අපේක්ෂා | සිළුමිණ

අපේක්ෂා

ශල්‍ය වෛද්‍යවර ජීවක බුද්ධදාස සවස් යාමයේ නිවසට පැමිණියේ, බොහෝ සෙයින් වෙහෙසට පත් වෙමිනි. මුළු දවස පුරාම, වෛද්‍ය සමුළුවකට සහභාගී වී සිටීම, ඔහු එලෙස විඩාවට පත්වීමට, හේතු වී තිබිණ. කොළඹ, ඉහළ පෙළේ සම්මන්ත්‍රණ ශාලාවක පැවැත්වෙන, දකුණු ආසියාවේ, ශල්‍ය වෛද්‍යවරුන්ගේ සමුළුවකදී, ශ්‍රී ලංකාව නියෝජනය කරන, විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා වන ප්‍රවීණ වෛද්‍යවර ජීවක බුද්ධදාසට, එම සතියම රාජකාරි නිවාඩු අනුමත වී තිබිණ.

 

ජීවක බුද්ධදාස වෛද්‍යවරයාගේ සේවය, රජයේ රෝහලට පමණක් සීමා වී නැත. අති දක්ෂ, ප්‍රවීණ ශල්‍ය වෛද්‍යවරයකු වන ඔහු සවස් යාමයට පෞද්ගලික රෝහල් ගණනාවක උපදේශක වෛද්‍යවරයකු වශයෙන් සේවය කරයි. එහෙයින් එම වෛද්‍ය මධ්‍යස්ථානවල, බොහෝ රෝගීහු, ඔහු එනතුරු මඟ බලා සිටිති.

ජීවකගේ මෝටර් රිය පිවිසෙන හඬ අසා, ඔහුගේ බිරිඳ මායා, ඉක්මන් ගමනින් පෙරමඟට පිවිසියේ, බොහෝ නොඉවසිලිමත්වය.

“අද හුඟක් පරක්කු වුණා මායා. අර කොහෙන්ද ඇවිල්ලා හිටිය යකා, එයාගේ කතාව ඕනෑවට වඩා දිග්ගැස්සුවා“ යි කියමින්, ඔහු ගෙතුළට යන්නට සූදානම් වත්ම, මායා ඉදිරියට ආවේ කලබලයෙනි.

“අනේ ජීවක, ඔයාට ඉස්පිරිතාලෙන් කෝල්ස් දෙකක්ම ආවා“ යි ඇය කියන්නට වූයේ, බියපත් ලෙසිනි.

“කෝල්ස් දෙකක්! ඒ මොනවාටද?“ ජීවක විමසුවේ විමතියට පත්වෙමිනි.

“අනේ හදිස්සි ලෙඩෙක් ගෙනැල්ලා. ඉක්මනට ඔපරේෂන් කරන්න වේවිලු. ඒ නිසා ගෙදර ආ ගමන්ම එවන්න කිව්වා.“

“මොනවා! ඇයි එතන ඉන්න මහ එවුන් දන්නෙම නැද්ද මම මේ ටිකේම ඩියුටි ලීව් බව.“ ජීවක කෑගසන්නට වූයේ මහත් කෝපයකිනි.

“අනේ ජීවක, අවුරුදු හතරක විතර පුංචි කෙල්ලෙක්, අනේ අපේ දුවගෙ වයසේ.“ මායා එසේ කියමින් ආයාචනා කරන්නට වූයේ, ඔහුගේ කෑගැසීම නොඇසුණු ලෙසිනි.

“හරියට මෙයා දැක්කා වගේ“ ජීවකට සිය බිරිඳ ගැනද බලවත් කෝපයක් ඇති විය. “එහෙනම් බොහෝම අනුකම්පාවෙන් කතා කරන්න ඇති. ඕකුන් ඔක්කොම දන්නවා ගෑනුන් රැවටෙන විදිය කතා කරන්න.“ ජීවක මහා හඬින් කෑගැසීය.

“මම විතරමද ඔය ඉස්පිරිතාලෙ ඔපරේෂන් කරන්න දන්න එකම මිනිහා. ඇයි හදිස්සි ඒකකයේ තව හතර පස් දෙනෙක්ම ඉන්නේ.“

“ඒ ඉන්න අයට වඩා ඔයා කොලිෆයිඩ් නිසා වෙන්න ඇති ඔයාටම කතා කරේ.“ මායා කියන්නට වූයේ සන්සුන් ලෙසිනි.

“ඔයා එන්න එපා මායා මට ඕකුන් ගැන කියා දෙන්න. අර පහුගිය දවස්වල ඉන්දියාවේ සම්මේලනයට යවන්න සර්ජන්ලා තෝරන කොට, මහ එකා දන්නෙ නෑ මම කොලිෆයිඩ් බව. මේ වගේ හදිස්සි වුණාම විතරයි ඒක දන්නෙ.“

ඒ අසුණු මායා, අසරණව ජීවක දෙස බලා සිටියාය. නවදිල්ලියේ පැවැති සම්මේලනයට යැවීම සඳහා නිර්දේශව සිටි ජීවක බුද්ධදාසගේ නම අවසන් මොහොතේ කැපී ගිය බව ඇයට සිහිපත් වූයේය.

