කොවිඩ්වලට යටවුණු තොරණ නිර්මාණකරුවෝ | Page 2 | සිළුමිණ

කොවිඩ්වලට යටවුණු තොරණ නිර්මාණකරුවෝ

පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකරයාණෝ....“ ගීතය ඇතුළත් වී තිබෙන්නේ රන්මුතු දූව චිත්‍රපටයේය. රන්මුතුදූව චිත්‍රපටයේ රඟපෑ ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම සහ ෂේන් ගුණරත්න වෙසක් තොරණ නරඹමින් සෙනඟ අතරේ ඇවිදින අවස්ථාවක මෙම ගීතය පසුබිමෙන් වාදනය විය. රටකජු කමින් නළා පිඹිමින් වෙසක් සිරි නරඹන්නන් අතරේ පොදි කමින් වෙසක් තොරණ නැරඹීම, අපූරු ආස්වාදයක් ගෙනෙන මොහොතක් ලෙස හැඳින්වූවාට වරදක් නැත.

එහෙත් වසර තුනක සිට අපේ රටේ ජනතාවට වෙසක් සිරි නැරඹීමේ අවස්ථාව අහිමි වී තිබේ. 2019 වෙසක් තොරණ නැරඹීමේ අවස්ථාව අහිමි වූයේ පාස්කු ප්‍රහාරයත් සමඟ වෙසක් තොරණ ඉදි කිරීම නවතා දැමුණු නිසාය. 2020 වසරේදී වෙසක් සැරසිලි නිවෙස්වලටම සීමා විය. මේ වන විට යළිත් කොරෝනා වසංගතය උත්සන්න වී ඇති බැවින් 2021 වසරේ ද වෙසක් තොරණ නැරඹීමේ අවස්ථාව අහිමි වනු ඇත. වෙසක් සිරිය නිවෙස්වලටම සීමා වනු ඇත.

වෙසක් සිරිය නිවෙස්වලට සීමාවීමත් සමඟ වෙසක් තොරණ නිර්මාණකරුවන් ද නිවෙස්වලටම කොටු වනු ඇත. එයින් සිදු වන්නේ ජනතාවට නැරඹීම සඳහා වෙසක් තොරණ අහිමි වීම පමණක් නොවේ. තොරණ නිර්මාණකරුවන්ගේ ආදායම ද අහිමි වී යෑමය. වසර තුනක් මුළුල්ලේ ඔවුන්ගේ ආදායම් මාර්ගය ඇහිරී යෑම සුළුකොට තැකිය හැකි කාරණයක් නොවේ. තොරණ නිර්මාණකරුවන් කීපදෙනකුගෙන් ඒ පිළිබඳව අදහස් විමසුවේ එබැවිනි.

“2019 අවුරුද්දේ පිළියන්දලටයි මහරගමටයි කරපු තොරණ දෙකම මා ළඟ තියෙනවා. චිත්‍ර ටික නම් පරිස්සමට අරන් තිබ්බා. ඒත් රාමුවලට ගුල්ලො ගහලා. මේ අවුරුද්දෙ තොරණ ගහයි කියලා බලාපොරොත්තුවක් තිබුණා. දැන් ඒකත් නැහැ. අවුරුදු 2ක් තිස්සේ කිසිම ආදායමක් නැහැ. මම චිත්‍රපටවල කලා අධ්‍යක්ෂවරයකු විදිහටත් වැඩ කළා. ඒත් දැන් සිනමාවත් කඩා වැටිලානේ. ඉස්සර චිත්‍ර ඇඳලා විකුණුවා. දැන් චිත්‍ර මිල දී ගන්න මිනිස්සුන්ට සල්ලි නැහැ. මේ වෙනකොට මගේ සියලුම ආදායම් මාර්ග ඇහිරිලා තියෙන්නේ. දැන් දරුවන්ගෙන් යැපෙන්න සිද්ධ වෙලා තියෙන්නේ.“ එසේ පැවසුවේ තොරණ නිර්මාණකරණයේ වසර 40ක පටන් නිරත වී සිටින ප්‍රවීණ චිත්‍ර ශිල්පි තිස්ස වීරවර්ධන ය. කාලයක් ඔහු තොටළඟ තොරණේ චිත්‍ර ශිල්පියා වශයෙන් කටයුතු කළේය.

