කම්කරු දිනයදා දිවිසැරිය නිමැවූ ජනතා නියෝජිතයා | සිළුමිණ

කම්කරු දිනයදා දිවිසැරිය නිමැවූ ජනතා නියෝජිතයා

 

ආචාර්ය රංජිත් නවරත්නයන්ගේ 8 වැනි ගුණානුස්මරණය නිමිත්තෙනි

 අසංක නවරත්න (පාර්ලිමේන්තු මන්ත්‍රී)

 

වයඹ පළාතේ හිරියාල හත්පත්තුවේ ඓතිහාසික නිකවාගම්පහ කෝරළයේ නිකවැව නම් සොඳුරු ගම් පියසේදී 1948 ජනවාරි මස 07 වෙනි දින උපත ලද ඔහු ජීවන අත්දැකීම් ලබන්නේ නිදහස් ශ්‍රී ලංකාවේ වර්ධනයට සමාන්තරවය. සිප් සතර හැදෑරීමට නිකවැව ශ්‍රී දේවානම්පියතිස්ස මධ්‍ය මහා විදුහල තෝරාගන්නා ඔහු කුඩා අවදියේ පටන් අධ්‍යාපනයට සුවිශේෂී දක්ෂතාවක් දැක්වූ අතර, පාසැලේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසත් අනෙකුත් විෂයය සමගාමී කටයුතුවලදීත් කැපී පෙනෙන ශිෂ්‍යයෙක් බවට පත්විය.

උපාධිය ලබා රැකියාවක් සොයමින් විරැකියාවෙන් පීඩිතව සිටින යුගයේ ඔහුට මුහුණදීමට සිදුවූ සමාජ අසාධාරණයන්ට විරුද්ධව නැගී සිටීමට ඔහු එදා ජ.වි.පෙ. දේශපාලනය තෝරාගත්තා පමණක්ම නොව, 1971 දී මතුවූ ජ.වි.පෙ. කැරැල්ලට ක්‍රියාකාරීව නායකත්වය ලබාදෙන ලදී. මහව පොලීසිය යටපත් කරගත් සන්නද්ධ කණ්ඩායමට නායකත්වය ලබා දුන් ඔහු පසුකාලීනව කැරලිකරුවකු ලෙස වසර ගණනාවක් කුරුණෑගල, වැලිකඩ හා පොළොන්නරුව ආදී සිරකඳවුරුවල සිරගත කරවන ලදී. තරුණ අසහනය මුල්කරගෙන ජවිපෙ වටා එක්ව කැරැල්ලට සම්බන්ධ වූ නමුත් පුනරුත්ථාපනය කර නිදහස ලබද්දී සිරගෙදර මතුවූ දේශපාලන මතවාදයන් පිළිබඳව සාකච්ඡා වලින් පසු ජවිපෙ මතවාදයෙන් බැහැර වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්වී සිය දේශපාලන ගමන් මග ඇරඹීය.

අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඉංග්‍රීසි උප ගුරුවරයකු ලෙස 1975 දී සිය වෘත්තීමය ජීවිතය ආරම්භ කරන ඔහු පුහුණු උපාධි ගුරුවරයකු ලෙසත් පසුකාලීනව ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරියකු ලෙස වයඹ පළාත් අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් ලෙසත් සේවය කරන ලදී. වසර 21 ක් ගුරුවරයෙක් ලෙසත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් ලෙසත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විශිෂ්ට සේවාවක් ඔහු විසින් ඉටුකරන ලදී.

කෙසේ වෙතත් එ.ජා.ප. භීෂණයට මුහුණ දෙමින් එවකට අනුර බණ්ඩාරනායකයන් හා බැසිල් රාජපක්ෂයන් සමඟ රට පුරා යමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධාන පිහිටුවීමට ඔහු සුවිශේෂී මෙහෙවරක් සිදු කළ බව කවුරුත් දන්නා කරුණකි. රංජිත් නවරත්නයන් ශ්‍රී.ල.නි.ප. දේශපාලනය තුළ නොමැකෙන කාර්යයභාරයක් ඉටුකළ චතුර කථිකයෙක් හා දක්ෂ සංවිධායකවරයෙක් විය. 1982 ජනාධිපතිවරණයේදී ශ්‍රී.ල.නි.ප. අපේක්ෂකයා වූ හෙක්ටර් කොබ්බෑකඩුව මැතිතුමන්ගේ ජයග්‍රහණය පතා විශිෂ්ට කැපවීමක් සිදුකරන ලදී. නමුත් ශ්‍රී.ල.නි.ප. ය තුළම දියත් වූ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස එතුමා පරාජයට පත්විය.

