හොඳම ක්‍රිකට් ක්‍රීඩි­කාව වෙන්න | Page 2 | සිළුමිණ

හොඳම ක්‍රිකට් ක්‍රීඩි­කාව වෙන්න

 

ඒ වර්ෂ 2018ය. රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ බාලිකා ක්‍රිකට් කණ්ඩායම හා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ බාලිකා ක්‍රිකට් කණ්ඩායම අතර ක්‍රිකට් තරගයක් දේවපතිරාජ විද්‍යාලයීය ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දි පැවැත්විණි. මෙම තරගයේ දී රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ බාලිකා කණ්ඩායමේ කවීෂා දිල්හාරි ප්‍රවේගකාරී පිතිහරඹයක් දියත් කළාය. ඇය පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පන්දු යවන්නියන්ට එළවා එළවා පහර දුන්නාය. කවීෂා මෙම තරගයේ දි වාර්තාවක් තබමින් පන්දු අනූවක දී හයේ පහරවල් 40ක් සමඟ ලකුණු 353ක් ලබා ගත්තාය.

 

ලකුණු 353ක් යනු විස්මය දනවන සුලු ප්‍රහාරයක ප්‍රතිඵලයක් බව ක්‍රිකට් දන්නො දනිති. එදා කවීෂාගේ එම ප්‍රවේගකාරි අලංකාර පිතිහරඹය මෙරට කාන්තා ක්‍රිකට් බලධාරින්ගේ අවධානයට ලක්විය. මේ පුදුම සහගත ප්‍රහාරිකාව පිළිබඳ ක්ෂේත්‍රයේ කවුරුත් කතා කරන්නට වුහ.

අනතුරුව කවීෂාව මෙරට ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කැඳවිණි. ඇය දැන් අපේ ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකාවකි. ක්‍රිකට් ක්‍රීඩාවේ පැහැබර අනාගතයකට හිමිකම් කියන කවීෂා මෙවර පැවති 'ඔබ්සවර් SLTමොබිටෙල් පාසල් ක්‍රිකට් සම්මාන උලෙළේ' විශිෂ්ටතම ක්‍රිඩිකාව ලෙස සම්මානයට පාත්‍ර වුවාය.

මෙරට කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍රයට පහළ වූ අනාගත මහා සම්පතක් බව ඉඟි දෙන කවීෂාගේ තොරුතුරු සොයා අපි රත්ගම දේවපතිරාජ විද්‍යාලයීය ක්‍රීඩාංගණය වෙත ගියෙමු. අප යන විටත් ඇය දේවපතිරාජ බාලිකා ක්‍රිකට් කණ්ඩායම සමඟ පුහුණුවේ යෙදෙමිනි.

පුහුණුව අතර ජාතික බලාපොරොත්තුවක් වූ මේ ජවසම්පන්න තරුණිය අප සමඟ පිළිසඳරට එක් වූවාය. පවුලේ වගගුත සමඟ ඇය කතා බහ ආරම්භ කළාය.

“මගෙ ගම රත්ගම නයාගොඩ. අපේ පවුලෙ පස් දෙනෙක්. මම තමයි බාලයා. තාත්තා ඩබ්ලිව් සුනිල්. තාත්තා කරන්නෙ ධීවර ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියාවක්. අම්මා නිශාන්තා ප්‍රියාදරි. ඇය ගෘහණියක්. වැඩිමහල් සහෝදරිය අයේෂා තුෂාරි පෙර පාසල් ගුරුවරියක්. අයියා ප්‍රසාද් මදුරංග යුධ හමුදා සාමාජිකයෙක්.“

ඇය කියාගෙන ගියාය. කවීෂා ක්‍රිකට්වලට සම්බන්ධ වෙන්නෙ කොහොම ද?

“ ඒක නම් අහම්බයක්. මම පොඩි දවස්වල වොලිබෝල්වලට තමයි කැමැත්තෙන් හිටියෙ. ක්‍රිකට් ක්‍රීඩාවට යොමුවෙන මුල්ම සිදුවීම වන්නේ 08 වසරේ දි. පාසලේ නිවාසාන්තර මලල ක්‍රීඩා තරගයේ දී නිවාස අතර පැවති ටෙනිස් බොල් ක්‍රිකට් තරගයකට මම සෙල්ලම් කළා. ඒ තරගයේ දී මගේ දක්ෂතා හඳුනා ගත් ඒ කාලේ රත්ගම දේපතිරාජ විද්‍යාලයේ ක්‍රිකට් පුහුණු බාර ආචාර්යවරයා වශයෙන් කටයුතු කළ නිශාන්ත කුමාර සර් මාව පාසලේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට යොමු කළා. ඊට පස්සෙ මම දිගටම පුහුණු වීම් කළා.“