තොටළඟ තොරණේ චිත්‍ර ශිල්පියා ලෙස අවුරුදු ගණනක් කටයුතු කර, 2014 වර්ෂයේ පටන් නවලෝක තොරණේ චිත්‍ර ශිල්පියා වශයෙන් කටයුතු කරන පුෂ්පානන්ද දෙණිපිටිය 1977 සිට තොරණ නිර්මාණකරණයට සම්බන්ධ වී සිටින චිත්‍ර ශිල්පියෙකි.

“ලංකාවේ වැඩිපුරම තොරණ කළේ මම. මගේ අතින් තොරණ 250කට වඩා කරලා තියෙනවා. සමහර අවුරුදුවල මම තොරණ 4ක් 5ක් කරනවා. හොඳින් කළමනාකරණය කර ගත්තොත් තොරණ 4ක් 5ක් කරන්න පුළුවන්. 2019 මම තොරණ 6ක් කරමින් සිටියේ. කැලණිය රජමහ විහාරයට තොරණ 2ක් කර කර සිටියා. මේ අවුරුද්දේ ඒ තොරණ 2 ගහමු කියලා නායක හාමුදුරුවෝ කිව්වා. ඒත් දැන් ආපසු කොරෝනා වසංගතය පැතිරුණ නිසා ඒවාත් කෙරෙන එකක් නැහැ. නවලෝක, ගොඩගම, කොට්ටාව මේ කිසිම තැනකින් මේ අවුරුද්දේ කතා කළේවත් නැහැ.“ පැවසූ පුෂ්පානන්ද දෙණිපිටිය, පන්සල්වල විහාර සිතුවම් සහ මූර්ති කලාවේ යෙදී සිටින බැවින් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණපා නැති බව පැවසීය. එහෙත් තොරණ නිර්මාණකරණයේදී සම්බන්ධ කර ගන්නා සෙසු සේවකයන්, යකඩ බට සපයන්නන්, කතා රචකයන් වැනි තොරණ ඉදි කිරීමේදී දායක වී සිටින බොහෝ දෙනකු මේ වන විට දැඩි ආර්ථික අපහසුතාවලට මුහුණපා සිටින බව ඔහු සඳහන් කළේය.

පුෂ්පානන්ද දෙණිපිටිය තොරණ නිර්මාණකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ගිහි අනුශාසකවරයා ද වෙයි.

“පාස්කු ප්‍රහාරයෙන් පස්සේ අපි සහනයක් ඉල්ලලා රජය සමඟ සාකච්ඡා කළා. අපිට ලක්ෂ 5ක් දෙනවා කියලා තියෙද්දි ආණ්ඩුව මාරු වුණා. ඊටපස්සේ මේ ආණ්ඩුව එක්ක සාකච්ඡා කළා. අපි මාධ්‍යවලට කතා කළා. ඒත් කිසිම සෙතක් නැහැ.“ යනුවෙන් පුෂ්පානන්ද දෙණිපිටිය තවදුරටත් පැවසුවේය.

තොරණ නිර්මාණකරණයේදී චිත්‍ර ශිල්පීන්ට සමානවම මෙහෙවරක් සිදු කෙරෙන අනෙක් පාර්ශ්වය වන්නේ විදුලි කාර්මික ශිල්පින් ය. මේ සම්බන්ධයෙන් විදුලි කාර්මික ශිල්පීන්ගේ අදහස් විමසුවේ එබැවිනි.