මේ ජනාධිපතිවරණ පරාජයෙන් පසු ශ්‍රී.ල.නි.ප.යේ විජය කුමාරතුංගයන්, ටී.බී. ඉලංගරත්නයන් ඇතුළු පිරිසකගේ කැඩී වෙන්වී යාමෙන් පසු 1984 ජනවාරි මස 22 වැනි දින බිහිවූ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ආරම්භක නායකයෙක්ව එම පක්ෂය රටපුරා ව්‍යාප්ත කිරීමට සුවිශාල දායකත්වයක් එතුමා විසින් ලබා දුන්නේය. 1988 ජූලි මස 10 වෙනි දින පක්ෂයේ උප ලේකම්ධූරයටත් 1989 නොවැම්බර් 12 දින පක්ෂයේ උප සභාපතිධූරයටත් එතුමා පත්කරනු ලැබූයේ ඒ නිසාවෙනි.

දක්‍ෂිණාංශික පාලනය බිඳ දමා ජනහිතවාදී පාලනයක් ගෙන ඒමට 1993 දී සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් බිහිවූ පොදුජන එක්සත් පෙරමුණ පිහිටුවීමට සිය අත්සන තැබූ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සභාපතිවරයා ඔහු විය. 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ නායකත්වයෙන් පොදුජන එක්සත් පෙරමුණේ ආණ්ඩුවක් බිහි කිරීමට එදා රංජිත් නවරත්න සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නේය. 1994 මහා මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනප්‍රිය අපේක්ෂකයෙක් වූ ඔහුගේ පරාජය කනගාටුවට කාරණාවකි. කෙසේ වෙතත් පරාජයෙන් පසු නොසෙල්වී සිය දේශපාලන වගකීම මැනවින් ඉටුකළ ඔහු වසර කිහිපයකින් එළැඹි එනම්, 1999 පැවති වයඹ පළාත් සභා මැතිවරණයේදී දිස්ත්‍රික්කයේ තුන්වැනි ස්ථානයට මනාප ලබා තේරී පත්විය. ඉන්පසු 2000 වසරේදී පැවති මහ මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු යන්නට වරම් ලැබීය.

ඉන්පසුව 2004 දී එක්සත් ජනතා නිදහස් සන්ධානය පිහිටුවීමට ද මහජන පක්ෂයේ නායකත්වය ගෙන සිය ඓතිහාසිකව පැවරූ කාර්යභාරය ඉටු කළේය. 2005 දී මහින්ද රාජපක්ෂයන්ගේ නායක්වයේ දී ද නැවතත් පෙරමුණ ගෙන කටයුතු කළේය. ඒ නිසාම වසා දැමීමට නියමිතව තිබූ ලංකා පිඟන් සංස්ථාව ගොඩනැගීමට එහි සභාපතිධූරය ජනපති මහින්ද රාජපක්ෂයන් විසින් මෙතුමාට පවරන ලදී. ආචාර්ය රංජිත් නවරත්නයන් තුළ තිබුණු අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැනුම, නිපුණත්වය හා අත්දැකීම් නිසාම මේ වගකීමට අමතරව ඔහුට අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශකධූරයක් ද පිරිනැමිණි.

අධ්‍යාපන චක්‍රවර්තී, අධ්‍යාපනය පිළිබඳව මහාචාර්ය ආදී ගෞරව නාම වලින් අමරපුර මූල වංශික මහා නිකාය ඇතුළු සමාජ සේවා ආයතන මඟින් එතුමා පිදුම් ලැබීය. 1975 වසරේ වෘත්තියෙන් ගුරුවරියක වූ කමලා දිසානායක හා විවාහ දිවියට එළැඹ දරුවන් තිදෙනෙක් ලැබුවේය. අදටත් ඔහුව වන්නියේ මිනිසුන් සිහිපත්කරන්නේ මහත්භක්ත්‍යාදරයෙනි. ඔහු සිය දිවිසැරිය නිමා කළේ කම්කරු දිනයේදීම වීම විශේෂත්වයකි.