වර්ෂ 2014 දී රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආරම්භ කරනු ලැබීය. 2014 වර්ෂයේ සිට මේ දක්වා කවීෂා රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ බාලිකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන්නීය. මුල සිටම ඇය කණ්ඩායමේ කැපී පෙනෙන ක්‍රිඩිකාවක් වූවාය. වර්ෂ 2018 හා 2019 දී බලිකා කණ්ඩායමේ නායකත්වය ද ඇය දරා තිබුණාය.

“කවීෂාගෙ ගෙදරින් ක්‍රිකට්වලට ලැබුණු සහාය කොහොම ද?“මම ඇයව විමසීමි.

“ ගෑනු ළමයෙක් නිසා මම ක්‍රිකට් ගහනවට අම්මා නම් එච්චර කැමැති වුණේ නෑ. ඒත් තාත්තගෙ ආශීර්වාදය ලැබුණා. මගෙ තාත්තා ඒ වෙනුවෙන් මහා කැප කිරීම් කළා. පුහුණු වීම් තියෙන දවස්වලට තාත්තා මාව යතුරුපැදියේ නන්වාගෙන පුහුණුවීම්වලට අරන් ආවා. මුලදි ක්‍රිකට් ක්‍රීඩා උපකරණ මිලදී ගන්න විශාල වියදමක් දරන්න වුණා. ඒ වකවානුව අපට දැඩි ආර්ථික දුෂ්කරතා තිබුණු කාලයක්. එත් තාත්තා මගෙ හීනවලට ඉඩ දුන්නා. කිසිම ප්‍රශ්න කිරීමක් නැතිව හැමදේම මට ලබා දුන්නා “.

වර්ෂ 2015 සිට 2020 දක්වා වර්ෂ හයක් පිට පිටම වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් බාලිකා ක්‍රිකට් තරගවල දී බාලිකා ශුරතාව හිමිකර ගැනීමට දේවපතිරාජ විද්‍යාලයේ බාලිකා ක්‍රිකට් කණ්ඩායමට හැකි විය. මේ ජයග්‍රහණවලට කවීෂාගෙන් ලැබී තිබුණේ ප්‍රබල දායකත්වයකි.

“පහුගිය තරගාවලියේ ඔබේ අත්දැකීම කොහොම ද? මම ඇය විමසුවෙමි. ඇය සිය මතක ගොනුව දිග හැරියාය.“

“ 19න් පහළ අන්තර් පාසල් බාලිකා ක්‍රිකට් තරගවලදි රත්නාවලි බාලික විද්‍යාලයට එරෙහිව ලකුණු 138ක් ගන්න ලැබුණා. නුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයට එරෙහිව ලකුණු 100 ක් ලබා ගත්තා. මේ තරගාවලියේ අර්ධ අවසන් පුර්ව තරගවල දී කොළඹ අනුලා විද්‍යාලයට එරෙහිව තරග දෙකකදි අර්ධ ශතක දෙකක් ලබා ගත්තා. වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ දී රත්නාවලි බාලිකා විද්‍යාලයට එරෙහිව ලකුණු 49ක් ලබා ගන්න පුළුවන් වුණා.“ඇය අතීත මතක සාරාංශ කළාය.

කවීෂා දිල්හාරි මැදපෙළ පිතිකාරිනියකි. තුන් ඉරියව් ක්‍රිඩිකාවක් වන ඇය පිටදඟ පන්දු යවන්නියකි. කවීෂාගේ පාසල් ක්‍රිකට් දිවියේ ඇය ශතක 10ක් හා අර්ධ ශතක 15ක් රැස්කර ගත්තාය.

කවීෂාට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කැඳවීමක් ලැබෙන්නේ මේ අතරය. එතැන් සිට ඇයට පුහුණුවීම් සඳහා කොළඹට එන්නට සිදුවිය. දැඩි කැපවීමෙන් කටයුතු කළාය. තවමත් විසි හැවිරිදි ක්‍රීඩිකාවක් වූ කවීෂාගෙන් ඇයගේ ජාත්‍යන්තර ක්‍රිකට් අත්දැකීම් ගැන විමසුවෙමි.

