‘2019 ජූලි මාසේ දව­සක්’ එක්ක සුව­පත් දව­සක හමු­වෙමු | Page 2 | සිළුමිණ

‘2019 ජූලි මාසේ දව­සක්’ එක්ක සුව­පත් දව­සක හමු­වෙමු

 - රාජිත දිසා­නා­යක

 

 

රාජිත දිසානායක අපේ වේදිකාවට අමුතුම ප්‍රභාවක් එක් කළ නාට්‍යකරුවෙක්. රාජිත මීට වසර 27කට කලින් සක්වාදාවල අරන් වේදිකාවට පැමිණි ඔහු "හංසයින්ටත් මං ආසයි" (1996), "මට වෙඩි තියන්නැද්ද" (1999) නාට්‍ය හරහා ප්‍රේක්ෂකාගාරය වෙනම මානයකට රැගෙන ගියා. ඔහුගේ "වීරයා මැරිලා"(2002), "සිහින හොරු අරං" (2005), "ආපහු හැරෙන්න බෑ" (2009) ජාතික නාට්‍ය උලෙළේ හොඳම නාට්‍ය ලෙස සම්මානිත වුණා.

 

මේ විශිෂ්ට නිර්මාණකරුවා තමන්ගෙ අලුත්ම නිර්මාණය වේදිකාවට ගෙනෙන්න සියල්ල සැලසුම් කර තිබුණා. ඒ වේදිකා නාට්‍යය තමයි “2019 ජූලි මාසේ දවසක්“ වේදිකාගත කරන්න සැලසුම් කර තිබුණේ මැයි 07, 08, 09 දවස් තුනේ. අප්‍රේල් 22 දා සිට ප්‍රවේශපත්‍ර නිකුත් කරමින් තිබුණා. එහෙත් රටේ පවතින වාතාවරණයත් එක්ක නාට්‍යය ප්‍රදර්ශනය දින නියමයක් නැතිව කල් ගියා. අප රාජිත දිසානායක සමඟ කෙටි පිළිසඳරකට එක් වන්නේ එළඹි උවදුරු සමයේ නිර්මාණකරුවන්ට මුහුණ දෙන්නට සිදුවී ඇති අභියෝගයේ ප්‍රමාණය පිළිබඳ වූ තක්සේරුවත් සමඟයි.

රාජිත දිසානායක තමන් වේදිකාවට ගෙනන නිර්මාණයේ හැඳින්වීම පවා අමුතුම ආකාරයකට හැඬගන්වන නිර්මාණ කරුවෙක්. “2019 ජූලි මාසේ දවසක්“. නාට්‍යයෙ නමම කුහල දනවන්නක්. සංවාද ප්‍රවේශයට එයම නිමිති වුණා .

“2019 වස⁣රේ එක්තරා මාසයක සාමාන්‍ය දවසක විය හැකිව තිබූ සිද්ධියක් පාදක කරගෙනයි මෙම නාට්‍ය ගොඩනැඟිලා තියෙන්නේ. ඒ හරහා මේ ගතවෙන ජීවිතයත් ඉදිරියේදී ගත වෙන්න තියෙන ජීවිතයේ සමහර කාරණාවලට හේතු වුණු අපේ හැසිරීම් සමුදායත් යම් විවරණයකට ලක් කරනවා. සැකය, බිය වැනි කාරණා මිනිස්සුන්ගෙ මනසට ඇතුළු වුණාම ඔවුන් ක්‍රියා කරන ආකාරයත් ඒ ඔස්සේ සමහර මඟ හැරෙන දේවල් පිළිබඳත් සිතීමකට ප්‍රේක්ෂකයාට ඉඩ සලන්නයි මෙම නිර්මාණයෙන් උත්සාහ කරන්නේ.“

නාට්‍යය ගොඩනැ­‍ෙඟන්නෙ පරිකල්පිත කල්පිතයක් මුල් කරගෙන. නිර්මාණකරණයට ඇවැසි වස්තුබීජ කොතකුත් තිබිය දී රාජිත කල්පිත ගොඩනඟන්නෙ ඇයි? අප ඔහු විමසුවා.