--------------------------

සත්කොරළයේ නිවී ගිය පහන්ටැඹ විදුහල්පති ප්‍රේමචන්ද්‍ර දිසානායක

 ජේ.ඒ.කරුණාසේන

(විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති සහ ප්‍රේමචන්ද්‍ර දිසානායක ගුණානුස්මරණ කමිටුවේ ලේකම්)

 

සත්කෝරළයේ පහන්තරුව යයි විරුදාවලී ලත්, නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘ සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිඳුන් දැයට දායාද කළ 54 වන මධ්‍ය විද්‍යාලය අද පවතින තත්වයට ඔසවා තැබූ, වසර 16 කට අධික කාලයක් එහි විදුහල්පතිධුරය හෙබවූ ප්‍රේමචන්ද්‍ර දිසානායක මහතා දැයෙන් සමුගෙන මැයි 03 වැනි දිනට වසරකි.

 

කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ දීප්තිමත් ආදිශිෂ්‍යයකු වූ ප්‍රේමචන්ද්‍ර දිසානායක ශිෂ්‍යනායකයකු, උප ගුරුවරයකු, විනය අධ්‍යක්ෂකවරයෙකු සහ කීර්තිමක් විදුහල්පතිවරයකු ලෙස වසර 25 කට අධික කාලයක් විදුහලට රැකවරණය ලබාදුන් අතර එතුමා පාඨශාලා පරීක්ෂකවරයකු හා ගුරු විදුහල් කථිකාචාර්යවරයකු ලෙසද හරවත් අධ්‍යාපන ග්‍රන්ථ කර්තෘවරයකු ලෙස ද සත්කෝරලයේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයට නොමැකෙන කීර්තිමත් සේවයක් ඉටුකෙළේ ය.

වසර දහසයක් පමණ එතුමාගේ විදුහල්පතිධුරකාලය තුළ දී දිවයිනේ තිබූ ආදර්ශ මධ්‍ය විද්‍යාලය කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය වූ අතර, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිශය වැදගත් ගුරු හා විදුහල්පති පුහුණු වැඩසටහන් මෙන්ම ජාතික වැදගත්කමක් ඇති විශේෂ අධ්‍යාපන සම්මන්ත්‍රණ සියල්ල සඳහා අමාත්‍යාංශයේ ඉල්ලීම මත එතුමා විදුහලේ පහසුකම් සලසා දුන්නේය. ඒ සැම වැඩසටහනකදී ම එතුමා විශේෂ ආරාධිත දේශකයා වූ අතර, එතුමාගේ දේශනය සහ භාගිවූවන්ගේ හදවත් ගුරු වෘත්තිය කෙරෙහි විවෘතව නැඹුරු කිරීමට සමත් අතිශය වැදගත් හරවත්ම දේශනය විය.

කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ ප්‍රේමචන්ද්‍ර දිසානායක සලකුණ සදා නොමැකෙන සේ සටහන් වී ඇති ඇත, විදුහල් භූමියට ප්‍රවිශ්ඨවන විටම දක්නට ලැබෙන ක්‍රීඩා පිටිය වටා දිවෙන සුදුපාට මලින් පිරුණ අරලිය තුරු වදුල, ප්‍රධාන ශාලාව ඉදිරිපිට අහස උසට දිවෙන දැවැන්ත විලෝ ගස් පෙළ, ඒ අසල ඉදිකර ඇති විදුහලේ නිර්මාතෘවරුන් වන අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල හා සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මැතිඳුන්ගේ පිළිරූ ආදිය ඉන් කීපයකි.

සිංහල භාෂාව පිළිබඳව හසල දැනුමක් තිබූ ප්‍රේමචන්ද්‍ර දිසානායක මහතාගෙන් අධ්‍යාපනය ලැබූ අතිවිශාල කීර්තිමත් ආදි ශිෂ්‍ය පිරිසක් දිවයිනේ විවිධ විශ්වවිද්‍යාලවල සිංහල අධ්‍යාපන අංශවල ආචාර්ය. මහාචාර්ය තනතුරු හොබවති.

