අලුත් විය යුතු කිතුල් | සිළුමිණ

අලුත් විය යුතු කිතුල්

 

කිතුල් ගස දිවයින පුරාම වගේ දක්නට ලැබුණද මේ කියන්නේ දකුණේ කිතුල් කතාවකි. ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සැලසුම් අංශය මඟින් එහි අධ්‍යෂක සමන් ජයසේකරගේ මෙහෙයෙවිම යටතේ ගෙවී ගිය මාසයේ කරන ලද සමීක්ෂණයක දී හෙළි වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ කිතුල් ගස් ඇත්තේ 36,820 ක් බවය කෙසේ වුව මේ ප්‍රමාණයෙන් 10,299 ක්ම පිහිටා ඇත්තේ සිංහරාජයට ආසන්නව එහි මායිමක් ලෙසින් ඇති නෙළුව ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේය. වාර්තා වන අන්දමට එහි කිතුල් ගස් 10,289ක් පමණ තිබේ. එයට අමතරව නෙළුවට ආසන්නව ඇති තවලමහි ගස් 7460 ඇති අතර බද්දෙ ගමින් ගස් 5,605 සොයා ගන්නා විට ඉමදූවෙන් ගස් 3521ක් වාර්තා වී ඇත.

 

නියාගම 2,269 ක් වැලිවිටිය දිවිතුර 2,526 ක් යක්කලමුල්ල 1559ක් අක්මිමන 680 ක් කරන්දෙනිය 691ක් හබරාදූවෙන් 574ක් වශයෙන් සොයා ගෙන ඇති අතර ගාල්ල කඩවත් සතර කොටසෙහි එකම කිතුල් ගසක්වක් නොමැති බව සමීක්ෂණයෙන් හෙළිව තිබේ. බෝපේ පෝද්දල ගස් 4ක් හා නාගරික තවත් ප්‍රදේශයක් වන හික්කඩුවෙහි ගස් 7ක් වාර්තා වන අතර මෙයින් පැහැදිලි වන්නේ මේ කිතුල් ගස් ඇත්තේ බොහෝ විට නගරයෙන් ඈත බවයි.

කෙසේ වුවද මා මෙහි දකින අවාසනාවන්ත තත්වය නම් දිසාවේ කිතුල් ගස් 36820 තිබුණද ගස් මදින ප්‍රමාණය වී ඇත්තේ මෙයින් හරි අඩකටත් වඩා අඩුවෙන් එනම් 12420ක් බවයි.

කිතුල් ගසක් ප්‍රයෝජනයට ගත හැකි වන්නේ මල් පීදුණු විට පමණක් වන අතර මෙම ගස් ප්‍රමාණයන් අතර මල් නැති පීදි නැති පුංචි ගස් ද ඇති නිසා මෙය තක්සේරු කිරීමද අමාරු තත්වයක පවතින බවත මෙහි ලා සදහන් කළ යුතුය

නෙළුවෙහි ගස් 2891ක් ඇතත් ප්‍රයෝජනයට ගනිමින් ඇත්තේ ගස් 2463ක් පමණ වන අතර ගස් මදින්නන්ගේ ගණන 774ක් වන අතර එයිනුත් කිතුල් ආශ්‍රිත ආහාර නිෂ්පාදනයේ යෙදී ඇත්තේ 697 දෙනෙකි. වෙනත් අංශවල යෙදී ඇත්තේ 9 දෙනකු පමණි.

සමස්තයක් වශයෙන් ගාල්ල දිසාවේ ගස් 36,820 ක් ඇතත් ප්‍රයෝජනයට ගන්න ගස් සංඛ්‍යාව 12,420 ක් වනවිට ගස් මදින වෘත්තිය කර ගත් සංඛ්‍යාව 2302 ක් වූ ඇති බවත් මෙ සියල්ලම සලකා බලන කළ මෙ දිසාවේ කිතුල් කර්මාන්තය කිතුල් ආශ්‍රිත නිෂ්පාදනවල යෙදී සිටින පිරිස 1787ක් බවත් වෙනත් කර්මාන්ත වල යෙදී ඇත්තේ ද 86 දෙනකු බවද මෙකී සමීක්ෂණයේදී අනාවරණය වී ඇත.

අදත් එදත් කිතුල් ගස් ගණනින් බැලුවහොත් වැඩියෙන්ම කිතුල් ගස් ඇත්තේ දකුණු පළාත තුළ මාතර දිස්ත්‍රික්කයේය. එයිනුත් කොටපොළ- පස්ගඩ හා අකුරැස්ස ප්‍රධාන වේ. මෙම දිස්ත්‍රික්කයේ කිතුල් ගස සම්බන්ධයෙන් කාර්මික සංවර්ධන මණ්ඩලය මඟින් කරන ලද සමීක්ෂණයකදී කිතුල් ගස් 175000 ක් පමණ ඇති බව සොයා ගෙන තිබේ.