“ කලාව කියන්නේ ප්‍රබන්ධයක්. පරිකල්පනය තුළ තමයි ප්‍රබන්ධයක් ගොඩනැඟෙන්නේ. සිදුවූ සිද්ධියකදී වුණත් පරිකල්පනයෙන් එකතු වෙන කොටස් තියෙනවා. කලාකරුවගේ කාර්යය වෙන්නේ පරිකල්පනය තුළ ප්‍රබන්ධය ගොඩනැඟීමයි. මේ නිර්මාණයෙත් ඒ වගේම සිදු විය හැකිව තිබූ දෙයක් නිර්මාණය කරලා තියෙන්නේ. නිර්මාණයක් වාර්තාවකින් වෙනස් වෙන්නේ ඒ අයුරින්.

රාජිත මේ නාට්‍යයෙ පිටපත රචනා කරන්න ගන්නේ 2019 වසරෙ මැයි මාසයේ අග භාගයේදී. අවුරුද්දක් විතර කාලයක් නාට්‍යය වෙනුවෙන් ඔහු කැප කරලා තිබුණා. ඒ කොවිඩ් වසංගතය හමුවේ පැවති ප්‍රායෝගික අර්බුදවලට මුහුණ දෙමින්. ඔහු අපට ඒ අත්දැකීම විස්තර කළා.

“ මේක තරමක් දුෂ්කර වගේම අවිනිශ්චිත කාලයක්. ඒත් නාට්‍ය අභ්‍යාස කටයුතු අත්නොහැර සිදු කරන්න අපි උත්සාහ කළා. මේ නාට්‍ය අභ්‍යාස කටයුතු ගිය අවුරුද්දේ අගෝස්තු මාසේ පටන් ගත්තේ. පළවෙනි කොවිඩ් රැල්ල එන කාලෙදි “නැතුව බැරි මිනිහෙක්“ , “ හිතලා ගත්තු තීරණයක්“ රංග ගත වෙන්න තිබ්බා. නමුත් ඒ නාට්‍ය දර්ශන අත්හිටු වන්න සිද්ධ වුණා. අලුත් නාට්‍යය ජනවාරි මාසයේ රංග ගත කරන්න සැලසුම් කරලා පුහුණු වීම් කටයුතු සිදු කරද්දි ඔක්තෝම්බර් මාසේදී පුහුණුවීම් නතර කරන්න සිදු වුණා.“

“මාස දෙකහමාරකින් පස්සේ ජනවාරි මාසේ මංගල දර්ශනයට සති දෙකක් තියෙද්දි උත්ගත වෙච්ච කො⁣රෝනා තත්ත්වය එක්ක නාට්‍යය කල් දැම්මා. චිත්‍රපටයක් නම් රූපගත කිරීම් සිදු කළාට පසුව සුරක්ෂිතව තියෙනවා. ඒත් වේදිකා නාට්‍යකට එසේ කරන්න බැහැ. සුදානම් වුණු විදියට නැවත නාට්‍ය සිදු කරන්න බැරි වුණොත් නැවත ඒ තත්ත්වයට පැමිණෙන්න දීර්ඝ කාලයක් වැඩ කරන්න වෙනවා. නාට්‍ය කණ්ඩායමේ නළු නිළියන්ට හා අනෙකුත් ශිල්පීන්ට තරමක් දුෂ්කර වුණත් අපි කණ්ඩායමක් විදියට සහයෝගයෙන් ⁣එම තත්ත්වයට මුහුණ දෙනවා. “

මේ අවිනිශ්චිත තත්ත්ව තුළ අනාගතයේ වේදිකා නාට්‍යය නිර්මාණ ජනගත කිරීම සම්බන්ධව නාට්‍යකරුවෙක් සිතන්නෙ කොහොම ද? අපට රාජිතගෙන් දැනගන්න අවශ්‍ය වුණා.