එතුමා ශාස්ත්‍රීය අධ්‍යාපනයට මෙන්ම විදුහලේ විෂය සමගාමී කටයුතු සඳහා ද විශේෂ අවධානයක් යොමු කළ අතර ක්‍රීඩා හා බාහිර ක්‍රියාකාරකම් වලින් සමස්ත ලංකා ජයග්‍රහණ හිමිකර ගත් අති විශාල පිරිසක දිවයිනේ මෙන්ම විදේශවල ද විවිධ ආයතනවල අති දක්ෂ විධායක නිලධාරීන් ලෙස පරිපාලන කටයුතුවල යෙදෙති.

ප්‍රේමචන්ද්‍ර දිසානායක පහන්ටැඹ නිසා නැණ පහන් දැල්වූ ආදි ශිෂ්‍යයන්, ආදි ආචාර්යවරුන් හා දෙගුරුන් නියෝජනයවන පරිදි පත්කර ගත් ප්‍රේමචන්ද්‍ර දිසානායක ගුණානුස්මරණ කමිටුව මඟින්, “ප්‍රේමචන්ද්‍ර දිසානායක උපහාර විශ්ව විද්‍යාල ශිෂ්‍යත්ව අරමුදලක්” ආරම්භ කර, කුලියාපිටිය ලංකා බැංකු ශාඛාවේ අංක. 86638523 දරන ඉතිරි කිරීමේ ගිණුම විවෘත කර එම ගිණුමට ලැබෙන පරිත්‍යාග මුදලින් විදුහලේ අ.පො.ස. (උ/පෙළ) විෂය ධාරා 5 න් උසස් ලෙස සමත්වන සිසුන් 5 දෙනා සඳහා මුදල් ත්‍යාග ලබා දීමට තීරණයකර ඇත.

2020 අ.පො.ස. (උ/පෙළ) විභාග ප්‍රතිඵල නිකුත් වූ වහාම උසස් ලෙස ප්‍රතිඵල හිමිකර ගන්නා සිසුන් 5 දෙනෙකුට ප්‍රථම වරට ප්‍රේමචන්ද්‍ර දිසානායක උපහාර මුදල් ත්‍යාග පිරිනැමීම සිදුකරනු ඇත.

මෙම අරමුදලේ පාලක මණ්ඩලය ලෙස විදුහල්පතිතුමා, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමා, පාසල් සංවර්ධන සමිතියේ ගරු භාණ්ඩාගාරික, ආදි ශිෂ්‍ය සංගමයේ ගරු භාණ්ඩාගාරික, ගුණානුස්මරණ කමිටුවේ ගරු භාණ්ඩාගාරික, ගුණානුස්මරණ කමිටුවේ ගරු ලේකම් සහ ප්‍රේමචන්ද්‍ර දිසානායක මහතාගේ පවුලේ සාමාජිකයෙක් යන 7 දෙනෙකුගෙන් යුත් කමිටුව කටයුතු කරන අතර, අරමුදල් වර්ධනය වන ආකාරය අනුව විශ්ව විද්‍යාල ප්‍රවේශය උසස් ලෙස සමත්වන සිසුන් වැඩි පිරිසකට ශිෂ්‍යත්ව පිරිනැමීමට පාලක මණ්ඩලය තීරණය කරනු ඇත.

ප්‍රේමචන්ද්‍ර දිසානායක උපහාර විශ්ව විද්‍යාල ශිෂ්‍යත්ව අරමුදල ආරම්භකර ලංකා බැංකුවේ අංක. 86638523 දරන ගිණුම විවෘත කර කෙටිකලක් තුළ රුපියල් ලක්ෂ 15 කට අධික මුදලක පරිත්‍යාග එම ගිණුමට බැර වී ඇති අතර, ඉදිරියේ දී මෙම ගිණුම රුපියල් ලක්ෂ 50 දක්වා වර්ධනය කර ගැනීමටත් එම මුදල ස්ථාවර තැන්පතුවක දමා ලැබෙන පොලියෙන් වාර්ෂිකව ප්‍රේමචන්ද්‍ර දිසානායක උපහාර විශ්ව විද්‍යාල ශිෂ්‍යත්ව පිරිනැමීම මඟින් නිදහස් අධ්‍යාපනයේ ඵල නෙළන්නට සැමට මඟ හෙළි පෙහෙළි කරදුන් ශාස්ත්‍රපති ප්‍රේමචන්ද්‍ර දිසානායකයන්ට අර්ථවත් උපහාරයක් දැක්වීමට සහායවන ලෙස කෘතවේදී කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයීය ප්‍රජාවගෙන් ඉල්ලා සිටිමු.