එහෙත් මැදිය හැකි ප්‍රමාණයේ ගස් ඇත්තේ මෙයන් 50000 ක පමණ සංඛ්‍යාවක් බවද සොයා ගෙන ඇත.

එහෙත් රැකියාවක් සඳහා ගස් මැදීම ජිවිකා වෘත්තිය කර ගෙන ඇත්තේ 1200ක පමණ පිරිසක් බව එම සමීක්ෂණය පෙන්වාදෙයි. කාර්මික සංවර්ධන අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යෂක එන් .ඩී. බන්දුල පෙන්වා දෙන්නේ මේ සංඛ්‍යාව සුළු වශයෙන් වෙනස් විය හැකි බවයි. ඒ නිරතුරුව සමීක්ෂණ නොකරන හෙයිනි.

හම්බන්තොට දිසාවේ කිතුල් වගාව සිදුවන්නේ ඉතාමත් අඩඩුම මට්ටමකින් බව පෙන්නා දෙන ඒ මහතා මෙම දිසාවේක කිතුල් ගස් ඇත්තේ කටුවන හා වලස්මුල්ල යන කොට්ඨාසවල පමණක් බවයි. එම ගස් සංඛ්‍යාව 2000 - 2500 අතර ප්‍රමාණයක් පවත් එයින්ද මදින්නට හැකි වයසේ ගස් ඇත්තේ 1200ක් පමණක් බවත් කර්මාන්තයේ යෙදි ඇති පිරිස නම් 100 කටත් අඩු බවත් ඔහු පවසයි.

සමස්තයක් වශයෙන් ගත් කළ කිතුල් ගස් ඇත්තේ සිංහරාජයට අනුබද්ධිත හා ඒ ආසන්න කැලෑවල බවත් පෙන්නා දෙන ඒ මහතා ගස් ප්‍රමාණයෙන් මාතර දිසාව වැඩි වුවද කර්මාන්ත ක්‍රියාවලියේ දි ගාල්ල දිසාව පෙරමුණට විත් ඇති බවයි.

කටුවන කිතුල් පැණිවලට යම්කිසි ප්‍රසිද්ධියක් ලබා ඇති බවද ඔහු කියයි. හකුරු සම්බන්ධයෙන් නම් ප්‍රමුඛ නාමයක් ගෙන තිබුණේ ගාල්ල දිසාවේ ලංකාගම වාරුකන්දෙනිය ගම්මාන බවත් ඒ මහතා කීය

ගාල්ල දිසාවේ කිතුල් වගාව විහිදී යෑම සම්බන්ධයෙන් නම් ගස් ඇති ප්‍රමාණය හා සසඳන විට නෙලුවට වඩා ඉදිරියෙන් බද්දේගම කිතුල් මැදීමේ යෙදි සිටින බවත් ප්‍රතිශතයක් ලෙස ගත් කළ නෙලුවට වඩා ඇල්පිටිය ඉදිරියෙන් ඇති බව දක්නට ඇති බවත් මේ තත්ත්වයන්වල දත්ත කෙසේ වුවද ගාල්ල දිසාවේ කිතුල් කර්මාන්තයේ ප්‍රමුඛයා වි ඇත්තේ නෙලුව බව නෙලුව ප්‍රාදේශිය ලේකම් ශාන්ත ප්‍රියදර්ශන පෙන්වා දෙයි.

එහි ගස් ප්‍රමාණය වැඩි වුවත් පීදි ඇති ප්‍රමාණයේ අඩුවක් දක්නට ලැබුණත් කිතුල් ආශ්‍රිත ආහාර නිෂ්පාදනය අතින් ඉදිරියෙන් සිටින්නේ ද නෙලුව බවත් ඒ පිරිස 774 ක් බවත් ඔහු පෙන්වා දෙයි. තවලම ඒ සංඛ්‍යාව 3801ක් වන විට නගරයට ආසන්න වු යක්කලමුල්ල කොටසේ එය 301 ක් වීම සැලකිය යුතු තත්ත්වයක් බවද පෙන්වා දිය යුතුව ඇත.

වෙනත් අයුරකින් පෙන්වා දිය හැකි දෙයක් වන්නේ කිතුල් කර්මාන්තයේ යෙදි ඇති පිරිස්වලින් ආහාර නිෂ්පාදන කර්මාන්තවල යෙදී ඇත්තේ නෙලුව තවලම යක්කලමුල්ල නාගොඩ යන ප්‍රදේශයන් බවය.

මෙයට අමතරව කිතුල උපයෝගී කර ගෙන තවත් විවිධ කර්මාන්තවල යෙදි සිටින ගණන 86 ක් බවද මේ වනවිට අණාවරණය කර ගෙන ඇත.

කිතුල උපයෝගි කර ගනිමින් නිෂ්පාදනයන් අතර වඩාත් ප්‍රචලිත වී ඇත්තේ කිතුල් පැණි හා කිතුල් හකුරු නිෂ්පාදනයන්ය.

මෙයට අමතරව රෝගින් සඳහා ද ඇණවුමක් ඇති කිතුල් පිටි නිෂ්පාදනයේ යෙදෙන අයද නැත්තේ නොවේ .

