ආදරියට මරණයෙන් සංග්‍රහ කළ ලයිට් වේට් ශූරයා | සිළුමිණ

ආදරියට මරණයෙන් සංග්‍රහ කළ ලයිට් වේට් ශූරයා

 Félix verdejo

බොක්සිං ක්‍රීඩකයන් හා විවාහ වීම අනතුරක් ද?

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් හදිසි තත්ත්වයකුත් එයි

ආදරය යනු ලෞකික ලෝකයේ අසන්නට ලැබෙන උත්තුංග වචනය ය. එය බෞද්ධ දර්ශනයට අනුව නම් ප්‍රබලම ඇලීම නිර්මාණය කරන වචනයකැයි ද පිළිගත හැකි ය. ලෝකෝත්තර ජීවිතයක ට එලැඹීමට එකවර හැකියාවක් නොමැති යැයි විශ්වාස කරන හුදු මානව සමාජය තුළ දිව මතුර බවට පත්වන වදන ලෙසින් ‘ආදරය’ හැඳින්වීම ඒ අතින් වරදක් නොවේ. මේ එවන් දිවමතුරට ද්‍රෝහි වීමක් සම්බන්ධයෙන් ක්‍රීඩා පිටියෙන් ඇසෙන කටුක කථාන්තරයකි.’

ඔහු 2012 වසරේ ලන්ඩන් ඔලිම්පික් උලෙළේ තරග වැදුණේ බොක්සිං ක්‍රීඩාව වෙනුවෙනි. ෆීලික්ස් වර්ඩෙජෝ (Félix Verdejo) ගේ නම පසුගියදා ලෝකය තුළ ආන්දෝලනයක් බවට පත්වුණේ බොක්සිං ක්‍රීඩාව නිසා නොව තවත් එවැනිම දරුණු මුෂ්ටි ප්‍රහාරයක් හේතුවෙන් සිදු කළේ යැයි සැක කෙරෙන ඝාතනයක් හේතුවෙනි. ඝාතනයක් සාමාන්‍යකරණය කළ නො-හැකි සේම මෙම ඝාතනය හේතුවෙන් ද්විත්ව මරණ වාර්තා වී තිබීම තවත් ශෝචනීය සංසිද්ධියකි. ඒ මියගිය කිෂ්ලා රොඩ්රිගස් නමැත්තියගේ කුසේ පැවැති කලළය ද ඇය සමඟම මිය යෑම හේතුවෙනි.

‘ෆීලික්ස් තමන්ගේ බිරිය කිෂ්ලාට පහර දීලා ඇගේ සිරුර සැන් ජුආන් පාලම කිට්ටුවෙන් විසි කර දමලා තිබෙනවා.’ විදෙස් පුවත් සේවා වාර්තා කර තිබුණේ එලෙසිනි.

මේ අතර එය කේවල සංසිද්ධියක් ලෙස සලකා බැහැර කළ නොහැක්කක් බවට පත්ව ඇත්තේ Puerto Rico ප්‍රදේශයේ අඛණ්ඩව වාර්තා වන කාන්තා හිංසන දාමයේ තවත් එක් සිදුවීමක් බවට මෙය සැලකීමට හැකි වීමත් සමඟ ය.

මෙම ඝාතන සිදුවීමත් සමඟ දැන් Puerto Rico හි කාන්තා ඝාතන, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පෑම සම්බන්ධයෙන් විශාල උද්ඝෝෂණයක් ආරම්භ වී ඇතැයි පැව සෙයි. එවැනි තත්ත්වයක් සමාජය තුළින් මතුවෙමින් ඇත්තේ අවම වශයෙන් සතියකට මෙවැනි එක් ඝාතනයක් හෝ වාර්තා වන තත්ත්වයක් නිර්මාණය වීමේ වටපිටාවත් සමඟ ය. පසුගිය වසර තුළ පමණක් එවැනි සිදුවීම් හැටක් පමණ වාර්තා වී ඇතැයි එරට සංඛ්‍යා දත්ත පෙන්වා දෙයි.

විස් හත් හැවිරිදි ලයිට්වේට් බර පංතිය නියෝජනය කරන මෙම බොක්සිං ක්‍රීඩකයාට දැනට එල්ල වී ඇති චෝදනා වනුයේ පැහැරගෙන යෑම, පහර දී මහා නූපන් දරුවකු චේතාන්විත ආකාරයෙන් ඝාතනය කිරීම යන්නය. පොලිසිය සඳහන් කරන ආකාරයට වර්ඩිජෝ විසින් තම ආදරවන්තියගේ මුහුණට දැඩිව පහර දී ඇයව පාලමෙන් පහළට විසි කර දමා ඇතැයි පැවැසෙයි. එසේම දියට වැටුණු පසු ඇයට පිස්තෝලයකින් වෙඩි තබා ඇති බවට ද නම හෙළි කිරී-මට අකැමැති සාක්ෂිකරුවකු පවසා තිබෙන බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණයව තිබිණි.