----------------------------------

සාහිත්‍ය කලාවට අත්වැලක් දුන් ‘හීන ගෙත්තම්’ සම්මාන ප්‍රදානය

 ඉරෝෂනී දිසානායක

සාහිත්‍ය කලාවන්ගෙන් පෝෂණය වූ නිර්මාණාත්මක නව පරපුරක හෙට දවස වඩාත් යහපත් කරනු පිණිස දියත් කර ඇති කාවින්ද හිරුගල්බණ්ඩාර සමාජ සත්කාරයක් වන ‘හීන ගෙත්තම්’ නිර්මාණ සාමූහිකයේ 2021 දීප ව්‍යාප්ත නිර්මාණ තරගාවලියේ සම්මාන ප්‍රදානය පසුගිය අප්‍රේල් මස 24 වැනි දින ජාතික උරුම, ප්‍රාසාංග කලා, ජාතික කලා ශිල්ප ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්විණි.

 

කාව්‍ය රචනා සඳැස්, කාව්‍ය රචනා නිසඳැස්, ගීත රචනා, කෙටිකතා සහ ප්‍රවෘත්ති නිවේදන යනුවෙන් තරග අංශ පහක් මුල්කර ගනිමින් පැවති මෙම නිර්මාණ තරගාවලියේ තරග විනිශ්චය සිදුකරන ලද්දේ ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ, බණ්ඩාර ඇහැළියගොඩ, අනුර බී. සෙනෙවිරත්න සහ සුසිල් කිඳෙල්පිටිය හා බණ්ඩාර ඇහැළියගොඩ යන කලාකරුවන් විසිනි.

එයින් කාව්‍ය රචනා සඳැස් අංශයේ ප්‍රථම ස්ථානය ‘වැව් පතුලක සැඟවුණු කතාවක්’ රචනා කළ නෙලූකා සුදර්ශනී අතුකෝරල විසින් ද, කාව්‍ය රචනා නිසඳැස් අංශයේ ප්‍රථම ස්ථානය ‘අම්මා ඇවිත්’ රචනා කළ නිශ්ශංක හපුආරච්චි විසින් ද දිනගන්නා ලදි.

ගීත රචනා අංශයේ තරග විනිශ්චය සිදුකරන ලද්දේ ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහයන් විසිනි. එහි ප්‍රථම ස්ථානය දිනාගන්නා ලද්දේ ‘දෙවියනි රැක දෙනු උමා’ රචනා කළ කේ.එම්. ස්වර්ණ කුමාර විසිනි. කෙටිකතා අංශයේ විනිශ්චය සිදුකරන ලද්දේ ප්‍රවීණ කවියකු හා කෙටිකතාකරුවකු වන අනුර බී. සෙනෙවිරත්න සාහිත්‍යධරයා විසිනි. එහි ප්‍රථම ස්ථානය ‘බක්කා සීයා’ රචනා කළ පී.එස්. සචිනි අයේෂිකා විසින් දිනාගන්නා ලදි. එක්-එක් තරග අංශවල දෙවන සහ තෙවන ස්ථාන දිනාගත් නිර්මාණ සහ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් වන්නේ කාව්‍ය රචනා සඳැස් අංශයේ දෙවන ස්ථානය දිනාගත් ඩී.එම්. අසංඛ ප්‍රසාද් දිසානායක (මුවැත්තියගේ මළගම දා), එහි තෙවන ස්ථානය දිනාගත් ටෙමල්කා ලක්මාලි පීරිස් (සිපිරිගෙයි කඳුළක්), කාව්‍ය රචනා නිසඳැස් අංශයේ දෙවන ස්ථානය දිනාගත් අනෝමජී රාජපක්ෂ (සමාවෙයන් සරස්වතී) සහ එහි තෙවන ස්ථානය දිනාගත් (ඔල්මාදකාරයාගේ ප්‍රේමය) රචනා කළ ගංගා කඩවැද්දුවයි. ගීත රචනා අංශයේ දෙවන ස්ථානය ජේ.එම්.කේ.එස්. ජයතිලක (මේඛලා) විසින් ද, එහි තෙවන ස්ථානය ඩබ්ලිව්.එල්. සඳුනි ඉමාෂි (පියාණනි නුඹ මගේ හුස්මයි) විසින් ද දිනාගන්නා ලද අතර, කෙටිකතා අංශයේ දෙවන ස්ථානය ආර්.එම්.සුභාෂණී ජයරත්න (පෙරමඟ නිමිති) විසින් සහ එහි තෙවන ස්ථානය රොෂාන් විජේසිංහ (අළු කොබෙයියා) විසින් ද දිනාගන්නා ලදි. නිවේදන අංශයේ දෙවන ස්ථානය කාංචන බණ්ඩාර විසින් ද, එහි තෙවන ස්ථානයේ සම ජයග්‍රහණ එච්.ඒ. ප්‍රසාද් තරංග සහ චතුරාර්යා කල්පනී රත්නායක විසින් දිනාගන්නා ලදි.