“මම තොරණවලට සම්බන්ධ වෙලා අවුරුදු 25ක් විතර වෙනවා. රාජගිරිය, දෙමටගොඩ, හොරණ, මාකොළ, නීලම්මහර වගේ ස්ථාන රැසක තොරන වැඩ කළේ මමයි. 2019 වන විට මම තොරණ 3ක වැඩ පටන් අරං තිබුණා. පාස්කු ප්‍රහාරයත් එක්ක නවත්වපු විදිහට ඒවා තවම තියෙනවා. මේ අවුරුද්දෙවත් තොරණ ගහනවාද කියලා ඇහුවා. ඒත් සද්දයක් නැහැ. දැන් නම් කීයටවත් තොරණ ගහන්නේ නැහැ. දැන් ආයෙමත් කොරෝනා වැඩියිනේ. ආර්ථිකය නම් අන්තිමයි. තොරණ ගහන්න භාරදීපු අයගෙන් අපි අත්තිකාරම් මුදල් අරන් තියෙනවා. ඒ වගේම අපේ වැඩවලට සම්බන්ධ කර ගන්න අයට මම අත්තිකාරම් මුදල් දීලා තියෙනවා. දැන් මම හිරවෙලා ඉන්නේ. මොකක් හරි උත්සවයකට පින්කමකට ලයිට් ටිකක් දාලා කීයක් හරි හොයාගෙන ජීවත් වෙනවා. ඒත් දැන් ඒ වගේ වැඩත් ලොකුවට නැහැනේ. ඒ නිසා බොහොම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ.“ යනුවෙන් පැවසුවේ විදුලි කාර්මික ශිල්පි අනුර ලොකුගේ ය.

සුසිල් රූපසිංහ ද වසර 35ක් මුළුල්ලේ තොරණ නිර්මාණකරණයේ යෙදී සිටින විදුලි කාර්මික ශිල්පියෙකි. ඔහු වසර 20ක් පුරා හොරණ ඉදිවෙන තොරණ ද වසර 18ක් පුරා පිළියන්දල ඉදිවන තොරණ ද සමඟ සම්බන්ධ වී කටයුතු කරයි.

“2019 අවුරුද්දේ මම තොරණ 3ක් අවසන් කර තිබුණා. ගිය අවුරුද්දෙත් නැහැ. මේ අවුරුද්දෙත් නැහැ. ඒවා පැත්තකට දාපු ගමන් තියෙනවා. ලයිට්වල වයර් මීයෝ කාලාද දන්නෙ නැහැ. අපිට ඉස්සර නම් අවුරුද්ද පුරා වැඩ තිබුණා. අවුරුදු උත්සව, වෙසක්, පොසොන්, ඇසළ පිංකම්, කඨින පිංකම්, නත්තල් සැරසිලි, සංගීත සංදර්ශන වගේ අවුරුද්දටම වැඩ. ඒත් කොරෝනා එක්ක උත්සව නැවතිලා. උත්සවයක් පිංකමක් කරනවා නම් කරන්නෙත් සුළු පරිමාණයෙන්. ඒ නිසා ඉස්සර තරම් ආර්ථිකය සරු නැහැ. මම තොරණවැඩවලට අමතරව විදුලි සැරසිලි, ශබ්ද විකාශන යන්ත්‍ර සහ ජෙනරේටර් කුලියට දීම කරනවා. ඒනිසා ජීවත් වෙන්න ලොකු ගැටලුවක් නැහැ. ඒත් මගෙන් යැපුණ සේවකයන් නම් අසරණ වෙලා ඉන්නවා. ඒ පවුල්වලට නම් අමාරු බව මම දන්නවා. මටත් සේවකයන් ගොඩාක් තියාගන්න බැහැ. දැනට මා ළඟ තුන්හතර දෙනෙක් විතරයි ඉන්නේ. ආයේ තොරණක් කරන්න කිව්වොත් මට අඬගහන්නවත් කට්ටිය නැහැ.“ යනුවෙන් විදුලි කාර්මික ශිල්පි සුසිල් රූපසිංහ සඳහන් කළේය.

