දරුවා කෝටුමස් කළ අරුම පුදුම අම්මා | සිළුමිණ

දරුවා කෝටුමස් කළ අරුම පුදුම අම්මා

- සමාජ මාධ්‍යයෙන් එළියට ආ තවත් අමානුෂික ක්‍රියාවක්
- ඇය දරුවන් සිවුදෙනෙකුගේ මවක්
- රුපියල් ලක්ෂ පහ බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරලා

මෑත කාලීන ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේදී වැඩිහිටියන් විසින් කුඩා බිලිඳුන්ගේ සිට හිරිමල් වියේ පසුවන දරුවන්ට පමණක් නොව වයෝවෘද්ධ පුද්ගලයන්ටද සිදුකරන කායික, මානසික මෙන්ම ළමා අපයෝජනයන් පිළිබඳව බොහෝ අවස්ථාවන්හිදී වාර්තා වීම් සිදු විණි. විශේෂඥයෙන්ම වත්මන් සමාජයේ බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය භාවිතයන්ට පෙලඹීමත් සමඟින් වැඩිහිටියන් විසින් දරුවන්ට සිදුකරන ක්‍රෑර වද හිංසා කරළියට පැමිණීම වැඩිවී තිබෙන බවක් පෙනේ.

පසුගිය මාර්තු මාසයේ මුල් සතියේදීද යාපනය පොලිස් වසමෙන් මාස නවයක කුඩා බිලිඳකුට අමානුෂික ලෙස මවක විසින් පහර දෙන සිදුවීමක් කරළියට ආවේ සමාජ මාධ්‍යයට මුදාහළ වීඩියෝවක් නිසාවෙනි.

ඊට පෙර ගම්පොළ ප්‍රදේශයේදී ද වයෝවෘද්ධ කතකට සිය ලේලිය වන ගුරුවරියක විසින් පහර දීමක්ද වාර්තා විය. එම සිදුවීමද ගම්පොළ අධිකරණය දක්වා දුරදිග ගියේ ගුරුවරියගේ පුත්‍රයා විසින් පහරදීම වීඩියෝ ගතකොට පසුව වෙනත් දරුවකු විසින් සමාජ මාධ්‍යයට මුදාහැරීම නිසා වූ කතිකාව හේතුවෙනි. එසේම ගිය වසරේ කොටවෙහෙර පොලිස් වසමෙන්ද කාන්තාවන් දෙදෙනෙකු විසින් ක්‍රිකට් පිත්තකින් බාල වයස්කාර දැරියකට හිත්පිත් නැති අන්දමින් පහර දෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයට එක්විණි. එම වීඩියෝවද සමාජ මාධ්‍ය කලඹමින් සැරිසැරීමත් සමඟ මහත් ආන්දෝලනයක් ඇති විය. අනතුරුව ක්‍රියාත්මක වූ කොටවෙහෙර පොලිසිය කාන්තාවන් දෙදෙනාම අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

එසේ දරුවන්ට පහර දීමේ සිදුවීම් පසුගිය කාලයේ බොහෝ සේ කරළියට එ්ම සමාජ මාධ්‍ය ඔස්සෙ සිදුවිණි. එලෙස දරුවන්ට පහර දීමේ නවතම වීඩියෝවක් ගෙවී ගිය සතියේද සමාජ මාධ්‍ය කලඹමින් සැරිසරනු දක්නට ලැබිණි.

ඒ, ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගමට නුදුරු පල්ලෙවෙල පොලිස් වසමෙනි. මීරිගම, ඉඹුලන්වල ග්‍රාම නිලධාරි වසමේ කාන්තාවක විසින් සිය හත් හැවිරිදි දරුවාට ඉතාම අමානුෂික ලෙස පොලු මුගුරක්ද අතැතිව පහර දෙන ආකාරය එම වීඩියෝවෙන් දිස්විණි.

