ජනකවි හෙළි කරන අපේ පැරණි ජීවන සුවඳ | සිළුමිණ

ජනකවි හෙළි කරන අපේ පැරණි ජීවන සුවඳ

 

සමාජ පරිවර්තනය නිසා අපේ සංස්කෘතික උරුමයක්වූ ජනකවි හා ජන ගී වර්තමාන තරුණ පරපුරෙන් දුරස් වෙන බවක් පෙනේ. ජන කවි - ගී බිහිවූ පාරම්පරික රැකියා සිරිත් විරිත් ක්‍රීඩා ආදිය භාවිතයෙන් ඈත් වෙද්දී ඒ හා බැඳුණු ජන කවි ගී ද ‍අමතක වෙයි. විද්‍යුත් මාධ්‍යයෙන් ද ඒවා ඇසෙන්නේ කලාතුරකිනි. ගැමි ජීවන රටාවේ හා චින්තන රටාවේ පවත්නා දුක්ඛ දෝමනස්සයන් නිසා ඇතිවන කාන්සිය හා කලකිරීම මෙන් ම සතුට හා ප්‍රීතිය ප්‍රකාශනයට ජනකවි - ගී නිර්මාණය වී ඇත. ඒවා නිරායාසයෙන් ගෙතුණත් කවියක ඇති එළිසමය හා අනුප්‍රාසය ද, උපමා ද සහිත මනා පද ගැළපුමකින් යුක්තය. කතුවරයෙකු නැත. එකම ජන කවිය වුව ද කාලානුරූපව වෙනස්ව ගැයේ. එයට එදා ලිඛිත සාහිත්‍යයක් නොවීය. කටින් කට නැත්නම් මුඛ පරම්පරාගතව පරිණාමනය වූවකි. ඊට අයිතිකරුවෙකු ද නැත. ජනකවි ගී සමාජයේ ‍පොදු උරුමයකි.

 

‘අධ්‍යාපනය සහ සංගීතය’ නමැති යුනෙස්කෝ නිබන්ධනයේ ජනකවි - ගී පිළිබඳව මෙසේ සඳහන් වෙයි.

‘ගැමි ගීය සරලය. එය ගැමියා ජීවත්වූ සමාජයේ ඕනෑ එපාකම් අනුව ගොඩනැඟූ කලාවකි. එය ගැමියා මෙන් ම අව්‍යාජය. විචිත්‍ර ආ‍‍ටෝපයන්ගෙන් තොර ය. ගැමි සමාජයට ම පොදු ය.

ඒ ඒ නිෂ්පාදන ක්ෂේත්‍රයට අදාළව ගෙතුණු ජන කවි පවතී. මෙහෙ ගී වර්ග කිහිපයකි‍. ගොයම් කවි තලමල කවි ආදිය කෘෂිකර්මය ආශ්‍රිත ය. විවිධාකාර රැකියාවන් හා කාර්යයන් හි යෙදුණු ගැමියෝ ඊට ගැළපෙන පරිදි සිය වෙහෙස නිවා ගැන්ම හා විරාමය සඳහා පැල් කවි, ගැල් කවි, පතල් කවි, පාරු කවි ආදිය ගැයූහ. ඔළිඳ කෙළිය, කළගෙඩි නැටුම, මේවර සෙල්ලම හා ඔංචිලි වාරම් ආදී වශයෙන් කාන්තාවන් කණ්ඩායම් ලෙස ගැයෙන ජන ගී පැවතිණ. වැදි ගී නැළවිලි ගී, වැලපුම් ගී, උපදේශන ගී මෙන්ම හටන් ගී ද විරිදු ද නාඩගම් ගී ද ජන ගායන ක්ෂේත්‍රයට අයත් ය. මේ සඳහා ගැළපෙන පදමාලා හා නාද රටා උපයෝගි කරගෙන තිබුණි.

මේ පිළිබඳව සංගීතඥ ඩබ්ලිව්.බී. මකුළොලුව මහතා එක්දහස් නවසිය හැට දෙක වර්ෂයේදී පළ කරන ලද හෙළ ගී මහ පොතේ මෙසේ සඳහන් කරයි.