වෛද්‍ය අධිකාරීන්ගේ කෙනෙහිලිකම් කෙසේ වෙතත්, සිය දියණියගේ වයසේ අහිංසක දැරියක, ශල්‍ය වෛද්‍යවරයෙකුගේ ඉක්මන් පිහිට බලාපොරොත්තුවෙන් ජීවිතයත්, මරණයත් අතර සිරවී සිටින අයුරු මෙනෙහි වෙත්ම මායා හදවතින් හඬා වැටෙන්නට වූවාය.

“ඒගොල්ලන් ගැන හිතන්න එපා ජීවක, අර දරුවා වෙනුවෙන් යන්න. ඒ අහිංසක දරුවා ඔයාට කිසි වරදක් කරලා නැහැනෙ.“ මායා එසේ කියන්නට වූයේ නුදුටු දැරිය වෙනුවෙන් දරු සෙනෙහස උතුරා යන ආදරණීය මවක ලෙසිනි.

“ඒකට වගකියන්න ඕනෑ මම නෙවෙයි, අර පවුකාරයෝ, පාහර............“ ජීවක තවත් අසභ්‍ය වචන ගණනාවක්ම කියාගෙන ගියේ සිය දූ, පුතුන් ඒ අසලකවත් නැති බව සලකාගෙනය.

“බොහෝම හොඳයි ලොකු දොස්තර මහත්තයා. හරි ලස්සනයි. ඔයා හීනෙන් කතා කරන්නෙත් ඉංග්‍රීසියෙන්. ඒත් ඉතින් කේන්ති ගියාම, සුද්ද සිංහල කටේ තොලේ ගෑවෙන හැටි අපූරුයි.“ මායා එසේ කීවේ බලවත් අප්‍රසාදයකිනි.

“ඔයාට ඔක්කොටම වඩා ලොකු සල්ලි. නර්සිං හෝම්වල චැනල් සර්විස්. ඔහොම ගියාම මේ රටේ මිනිස්සු ඔයාට විතරක් නෙවෙයි, මටයි මේ අහිංසක දරුවන්ටයි එක්කම සාප කරාවි.“

“චැනල් සර්විස් යන්නෙ මම විතරයි. සල්ලි ගන්නෙ මම විතරයි. අනිත් එවුන් ගන්නෙනෑ.“ ජීවක සාලයේ ඒ මේ අත ඇවිද්දේ, තවමත් පහව නොගිය කෝපයෙනි.

“මේ ගෑනි මහ පුදුම ගෑනියෙක්. ලෙඩෙක් වුණාම ළමයාත් එකයි. නාකි මිනිහත් එකයි. වෙන ගෑනු වැඩිපුර කීයක් හරි හොයාගන්න යන්න මිනිහාව ලෑස්ති කරලා යවනවා. ඒකට මෙයා. හරියට වෙස්සන්තර රජ්ජුරුවන්ගෙ පරම්පරාවෙ ගෑනියෙක් වගේ.“

ජීවකගේ කුඩා දියණිය, සාලයේ කෙළවර ලොකු පුටුවක වාඩිවී ඇඟිල්ලක් කටේ රුවාගෙන, නිහඬව බලා සිටියාය. මා පියන් අතර කියැවෙන මේ උණුසුම් කතා බහට, ඇය කිසිසේත් කැමති නැත. ඔවුන් උස්හඬින් කියන්නේ කවුරුන් පිළිබඳවදැයි ඉඳුරාම නොවැටහුණද, තමා වැනි දැරියක රෝගාතුරව රෝහලේ සිටින බව ඇයට දැනුණේ මවගේ ආයාචනය නිසාය.

“අනේ අපේ දුවගේ වයසේ දරුවෙක්. අනේ ඉක්මනට යන්න.“ එසේ පවසන සිය මෑණියන්ට බැණ වදින පියාගේ ආරවුල නවත්වන තුරු ඇයට ඉවසුම් නැත.

ජීවක, සිය දියණිය මෙලෙස බලා සිටින බව දුටුවේ හදිස්සියෙනි. ඔවුන් දෙදෙනාගේ කතාබහ නිසා, ඇය බියපත්ව සිටිනු අවබෝධ වූ හෙයින්, ඔහු බොහෝ සෙයින් තිගැස්සුණේය. වහා ඇය වෙත ආ ඔහු දැරිය වඩාගෙන සිපගත්තේ අපමණ වූ දරු සෙනෙහසිනි.

“මගේ දුවට, තාත්තා හරියට ආදරෙයි“ ඔහු කියන්නට වූයේ සිනාසෙමිනි.