විනාඩි එකයි තත්පර පහළොවක පමණ කාල පරාසයක් දිවෙන එම වීඩියෝවෙන් එකී කාන්තාව සිය දරුවාට පොලු මුගුරකින් පහර දෙන්නෙ අසල සිටින දරුවාගේ මිත්තණියට ‘වැඳපන්... වැඳපන්...‘ යැයි අණ කරමිනි. එහෙත් දරුවා එම පහර දීමට ‘බඩගිනියි... බඩගිනියි...‘ යැයි පවසමින් හඬා වැලපෙන්නේ එකී වීඩියෝව ඇස ගැටෙන අයවලුන්ගේ නෙතඟට කඳුළක් එක්කරමිනි.

එලෙස එම කාන්තාව දරුවාට පහර දීම ඇයගේම 13 හැවිරිදි දියණිය විසින් ජංගම දුරකථනයකින් වීඩියෝ ගතකොට අසල්වාසින්ට පෙන්වා තිබිණි. පසුව එම පහර දීම අන්තර්ජාල දුරකථන මාධ්‍ය ඔස්සෙ එම ගම් ප්‍රදේශයේම විදේශයක සිටින අයකුට යැවීමෙන් පසු එම පුද්ගලයා විසින් සමාජ මාධ්‍යයට මුදාහැර ඇති බව සැල වේ.

එම අමානුෂික පහරදීම ඉඹුලන්වල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාගේ ඇස ගැටීමත් සමඟින් ඒ පිළිබඳව මීරිගම ප්‍රාදේශීය ලේකම් ඉන්දික ප්‍රසාද් දැනුම්වත් කිරීමත් සමඟ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ඒ බව දන්වා තිබුණේ පල්ලෙවෙල පොලිසියටයි. ඒ පසුගිය 27 වැනිදායි.

ඒ අනුව පල්ලෙවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත රත්නායක විසින් එසැණින් අදාළ පහරදීම සිදුකළ කේ. ඒ. දර්ශනී කුමාරි සහ එදෙස බලා සිටි දරුවාගේ මිත්තණිය වන ඒ. ඇම්. ශ්‍රියාවති පොලිස් අත්අඩංගුවට ගත්තෙ අමානුෂික ලෙස දරුවාට පහර දීමත් එදෙස බලා සිටිමින් ඊට අනුබල දීමේ චෝදනාව මතයි. දෙදෙනා අත්අඩංගුවට පත්වද්දී පහර කෑමට ලක්වූ දරුවා වෛද්‍ය පරීක්ෂණ සඳහා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමටද පල්ලෙවෙල පොලිස් නිලධාරින් කටයුතු කෙරිණි.

අනතුරුව දෙදෙනා පසුගිය 28 වැනිදා අත්තනගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අත්තනගල්ල අංක 2 මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ විසින් එක් අයකුට රුපියල් ලක්ෂ පහ බැගින් රුපියල් ලක්ෂ දහයක ශරීර ඇප දෙකක් මත දෙදෙනා මුදා හැරුණේ නිවෙසේ සිටින 13 හැවිරිදි දියණියගේ රැකවරණය පිළිබඳවද සලකා බලමිනි.

එසේම දෙදෙනාට නැවතත් කිසිදු දිනෙක දරුවන්ට එලෙස අමානුෂික ලෙස පහර නොදෙන ලෙස දැඩි සේ අවවාද කෙරිණි. හිංසනයට ලක්වූ දරුවා වෛද්‍ය පරීක්ෂණවලින් පසු නැවතත් පිරිවෙනටම බාරදීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කෙරුණේ නඩු විභාගය නැවත කැඳවීම ලබන මැයි මස 13 වැනිදාට කල් තබමිනි.

එලෙස හත් හැවිරිදි දරුවාට පහර දෙන දර්ශනිට එම දරුවාට අමතරව වයස අවුරුදු 16, 13 සහ 9 හැවිරිදි තවත් දරුවන් තිදෙනෙක්ම සිටින්නීය. ඉන් 13 වියැති දියණිය හැරුණුකොට සෙසු පිරිමි දරුවන් තිදෙනාම මීරිගම, කහදව පිරිවෙනේ අධ්‍යාපනය හදාරමින් එහි නේවාසිකව වෙසේ.

