කහ වැව්වොත් සල්ලි තමයි | සිළුමිණ

කහ වැව්වොත් සල්ලි තමයි

පේ රටේ වැවීමට හැකි නමුත් රුපියල් කෝටි ගණන් ගෙවා පිටරටවලින් ගෙන්වන ආහාර ද්‍රව්‍ය අපේ රටේ වගා කිරීමට “සෞභාග්‍යයේ දැක්ම“ අනුව දැන් රජය කටයුතු කරයි.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කහ මෙරටට ගෙන්වීම නතර කර ඒ කහ ගෙන්වීම සඳහා පිටරට යැවූ රුපියල් කෝටි 75ක පමණ මුදල මෙරට ගොවීන්ටම ලබාදීමේ නව වැඩපිළිවෙළක් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ආරම්භ කර ඇත. ඒ අනුව දැන් කහ අක්කරයක් වැව්වොත් මල්ලක් පිරෙන්න සල්ලි සෙවිය හැකිය.

ඉන්දියාවේ කහ ගොවීන් පවසන්නේ ශ්‍රී ලංකාවට කහ ගෙන්වීම නතර කිරීම නිසා තමන්ට සිදුවූ පාඩුව ඉන්දියන් රුපියල් කෝටි 50 කට වැඩි බවයි. මේ අනුව අපේ ගොවි ජනතාව කහ වැවීමට උනන්දු වුවහොත් අති විශාල ධනස්කන්ධයක් අපේ රටේම ඉතිරි කර ගොවි ජනතාවටත් රුපියල් කෝටි ගණනක ආදායමක් ලබාගත හැකි වනු ඇත.

මේ අනුව පසුගිය වසරේ රට පුරා කහ වගා කිරීමට අපේ ගොවි ජනතාව කටයුතු කළහ. කහ වගාවට අපේ රටේ ජනතාව පමණක් නොව ජනාධිපතිතුමා පවා උනන්දුවක් දැක්විය. පසුගියදා එතුමා තම මිරිහාන ගෙවත්තේදි තමාගේ කහ අස්වැන්න නෙළීය.

සියරට දේ සිරිසැප දේ යන අභිමානවත් අදහස අනුව යමින් මෙවර යල කන්නයේ රටපුරා කහ වගාව ජනප්‍රිය කරවීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ වත්මන් රජය දැන් අලුත් වැඩපිළිවෙළක් යොදා ඇත. ඒ අනුව රටපුරා ජනතාව කහ වගාවට උනන්දු කරවීම පිණිස මේ කහ වවන වැඩපිළිවෙළේ ප්‍රථම කහ පැළය පසුගියදා තම මිරිහාන ගෙවත්තේ සිටුවීමට ජනාධිපතිතුමා කටයුතු කළේ රටටම ආදර්ශයක් දෙමිනි. මේ වැඩපිළිවෙළ යටතේ අපේ රටේ පවුල් ලක්ෂ 60කට කහ පැළ 5 බැගින් ලබාදීමට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන ඇතැයි වැවිලි කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි.

“මේ වැඩසටහනේ අරමුණ රටේ සෑම ගෙවත්තකටම කහ පැළ 5 බැගින් ලබාදීමයි. ඒ වැඩසටහනේ සමාරම්භය පසුගිය මැයි 1 වැනිදා ජගත් කම්කරු දිනයේදි ජනාධිපතිතුමාගේ මිරිහාන නිවෙස පිහිටි ගෙවත්තේදි අපි ආරම්භ කළා. මුල්ම අදියර යටතේ කහ පැළ 5 බැගින් අපි පවුල් ලක්ෂ 15 කට ලබාදීම ආරම්භ කර තිබෙනවා. මේ යටතේ ගුණාත්මක බවින් ඉහළ කහ පැළ සෑම ප්‍රදේශයකම ගොවිජන සේවා මධ්‍යස්ථාන ව්‍යාප්ති නිලධාරින් මඟින් ජනතාවට ලබා ගන්න පුළුවන්. මේ සඳහා ජනාධිපති කාර්යාලය, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සියලු කටයුතු සිදු කරනවා.“ රමේෂ් පතිරණ ඇමැතිවරයා කියයි.

කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මේ වැඩසටහන මෙහෙය වන අතර සියලු කහ වවන ගොවීන්ට කෘෂි තාක්ෂණික උපදෙස් හා වෙළෙඳපොළ සම්බන්ධ උපදෙස් ලබාදීමට ද වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සූදානම් වෙයි.