“තාත්තා, මගේ දුවට විතරක්ම ආදරේ වුණොත් මදැයි. අර ඉස්පිරිතාලේ ඇඳක අසරණ වෙලා වැටිලා ඉන්නෙත් කාගෙ හරි හුරතල් දුවෙක් තමයි.“ මායා එලෙස කියනු ඇසුණු ජීවක තිගැස්සුණේය. තමා සියල්ල අමතක කරදමා රෝහලට යා යුතු නොවේදැයි ඔහුට සිතිණ. එහෙත් ඒ මොහොතකට පමණි! තවත් මෙබඳු සුරතල් වියේ දියණිවරුන්, තමා එනතුරු පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවල රැඳී සිටිනු ඇතැයි ඒ සමඟම ඔහුට සිතුණේය.

“නෑ.... මම ඉස්පිරිතාලේ යන්නේ නෑ“ යි යළිත් සිත දැඩි කරගත් ඔහු දියණිය සිප පුටුව මත තැබුවේ, නාන කාමරයට යන අදහසිනි. එහෙත් ඒ සමඟම මෝටර් රියක් පෝටිකෝවට එනු දුටු ඔහු, විමතියට පත්ව එහි ගියේය.

ඔහු එහි යත්ම, රෝහල් ශල්‍යාගාරයේ සේවය කරන නාලක වීරසිංහ වෛද්‍යවරයා ඔහු අබියසට එමින් සිටියේය.

“සර්, හදිස්සි ලෙඩෙක් සර්.“ වෛද්‍යවරයා කියාගෙන ගියේ මඳක් පැකිළෙමිනි. ඒ රාජකාරි නිවාඩු ලබා සිටින විශේෂඥ වෛද්‍යවරයා හමුවන්නට පැමිණීම නොමනා වේදැයි යන දෙගිඩියාවෙනි.

“අවුරුදු හතරක විතර හුරතල් කෙල්ලක්. බඩේ ගෙඩියක් වගෙයි. අපි අත ගහන්න බයයි වගේ සර්. ගෙදරට කෝල්ස් දෙකක්ම දුන්නා. එතකොට සර් ඇවිත් නෑ.“

“මම මේ දැන් ආවා විතරයි. ගෙදර ආ ගමන්ම පණිවිඩය කිව්වා. නාලක වාඩිවෙන්න. මම ඉක්මනට එන්නම්.“

මෑතකදි සේවයට බැඳුණු, මෙම ළා බාල වෛද්‍යවරයාගේ බැගෑපත් ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම තමා වැනි ප්‍රවීණ වෛද්‍යවරයකුට කිසිසේත්ම නොගැළපෙන බව ජීවක බුද්ධදාස වෛද්‍යවරයා විශ්වාස කෙළේය. එහෙයින්ම ඔහු ඉක්මනින්ම සූදානම් වී, නාලක වීරසිංහ සමඟ නික්මී ගියේය.

ඔවුන් රෝහලට යන විට, දැරිය සැත්කම සඳහා අවශ්‍ය පූර්ව කාර්යයන් සියල්ල නිසි ලෙස නිමකර තිබූ හෙයින්, ජීවක බුද්ධදාස ශල්‍යාගාරයට පිවිසුණේය. සැත්කම් සයනෙහි සිටි දැරිය දුටු සැණින්, ඔහු මවිතව, තිගැස්සී බලා සිටින්නට වූයේ, බොහෝ සෙයින් කැලඹෙමිනි.

“මොනවා! මේ මගේ චූටි දුව වගේම නේදැ“යි ඔහුට කියැවුණේ නිතැතිනි.

සුදු පැහැති සුරතල් මුහුණ, කැරලි ගැසුණු කෙටි කොණ්ඩය, මුහුණේ ඇඳී තිබූ සිනාමුසු බව!

“සර්ගෙ දුව වගේම තමයි සර්“ නාලකට කියැවුණේ, තමා එහි ගිය මොහොතේ ඉදිරියට දිව ආ ප්‍රවීණ වෛද්‍යවරයාගේ කුඩා දියණිය සිහිපත් වීමෙනි.

“අනේ එයා වගේම තමයි“ ජීවකට කියැවුණේ සිහින් ස්වරයෙනි.

“හැබෑටම! ඒකද එන්න බැරිය කියලා මාත් එක්ක රණ්ඩු වුණේ“ මායා එලෙස පවසනු ඔහුට ඇසෙන්නට විණ.

“හැම පුංචි දුවක්ම, අපේ දුවක් කියලා හිතන්නකෝ“ ඉක්බිතිව දෝංකාරයක් බඳුව මායාගේ හඬ මුළු ශල්‍යාගාරය පුරා පැතිරී යන්නට විය.

ශල්‍යකර්මය සඳහා දිගු කාලයක් ගත නොවීය. එය අන් අය සිතූ පමණ බැරෑරුම් කාර්යයක්ද නොවීය. ශල්‍ය වෛද්‍යවරයා පිටතට ආවේද, බොහෝ තුටුපහටු සිතිනි. සිය දියණිය වන් කුඩා රෝගියාට පිහිට වීමට හැකිවීමේ උද්දාමය ඔහුගේ සිත පුරා ඉතිරී යමින් තිබිණ. ශල්‍යකර්මය මුළුමනින්ම සාර්ථක වූ බව ඔහු පළපුරුද්දෙන්ම දැන සිටියේය.