මේ අතර මරණකාරියගේ මව ප්‍රකාශ කරන්නේ වර්ඩිජෝට තම බොක්සිං වෘත්තීය ජීවිතය පවත්වාගෙන යෑමේ දැඩි අවශ්‍යතාවයක් පැවැති හෙයින් දරුවකුගේ අවශ්‍යතාවක් නොතිබුණු බවයි. ‘ඔහුට දරුවෙක් උවමනා කරලා තිබුණේ නෑ. ඔහුගේ පවුල් ජීවිතය තුළට උපදින්නට සිටි දරුවා කරදරයක් බවට පත්වෙලා තිබුණා. මම දියණියට කිව්වා ඔහුගෙන් ප්‍රවේසම් වෙන්න කියලා. මොකද ඔහු ඇයට දරුවකු එපා කියලා කීප විටක්ම තර්ජනය කරලා තිබුණා. මොකද ඔහු බොක්සිං ක්‍රීඩකයෙක්, සුප්‍රසිද්ධ කෙනෙක් නිසා දරුවකු අවශ්‍ය නෑ කියලයි ඔහු තර්ජනය කරමින් කියා තිබුණේ.’ මරණකාරියගේ මව වන Keila Ortiz Rivera විදෙස් මාධ්‍යයට පවසා තිබිණි. එසේම තමන් අවසන් වරට තම දියණිය සමඟ කතා කළේ පසුගිය බ්‍රහස්පතින්දා බවද ඈ පොලිස් පරීක්ෂකයන් ඉදිරියේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කළ බව සඳහන් වෙයි.

ඝාතක බොක්සිං ක්‍රීඩකයා හා වින්දිත තැනැත්තිය අතර දැන හැඳුනුම්කම නව යොවුන් විය දක්වා දිවෙන්නක් වීම තවත් පුදුම එළවන සුළු සිදුවීමකි. ‘වසර ගණනක් තිස්සේ ඔවුන් එකිනෙකාට ආදරය කළා. පුංචි සන්ධියේ ඉඳලාම ඔවුන් එකිනෙකාව දැන හඳුනාගෙන සිටි අයයි.’ මව වැඩිදුරටත් පවසා තිබිණි.

මේ අතර ඝාතනයට ලක්වූ Rodríguez ගේ සිරුර පසුගිය සෙනසුරාදා කලපු ප්‍රදේශයක් ආශ්‍රිතව තිබී සොයාගත් අතර ඒ ඇගේම සිරුර බවට තහවුරු කර ගෙන තිබුණේ වෝහාරික වෛද්‍ය පරීක්ෂණයකට අනුව ඇගේ දත් පරීක්ෂා කිරීමෙන් ඉනික්බිතිවය.

Verdejo ගේ බොක්සිං වාර්තාව ජයග්‍රහණ 27 ක් හා පරාජයන් දෙකක් වශයෙන් සටහන්ව ඇති අතර ඉන් ජයග්‍රහණ 17 ක් ඔහු ලබාගෙන ඇත්තේ ප්‍රතිවාදියා වැටෙන්නට පහරදීමෙනි.

එසෙම 2012 වසරේ සිට ඔහු බොක්සිං ප්‍රවර්ධන සමාගමකට සම්බන්ධව සේවය කරමින් සිට ඇත. මේ සිදුවීම වාර්තා වීමත් සමඟ ඔහු වටා බැබළෙමින් පැවැති කිතුගොස ක්ෂණයෙන් වියැකෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ මෙලෙසිනි. ‘ඔහුගේ සේවා ස්ථානය සිද්ධිය සැලවූ සැණින් ඔහු වෙනුවෙන් පවත්වාගෙන ගිය අන්තර්ජාල පිටුව ඉවත් කරලා තිබෙනවා. ඒ් වගේම ඝාතනයට ලක් වූ Keishla Marlen ගේ පවුලට තම ආයතනයේ ශෝකය පළ කරන්නටත් ඔවුන් ඉදිරිපත් වීම වඩාත් කැපී පෙනෙයි. එහෙත් ඔවුන් එහි තවත් සටහනක් තබා ඇත්තේ, මේ සිදුවීම සම්බන්ධයෙන් පළවන ප්‍රවෘත්ති වාර්තා පිළිබඳ නිරන්තර අවධානයෙන් තම ආයතනය පසුවන බව දක්වමිනි.

මේ අතර සිය ගණනක විරෝධ-තාකරුවන් පිරිසක් ඝාතනයට ලක්වූ තැනැත්තිය හමු වූ පාලම පිහිටි ප්‍රදේ-ශය ආශ්‍රිතව සිට උද්ඝෝෂණය කර තිබූ අතර මෙම ඝාතනයට සැකකරු අත්අඩංගුවට ගෙන යන්තම් දිනක් ගත වන විට Andrea Ruiz Costas නමැති තවත් කාන්තාවක් ඝාතනය කර අර්ධ වශයෙන් පුලුස්සා දමා තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබිණි.

මේ සිද්ධි දාමය කලක් තිස්සේ වාර්තාවීම කරණකොට ගෙන උද්ඝෝෂකයන්ගේ දැඩි බලපෑම් මත පෙට්ට්‍රෝ රිකෝ ආණ්ඩුකාර Pedro Pierluisi විසින් මෙම වසරේ සිට කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක් වීම අරමුණු කර ගනිමින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළේය. එසේම ලිංගිකත්වය පදනම් කරගනිමින් සිදුකරන ප්‍රචණ්ඩත්වයට එරෙහිව අධ්‍යාපන වැඩසටහන් මාලාවක් දියත් කිරීමටත්, හදිසි අවස්ථාවකදී උපකාර ඉල්ලීමට හැකිවන ආකාරයේ ජංගම දුරකථන මෘදුකාංගයක් (මොබයිල් ඇප්) හඳුන්වාදීමටත් කටයුතු කර ඇත.

ක්‍රීඩාවේදී පවත්වා ගත යුතු සංයමය, සටන් ක්‍රීඩාවේ කියා වෙනසක් නොකර ගත යුතු බවට මෙම සංසිද්ධිය අවසන් වශයෙන් කදිම පාඩමක් කර ගත යුතුව ඇතැයි පැවසිය යුතුව තිබේ.

 

කසුන් ඉරුගල්බණ්ඩාර

Comments