 

----------------------------------

සිනමා ශිල්පීන්ට හැඳුනුම්පත් ලබාදීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව මඟින් සිනමා ක්ෂේත්‍රයේ නියුතු ශිල්පීන් සඳහා ලබාදෙනු ලබන සිනමා ශිල්පී හැඳුනුම්පත් නව ක්‍රමවේදයක් යටතේ නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව මෙම කාණ්ඩ 03 යටතේ සාමාජිකත්ව (Membership), රිදී (Silver), රන් (Gold)හැඳුනුම්පත් ලබාදීම සිදු කරනු ලැබේ.

මීට අමතරව ජාතික සිනමා සම්මාන උලෙළයන්හි සම්මානලාභියකු, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සිනමා සම්මාන උලෙළයන්හි සම්මානලාභියකු වීම සලකා බැලේ.

දේශීය පිළිගත් සම්මාන උලෙළ ලෙස ජනාධිපති සිනමා සම්මාන උලෙළ සහ සරසවි සිනමා සම්මාන උලෙළ ඇතුළත් වන අතර, විදේශීය පිළිගත් සම්මාන උලෙළ ලෙස FIAPE සම්මේලනයේ සිනමා සම්මාන සඳහා ප්‍රමුඛතාවය දෙනු ලැබේ. (International Federation of Film Producers Association)

ඉහත අවස්ථා 03 සඳහා ම හැඳුනුම්පත් ලබාදීමේදී කවර හෝ කරුණක් මත නීතියේ වැරදිකරුවකු වී නම් හැඳුනුම්පත නිකුත් කරනු නොලැබේ. හැඳුනුම්පත ලබාගැනීමෙන් පසු සිදු කරන ලද වරදකට වරදකරුවකු ලෙස තහවුරු වුවහොත් හැඳුනුම්පත අවලංගු කෙරේ.

ඉහත කාණ්ඩ යටතේ හැඳුනුම්පත් නිකුත් කිරීමට අදාළව සකස් කරන ලද අයදුම්පත්‍රය ජාතික චිත්‍රපට සංස්ථාවෙන් ලබාගත යුතු අතර උක්ත සුදුසුකම් සපුරා ඇති ශිල්පීන්ට හැඳුනුම්පත ලබාගැනීම සඳහා අයඳුම් කළ හැකි ය.

2021 මැයි මස 10 වැනි දින සිට නව අයදුම්පතක් නිකුත් කරනු ලැබේ.

අයඳුම්පත්‍රය සමඟ මුද්දර ප්‍රමාණයේ ඡායාරූපයක් ලබා දිය යුතුය. ඡායාරූපය සඳහා පිරිමි ශිල්පීන් ජාතික ඇඳුමින් හෝ යුරෝපීය ඇඳුමින් සැරසී සිටිය යුතු අතර කාන්තා ශිල්පීන් ඔසරිය හෝ සාරියෙන් සැරසී සිටිය යුතුය. ඡායාරූපයේ පසුබිම ළා නිල් පැහැයෙන් සමන්විත විය යුතුය. වැඩි විස්තර සඳහා 0112593430 අංකය ඔස්සේ විමසන්න.