ජීවක බුද්ධදාස වෛද්‍යවරයා සිය කාර්ය මණ්ඩලයට අවශ්‍ය උපදෙස් ලබාදී පිටතට පැමිණෙත්ම කොරිඩෝරයේ අසල දරුවෙකු වඩාගත් තරුණ කාන්තාවක හා ඇයගේ ස්වාමිපුරුෂයා යැයි සිතිය හැකි තරුණයෙකු ද සිටි අතර, ඔව්හු වෛද්‍යවරයා දැක ඉදිරියට ආහ.

“අනේ බුදු දොස්තර මහත්තයෝ, අපේ දරුවාට මොකදැ“යි එම තරුණ කාන්තාව කඳුළු සලමින් විමසුවේ ඉතා බැගෑපත් ලෙසිනි.

“බයවෙන්න දෙයක් නෑ. ඒක අපි හිතුවාට වඩා සුළු එකක්.“ වෛද්‍යවරයා එසේ පවසත්ම, ඔවුන් දෙදෙනාගේ දෑස් කඳුළින් පිරෙන්නට වන. ඒ, සතුටු කඳුළුය!

ශල්‍ය වෛද්‍යවර ජීවක බුද්ධදාස, වහා රෝහලෙන් නික්ම ගියේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවල, ඔහු එනතුරු නොඉවසිලිමත්ව බලා හිඳින රෝගීන්හට අවශ්‍ය උපදෙස් ලබාදී, ඔවුන් සුවපත් කරන අරමුණ ද සිත තුළ රඳවාගෙනය. අපේක්ෂා නම් වූ කුඩා දැරිය මරණයෙන් බේරා, ඇය තවත් බොහෝ කලක් ජීවත් කරවීමට හැකිවීම පිළිබඳව දැඩි සතුටක් ද ඔහු තුළ වූයේය.

ජීවක මුල්ම වෛද්‍ය මධ්‍යස්ථානයට යන විට, බොහෝ වේලාවක් බලා සිටි ඇතැම් රෝගීන් ආපසු නික්ම ගොස් තිබිණ. දෙවැනි මධ්‍යස්ථානයේ රැඳී සිටියේ, කලින් දැන්වීමක් සිදු නොකොට ආ කීපදෙනෙකු පමණි. “ගෙදරට කෝල් කරාම කිව්වා, හදිස්සි ඔපරේෂන් එකකට ගියා. එන වේලාවක් කියන්න බෑ කියලා.“ එක් මධ්‍යස්ථානයකින් එලෙස කියැවුණු ඇසුණු ජීවකට මායා කෙරෙහි කෝපයක් ඇතිවූයේ නිතැතිනි.

“එහෙමද කියන්න තිබුණෙ. ඉක්මනට එයි කිව්වා නම්, මිනිස්සු ආපසු යන්නෑ.“ මායා හිතන්න ඇති ඔපරේෂන් එකක් කිව්වාම රෑ දෙගොඩ හරි යාමෙ වෙනතුරු නටන තොවිලයක් කියලා.“

ජීවක ගෙදර එනවිට සැඳෑ යාමය ගෙවීගොස් තිබිණ. වැහි වලාවක් පෙරමඟ එන බව පවසන ලෙසින් අඳුර දැඩිව පරිසරය වසා පැතිරී යන බවක් ඔහුට පෙනෙන්නට විය. මායා, කුඩා දියණියට බත් කවමින් සිටිනු ඔහු දුටුවේය.

“අනේ ජීවක, අර දරුවාට මොකද?“ ඔහු දුටු සැණින් මායා නොඉවසිලිමත්ව අසා සිටියාය.

“කවුරුවත් මැරුණෙ නෑ. සනීප වුණා. මැරුණෙ මම.“ ජීවක කීවේ කෝපයෙනි.

දියණිය ඔහු දෙස බලා සිනාසුණාය. ඇය දුටු සැණින් ඔහුට අපේක්ෂා දියණිය සිහිපත් විය. ඒ වන විට ඇය සිහිය ලබා බොහෝදුරට සුවපත්ව සිටින බව, ඔහු දුරකථනයෙන් විමසා දැනගෙන තිබිණ.

“චූටි දුව, ඔයා බත්කාලා ඉවරවෙලා ගිහින් නිදාගන්න. තාත්තාට ලැබ් එකේ ලොකු වැඩක් කරන්න තියෙනවා. මම ඉක්මනට එන්නම්කෝ.“ ඔහු කීවේ ආදරණීය හඬකිනි.

ඒ වනවිට ඔහුගේ පුතුන් දෙදෙනා රූපවාහිනී වැඩසටහනක් නරඹමින් සිටියහ. ජීවක වහා දිය නා අවසන්ව වේලාසනින්ම රාත්‍රී ආහාරය ද ගෙන, පසුදින වෛද්‍ය සම්මන්ත්‍රණයේදී තමා පැවැත්විය යුතු දේශනයට සූදානම් වීම සඳහා සිය පර්යේෂණාගාරයට යෑමට ලිපි ගොනු කීපයක් ද එක්රැස් කර ගත්තේය.

