්නපු ජ්‍යෙෂ්ඨ පරපුරේ නාට්‍යවේදීන්. ඒවගේම එවකට සභාපතිව සිටි භාෂ්වර සේනාංක ගුණරත්න මහත්මයා. ඔහුගේ මූලිකත්වයෙන් තමයි මගේ සේවය ආයතනයට ලබාගන්න කටයුතු සැලසෙන්නේ. ඉන් අනතුරුව පැමිණි සියලුම සභාපතිවරු සහ අධ්‍යක්ෂකවරු කෘතවේදීව සිහිපත් කරන්න මම කැමතියි. ඒ අතර මගේ නිර්මාණ ජීවිතය අගය කරමින් මට ශක්තිමත්ව ගොඩ නැඟෙන්නට හැම අතින්ම දිරිය දෙන කෙනෙක් ඉන්නවා. එයාට විශේෂයෙන්ම ස්තුතියි. ඒ වගේම හැමදාම මා වටා එකතුවෙන මාව අගය කරන මට ධෛර්යය දෙන ප්‍රේක්ෂකයන් හැම දෙනාට මං අසීමිතව ආදරෙයි .“

ආලෝක තමන්ගේ ජීවිතයට ආලෝකය හොයාගෙන ගිය තරුණයෙක්. ඒ ආලෝකය ඔහු දිනා ගන්නවා. අද තරුණයන් මේ දිලිසෙන ආකර්ෂණය හොයාගෙන ඇවිත් අතරමං වෙනවා අපි දැකලා තියෙනවා. ඒ ඇත්ත ගැන අවසානයේදී අපි ආලෝක එක්ක කෙටියෙන් කතා කළා.

"අපේ තරුණ තරුණියෝ ගොඩක් අය ආසයි හෙට උදේ වෙද්දි ටෙලි නාට්‍යවල පෙනී හිටල ජනප්‍රිය වෙන්න. එදිනෙදා හමුවෙන බොහෝ දෙනෙක් අහනවා අපිටත් චාන්ස් එකක් අරන් දෙන්න බැරිද කියලා. මං ඔවුන්ට කියන දේ තමයි ඒක එහෙම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. රංගනය කියන්නෙ ඉගෙන ගන්න ඕන කලාවක් කියලා.

ඉක්මනින් නළුවෙක් වෙන්න කෙටි මාර්ග හොයන්න එපා. මං කන්තලේ ඉඳලා කොළඹට ඇවිල්ලා මේ වන කොට අවුරුදු විස්සක්. මේ මොහොතේ ඉන්න මාව ගොඩනැඟෙන්නේ ඒ අවුරුදු 20 ඇතුළත. ඒ වෙනුවෙන් විශාල ඉවසීමක් කැපවීමක්, ඉගෙනීමක් ලබන්න මට සිදු වුණා. රූපවාහිනියක මූණ පෙන්වන්න ආශාව තිබිලා මදි. ඒ වෙනුවෙන් කැප වෙන්න හැකියාවක් තියෙන්න ඕන. මේ වෘත්තියේ ගෞරවයත් රැකගනිමින් මේ වෘත්තිය රැඳෙනවා නම් ඒ කැපවීම කරන්න බලාගෙන එන්න කියලා තමයි මම අලුත් පරම්පරාවට කියන්නෙ.

 

ඡායාරූපය -

චමත් ෂා අම්බලන්ගොඩ

Comments