“ගැමියන් මෙන් ම උගතුන් ද ජනකවි හා ජන ගීයට ගැළපෙන ශෛලීන් හා නාද මාලාවන් තිබියදී පළ කරන ලද හෙළ ගී මහ පොතේ මෙසේ සඳහන් කරයි.

‘ගැමියන් මෙන් ම උගතුන් ද ජනකවි හා ජන ගීයට ගැළපෙන ශෛලීන් හා නාද මාලාවන් තිබියදි තම අභිමතය හා හුරුපුරුදුව අනුව ජන ගී ගයන බව පෙනී යයි.

වර්තමානයේ ද තත්ත්වය ‍එසේම පවතී. පාසල් පෙ‍ළපොත් හි ජනකවි පිළිබඳ පාඩම් ඇතුළත් කර තිබුණ ද බොහෝ සිසුන් ජනකවි - ගී ගයන්නේ එකම තාලයකට ය. සංගීත හා නර්තන ගුරුවරුන් හැර ‘සිංහල භාෂාව හා සාහිත්‍යය’ උගන්වන බොහෝ ගුරුවරුනට ජනකවි ගී ශෛලීන් හා නාද රටා මෙන් ම පදනම් සංස්කෘතිය පිළිබඳව නිසි අවබෝධයක් නොමැති ය.

අනෙක් කරුණ වන්නේ ජනකවි ගී පමණක් නොව වෙනත් පද්‍ය ගායනා හා භාෂණ විධි හා ක්‍රම ගැන විභාග ප්‍රශ්න පත්‍රයකින් ඇගැයීම දුෂ්කර ය. සිංහල විෂය සඳහා ද ප්‍රායෝගික පරීක්ෂණයක් ප්‍රාදේශීය වශයෙන් හෝ පවත්වා ඇගැයේ නම් ජනකවි ජන ගී ගායනා හුරුව පමණක් නොව ගද්‍යයේ භාෂණ රටාවන් ගැන අත්දැකීම් ලබමින් මෙරට ඉපැරණි සං‍ස්කෘතියේ හැඩ රුව - ගුණ සුවඳ පිළිබඳ දැනුමක් මෙන් ම රසාස්වාදයක් ද අපගේ ළමාවරුනට ලැබිය හැකි ය.

‘සංස්කෘතිය’ යනු ජීවන රටාව හා චින්තන රටාව ලෙස සරලව විස්තර කළ හැකි ය. වෙනස්වීම, සංස්කරණය සහ පරිණාමනය එහි පොදු ලක්ෂණයකි. සාමූහිකව සමගියෙන් විනෝදයෙන් එක්ව වැඩ කිරීම අතීත සංස්කෘතියේ පැවති ගුණාංගයකි‍. එම රටාව වෙනස්වීම නිසාවෙන් ජන ගී කවි සඳහා වර්තමානයේ එතරම් අවධානයක් නොමැති වුව ද රසාස්වාදය හා මිනිස් ඇසුර විඳීමටත් ජනකවි ගී පද හා නාද මාලාව හඳුනා ගැනීමත් අවශ්‍ය ය.

ඈත අතීතයේ වැදි ජීවන පිළිවෙළට අනුව දඩයමට යාමට කෙරෙන සූදානම ගැන මතු සඳහන් වැදි ගීයෙන් පිළිබිඹු වෙයි. නැවත නැවත කීමේ පුනරුක්තිය ද අනුප්‍රාසය - එළිවැට වැනි කාව්‍යමය ලක්ෂණ ද යොදා ඇති ආකාරය එමඟින් මනාව පැහැදිලි වෙයි.