අමතක කළ නොහැකි තවත් කිතුල් නිෂ්පාදනයක් වන්නේ කිතුල් රා ගැන මීළඟට සලකා බැලිය යුතුය.ඒ ගැන අප වැඩියෙන් කථා නොකළ යුතු වුවද උලුප්පවා තැබිය යුතු නොවුණද කිතුල් රා මුට්ටියයි පොල්කට්ටයි වුවද ලෙහෙසියෙන් අමතක කළ නොහැක්කෙකි. මේ ගැන හොඳ ඉතිහාසයක් ද අපට නැත්තේ නොවේ.

හොඳ කිතුල් හකුර නම් හොඳ කිතුල් පැණි නම් ඉතින් ලංකාගමය - නැතිනම් වාරුකන් දෙනියය යන්න ඉතා ප්‍රසිද්ධ වී ඇත. ඒ නිසාම මෙම ප්‍රදේශය නියෝජනය ශාන්ත ප්‍රියදර්ශන පවසන්නේ,‘ ගාල්ලේ පමණක් නොවෙයි දිවයිනේ කොහෙ බැලුවත් නෙළුව පැණිවලට ඇති ඉල්ලුම ඉහළයි. මේ වනවිට ඉල්ලු තරමට සරිලන නිෂ්පාදනයක් වන්නේ නැහැ. මෙහි මේ සඳහා පවුල් 600 සාමාජික පිරිසක් සිටියත් මේ පිරිස තවමත් යෙදි සිටින්නේ අර සම්ප්‍රදායික කර්මාන්තයන් වන කිතුල් පැණි කිතුල් හකුරු හා කිතුල් පිටි නිපදවන්න පමණයි‘

අප දුටු සත්‍යයද මෙයයි. තාමත් කිතුල් ගසට නගින්නේ අමුඩයේ පිහිටෙනි. නැතිනම් දිරාගිය කොට කලිසමක් ආධාරයෙනි ලණු වළල්ල තාමත් මේ පිරිසගේ දෙපා අතරය. පිහි කොටය ඉණේ ගසා ගෙන කිතුල් ගස් නැඟුණාට අනෙක් බොහො ගස් නැඟීමට මේ වන විට තාක්ෂණය ලබා දී ඇත. අපේ පැරැණිම කර්මාන්තයක් වන වී ගොවි තැන ගැන බලන විට මඩ පොහොරු ගෑ මී හරක් බාන වෙලෙන් ගොඩට විත් දැන් බොහෝ කල්ය. ගොයම් කැපු දෑකැත්තත් දැන් පෙනෙන්නට නැත. කමතේ වි පෑගූ හුළං ගැසු. ගොවියෝ විශ්‍රාම ගෙනය. ඒ සියල්ල කරන්නේ නවීන යන්ත්‍රයන්ය. රබර් ගහටත් තාක්ෂණය පැමිණ ඇත. එහෙත් කිතුල තවමත් පැරැණි යුගයේය.

අපේ රටේ පොල් ගසට ඇති උරුමය තාල වර්ගයේ මේ කිතුල් ගසටද ලබා දෙන්නට බැරි කමක් නැති බව නම් නොකිවමනාය.

අලුතින් හදන ගෙදර සිවිලිමට බිමට අල්ලන ටයිල්වලට කිතුල් ලෑල්ලෙහි විසිතුරු එක්කර ගන්නට අපට ඇති නොහැකියාව කුමක්ද? ගෙදර මැද ශාලයේ ඇති සැටියට මෙහි අලංකාර රටා ද එක්කරන්නටද බැරි නැත. එසේම කෑම මේසයට බත් යවන පෝසිලෙන් බන්දේසිය වෙනුවට බත් බෙදන ඇලුමිනියම් හැන්ද ගෑරුප්පුව වෙනුවට පොල්කටු හැන්ද සමඟ කිතුල් ලෑලි කැන්දන්නට බැරිකමක් නැත. අපේ නව නිපැයුම්කරුවෝ ඒ සියල්ල නිර්මාණය කර තිබේ. එමෙන්ම කිතුල් කෙන්දෙන් වුවද විසිතුරු භාණ්ඩ කනකර පවා නිපදවා විදේශිකයා අන්ද මන්ද කරන්න හැකි දක්ෂයන් අප සතුය.

අලුත් අලු දෑ නොතකන ජාතිය ලොව නොනඟී යන්න මනා ලෙස සිතා අපෙන් ඈත්ව යන්නට බලා සිටින කිතුලට අලුත් නිර්මාණශීලීත්වයක් මෙන්ම ඒ වෙනුවෙන් වෙළෙඳ පොළක් නිර්මාණය කළ යුතුමය.

තවමත් කිතුලට නඟින්නේ පාරම්පරික ක්‍රමයටයි.

 

 නන්දසිරි වැලිගමගේ,

ගාල්ල දිසා සමුහ

 

 

 

Comments