අලුත් කහ වගා වැඩපිළිවෙළ යටතේ 2023 දි අපේ රට කහවලින් ස්වයංපෝෂිත කිරීමේ ඉලක්කයක් ඇතැයි රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර පවසයි. ඉන්දියාවේ වියළි කහ කිලෝවක් ඉන්දියාවේ රුපියල් 70කි. නමුත් අපේ රටේ කහ කිලෝවක් රුපියල් 4000 ක් පමණ වේ.

කහ පිරිසුදු බව පෙන්වන සංකේතයකි. කහ වතුර ඉසීම් හා අමුකහ පාවිච්චිය මඟින් වස්දොස් සමනය වන බවට ජනප්‍රවාද පවතී. ඊට අමතරව කහ හොඳ දේශීය ඖෂධයකි. ආයුර්වේද බෙහෙත් හා කැඩුම් බිඳුම්වලට අමු කහ බහුලව යොදා ගනී.

පිළිකා රෝගයට ගොදුරු වී මිය යන්නන්ගේ සංඛ්‍යාව අඩු කිරීම හෝ පාලනය කිරීම සඳහා වර්තමානයේදි යොදා ගන්නා පියවරක් ලෙස කහ රෛසෝමයෙන් ලබාගන්නා කකරීයුමීන් නම් ශාක රසායනික කාණ්ඩය යොදා ගන්නා බව අලුත් පර්යේෂණ මඟින් අනාවරණය වී ඇත. මෙමඟින් පිළිකා වර්ධනය වන සෛල විනාශ කරන බවත් මේ ගුණය අපේ රටේ කහවල වැඩි බවත් පර්යේෂණ අනුව හෙළිවී තිබේ. ඉන්දියාවේ කහවලට වඩා සියයට 200ක් අපේ කහවල පිළිකා සෛල විනාශ කරන බලයක් ඇතැයි ඒ පිළිබඳ කළ පර්යේෂකයෝ පෙන්වා දෙති.

කුරුණෑගල, මහනුවර, මාතලේ, ගම්පහ, කොළඹ, කෑගල්ල, නුවරඑළිය, කළුතර, ගාල්ල, මාතර, මොනරාගල කහ වගාව ව්‍යාප්තව ඇති අතර ජල සම්පාදනය යටතේ අම්පාර පොළොන්නරුව ඇතුළු වියළි කාලපයේ ද කහ වගාව ව්‍යාප්ත කළ හැකිය.

කහ බෝගයේ සම්භවය දකුණු හා ගිනිකොන දිග ආසියානු රටවල සිදු වුණු අතර වර්තමානයේ සමස්ත කහ නිෂ්පාදනයෙන් 75% පමණ නිෂ්පාදනය කරනු ලබන්නේ ඉන්දියාවේය. මීට අමතරව බංග්ලාදේශය, පකිස්තානය, තායිලන්තය, චීනය, මියන්මාරය, ඉන්දුනීසියාව, ජැමෙයිකාව, හයිටි, පේරු සහ ශ්‍රී ලංකාව යන රටවල් ද කහ වගා කරනු ලබයි. කහ ප්‍රධාන වශයෙන් ආනයනය කරනු ලබන්නේ ඉරානය ඇතුළු මැද පෙරදිග රටවල්, උතුරු හා දකුණු අප්‍රිකානු රටවල්, යුරෝපය, ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය හා මැලේසියාවයි.

