හතර වටෙන් ඇහෙන කතා | සිළුමිණ

හතර වටෙන් ඇහෙන කතා

ගයාන් චතුරිකා

දායක වූ පින්කම

 

ජනප්‍රිය රංගන ශිල්පින් දෙපළක් වන ගයාන් වික්‍රමතිලක සහ චතුරිකා පීරීස් පුණ්‍ය කර්මයකට දායක වුණා. ඒ කාව්‍ය ශ්‍රී මාතලේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේගේ ආරාධනයෙන් උන් වහන්සේගේ 22 වැනි ජන්ම දිනය නිමිත්තෙන් අභිනවයෙන් ඉදිකළ අවුකන බුද්ධ ප්‍රතිමාවේ අනුරුවක් නිරාවරණය කිරීමත් ඇත් පවුර සහිත වලාකුළු බැම්ම සහ ඝාණ්ටාර කුලුන විවෘත කර බුදු සසුනට පූජා කිරීමේ පිංකමක් පසුගියදා ඔවුන් විසින් සිදු කර තිබුණා. මෙවැනි පින්කමකට අනුමෝදන් වීමට ලැබීමත් ගයාන් හා චතුරිකා ලද භාග්‍යක් ලෙසයි ඔවුන් පවසන්නේ.

 

 

සංගීතමය චිත්‍රපටයක් හැදුවේ

පළමුවතාවට

Jaws, ET, Jurassic Park වැනි ආදායම් වාර්තා පිහිටු වූ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්‍ෂණය කළ ස්ටීවන් ස්පිල්බර්ග් ගේ නවතම චිත්‍රපටය මේ වසරේදී තිරගත වීමට නියමිත යි. ඔහු ගේ මෙම සිනමාපටය නිර්මාණය වන්නේ 1957 වසරේ ඔහුගේ නිෂ්පාදනය වූ West Side Story සංගීතමය වේදිකා නාට්‍යය ඇසුරෙන්. එම නාට්‍යය විලියම් ශේක්ස්පියර් ගේ රෝමියෝ ජුලියට් නාට්‍යයේ ආභාසය ලැබූ නිර්මාණයක් බව සඳහන්. ස්ටීවන් ස්පිල්බර්ග් දශක ගණනක් පුරා දිවෙන සිය සිනමා ජීවිතය තුළ විවිධාකාරයේ චිත්‍රපට නිර්මාණය කර ඇති මුත් ඔහු සංගීතමය චිත්‍රපටයක් නිර්මාණය කළ පළමු අවස්ථාව මෙය යි. ඔහුගේ රසිකයන් මහත් ආසාවෙන් බලාපොරොත්තුව සිටින West Side Story සිනමාපටයේ මූලික ප්‍රචාරක පටයක් පසුගිය දා නිකුත් කෙරුණා. එය නිකුත් කෙරුණේ ද විශේෂ අවස්ථාවක යි. එනම් පසුගිය 25 වැනිදා පැවැති ඔස්කාර් සම්මාන උලෙළ අතරතුර යි.

 

හොඳම යාළුවාට

අවසන් ගෞරවය

ජනප්‍රිය කොලිවුඩ් නළු විජේ පසුගිය කාලයේ සිටියේ ජෝර්ජියාවේ. ඒ ඔහු ගේ අලූත් ම චිත්‍රපටය වන ‘තලපති 65’ චිත්‍රපටයේ රූපගත කිරීම් සඳහා. කෙසේ හෝ වේවා, එහි රූපගත කිරීම් අවසන් කර පසුගිය දා නැවතත් සිය මව්රට ට පැමිණි විගස විජේ ගොස් තිබුණේ පසුගිය දා ජීවිතයෙන් සමුගත් ජනප්‍රිය නළු විවේක් ගේ පවුලේ උදවිය මුණ ගැසී තම ශෝකය පළ කිරීමට යි. විවේක් පසුගිය 17 වැනි දා හෘදයාබාධයක් හේතුවෙන් මරණයට පත් වූ අතර එ් වනවිට ජෝර්ජියාවේ සිටි විජේ ට සිය කුලුපග මිතුරාගේ අවමඟුල් උත්සවයට සහභාගි වන්නට ලැබුණේ නැහැ. විවේක් සහ විජේ චිත්‍රපට රැසක එකට රඟපා තිබෙනවා. Thamizhan, Kuruvi, Kushi, Thirumalai, Aathi, Badri, Youth , Shahjahan වැනි චිත්‍රපට එ් අතරින් ප්‍රධානයි.