 

වැල් කොබ්බෑවල දුන්න නමා ගෙන
වේවැල් ඉමගේ පිටට දමා ගෙන
බුලත් පයියත් ඉණ ගන්නා ගෙන
පො‍රෝ පැච්චන් ඉණ ගන්නා ගෙන‍
කුණු ගෝ තඩියා කරට දමා ගෙන
කඩියා බල්ලන් ඉච්චර කර ගෙන
එන්දැලු පොතු දෙන‍ නයිදේ

ගොවිතැන හා සම්බන්ධ ක්‍රියාකාරකම් ඇසුරෙන් ප්‍රචලිත ජන කවි ගී බොහෝ ය. ගොයම් නෙළුමට සූදානම්ව එන ගෙවිලියන් ගැන වැනුමක් පහත දැක්වේ. අඩසඳවන් නළල අඟල් තුනක් පමණ දික්වූ ඇහි බැම දෙක ද ඉන්ද්‍රනීල මාණික්‍යමය ‘ඇස’ ද උපමා රූපක ලෙස එහි දක්වා ඇති ආකාරය අනුව කාන්තා සුන්දරත්වය නර්තන රිද්මයකින් යුතුව නිරූපණය වෙයි.

 

වරලස නිල් පැහැයෙන් ද
අඩ සඳ පටු නළලින් ද
තුන ගල් බැම සඟලින් ද
ඉඳුනිල් නෙත් දකිනා

 

ගොයම් නෙළන පිරිමින් ද ජනකවි ගී ගයා ඇත. එහිදී වාර්තා කෙරෙන කාර්යයට ගැළපෙන ලෙස තාල රිද්මය ඇති ආකාරය පහත දැක්වෙන කවිය නිදසුනකි.

උදේ හිටන් වකුටු කොන්ද දිග හැරපල්ලා
අතේ තියෙන ගොයම් මිටිය බිම දමපල්ලා
හිසේ තියෙන ලේන්සු පොඩිය අතට ගනිල්ලා
සතර වරම් දෙවි පිහිටෙන් ගොඩට වරෙල්ලා

එදා ගොයම් කැපීම හෙවත් අස්වැන්න නෙළුම සැණකෙළියක් වැනි ය. ගෙයින් එළියට නො එන තරුණියන් කලඑළි බසින්නේ එදිනටය. තරුණියන් දැකීම, ඔවුනට විහිළු තහළු කිරීමට, කතාබහට ඇසුරට හා ආදරය ප්‍රේමය ප්‍රකාශ කිරීමට ද තරුණයන්ට කදිම අවස්ථාවක් විය. එහෙයින් ගොයම් නෙළන්නට එන කාන්තා රූ සිරි මහිමය ජනකවි ගී නදින් මනරංජනය කරන්නේ මෙසේය.

තෙල් ගාලා හිස පීරන් නෑනෝ
ඇට වැල ඇරගෙන බැඳගන් නෑනෝ
සේලේ ඉණවට ඇඳගන් නෑනෝ
ගොයම් නෙළන්නට යමු අපි නෑනෝ

ගොයම් කවි ගී ගයමින් සිදුවෙන කෘෂිකාර්මික ක්‍රියාවලිය අවසන් වන්නේ සොකරි නාඩගම නැටීමෙනි. මෙහි ගැහැනු - පිරිමි චරිත රඟනු ලබන්නේ පිරිමින් විසිනි. සොකරි රැඟුමෙහි අරමුණ කුඹුරේ සශ්‍රීකත්වය අපේක්ෂා කිරීමය. සොකරි යනු හින්දුස්ථානි භාෂාවෙහි දැක්වෙන (රූමත් ස්ත්‍රිය) සුක්‍රි යන පදයෙන් බිඳී ආවක් යැයි මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයෝ අනුමාන කරති. සොකරිය සර්වාභරණයෙන් සැරසී එන අයුරුත් ඇගේ සරාගී ස්වරූපයත් ‘නි’ ශබ්දය බහුලව යෙදීමෙන් හා ඇය මේ දැන් තමන් ඉදිරියේ ගමන් කරමින් සිටීම සිදුවෙන අයුරුත් නිරූපණයට ජනකවි ගී නිර්මාණකරුවා සාර්ථකව උත්සාහ කරන අයුරු පහත දැක්වෙන කවියෙන් සනාථ වෙයි.

සොකරි එන්නී සබයෙන් අවසර ගන්නී
නැවුම් නටන්නී තාලෙට රාග කියන්නී
පද අල්ලන්නී පියයුරු ළැම සොලවන්නී
කැඩපත ගන්නී සුරතින් මූණ බලන්නී

 

සින්දු රාග කීම හා නැටුම් නැටීම ද සොකරි ජන කවි ගී හා සංයෝග වී සෞන්දර්යාත්මකව සිදුවී ඇත.