--------------------------

සුබෝධි ආයතනයට වසර 40 යි

ජෝෂප් පයස් (වත්තල විශේෂ)

තාරුණ්‍යයට හෙටක් බිහි කිරීමෙහිලා කාලාන්තරයක් බොඳ නොවී දිනෙන් දින වර්ණවත් වූ ස්වප්නය සැබෑ කරනු වස් තරුණ තරුණියන්ගේ දිවි ගමන පරිපූර්ණත්වයෙන් සරසාලන්නට මහා පරිශ්‍රමයක් දරන ලද පියතුමකු ලෙස ආචාර්ය ගරු මර්වින් ප්‍රනාන්දු පියතුමන්ව දක්වාලනු හැකිය. මහ මෙරක් බඳු ශිල්ප සතරෙන් ඔපවුණු ගරු මර්වින් පියතුමන් අනාගත පරපුරට නිදහසේ නිවහනක් උරුම කර දීමට ද එතුමන්ගේ වර්ණවත් වූ හීනයට පණ පොවමින් බොල්ගොඩ ගං තීරයට යා කොට සුන්දර ස්වභාව ධර්මයට හිතෛශීව ගොඩනංවන ලද ආයතනය ලෙස නම් දරන්නේ පිළියන්දල පිහිටි සුබෝධි පූර්ණ අධ්‍යාපන ආයතනයයි.

වර්ෂ 1981 පිළියන්ද බෞද්ධ පරිසරයක් තුළ ලෝක ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියා වන ජෙෆ්රි බාවා නම් වූ ශිල්පීන්ගේ අත්කම් විස්කම් විදහාපාමින් බොල්ගොඩ නදියෙන් වටවුණු සුනිල් තණබිමෙන් අලංකාර වුණු, පාට පාට මල් වර්ණවලින් හැලෙන රොන් සුවඳින් ඔපවුණු, කුරුලු කිචිබිචි නාදෙන් ප්‍රබෝධවත් කරවන, ගතට සිසිලස ද, සිතට ශාන්තිය ද ගෙන දෙන අයුරින් නිමැවුණු අතිගරු නිකලස් මාකස් ප්‍රනාන්දු හිමිපාණන්ගේ සුරතින් ජනතා අයිතියට පවරන ලද මෙම සුබෝධි පූර්ණ අධ්‍යාපන ආයතනය අපූර්වත්වයට නම් දරාපු අසිරිමත් ගස්වැලෙන් ඒකාලංකාර වුණු රමණීය පරිසරයක් තුළ ගොඩනැගී ඇත.

ජනතාව අතර ප්‍රසාදයට ලක්වුණු මේ සුබෝධි ආයතනය ආගම්, ජාති, කුලමල භේද නොතකා ඉන් ඔබ්බට ගිය මනුෂ්‍යත්වයේ ගුණාංග ප්‍රථම කොටගෙන වෙනසක් නොබලා, මවක තම දරුවන් සියල්ලන්ම එක ලෙස පෝෂණය කරන්නා සේ මෙහි පැමිණෙන සියල්ලන්ව ම සෙනෙහසේ බැම්මෙන් වට කොට එකා මෙන් ගමන් කරන්නට මඟ කියා දෙන තෝතැන්නක් බවට පරිවර්තනය වී ඇත.

සුබෝධි ආයතනයේ නිර්මාතෘත්වයට කිරුළ හොබවන ගරු මර්වින් පියතුමන් තම දිවියේ අඩ භාගයක්ම ගෙවා ඇත්තේ මෙම ආයතනය තුළ බව සතුටට කරුණක් වන අතර මෙම ආයතනය තරුණ තරුණියන්ගේ දිවි මංපෙත් එළිය කරන, ප්‍රබෝධවත් කරන ඔවුන් හැදෙන, ඔවුන්ව නිසි පරිදි හදන, තරුණකමට වටිනාකමක් එකතු කරන සෙනෙහසේ නවාතැනක් බවට පත් වී ඇති බව නොරහසකි. ‘සුබෝධි’ පූර්ණ අධ්‍යාපන ආයතනය තුළ 100 දෙනෙකුට පමණ නේවාසික පහසුකම්ද, ආහාරපාන සැපයීමේ පහසුකම්ද, වායු සමීකරණ පන්ති කාමර පහසුකම්ද එසේම ශ්‍රවණාගාර පහසුකම්ද ඇති බව දන්වා සිටින අතර; එදා සිට අද දක්වා පාසල් දරු දැරියන් සහ තරුණ දූ පුතුන් සඳහා විශේෂ වැඩසටහන් සුබෝධි ආයතනය විසින් මෙහෙයවනු ලබන අතර ඒ අතරින් වඩාත් විශේෂිත වූ වැඩසටහන් වන්නේ ජීවිත අධ්‍යාපන වැඩසටහන සහ නායකත්ව පුහුණු වැඩසටහන යන ද්විත්වයන්ය.