“මුල්ම තරගය ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබුණේ පකිස්ථානයට එරෙහිවයි. ඒ තමයි මගෙ පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය. වර්ෂ 2019 දි දකුණු අප්‍රිකාවේ පැවැති ක්‍රිකට් තරගාවලියට මා සහභාගි වුණා. වර්ෂ 2018 වර්ෂයේ දි බටහිර ඉන්දිය කොදෙව් දුපත්වල පැවති කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට වගේම 2020 වර්ෂයේ ඔස්ට්‍රේලියාවේ පැවති කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ද මම එක් වුණා. සාෆ් ක්‍රිකට් තරගාවලියටත් එකතු වුණා. මේ වෙනකොට අන්තර් ජාතික තරග 05කට ක්‍රීඩා කරලා තියෙනවා.“ඇය කීවාය.

මේ සියලු සම්මාන මැද හොඳම පාසල් ක්‍රීඩිකාව ලෙස ඇය ලද ඔබ්සවර් හොඳම පාසල් ක්‍රීඩිකාව සම්මානය ගැන ඇය කියන්නේ අසීමිත සතුටිනි. “ඔබ්සවර් පුවත්පතේ අනුග්‍රහයෙන් සංවිධානය කළ සම්මාන උලෙළේ දී දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස මාව සම්මානයට පාත්‍ර වුණා. ඒ ගැන ගොඩක් සතුටුයි.“

“ක්‍රිකට් ක්‍රීඩා කරන විට විශාල කැපකිරීමක් කරන්න වෙනවා. මට අවශ්‍ය ක්‍රීඩා උපකරණ ලබා දීම සඳහා ආයතනය මට ගොඩක් සහාය වෙනවා. ඒ සඳහා අනුෂ, අංජුල, දිනේෂ්, සුසිල් සර්ලා මට ගොඩක් උපකාර කළා.“

කවීෂා දැන් කොහොමද ජාතික කණ්ඩායමේ පුහුණුවීම්වලට යන්නේ. ඇය සිනාසෙමින් අතීතය සිහි කළාය.

“මුලින්ම ජාතික කණ්ඩායමට කෝල් කළ කාලෙ මම තාත්තා එක්ක පාන්දර තුනට විතර නැඟිටිනවා. අපි හතරට විතර ගෙදරින් එනවා. තාත්තා මාව කෝච්චියේ කොළඹ එක්ක එනවා. මම ප්‍රැක්ටිස් කරනකම් තාත්තා ගහක් යටට වෙලා මං දිහා බලගෙන ඉන්නවා. සමහර දවසවල අපි ගෙදර යද්දි රෑ 12 පහුවෙලා.“

ඇගේ ආයාසය අසා සිටියෙමි.

“දැන් නම් කොළඹ නගරයේ බෝඩිමක නතරවෙලා තමයි ජාතික කාන්තා කණ්ඩායමේ පුහුණුවීම්වලට යන්නේ. ටැමිල් යුනියන් ක්‍රීඩා පිටියේ පුහුණුවීම් කටයුතු කරන්නේ. කාන්තා ක්‍රිකට්වලට ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ගොඩක් උදව් කරනවා. ඇත්තටම මට ලොකු ගැටලුවක් නැහැ. “

ඇය කියන්නී ඇගෙන් පසු පාසල් ක්‍රිකට් කණ්ඩායමට එන ක්‍රීඩිකාවන් ගැනය.

“අපේ පාසලේ ක්‍රිකට් සෙල්ලම්කරන නංගිලා දැඩි දුෂ්කරතා මැද තමයි ක්‍රිකට් ක්‍රීඩාව කරගෙන යන්නේ. සමහර අයට සපත්තු දෙකක් පවා ගන්න විදියක් නැහැ. ඒ නිසා ක්‍රිකට් ක්‍රීඩා කරන අපේ පාසලේ නංගිලාට උදව් කරන්න පුළුවන්නම් කවුරුන් හෝ එය කරන්න. “

කවීෂගෙ අනාගත ක්‍රිකට් බලාපොරොත්තුව මොකක් ද? ඇය එයට තිර අධිෂ්ඨානයකින් යුතුව උත්තර දුන්නාය.