අවසන දී සොකරියට ලැබෙන දරු සම්පත වූ කලි ගොවිතැනේ සරු අස්වැන්න සංකේතවත් කරන්නකි.

නෙක කවි ද ගොවිතැනේදී කියැවෙන ජනකවි විශේෂයකි‍. එහිදී එක්වෙන ‘ත්’ අක්ෂරය හා ‘නෙතඟු’ යන අවසන් පදය එක්වීමෙන් පද්‍යයට අමුතු ජවයක් එක්වෙයි. නාට්‍යමය අවස්ථා නිරූපණයට පද්‍යයේ ගැයුම් රිද්මය උපකාරි වෙයි. මේ දැක්වෙන්නේ එවන් නෙතඟු ජන කවියකි.

 

පෙර කාලේ මම යන කොට නෙරිය ගොතනවාත් නෙතඟු
පහළ ගෙදර මම යන කොට ඉස පීරනවාත් නෙතඟු
ඇහැල කන්ද රහින තැනට මැණිකේ දුව නාවත් නෙතඟු
රජ පුටුවේ අග තියාන කුමරු අඬනවාත් නෙතඟු

 

දරු නැළවිලි ජන කවි ගී ආදි වාසීන්ගේ කාලයේ සිට පැවත එයි. ‘කෝලම් උපතෙ’හි දැක්වෙන පහත සඳහන් කවිය උපමා හා අනුප්‍රාසයෙන් යුක්තය.

 

අත්තක පිපි මලක් ලෙසේ
පෙත්තක ඇඳි රුවක් ලෙසේ
සත්තක මගෙ පුතුනි යසේ
නෙත් දෙක හැර බලන් මෙසේ

විවිධ වෘත්තීන් හා මෙහෙයයන් කරද්දී ගැයුණු ජන කවි ගී බොහෝ ය. එයිනුදු ඇතැම් ජනකවි යැපුම් කෘෂිකර්ම ක්ෂේත්‍රයට සම්බන්ධය. කුඹුරට - හේනට වන සතුන්ගෙන් පැමිණ උපද්‍රව හා හානිවලින් අස්වැන්න ආරක්ෂා කිරීමට, පැල් රැකීමට ගැමියාට සිදු විය. ‘කුඹුරට - හේනට ආසන්න ගසක උඩට වෙන්නට අත්තක තනා ගත් පැලක සිට පැල් කවි ගයන්නට ඇතැයි සිතිය හැක. පැල් කවි අයත් වන්නේ සීපද ගායන ක්ෂේත්‍රයට ය.

රාත්‍රි කාලයේ දී ගැයෙන පැල් කවියට යාබද පැලේ සිටින්නා ද පිළිතුරු ගීයක් ගැයීම සාමාන්‍ය සිරිතය. ගායන අතරවාරයේදී ‘හූ’ හඬක් හෝ වෙනත් ශබ්දයක් හෝ ඇති කරනු ලැබේ. බෙහෝ විට ගැමි දිවියේ දුගී බව හා අසරණ බව ප්‍රකාශිත පැල් කවි සඳහා උදාහරණ කිහිපයක් පහත දැක්වෙයි.

පෙර කාලේ කරපු අකුසල් පල දීලා
මේ කාලේ විඳිති දුක් පැල්වලට වෙලා
රජ කාලේ පටන් පුරුදු ය පැල් රැකලා
ලොකු රාලේ කියමු පැල් කවි තෝරාලා

 

වෙල් යායක ගොන් දෙන්නෙක් කකා උනී
ඉන් එක ගොනෙක් වලිගය නැතිව වැනි වැනී
වලිගය ඇති ගොනා මැස්සන්ට බැට දුනී
දුප්පත්කමත් වලිගය නැති ගොනා මෙනී

 