“පුතේ වහින්න එනවා වගෙයි. ගොරවන සද්දෙත් එනවා. ටී.වී. එක වහලදාලා ගිහින් බත් කාලා නිදාගන්න“ මායා පුතුන් දෙදෙනාට පවසනු ජීවකට ඇසුණේය.

ජීවක නිවසේ එහා කෙළවරක වූ ඔහුගේ පර්යේෂණාගාරයට පිවිසෙන විට පොද වැස්ස අකුණු සහිත මහවැස්සක් බවට පත්ව තිබිණ. ඔහු එහි පසෙක වූ අල්මාරියෙන් තමාට අවශ්‍ය පොත්පත් කීපයක් තෝරාගෙන, සිය කාර්යය සඳහා මේසය අසල වාඩි වූයේය.

‘තුන්වැනි ලෝකයේ ශල්‍ය වෛද්‍යවරයන්ගේ කාර්ය භාරය‘ ඔහුගේ දේශනය සඳහා මාතෘකාව විය.

“ඉක්මනට මේක ලියලා ඉවරයක් කරන්න ඕනෑ. මට අද හරි මහන්සියි“ තමාටම කියාගත් ඔහු දේශනය සඳහා කරුණු එක්රැස් කරන්නට විය. “හවස අර කරදරේ වුණේ නැත්නම්, මේක කලින් ලියලා ඉවර කරන්න තිබුණා. කොහේද? අතට ගන්න තිබුණු තුට්ටු දෙකත් නැතිවුණා.“ ඔහුට මායා ගැන නැවතත් කෝපයක් ඇති විය.

එකෙණෙහිම අකුණක් පුපුරා ගිය අතර මහ හඬ නඟමින්, පාරේ ගසක අත්තක් කඩා වැටී විදුලිය ද විසන්ධි විය. ජීවක, මොහොතක් අඳුරේ බලා සිට, ඉන්පසුව අසල වූ විදුලිපන්දමේ එළියෙන් ඉටි පන්දම් දෙකක් සොයාගෙන දල්වා සිය කාර්යය නැවත ආරම්භ කෙළේය.

එහෙත් සමාධිගත සිතකින් ඔහුට වාර්තාව ලියාගත නොහැකි විය. ඉටිපන්දම් එළියෙන් විවිධාකාර රූප බිත්තිවල නටන අයුරු ඔහුට පෙනෙන්නට විය. රෝහලේ වාට්ටුවල වේදනාවෙන් කෙඳිරි ගාන රෝගීන්ගේ හඬ ඔහුට ඇසුණේ, අමුතු බියක්ද සමඟය. ඒ අතරට ඔහුට අපේක්ෂාගේ මවුපියන්ගේ කඳුළු පිරි දුක්මුසු මුහුණු ද සිහිපත් වන්නට විය. ඒ දසුන ඔහු රැගෙන ගියේ අතීතයේ එක්තරා ඉසව්වකටය.

ජීවකට පියා අහිමි වන විට, ඔහු දසවැනි වියේ පමණ විය. ගුරුවරියක වූ ඔහුගේ මව, සුමනලතා ඉස්කෝලේ හාමිනේ ජීවක ඇතුළු සිය දරුවන් පස්දෙනෙකු ඇති දැඩි කරගත්තේ මහත් දුෂ්කරතා මධ්‍යයේය. ඉතා අර පරෙස්සමින් විය පැහැදම් කරමින් දරුවන් උසස් අධ්‍යාපන ලාභීන් වූයේ ඇයගේ නොපසුබට උත්සාහය නිසාය.

දරුවන් රෝගී වූ කල, සුමනලතා ඉස්කෝලේ හාමිනේ ඔවුන් රැගෙන රෝහල් පෝලිම්වල තෙරෙපෙමින් ප්‍රතිකාර ලබා දුන්නේ, හුදෙක්ම වියදම් අඩුකර ගැනීම සඳහාය.

“පුතේ, පුතා කවදාහරි හොඳට ඉගෙනගෙන, දොස්තර කෙනෙක් වුණ දාක මේ පෝලිම්වල දුක් විඳින දුප්පත් ලෙඩ්ඩුන්ට හොඳට සලකන්න ඕනෑ.“ වසර ගණනාවකට පෙරදී, සිය මව දුන් අවවාදය ජීවකට නැවත සිහිපත් වූයේ අපේක්ෂාගේ මවුපියන් දැකීමෙනි.

හදිසියෙන්ම පර්යේෂණාගාරය කෙළවර වීදුරු ජනේලය දෙසින් සියුම් හඬක් ඇසෙන්නට වූ හෙයින් ජීවක බොහෝ සෙයින් කැලඹී, මවිතයට පත්ව එදෙස බලා සිටියේය. එහි බිත්තියේ ගසා ඇති බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස සම්මානිත හිපොක්‍රටීස්ගේ ඡායාරූපය නිසලව තිබෙන අයුරු ඔහු දුටුවේය. එය යටින් ලියැවී ඇති අර්ථාන්විත වැකිය ද ඔහුට පෙනෙන්නට විය.