“රට වෙනුවෙන් උපරිමයෙන් ක්‍රීඩා කරලා රටට කීර්තියක් අත්කර දෙන්නයි මම ක්‍රිකට් ගහන්නෙ. ලෝකයේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත්වීම තමයි මගෙ ප්‍රධාන ඉලක්කය සහ බලාපොරොත්තුව. මේ අවස්ථාවේ දී අපේ පාසලේ විදුහල්පතිතුමා කේ. සෑම් ද සිල්වා, රංජිත් කුඹලාතර සර්, රන්ජන් සර්, මාව ක්‍රිකට්වලට යොමු කළ නිශාන්ත සර්, මගේ පුහුණුකරු මහේෂ් සදරුවන් සර්ලා සිහිපත් කළ යුතුයි.“

රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ විදුහල්පති කේ. සෑම්ද සිල්වාය. තමන්ගේ පාසලේ දියණියක මේ යන ගම ගැන ඔහු ඉන්නේ ආඩම්බරයෙනි.

“මට මේ පිළිබඳ නිහතමානි ආඩම්බරයක් තියෙනවා. මේ කණ්ඩායමේ ඉන්නේ නියම සුජාත දේවපතිරාජ දරුවෝ. ගමේ කොස් පොලොස් කාලා හැදෙන දරුවෝ තමයි අපේ පාසලේ ඉන්නේ. මගේ අහිංසක දරුවෝ තමයි පාසලට කිර්තියක් ලබා දීලා තියෙන්නේ. කවීෂා දියණිය මේ තත්ත්වයට එන්න දැඩි කැපවීමක් කළා. පාසලේ ක්‍රිකට් බාර ආචාර්ය රංජිත් කුඹලාතර, පුහුණුකරුවන් වන රන්ජන්, මහේෂ් සඳරුවන් යන මහත්වරු මවුපියන් සියලුදෙනා එකම ආකාරයේ සමඟාමී ගමනක් ගිහින් තමයි දරුවා මෙම තත්ත්වයට රැගෙන ආවේ. “

“මේ දරුවා පාසලට පිටුපෑවේ නැහැ. වෙනත් පාසල්වලින් ඉල්ලීම් ආවා. මේ දරුවා අපේ පාසල සමඟ හිටියා. මට ගොඩක් සතුටුයි ඇය ගැන.“ .

රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු මහේෂ් සඳරුවන් කවීෂාගේ කතාවට ඌණ පූර්ණ එක් කළේය.

“වයස අවුරුදු 13 දි තමයි ඇය ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වන්නේ. ඇය මැද පෙළ පිතිකාරිනියක් ලෙස ක්‍රීඩා කළත් ඇයට ඕනැම තැනක පිතිකරණයේ යෙදෙන්න පුළුවන්. කණ්ඩායමට අවශ්‍ය වෙලාවට ආරම්භක මැදපෙළ පිතිකාරිණියක් ලෙස ඇය යොදවා ගන්නවා. කවීෂාට හොඳ අනාගතයක් තියෙනවා. කැපවීම හා උනන්දුව නිසයි ඇයට මෙම තත්ත්වයට එන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ ගැන ගොඩක් සතුටුයි.“

“රත්ගම දේවපතිරාජ පාසලේ දරුවන් ක්‍රිකට් ක්‍රීඩා කටයුතු කරගෙන යන්නේ නොයකුත් දුෂ්කරතාවලට මුහුණ දෙමින්. කාන්තා ක්‍රිකට් කණ්ඩායම වසර 06ක් පිට පිට අන්තර් පාසල් බාලිකා ක්‍රිකට් තරගාවලිවලදි ශුරතාව දිනාගෙන තියෙනවා. අපිට ලොකු සම්පත් පහසුකම් නැහැ. තියෙන සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගන්නවා.“

කවීෂා දිල්හාරි දියණියගේ පියා ඩබ්ලිව් සුනිල් තම දියණිය ගැන කතා කරන්නේ රටක් රාජ්‍යයක් දිනා ගත් රජකුගේ හැඟීමකිනි.

“ සතුටු වෙන්න ඕන තාත්තෙක් මම. මමත් මලල ක්‍රීඩා කළා. ක්‍රීඩාව ගැන මම දනන්වා. වයස අවුරුදු 13 ඉඳලා දුව ක්‍රිකට් ගහනවා. මුලදි ආර්ථික දුෂ්කරතා ගොඩක් තිබුණත් තාත්ත විදිහට මම ඒවා දරා ගත්තා. ඔබ මේ දකින්නෙ එහි ප්‍රතිඵල.“

ඒ ප්‍රතිඵල ඒ තාත්තා විතරක් නොව දැන් ජාතියක්ම අත් විඳින්නේය.

 

Comments