පෝලියෝවට යට නොවී | සිළුමිණ

පෝලියෝවට යට නොවී

SUWARNA raj

සමහර නිරෝගී අයට නැති පෞරුෂයක්, එඩිතර බවක්, ආත්ම ශක්තියක්, ආත්ම විශ්වාසයක්, ආත්ම ධෛර්යයක් අපට තියෙනවා.

‘ජෙට් යානයක වේගයෙන් එන පිංපොං බෝලයට රෝද පුටුවේ සිට ප්‍රතිප්‍රහාර දීම වීරකමකි. ඒ වීරත්වය වඩා සංකීර්ණ වන්නේ රෝද පුටුව හසුරුවමින් අධිවේගී පිංපොං බෝලයේ මාර්ගය තේරුම් ගනිමින් ප්‍රතිප්‍රහාර ලබාදිය යුතු නිසා ය. ඈ එය අධිෂ්ඨානයෙන් පහසු කර ගත්තාය. නොතිත් වෙහෙසින් සිදුකළ පුහුණුවෙන් සාර්ථක කරගත්තාය. අභියෝග ඉදිරියේ මනසින් ආබාධිත වන මිනිසුන් බහුතරයක් ඇති සමාජයක කිසිදු පසුබෑමකින් තොරව ජීවිතයේ ජයග්‍රහණය සෙවූ ඇය පෝලියෝවට බිම වැටෙන්නට පහර දුන්නාය. එයිනිදු නොනැවතී ආබාධ හේතුවෙන් ප්‍රමාද වී හෝ පොරොත්තු වී සිටින මිනිසුනට නැඟී සිටින්නේ කෙසේ දැයි මඟ කියා දෙන්නීය. මේ එවන් මහානර්ඝ, ස්වර්ණමය කර්තව්‍යයක නියැළෙන ඉන්දියාවේ නාග්පූර් හි සුවර්ණා රාජ් ගැන කතාවය.’

සුවර්ණා රාජ් උපත ලද්දේ ඉන්දියාවේ නාග්පූර් හි සාමාන්‍ය පවුලක ඉතා නිරෝගී, පුෂ්ටිමත් දැරියක ලෙසිනි. නමුත් දෙහැවිරිදි වියේ දී ඇයට මුහුණ දීමට සිදුවූයේ මුළු අනාගතයටම බලපැවැත් වූ දරුණු ඉරණමකට. ඒ, පෝලියෝ රෝගයට ගොදුරු වීමය. එතැන් පටන් ඇය රෝද පුටුවකට කොටු වූවාය.

වෛද්‍ය නිර්දේශය වූයේ සුවර්ණාට යළි කිසි දිනක දෙපා වාරුවෙන් කටයුතු කිරීමට හැකියාවක් නොලැබෙන බවය. එම නිර්දේශය තඹ දොයිතුවකට හෝ මායිම් නොකළ ඇයගේ බලාපොරොත්තුව වූයේ තමා සතුව යම් හැකියාවක් වේ ද එයින් උපරිම ඵල නෙළා ගැනීම ය. ඒ ගමන යෑමට ඇය තම ආබාධිත බව බාධාවක් කොට නොගත්තා ය.

සුවර්ණාගේ අභිප්‍රාය වූයේ ක්‍රීඩා ඉසවුවකින් ඉදිරියට යෑම ය. එ සඳහා ඇය තෝරාගත්තේ තමා වඩාත් ප්‍රිය කළ මේස පන්දු ක්‍රීඩාව ය.

සුවර්ණා රෝද පුටුවෙන් යමින් මේස පන්දු ක්‍රීඩා කරන්නට පුරුදු වූයේ පාසලේ නේවාසිකාගාරයේ නතර වී සිටි කාලයේදී ය. එක් අතකින් රෝද පුටුව හසුරුවන අතරවාරයේ අනික් අතින් මේස පන්දු ක්‍රීඩා කිරීම කිසිසේත්ම පහසු කටයුත්තක් නම් නොවීය. එහෙත් දුබල වූයේ ඇයගේ දෙපා පමණි. ඊට සාපේක්ෂව වඩාත් ප්‍රබල වූ ආත්ම විශ්වාසයක් ඇය සතු විය. එම ආත්ම විශ්වාසය පෙරමුණේ තබාගෙන උපරිම කැපවීමෙන් හා උපරිම උනන්දුවෙන් මේස පන්දු ක්‍රීඩාව උගත් ඇය එහි මහා හපනියක වූවාය.

ක්‍රීඩාවට මෙන්ම ඉගෙනීමට ද සුවර්ණා තුළ වූයේ දැඩි උනන්දුවකි. පාසල් අධ්‍යාපනය අවසන් කළ ඇය ව්‍යාපාර අධ්‍යයනය සම්බන්ධව විශ්වවිද්‍යාල උපාධියක් දිනා ගත්තා ය.