සුබෝධි පූර්ණ අධ්‍යාපන ආයතනයෙන් සිදු කරනු ලබන සේවාවන්වල ඇති අනර්ඝත්වය ප්‍රගුණ කිරීමෙහිලා ගරු මර්වින් ප්‍රනාන්දු පියතුමන්ගේ දර්ශනය වූයේ, ආගම්, ජාති භේදයකින් තොරව තරුණ දුවා දරුවන් සඳහා වැඩසටහන් සංවිධානය කිරීමට ප්‍රමුඛ ස්ථානයක් සලසා දීමය.

සුබෝධි නිර්මාතෘ පියතුමන් වන ගරු මර්වින් පියතුමන් තම මෙහෙවර ඉටු කරලීමට පාදක කොටගත් එඩ්වින් මාකෙම්ගේ වදන් වනුයේ,

“කිමද මෙතරම් විසල් නගර ගොඩ නංවන්නේ මිනිසාගේ ගොඩ නැංවීමක් ඇති නොවේනම්” “කිමද ලොව ගොඩනැංවීමට වෙර දරන්නේ ගොඩනංවන්නා තුළ ගොඩනැංවීමක් ඇති නොවේනම්” යනුයි.

-----------------

ශේක්ස්පියර් පදනමේ ත්‍යාග ප්‍රදානෝත්සවය අධ්‍යාපන ඇමැතිගේ ප්‍රධානත්වයෙන්

ශේක්ෂ්පියර් පදනමේ ශ්‍රී ලංකා ශාඛාවේ ත්‍යාග ප්‍රදානෝත්සවය බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී අධ්‍යාපන අැමැති මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා සිදු කෙරුණි. මෙම අවස්ථාවට පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි, ආචාර්ය ඉසුරු බණ්ඩාර, ශේක්ෂ්පියර් පදනමේ නිර්මාතෘ ‍ඔබිනාමුණි ගාමිණී ද සිල්වා ඇතුළු පිරිසක් සහභාගි වූහ. එහිදී ආචාර්ය චන්ද්‍රසිරි මගලගේ විසින් විමුක්ති සහන්ලෝචන බන්නැහැක සිසුවා වෙත සහතිකයක් පිරිනමන අයුරු. සේයාරුව - විපුල අමරසිංහ

---------------------

'20 වැනි සියවසේ කළුතර දිසාවේ ගැමි සංස්කෘතිය' ග්‍රන්ථය මැයි 7 දා එළි දකී

හිටපු පොලිස්පති වික්ටර් පෙරේරා ලියූ ‘20 වැනි සියවසේ කළුතර දිසාවේ ගැමි සංස්කෘතිය‘ මැයි 7 දා පස්වරු 2.00 ට කොළඹ මහජන පුස්සතකාල ශ්‍රවණාගාරයේදී ජනගත වීමට නියමිතය. මෙහිදී රයිගම් කෝරලයේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රපති, අධ්‍යාපනපති කලවානේ ආනන්ද හිමි මුලසුන හොබවන අතර, මුඛ්‍ය දේශනය පවත්වනු ලබන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දරයන් විසිනි, මහාචාර්ය මුදියන්සේ දිසානායක, මහාචාර්ය බී. ඒ. ටෙනිසන් පෙරේරා, විශ්‍රාමික විගණකාධිපති එස්. ඊ. මායාදුන්නේ හා නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ යන අය ද දේශන පවත්වනු ලබයි.

Comments