දරුවන්ගේ පියා එදිනෙදා කුලී රැකියාවක්කොට ජීවිකාව සරිකරගන්නා තැනැත්තෙකි. පිරිවෙනෙහි වෙසෙන දරුවන් තිදෙනා පසුගිය අලුත් අවුරුදු සමයේ නිවෙසට පැමිණි විටෙකදී පහර කෑමට ලක්වූ හත් හැවිරිදි දරුවා විසින් සිය මිත්තණියට පා පහරක් එල්ලකර තිබිණි. ඊට දරුවා සමඟ උරණ වූ මව, සිය මිත්තණියට ‘වඳින්න‘ යැයි බල කරමින් අමානුෂික පහරදීම සිදුකර ඇති බව පල්ලෙවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත රත්නායක පැවැසීය.

සිය කුසෙන් උපන් දරුවාට එලෙස අමානුෂික අයුරින් පහර දුන් මව පොලිසියට කියා තිබුණේ විහිළුවට එසේ පහර දුන් බවයි. එලෙස විහිළුවට හෝ තම කුසෙන් වැදූ දරුවකුට නොව කිසිදු සතා සීපාවකුටවත් පහර නොදිය යුතු බව පසක් කරන්නෙමු.

සිය කුසෙන් වැදූ දරුවකුට වුව මවකට එලෙස පහරදිය හැකි ද? අප මේ පිළිබඳව විමසීමක් කළේ ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණගෙනි.

"මේ වීඩියෝවේ තමන්ගේම දරුවාට පහර දෙන මවට විරුද්ධව දණ්ඩ නීති සංග්‍රහයේ 308ඒ වගන්තිය යටතේ නඩු පවරනවා. එමඟින් අවුරුදු දෙකේ සිට දහය දක්වා සිර දඬුවම් ලබා දෙමින් දඬුවම් කළ හැකියි. ඒ වගේම එම වීඩියෝවේ දිස්වෙනවා තවත් කෙනෙක් බලා සිටිනවා. ඒ දරුවාගේ ආච්චි අම්මා බවටයි හෙළි වුණේ. ඒ මොහොතේ ආච්චි අම්මාගේ වගකීම විය යුත්තෙ එම පහර දීම වැළැක්වීම. ඒ නිසා නොවැළැක්වීම කියන්නෙත් එම පහර දීමට අනුබල දීමක්. එම නිසා ඒ ආච්චි අම්මාටද දරුවාගේ මවට ලබා දෙන ආකාරයේම සමාන දඬුවමක් කළ හැකියි.

මෙහෙමයි, ඔය වීඩියෝවේ දැක්වෙන ආකාරයට පමණක් නොවේ මොනව විදිහකටවත් ළමයකුට අම්මා තාත්තට පමණක් නොවෙයි කිසිම කෙනෙකුට කිසිම විටෙක ක්‍රෑරත්වය දැක්වීම හෝ දඬුවම් කරන්න බැහැ. දරුවන් හිංසනයට ලක්වන ආකාරය තුනක් අප හඳුනාගෙන තිබෙනවා. ඒ, කායික, මානසික සහ ළමා අපයෝජන. මෙතැනදී ඔය සියලු හිංසනයන් ඒ දරුවාට මව විසින් ලබා දෙනවා.

ඒ මවට කියා දිය යුතුයි දරුවකුට දඬුවම්කොට ඇතිදැඩි කළ නොහැකි බව. දරුවකුට ලබා දිය යුත්තෙ ශික්ෂණයයි.