ශ්‍රී ලංකාව තුළ 2018 සංඛ්‍යාලේඛන දත්ත වලට අනුව වාර්ෂික වියළි කහ පරිභෝජනය මෙට්‍රික්ටොන් 7000 වේ. ඒ අනුව මෙ.ටො. 5000 වැඩි වියළි කහ ප්‍රමාණයක් වාර්ෂිකව ආනයන කර ඇති බව පැහැදිලි වේ. ශ්‍රී ලංකාව තුළ කහ ප්‍රධාන වශයෙන් ආහාර පිළියෙල කිරීමේදී වර්ණකාරකයක් සහ කුළුබඩු මිශ්‍රණවල සංඝටකයක් ලෙස භාවිත කරන අතර ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේදී ද රූපලාවන්‍ය කටයුතු වලදී ද වැදගත් අමුද්‍රව්‍යක් ලෙස ද යොදා ගනී. මීට අමතරව සායම් නිෂ්පාදනයේදී ද වර්ණ ගැන්වීමට ද විෂබීජ නාශකයක් ලෙස ද කහ වැදගත් කාර්යක් ඉටු කරයි. හින්දු භක්තිකයන්ගේ ආගමික කටයුතු වලදී ද බහුලව කහ මිශ දියර යොදා ගනු ලබයි. ඒ අනුව බලන විට අපගේ එදිනෙදා කටයුතුවලදී අත්‍යාවශ්‍ය ද්‍රව්‍යක් ලෙස කහ හැඳින්විය හැකිය. කහ ශාකය භූගත රෛසෝමයකින් අඩි 3 - 4 උසට වැඩෙන පළල පත්‍ර සහිත ව්‍යාජ වායව කඳකින් සමන්විත වේ. ව්‍යාජ කඳේ පත්‍ර 6 - 10 ක් පමණ හට ගනී. පත්‍රයක දිග අඩි 1.5 - 2 ක් පමණ වන අතර තද කොළ පාටය. පත්‍ර වල අග්‍රස්ථ කෙළවර පාදස්ත කෙළවරට වඩා පළල්ය. ශල්ක පත්‍ර සහිත භූගත කඳ සත්‍ය කඳ වන අතර එහි සංචිත ආහාර අඩංගු වේ. ප්‍රධාන භූගත කඳෙන් ශාඛා ලෙස කහ අල හට ගනී. වාණිජව අස්වැන්න ලෙස ලබා ගන්නේ මෙම අලයි. රෛසෝමයේ අභ්‍යන්තරය තද තැඹිලි පැහැයේ සිට කහ පැහැයක් ගන්නා අතර කහ වලට ආවේණික වූ සුවඳක් සහ රසයක් ඇත. මාංශලමය වූ මුල් රෛසෝමයෙන් හට ගනී. පුෂ්ප මංජරිය පාදස්තයෙන් හට ගන්නා අතර පුෂ්ප ළා කහ පාටකින් යුක්ත වේ. ඵලය ස්පෝටිකාවකි.

කහ සම්පූර්ණ වියළි ස්වරූපයෙන් හෝ කුඩු ආකාරයෙන් වෙළෙඳපොළේ තිබේ. ව්‍යංජන මිශ්‍රණය සකස් කිරීමේදී එය අමුද්‍රව්‍යයක් ලෙස ද භාවිතා කරයි. කහ වලින් තෙල් හා ඔලියෙරොසීන් නිස්සාරණය කරනු ලබන අතර එය ප්‍රධාන වශයෙන් ආහාර කර්මාන්තයේ වර්ණක හා රසකාරකයක් ලෙස භාවිත කරයි. රෙදිපිළිවල වර්ණ ගැන්වීම සහ විශේෂිත තීන්ත සකස් කිරීම සඳහා ද එය භාවිත වේ. ආයුර්වේද හා චීන වෛද්‍ය විද්‍යාවේ කහ යනු පොදුවේ භාවිතාවන අමුද්‍රව්‍යයකි. බොහෝ දුරට එදිනෙදා ජීවිතයේදී විෂබීජ නාශකයක් ලෙසත් ආගමික උත්සවවලදීත් ඉන්දියානුවෝ කහ භාවිත කරති.

මුහුදු මට්ටමේ සිට මීටර් 1,500 ක් දක්වා උස් ප්‍රදේශවල කහ වගා කළ හැකිය. තවද වියළි කලාපයේ ජල සම්පාදන තත්වයන් යටතේ ද කහ වගා කළ හැකිවේ. වාර්ෂික වර්ෂාපතනය මි.මී. 1500 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වන අතර මනා වර්ධනයක් සඳහා සුදුසු පරිසර උෂ්ණත්වය 20-35C අතර වේ. විවිධ පස් වර්ගවල කහ වගා කළ හැකි වුවත් මනා ජල වහනයක් ඇති කාබනික ද්‍රව්‍ය සහිත වැලි ලෝම පස ඉතා යෝග්‍ය වේ. දුර්වල ජල වහනයක් සහිත පස්, ගල් බොරලු අධික පස් සහ මැටි පස ද කහ වගාවට සුදුසු නොවේ. පසෙහි පී.එච්. අගය 5.5 - 6.5ක් වීම වඩාත් උචිත වේ. තෙත් කලාපයේ කහ වගා කරනු ලබන්නේ යල කන්නයේ වැසි සමඟ මාර්තු හෝ අප්‍රේල් මාසවලදීය. කහ බෝගය හිරු එළිය සඳහා වැඩි කැමැත්තක් දැක්වුවත් බහුලව වගා කරනුයේ මඳ සෙවණ තත්ත්වයක් ඇති ගෙවතු හා පොල් කෙසෙල් වැනි බෝග සමඟ අතුරු බෝගයක් ලෙසටය.