මේ තත්ත්වයේ දී අපි වගේම සමාජයේ අනෙකුත් පිරිසත් අසරණයි. කලාව වගේම ව්‍යාපාර කටයුතුත් අවිනිශ්චිතයි. කර්මාන්ත කටයුතුවලට වඩා කලා කටයුතුවලට නීති පනවනවා වැඩියි. සමහර ක්ෂේත්‍රවල වැඩි අවදානමක් තිබුණත් බලධාරින් සීමා පනවන්නේ නැහැ. කාර්යාලයකට වඩා රඟහලකදී සුරක්ෂිත තත්ත්වයක් තියෙනවා කියලා මට වගකීමෙන් කියන්න පුළුවන්. විශේෂයෙන් ලයනල් වෙන්ට් රඟහලේ ‘ඇන්ටික් කඩේ මරණයක්‘ නාට්‍ය රංග ගත කළේ ආසන සංඛ්‍යාවෙන් 50% යි. මුව ආවරණ පැලඳීම වගේම දුරස්තබව තිබුණා. ලයනල් වෙන්ට් රඟහලේ මෑතකදී වායු සමීකරණ පද්ධතියට පිටතින් ඔක්සිජන් ගෙන නැවත පිට කරන අලුත් පහසුකම් ඇති කළා. ඒ වගේම රඟහලකට පැමිණෙන්නේ තරමක් සංයමයක් ඇති පිරිසක්. නමුත් වැඩි අවදානමක් ඇති ස්ථානවලට වඩා සීමා පැනවෙන්නෙ කලා රස වින්දනයටයි. මේ තත්ත්වය ඇත්තටම සෝචනීයයි. අවුරුදු සමයේදී ජනතාව ඒකරාශී වීම පාලනය කරලා තිබුණා. කොරෝනා තත්ත්වය වැඩි වර්ධනය කළා. මේ නිසා නැවතත් පාසල් විශ්වවිද්‍යාල වසා දැමීම වගේම කලා කටයුතුත් නතර කරන්න සිද්ධ වුණා. මෙවැනි තත්ත්වයකට ඉඩ හැරීම කනගාටුදායකයි.

අප හැම විටම හෙට සම්බන්ධව යහපත් ඇසින් දකින්න කැමති මිනිස්සු. කොවිඩ් වසංගතය හමුවේ නාට්‍ය රසික සහෘදයන් ඉන්නෙත් සුවපත් හෙටක් ගැන බලාපොරොත්තු සහගතව. නාට්‍යකරුවෙක් ඒ යහපත් හෙට දවස ගැන දකින්නේ කොහොම ද? අප අවසාන වශයෙන් රාජිත විමසුවා.

“ මැයි මාසේත් ඔක්තෝම්බර් මාසේත් ඇති වුණු තත්ත්ව මාස දෙක තුනකින් වගේ කිසියම් යටපත් වීමක් සිදු වුණා. ඒවගේම මෙම තත්ත්ව මාස දෙකක් හෝ තුනකින් යම් ප්‍රමාණයකට පාලනය කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.

මට ලොකු විශ්වාසයක් තියෙනවා සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ කලා රසවින්දන කටයුතු ආරම්භ කරන්න හැකියි. ඒ සඳහා සුදානම් වුණු නාට්‍ය කලාවට ඇල්මක් දක්වන පිරිසක් ඉන්නවා. ඒ බව දැනීම ඇත්තටම අපිට හයියක්.

යම් යම් සීමා තියේවි... ඒ මධ්‍යයේ වුණත් නැවත නාට්‍ය කටයුතු ඇරඹීමට හැකි වේවි කියන යහපත් බලාපොරොත්තුව මා තුළ තිබෙනවා.

ඒ මිහිරි දවසේ “2019 ජූලි මාසේ දවසක්“ එක්ක රාජිත දිසානායක මුණ ගැසීමේ බලාපොරොත්තු ඇතිව අප ඔහුගෙන් සමුගත්තා.

 

Comments