එම නිසා මම රටට දෙන පණිවිඩය තමයි, කිසිම ළමයකුට කායික, මානසික හෝ ළමා අපයෝජන කළ නොහැකියි. කළ හැක්කෙ වරද කියා දෙමින්, වරද අවබෝධ කර දෙමින් ශික්ෂණය කිරීමයි. වැන්දෙ නෑ කීවාම, පුතේ අපේ සිරිත්විරිත් අනුව වැඩිහිටියකුට වැඳිය යුතුයි... ගෞරව කළ යුතුයි යන්න කියා දිය යුතුයි. එහෙම වරද කියා දෙන්නෙ නැතිව දඬුවම් කිරීම ඉතාම අමානුෂික ක්‍රියාවක්. මේ මව කළ පහරදීමෙන් දරුවා ඉගෙන ගත්තෙ වරදක් කළාම පහර දිය යුතුය යන්නයි. ඒ කියන්නෙ මේ දරුවා සෑම තැනදීම ඇතිවන ගැටලුවලදී පිළිතුර පහර දීම බවටයි වටහාගන්නෙ. ඒ මව කියා දිපූ පාඩම නිසයි. 

එම පහර දීම නිසාවෙන් රෝහල්ගතව සිටි දරුවා පිළිබඳව ඉදිරියේදී ගනු ලබන්නෙ කුමනාකාරයේ තීන්දුවක්ද යන්න ළමාරක්ෂක අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළේ, "අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වාර්තාවෙන් පසුව මෙවැනි අභාග්‍ය සිදුවීම්වලට මුහුණ දෙන දරුවන්ට සිදුකරන ළමාරක්ෂක නිලධාරින්, පරිවාස නිලධාරින්, පොලිසිය සහ විශේෂඥ වෛද්‍යවරයකු ඇතුළු කණ්ඩායමක් එක්ව මේ දරුවා පිළිබඳව සිද්ධි සමාලෝචන වැඩසටහනක් සිදු කරනවා. එහිදී මුලින්ම සොයා බලනවා මේ දරුවා එම නිවෙසටම යැවිය හැකිද යන්න. නිවෙසට යැවීමට නොහැකි තත්ත්වයක් තිබේනම් විශ්වාසවන්ත නැදෑයෙකුට බාර දීමට තීන්දු කරනවා. ඒ දේත් කළ නොහැකිනම් ළමා සංවර්ධන මධ්‍යස්ථානයකට යොමු කරනවා.

වර්තමාන තාක්ෂණ දියුණුවත් මෙවැනි ක්‍රෑරතර සිදුවීම් බොහෝ සේ කරළියට එමින් තිබේ. එම නිසාවෙන් මෙවැනි සිදුවීම්වලට ‘තිත‘ තැබිය හැක්කෙ කෙසේද යන්න කතාබහට ලක්විය යුත්තකි.

වගකිව යුත්තන්ගේ, නිසි වගකීම විය යුත්තෙ මෙලෙස අමානුෂික ගති සොබා පෙන්නුම් කරන්නන්ට එරෙහිව නිසි දඬුවම් ලබාදීම මෙන්ම එවැනි මානසික අවපීඩිතයන්ට අවැසි ප්‍රතිකාරද ලබාදීමයි. එසේ නොමැති වුවහොත් මෙලෙස වැඩිහිටියන්ගෙන් කායික, මානසික පීඩනයට ලක්වන දූ දරුවන් අනාගතයේ කෙබඳු පුද්ගලයන් වේද යන්න තිබෙන ගැටලුවයි.

මේ පිළිබඳව විමර්ශනය බස්නාහිර පළාත් උතුර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජය ශ්‍රීගේ සහ ගම්පහ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික සිල්වාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි ප්‍රභාත් දයානන්දගේ අධීක්ෂණයෙන් පල්ලෙවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රියන්ත රත්නායකගේ මෙහෙයවීමෙන් උපපොලිස් පරීක්ෂිකා අනුෂා කුමාර සහ නඩු මෙහෙයුම් අංශ පොලිස් කොස්තාපල් (67675) මහින්ද කුමාර නිලධාරිහු සිදු කළහ.

Comments