කහ වගාවට බලපාන ප්‍රධාන පළිබෝධකයා වන්නේ කඳ විදින්නාය. වැඩිහිටි සලබයා කොළ කොපුවල බිත්තර දමන අතර දළඹුවා ව්‍යාජ කඳට ඇතුළුව ශාකයේ අභ්‍යන්තර පටක වලට හානි කරයි. පළමුව ශාක පත්‍ර කහ පැහැයට හැරී පසුව දුඹුරු පැහැයට හැරී ශාක මිය යයි.

අස්වනු නෙළීම සිදු කරනුයේ සිටුවීමෙන් මාස 9කට පමණ පසුවය. මාර්තු - අප්‍රේල් කන්නයේ කහ සිටුවන්නේ නම් දෙසැම්බර් - ජනවාරි වන විට අස්වැන්න නෙළා ගැනීමට හැකි වේ. එම කාලය තුළ ශාක කහ පැහැයට හැරී කොළ වියළීමට පටන් ගනියි. අස්වනු නෙළීම සිදු කරනු ලබන්නේ රෛසෝම වලට හානි නොවන ලෙසයි. රෛසෝම වල ඇලී ඇති පස් කොටස් ප්‍රවේශමෙන් ඉවත් කළ යුතුයි.

රෛසෝම හෙවත් කහ අල වල මුල් කොටස් කපා ඉවත් කොට පස් ඉවත් වන තුරු හොඳින් සෝදා මවු අල සහ ඇඟිලි අල වෙන් කළ යුතුයි. රෛසෝම වැසෙන තුරු ජලය යොදා ඇඟිලි අල මිනිත්තු 30කුත්, මවු අල මිනිත්තු 45 කුත් තම්බා ගත යුතුයි. නිසි ලෙස තම්බා ගත්විට රෛසෝම මෘදු වේ. නිසි පරිදි තැබ්මී ඇති බව පරික්ෂා කර ජලය වෙනුවට වාෂ්පයෙන් ද තම්බා ගත හැකිය. කහ කිලෝග්‍රෑම් කිහිපයක් තම්බා ගැනීමට පීඩන උදුන ද භාවිතා කළ හැකිය. තම්බා ගත් කහ දින කිහිපයක් පවනේ වියළා ගත යුතුයි. උදෑසන 11.00 ත් 2.00 ත් අතර තද හිරු එළිය නොවැටෙන පරිදි මුල් දින තුන සෙමින් වියළීම සිදු කළ යුතුයි. ඉන්පසුව අඛණ්ඩව හිරු එළියේ වියළීම කළ යුතුයි. සම්පූර්ණ වියළීමේ ක්‍රියාවලියට දින 10ක් පමණ අවශ්‍ය වේ. නිසි ලෙස වියළූ කහ සොලවන විට ලෝහමය ශබ්දයක් ඇසේ. දීප්තිමත් කහ පැහැයක් ලබා ගැනීමට වියළි රෛසෝම රළු මතුපිටක අතුල්ලනු ලැබේ. මේ සඳහා සුදු යකඩ වලින් තැනූ කහ පොලිෂ් කරන යන්ත්‍රය ද භාවිත කළ හැකිය. මේ අනුව අපේ රටේ ගොවීන්ට පමණක් නොව සාමාන්‍ය ගෙවත්තක් හිමි ජනතාවට ද කහ පැළ 10ක් 15ක් හෝ තම ගෙවත්තේ වගාකර ගතහොත් එමඟින් තමන්ගේ පරිභෝජනයට අවශ්‍ය කහ ප්‍රමාණයක් ලබාගත හැකි බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි විද්‍යාඥයෝ පවසති.

විශේෂයෙන් නව කහ වගා වැඩපිළිවෙළ යටතේ ලැබෙන කහ පැළ සුරක්ෂිතව නිවැරැදි ක්‍රම අනුව වගා කිරීමට පියවර ගැනීම මඟින් රටේ කෘෂි සංවර්ධනයට ද අපට දායක වීමට අවස්ථාවක් ලැබේ.

Comments