80 දශකයේ පටන් තොරණ නිර්මාණකරණය සඳහා චිත්‍ර ශිල්පියකු වශයෙන් දායක වී සිටින ආනන්ද ප්‍රේමලාල් දෙමටගොඩ, කොස්ගස් හංදිය, රාජගිරිය, අයි.ඩී.එච්., ගම්පහ වැනි ප්‍රධාන පෙළේ තොරණ රාශියක් ඉදි කිරීමට සම්බන්ධ වී ඇත. 2019, 2020 වසරවල තොරණ ඉදි කිරීම නැවතුණත් මෙම වසරේ ඔහු යම් බලාපොරොත්තුවක් තබාගෙන සිටියේ මහරගම පන්සලට තොරණක් ඉදි කිරීමට ඔහුට කතා කර තිබූ නිසාය.

“2019 අවුරුද්දේ මම අලුතින් තොරණ 2ක් කරලා තිබුණා. පරණ තොරණ 3කුත් ලෑස්ති කරලා තිබුණා. මමත් තොරණ ගහන්න කතා කරපු සමිතිවලින් අත්තිකාරම් මුදල් අරං තියෙනවා. ඒවගේම බෝඩ් අරං තියෙනවා. පලංචි ගහන්න අත්තිකාරම් දීලා තියෙනවා. දැන් බෝඩ්වලට වේයො ගහලා විනාශ වෙලා. මහරගම පන්සලකින් කතා කළාට ඒ වැඩේ කෙරෙයි කියලා හිතන්න බැහැ. දැන් ආයේ කෙරෝනා වසංගතය වැඩිවෙලානේ. සමහර සමිතිවලින් ආයේ තොරණ කරන්නේ නැහැ කියලා මා එක්ක කිව්වා. මේ කාලේ තොරණ ගහන්න මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරන්න බැහැනේ. මිනිසුන් ජීවත් වෙන්නෙත් අමාරුවෙන්. දැන් මම ආදායමක් උපයා ගන්නේ විහාර චිත්‍ර ඇඳලා. මේ දවස්වල වරකාපොළ ප්‍රදේශයේ විහාරයක චිත්‍ර අඳිනවා.“ යනුවෙන් විස්තර කළේ චිත්‍ර ශිල්පි ආනන්ද ප්‍රේමලාල් ය.

මීට අමතරව ඔහු තවත් සුවිශේෂි කරුණක් අනාවරණය කළේය. ඒ චිත්‍ර ඇඳීමට අවශ්‍ය තීන්ත ඇතුළු ද්‍රව්‍ය ඉන්දියාවෙන් සහ චීනයෙන් මේ දිනවල ආනයනය නොකරන බැවින් චිත්‍ර ඇඳීමේ කටයුතු අඩපණ වී ඇති බවයි.

“චිත්‍ර අඳින එක නවත්වලා වෙන මොනවා හරි කරන්න හිතාගෙන ඉන්නවා. අඩු ගණනේ බුක්ෂොප් එකක්වත්. ඒත් අපිට බැංකුවකින්වත් ණයක් ගන්න බැහැ. තොරන් නැති වුණා කියලා මම පදික වේදිකාවට වැටෙන්න කැමති නැහැ.“ එසේ පැවසුවේ චිත්‍ර ශිල්පි තිස්ස වීරවර්ධනයය.

තොරණ විචිත්‍රවත් කරන මිනිසුන්ගේ ජීවිත අද විචිත්‍රවත් නැත. එය දුක්බරය.කොරෝනා වසංගතය හේතුවෙන් නැවතුණු වෙසක් තොරණ සමග ඊට දායක වී සිටින නිර්මාණකරුවන්ගේ ජීවිත ද අතරමග නැවතී ඇති බව මෙයින් පැහැදිලිය.

 

 

Comments