 

ඉක්මන් සුවය ලැබේවා!

ගුවන්විදුලි මහගෙදර ගාම්භීර හඬක් වූ ප්‍රවීණ නිවේදක සහ දක්ෂ ගීත රචකයෙකු වන වසන්ත රෝහණට කොවිඩ් ආසාදනය වී දැනට අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබන බව පැවසෙනවා. ඔහුට හැකි ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කර සිය මුහුණු පොත්වල ලක්ෂ සංඛ්‍යාත රසික රසිකාවන් සටහන් දමා තිබෙනවා. එසේම වසන්ත රෝහණ මහතා සියලු දෙනාටම ස්තුතිය කරමින් තම මුහුණු පොතෙහි ද සටහන් කිරීමට අමතක කර තිබුණේ නැහැ. ඉක්මනින්ම වෙනදා මෙන් සුපුරුදු කටහඬ උදෑසන ඇසීමට ලැබේවායි ද අපි ප්‍රාර්ථනා කරමු.

 

 කොවිඩ් හමුවේ ඉස්මතු වූ

මිනිසත්කම

ඉන්දියාව මේ වනවිට කොවිඩ් නිසා බියකරු ඉරණමකට ගොදුරු වී සිටිනවා. දිනකට ලක්‍ෂ ගණනක් රෝගීන් වාර්තාවන තත්ත්වය යටතේ රෝහල්වල ඉඩකඩ නොමැති වීමෙන් ද, ඔක්සිජන් සහ වෙනත් ඖෂධ නොමැති වීමෙන්ද රෝගීන් මහත් සේ අසරණ වී සිටිනු දැකිය හැකි වුණා. මෙලෙස අසරණ ව සිටින රෝගීන්ට විවිධාකාරයෙන් උදව් කිරීමට පිහිටුවා ඇති අරමුදලක ට සුaපිරි නළු ආක්ෂේ කුමාර් ඉන්දියානු රුපියල් කෝටියක මුදලක් පරිත්‍යාග කළ බවක් පසුගිය දිනෙක මාධ්‍ය වාර්තා කර තිබුණා. එය ලංකා මුදලින් රුපියල් කෝටි දෙකහමාරකට ආසන්න මුදලක්. ඉන්දියාවේ කොවිඩ් පළමු රැල්ල අවස්ථාවේ ද ආක්ෂේ මේ ආකාරයෙන්ම ඉන්දියානු රුපියල් කෝටි 25 ක (ලංකා රුපියල් කෝටි 62 ක පමණ) මුදලක් පරිත්‍යාග කර තිබුණා.

ආක්ෂේ බොලිවුඩ් සිනමාවේ සිටින ධනවත් ම නළුවකු බව රහසක් නොවෙයි. චිත්‍රපටයක් වෙනුවෙන් ඔහු ඉන්දියානු රුපියල් කෝටි 100 කට වැඩි මුදලක් අය කරන බව පැවසෙනවා.

 

 

සයුර මැද පැවැති

උපන්දින සාදය

 

ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන සචිනි අයේන්ද්‍රාගේ උපන් දිනය පසුගිය දිනෙක යෙදී තිබුණා. මෙවර උපන්දිනේට ඇයට ලැබුණේ පුදුම උපන් දින සාදයක්. මේ උපන්දින සාදය සැලසුම් කර තිබුණේ සයුර මැද. කලාකරුවන් රැසක් එක්ව සැමරූ සචිනි ගේ උපන් දින සාදය ඇගේ සැමියා විසින් සැලසුම් කර තිබු බවයි සචිනි සිය ෆේස් බුක් ගිණුමෙහි දක්වා තිබුණා. මාෂි සිරිවර්ධන, පුබුදු චතුරංග, ගයාන් වික්‍රමතිලක , චතුරිකා පීරීස්, යශෝධා විමලධර්ම,සමනලී ෆොන්සේකා , ජීවන් කුමාරතුංග, උදාරි පෙරේරා ඇතුළු කලාකරුවන් රැසක් මෙයට සහභාගි වී තිබුණු බවත් ඇය සඳහන් කර තිබුණා.

Comments