සුවර්ණා රාජ් ලෝකයේම අවධානය දිනා ගත් චරිතයක් බවට පත්වූයේ වසර 2013 දී බැංකොක් හි පැවැති ආසියානු ආබාධිත ඔලිම්පික් (පැරාලිම්පික්) තරගාවලියට මේස පන්දු ක්‍රීඩාවෙන් ඉදිරිපත් වී රන් පදක්කමක් හා රිදී පදක්කමක් හිමි කරගෙන ඇගේ මවුබිමට ඉමහත් කීර්තියක් අත්කර දීමෙනි.

සුවර්ණා රාජ් යනු දක්ෂ මේස පන්දු ක්‍රීඩිකාවක් පමණක්ම නොවේ. ඇය තමා මෙන් ආබාධිත වූවන්ගේ සුබසෙත වෙනුවෙන් පෙනී සිටින සමාජ ක්‍රියාකාරිනියක ද වන්නීය.

“කවුරු කොහොම කිව්වත් හුඟ දෙනෙක් ආබාධිත අය දිහා බලන්න පුරුදු වෙලා තියෙන්නෙ අමුතු විදිහකට. ඒ අය හිතන්නෙ ආබාධිත අය කියන්නෙ කිසිම දෙයක් කර කියාගන්න බැරි, අනුකම්පාව හිමි වෙන්න ඕන පිරිසක් විදිහටයි. තවත් සමහරු හිතනවා ආබාධිත අය සමාජයට ලොකු බරක් කියලා. ඔය අදහස් සේරම කිසිම පදනමක් නැති දේවල්. සමහර නිරෝගී අයට නැති පෞරුෂයක්, එඩිතර බවක්, ආත්ම ශක්තියක්, ආත්ම විශ්වාසයක්, ආත්ම ධෛර්යයක් අපට තියෙනවා.” ඒ ඇය සමස්ත ආබාධිත ප්‍රජාව වෙනුවෙන් නංවන හඬ ය.

සුවර්ණා ඇප කැප වී සිටින්නේ ඉන්දියාවේ ආබාධිත ප්‍රජාව තුළ මෙකී ගුණාංගයන් වර්ධනය කරවීමට ය. ඒ වෙනුවෙන් මේ වන විට ඇය විශේෂයෙන් ඉන්දීය ආබාධිත කාන්තාවන් වෙනුවෙන් වැඩමුළු රැසක් පවත්වා තිබේ. මේ වැඩසටහන් සඳහා ඇය දායක වන්නේ එරට විකලාංග වූවන්ගේ සුබසාධනය උදෙසා පිහිටුවා ඇති සංගමයක් මඟිනි. ඊට අනුග්‍රහය ලැබෙනුයේ ඉන්දීය පුද්ගල සවිබල ගැන්වීමේ දෙපාර්තමේන්තුවෙනි.

මේ හැරුණු විට ඇය පැරාලිම්පික් තරගාවලි-වලට සහභාගී වන ඉන්දීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් සෞඛ්‍ය අධ්‍යාපනය නංවාලීමේ කඳ-වුරු රැසක් ද පවත්වා තිබේ.

“ජීවිත කාලය තුළදී අපට කරන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා. ඒවාට ශාරීරික දුබලතා, ආබාධ කවදාවත් බාධාවක් කර ගන්න හොඳ නැහැ. මේ කියන කතාවට හොඳම උදාහරණය මමයි. ආබාධිතයි කියලා මම පැත්තකට වෙලා හිටියා නම් කවදාවත් මට මේ ජයග්‍රහණ ලබන්න බැහැ. ඒ විතරක් නෙවෙයි මම වගේ ආබාධිත අය වෙනුවෙන් පිහිටක් වෙන්නවත් මට බැරි වෙන්න තිබුණා. ආබාධිත වුණාට පස්සෙ මම කල්පනා කළේ මට කරන්න පුළුවන් දේවල් මොනවද කියලයි. එහෙම හිතලා ගත්ත තීරණ නිසා අද මමත් මගේ රටේ ආබාධිත වුණු කොටසකුත් ජයග්‍රහණ රැසක් ලබාගෙන තිබෙන බව කියන්නේ බොහොම ආඩම්බරයෙන්.” සුවර්ණා රාජ් එසේ පවසන්නේ තම ජීවිතයෙන් උපරිම ඵල නෙළාගත් අසීමිත සතුටිනි.

නඳුන් අමන්ද මනමේන්ද්‍ර ආරච්චි

Comments