ජනපති සහ WHO ප්‍රධානියා අතර සාකච්ඡාවක් | සිළුමිණ

ජනපති සහ WHO ප්‍රධානියා අතර සාකච්ඡාවක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රෝස් ගේබ්‍රියාසෙස් මහතා අතර වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක් පවත්වා ඇත.   
 
ජනාධිපතිවරයා ට්විටර් සටහනක් මගින් කියාසිටියේ ඇස්ට්‍රා – සෙනෙකා දෙවන මාත්‍රාව සඳහා අවශ්‍ය එන්නත් මාත්‍රා ලක්ෂ 06 ක් ලබා ගැනීම වෙනුවෙන් එහිදී අවධානය යොමු කල බවයි.
 
එම මාත්‍රා ලබාදීම සඳහා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් උත්සාහයක් දරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විශ්වාසය පළ කර තිබේ. 
 
එලෙස පැවති අදාළ සාකච්ජාව ඉතා ප්‍රයෝජනවත් බවත් එමෙන්ම ගෝලීය වශයෙන් දෙවන මාත්‍රාව ලබාදීම සඳහා ගෝලීයව ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා මිලියන 20ක් අවශ්‍යවී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිල ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ.
 
මේ අතර අද පැවැති සාකච්ඡාව පිළිබඳ වෛද්‍ය ටෙඩ්රෝස් ගේබ්‍රියාසෙස් මහතා, ට්විටර් සටහනක් තබමින් පවසා ඇත්තේ කොවිඩ් වයිරසය සම්ප්‍රේෂණය පාලනය කිරීම සඳහා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ බවය. අවශ්‍ය එන්නත් ලබා ගැනීමේදී ඇති වන අභියෝග ජය ගැනීමට ශ්‍රී ලංකාවට උදව් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇති කැපවීම පිළිබඳව ද එහිදී සිහිපත් කර ඇත. 

Comments