“වෛද්‍යවරයෙකුගේ උත්තරීතර මෙහෙවර, සකල ලෝකයා සුවපත් කරනු පිණිස, සිය කාලයත් ශ්‍රමයත්.................“

“හිපොක්‍රටීස් මේ කාලයේ ජීවත්ව සිටිනවා නම් ඔහොම කියන එකක් නෑ“ යි තමාටම කියාගත් ජීවක, ආපසු හැරෙත්ම වීදුරු ජනේලය යළි සෙලවෙන්නට විය. බොහෝසෙයින් බියට පත්වූ ඔහු එදෙස බලත්ම,

“ඒයි බුද්ධදාස ජීවකරත්න“ යැයි සිය නම වරදවා හසුරුවමින් අමතනු ඇසුණු ඔහු තිගැස්සී බලා සිටියේ එක්තරා කෝපයකින් යුතුවය.

“කවුද යකෝ මට මගේ නම කියලා කතා කරන්න පුළුවන් එකෙක් මේ හතර දිග්බාගයක ඉන්නේ.“ ඔහු කෑගැසුවේ බියපත් වෙමිනි.

“ඇයි මම!“ ජනේලය දෙසින් ඇසුණේ වියරු හඬකි.

“මේ, මම එනවා!“

“මොනවා! හතරවම් දෙවියනේ!“

බිත්තියේ කෙළවර රාක්කය අසල තබා තිබූ ඇටසැකිල්ල දෑත් විදහාගෙන තමා දෙසට එන දසුන ඔහුගේ මුළු සිරුරම අප්‍රාණික කරන්නට විය. ජීවක තමා දෙස බලා සිටිනු දුටු ඇටසැකිල්ල මේසයට මඳක් ඈතින් නතරවිය.

“බුද්ධදාස ජීවකරත්න! අනිච්චං ඉතිහාසයේ ජීවත්වුණු වටිනා වෛද්‍යවරුන් දෙන්නෙකුගේ නම් දෙකකට ගිහින් තියෙන කලක්.“ ඇටසැකිල්ල වියරු හඬින් සිනාසුණේය. ඒ බිහිසුණු හඬ, පර්යේෂණාගාරයේ දෝංකාර හඬ නැංවීය.

“මේ දෙන්නාම වෙදකම් කරේ, අහිංසක මිනිසුන්ගේ වියදමෙන් ඉගෙන ගෙන, අන්තිමට ඒ මිනිස්සුන්ගෙ තුට්ටු දෙක හූරාගන්න හිතාගෙන නම් නෙවෙයි. එම්. බී. බී. එස්, එම්.ඩී, එෆ්. ආර්. සී. එස් වගේ නම අගට වට්ටෝරු නැතුවාට නියම මිනිස් දෙවිවරු. ලෙඩ්ඩු පණ අදින වෙලේ වැඩි පඩි පහසුකම් නිලතල දීමනා ඉල්ලලා වැඩ වර්ජන කරපු අය නෙවෙයි. ඒ වගේ උතුම් මිනිස්සුන්ගේ නම් උඹලා වගේ අයට වටින්නේ නෑ.“

ජීවක බුද්ධදාස නම් වූ ඒ මහානුභාව සම්පන්න අග්‍රගණ්‍ය ශල්‍ය වෛද්‍යවරයා ඇඟට පණ නැතිව ඇටසැකිල්ලට සවන් දීගෙන සිටියේ බොහෝ සෙයින් බියපත්වය. මෙම ඇටසැකිල්ල කිසිදු බියක් සැකක් නැතිව කතා කරන්නේත්, ඇවිදින්නේත් කවර ශක්තියක් නිසාදැයි ජීවකට කිසිසේත් සිතාගත නොහැකි විය.

“දොස්තර මහත්තයා, උඹ ටිකකට කලින් කියනවා මට ඇහුනා, අර හිපොක්‍රටීස් රූපය යටින් ලියල තියෙන වාක්‍යය, ඒ උත්තමයා මේ කාලෙ හිටියා නම් කියන එකක් නැතෙයි කියලා. මතක තියාගනින්. ඒ කියමන සදාකාලෙටම වලංගුයි. උඹ අර දරුවාගේ ඔපරේෂන් එකට යන්න බැරිය කියලා ගෙදර යකා නැටුවා නේද? දරුවාගේ ජීවිතයට වඩා චැනල් සල්ලි උඹට ලොකු වුණා නේද?“ අනතුරුව ඇටසැකිල්ල බිහිසුණු ලෙස සිනාසුණු අතර, පර්යේෂණාගාරයේ වූ සියලුම මෙවලම් සෙලවෙන්නට විය.

“වෛද්‍ය විද්‍යාවේ ඉහළම විභාග පාස්කරාට, උඹලා වගේ අය මොන්ටිසෝරියේ ඉඳගෙන අඳුරේ අතපත ගානවා විතරයි. මනුස්සකමේ එකම විභාගයක්වත් පාස් නෑ.“

අනතුරුව ඇටසැකිල්ල ඔහුගේ ඇටකෝටු සුරත ඉහළට ඔසවා ගත්තේය.