එදා ගැල්කවි හෙවත් කරත්ත කවි ගැයුවේ ආරක්ෂාවට ය. රාත්‍රි කාලයේ ගැල් රාශියක් එක දිගට ගමන් කරන විට මුල් ගැල්කරු කවියක් ගැයීමෙන් පසු අන්තිම ගැල්කරු ද කවියක් ගැයීම සාමාන්‍ය සිරිතය. එය වූ කලි ගැල් සියල්ල නිරුපද්‍රිතව පැමිණෙන බවට කරනු ලබන සංඥාව ය‍. සමහරවිට ගැල්කරු කවියේ එක් පදයක් ගයා බුලත් විටක් හපා ඊළඟ පදය කියන අවස්ථා ද ඇත. එබැවින් විරාමය අවශ්‍ය තැන් සලකමින් ගැල් කවි රිද්මය සැකසී ඇති බව පැහැදිලි ය. මතු දැක්වෙන්නේ එවන් ගැල් කවියකි.

 

කළුගල් තලාලයි පාරට දමන්නේ
එම ගල් පෑගිලයි ගොනු කුර ගෙවෙන්නේ
ගොනා නොවෙයි හරකයි බර අදින්නේ
හිරිගල් පොත්ත කන්දයි අපි නගින්නේ

 

ගැල්කරු තම සතාගේ දුෂ්කරතා ගැන දුක්වෙයි. ඔහු සතාට ‘ගොනා’ ලෙස ඇමතීමට ද අකමැති ය. එය තම සතාට අපහාසයක් යැයි සිතුවා වන්නට ද පුළුවන. කළුගල් පෑගීම නිසා ගවයාගේ කුර ගෙවීම ගැන පැවසීම ඔහුගේ සත්ත්ව කරුණාව නිරූපණයකි.

ප්‍රවාහන සේවා‍ නොදියුණු අතීතයේ දී භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගනු ලැබුවේ ඔරු සහ පාරු ය. රාත්‍රි කාලයේදී පාරු පැදීමේ දී පාරු එකිනෙකට හැප්පීම වැළැක්වීම සඳහාත් නිදි මත ගතිය දුරු කිරීම සඳහාත් පාරු කවි ගායනා කර ඇත. කැලණි ග‍ෙඟ් වූ ඔරු ගමනක් පිළිබඳව පහත සඳහන් කවියෙන් කියවෙයි.

 

ඔන්න මලේ ඔය නාමල නෙළා වරෙන්
අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා වරෙන්
කැලණි ගඟේ ඔරු යනවා බලා වරෙන්
සාදුකාර දී ඔරුවක නැඟී වරෙන්

 

අක්කා මල්ලිට නාමල නෙළා දෙන්න යැයි කියයි. එනමුදු අත්ත කඩා වැටී මල්ලි කැලණි ගඟේ ගිලේවිය යන බියක් ද ඇයට දැනේ. අත්ත කැඩී බිඳී යන්නට ඉඩ තිබෙන නිසා පරෙස්සමෙන් පය බුරුලට තබන්න යැයි කියයි. එය සහෝදර ප්‍රේමය නිරූපණයකි. නා ගසේ අතු කැලණි ගඟට නැමී ඇති බැවින් ඔරුවක නැඟී එන්නට හැකි යැයි ඇය සිතන්නට ඇත. කැලණි විහාරය මේ අසල ඇති බව සාදුකාර දී යන්නෙන් ගම්‍ය වෙයි.

දිවා කාලයේදී ඔරු - පාරු පැදීමේදී වටපිටාව දෙස බලමින් යද්දී පෙනුණ දසුනෙන් පාරු කරුගේ සිත ප්‍රීති ප්‍රමෝදයට පත්වූ ආකාරය මතු දැක්වෙන පාරු කවියෙන් පවසන්නේ අපූරු ස්ත්‍රී වර්ණනයකිනි.

දමා තැල්ල කරවට ගෝමර කැටියා
තමා බෙල්ල ගඟ පහළට රුව කැටියා
රුවන්වැල්ල ගඟ පිට අඟනක් සිටියා
නුඹම පල්ල මේ මුළු සක්වල වටියා

අද අපේ ජන සමාජයෙන් මේ ජනකවි දුරස් වී ගොසිනි. තරුණ පරපුර ඒ කිසිවක් නොදනී. පාසල් විෂය මාලාවෙන් හෝ ඒ ජන සමාජය යළි ඇති කළ යුතුය.

 

 සිරිසේන විමලරත්න

 

 

Comments