“ඒත් උඹේ නෝනා! අන්න නියම මිනිස් දෙව්දුවක්! අර පුංචි දොස්තර මහත්තයා ගෙදරටම නොආවා නම් උඹ යන්නෙ නෑ නේද? එයාට කසාදෙකුත් නෑ - දරුවෙකුත් නෑ. දරු සෙනෙහස අඳුරාගත්තේ අර දරුවා දැකලා පපුව උණුවෙලා. උඹට දරුවො තුන්දෙනෙක් ඉඳලත් එහෙම උණුවීමක් නෑ.“

“නෑ - නෑ මම ගියා. ගිය නිසා දරුවාගේ ජීවිතය බේරුණා.“ ජීවක කීවේ ගොත ගසමිනි.

“ගියා නේන්නම්! චැනල් සල්ලි නැතිවෙන දුකට හූල්ලාගෙන ගිහින් දරුවා දැක්කාම තමයි කිරි එරුණේ. දොස්තරලා වුණාම හැමතිස්සෙම හිතන්න ඕනැ, තමන් ළඟට එන්නේ තමන්ගෙම අය කියලා.“ එසේ කියමින් සිටි ඇටසැකිල්ල. එක්වරටම මහ හඬින් හඬන්නට විය. ජීවක බියපත්ව, ඇටසැකිල්ලේ ඇස් කුහරෙන් ගලන කඳුළු දැක මවිතයට පත්විය.

“උඹ දන්නෙ නෑ ජීවක, මම කවුද කියලා. මම බොහෝම දුප්පත් පවුලක කොල්ලෙක්.

අපි පොඩි කාලෙම තාත්තා මැරුණු නිසා මම මගේ දුප්පත් අම්මාට පවුල ගොඩදාගන්න උදවු වෙන්න, ගල්වළේ වැඩ කරා. මගේ බඩේ ගෙඩියක් හැදිලා ඉස්පිරිතාලෙ ගියාම ඔපරේෂන් ලැයිස්තුවේ මගේ නම වැටුණේ අගට.“ එසේ පවසා ඇටසැකිල්ල ඉකිබිඳින හඬ, පර්යේෂණාගාරය පුරා දෝංකාර හඬ නැංවීය.

“ඔපරේෂන් එක ඉක්මන් කරගන්න තිබුණා අත යට සල්ලි දුන්නා නම්. අනේ ඉතින් අපිට කොයින්ද සල්ලි. ඒ අතරට ගෙඩිය පුපුරලා මම මැරුණා.“

එයින් අනතුරුව, මොහොතකට ඇටසැකිල්ල නිහඬ විය.

“උඹ දන්නවාද මැරිලා වළලා ටික කාලයක් ගියාම මට වෙච්ච දේ.“ ඔහු නැවත කියවන්නට වූයේ කඳුළු පිස දමමිනි.

“එක අඳුරු රෑක හතරපස් දෙනෙක් ඇවිත් මගේ මිනිය ගොඩ දැම්මා. එතකොට පෙට්ටිය දිරලා. ඒකත් දාලා වළ වහලා, මාව ගඟට අරගෙන ගිහින් හෝදලා මැදලා පිරිසිදු කරලා දොස්තර කෙනෙකුට විකුණලා දැම්මා. එයා මිනී වෙළෙන්දෙක්. එයාගෙන් තමයි උඹ සල්ලි දීලා මාව අරගත්තේ.“

“නෑ - නෑ එයා එහෙම කෙනෙක් නෙවෙයි. සිරිවර්ධන දොස්තර මහත්තයා. රටේ නම ගිය දක්ෂ දොස්තර කෙනෙක්.“ යැයි ජීවක කීවේ එයට බොහෝ කලකට පෙර සිය මව හඳුනන ගුරුවරයෙකු මඟින් ඒ දොස්තර මහතාගෙන් එය ලබාගත් අයුරු සිහිපත් කරමිනි. එතෙක් මෙතෙක් ඒ ඇටසැකිල්ල බොහෝ සුරක්ෂිත ලෙස ඔහු වෙත තිබිණ.

“ඔය ප්ලාස්ටික් ඒවා වගේ නෙවෙයි, නියම ඔරිජිනල් බඩු“ යි ඒ ගුරුවරයා පවසා ඇත.

“හොඳ කෙනෙක් නිසා නේන්නම් ඔය ජාවාරම් වලට හවුල්.“ ඇටසැකිල්ල සිනාසුණේය.

“අනේ, මගේ මිනියට ගමේ මිනිස්සු කොයි තරමට සැලකුවාද? අපි දුප්පත් නිසා මළගෙදර ඔක්කෝම වැඩ කළා. අන්තිමට මිනිය සොහොනට අරගෙන ගියේ බෙර ගගහ.

ඒ මදිවට හත්දවසෙ, තුන්මාසෙ දාන දීලා මිනීවළ උඩ පාන් පත්තු කරලා ගෞරව කරා. ඒ තරම් සලකපු මගේ මිනියට, මොන තරම් නින්දා සහගත වැඩක්ද කළේ. අපිට මැරිලාවත් නිදහසේ ඉන්න දුන්නාද?“ ඇටසැකිල්ල එසේ කීවේ දරදඬු අත් ඉහළට ඔසවාගෙන මහත් කෝපයකිනි.

“ගල්වළේ වැඩ කරපු මගේ අත්දඬු තාම සවි ශක්තියි, ඕනෑම කෙනෙකුගේ බෙල්ල හිර කරන්න පුළුවනි.“ ඇටසැකිල්ල එසේ පවසත්ම, ජීවක බොහෝසෙයින් බියපත් විය.

“දොස්තර මහත්තයා, බයවෙන්න එපා. මම උඹව මරන්නේ නෑ. ඒ, මම ගෞරව කරන නෝනලා තුන්දෙනෙකුට කරන සැලකිල්ලක් නිසා. ඒ මගේ දුප්පත් අම්මා, සුමනලතා ඉස්කෝලෙ හාමිනේ, අනිත එක්කෙනා මායා නෝනා.“ ඇටසැකිල්ල කියාගෙන ගියේය.

“උඹව මම මරන්නේ නැත්තේ තව හේතු දෙකක් නිසා. එකක්, එහෙම වුණොත් දරුවන් තුන්දෙනෙක් එක්ක මායා නෝනා තනි වෙනවා. අනිත් එක, මොනවා වුණත් ජීවක දොස්තර මහත්තයා කලාතුරකින් රටකට ඉපිදෙන ඉතාම දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙක්. ඒත්, මේ රටේ මිනිස්සුන්ගේ පෙර අකුසලයකට, අර ඉස්පිරිතාලෙ ඉන්න මහ මිනිස්සු උඹේ දක්ෂකම පිළිගන්නෙ නෑ. උන් උඹට ඉරිසියාව.“ ඇටසැකිල්ල සාවඥ ලෙස සිනාසුණේය.

“මට තව පණිවිඩයක් තියෙනවා. ඔක්කොම ලොකු දොස්තර මහත්තුරුන්ට කියා දෙන්න. ලෝක වෙළඳපොළේ තෙල්, පිටි, සීනි, කිරිපිටි වගේ දේවල් මිල වැඩිවුණාම, අපේ රටේ නියඟ ගංවතුර නිසා වගා විනාස වුනාම බඩුමිල ඉහළ ගිහින් මිනිස්සුන්ට කරදර වෙනවා. ඒවා වළක්වා ගන්න අමාරුයි. ඒ වුනත් ලොකු දොස්තර මහත්තයාලා, නෝනාලාගේ චැනල් ගාස්තු එන්න එන්නම වැඩි වෙන්නේ ඒගොල්ලන් ගංවතුරට අහුවෙලාද?“ ඇටසැකිල්ල මහා හඬින් සිනාසෙන්නට විය. “මිනිස්සු හිඟා කාලා හරි සල්ලි හොයාගෙන චැනල් කරනවා තමයි. ඒත්, දොස්තර මහත්තුරු තමන්ටම ආභරණයක් නෙවෙයි. රටටම දිලිසෙන ආභරණ වෙන්න ඕනෑ.“

එසේ පවසමින් ඇටසැකිල්ල ඉදිරියට එනු දුටු ජීවක, බියපත්ව දෑස් පියා ගත්තේය. “මම, ආපහු යනවා. ආයෙමත් කවදාවත් එන්නෙ නෑ. ඒත් මගේ පණිවිඩය මතකයිනෙ.“

ජීවක, බොහෝදුරින් ඇසුණු හඬින් නැවත දෑස් විවරකොට, ඒ මේ අත බැලුවේය.

“මොනවා! කෝ මේ ඇටසැකිල්ල“ මවිතයට පත්වූ ජීවක නැගී සිටිත්ම, නැවත විදුලි එළිය දැල්වෙන්නට විය.

“ආ! අර රාක්කෙ ළඟම තියෙන්නේ.“ ජීවක මුළු පර්යේෂණාගාරය පුරාම විමසුම් සහිතව බලන්නට වූයේ, තවත් ඇටසැකිල්ලක් කොතැනක හෝ තිබිය හැකි යැයි යන දෙගිඩියාවෙනි. හදිස්සියේම ඔහු වීදුරු ජනේලය දෙස බැලුවේ,

ඒ අසල බිත්තියේ කිසියම් අඩුවක් දකින්නට වූ හෙයිනි.

“ආ! මොනවා, හතරවරම් දෙයියනේ! කෝ අර හිපොක්‍රටීස්ගේ රූපෙ. ඒක අතුරුදහන් වෙලා.“ යි කියමින් ජීවක එතැනට දිව ගියේ, බලවත් ලෙස සිත් කැලඹීමෙනි.

ශාරිකා කරුණාතිලක

 

 

 

Comments