අවරදිගින් ලක්දිවට පෑයූ වනපාල ගුරු තරුව | සිළුමිණ

අවරදිගින් ලක්දිවට පෑයූ වනපාල ගුරු තරුව

 

“සිය බසට සුදුසු තැනක් නොලැබුණු කාලයෙකැ, ළදරු වියෙහි සිටි අප හද තුළැ සිය බස කෙරෙහි හරසර වැවුවේ විදෙසි උතුමෙකි. පූර්වාපරාශාගත ශිෂ්ට වාණී වාර්ධිය තාරණය කළ ඔහු වනාහි ගාල්ලේ මිහිඳු විදුහලේ ප්‍රධානාචාර්ය වැ සොළොස් හවුරුද්දක් අනූපම පුණ්‍ය සේවාවක් කළ ෆ්‍රෑන්ක් ලී වුඩ්වඩ් නමැති ඉංගිරිසි ජාතික පරමසෞගතයාණෝ යැ. ඒ් විදුහලේ ඔවුන්ගේ පා සෙවණෙහි එ දා අප සිප් සතර හදාරන සමයෙහි ඔවුන් අප හද තුළැ සිය බස කෙරෙහි නොනැසෙන ඇල්මක් ඇති නොකරන්න, එ වකැ ඉංගිරිසි අධ්‍යාපනයක් ලැබූ අන්‍ය බොහෝ දෙනකුගේ මෙන් අපගේ ද සිත් සතන්හි ස්වභාෂාව කෙරෙහි ද්‍රෝහභාවයක් වැවෙන්නට ඉඩ තිබිණ. එ වැනි දුර්භාග්‍යයෙකින් අප රැකි ඒ් පුණ්‍ය පුරුෂයාණන් ගේ ශ්‍රී නාමයට අප ගේ මේ කුදු තැත පිදීමෙන් අප ඔවුනට කරන්නේ සුළු සගැනුමෙකි. දිව මලින් පිදිය යුත්තකුට වන මලින් පුදන්නාක් වැනි දිළිඳු සගැනුමෙකි. එහෙත් ඒ අචල භක්තියෙනුත් පරමප්‍රේමයෙනුත් කරන ගුරූපචාරයෙකි.”

අප අතර සිටි සම්මානිත පඬිවරයකු වූ ශ්‍රී චාල්ස් සිල්වා ස්වකීය පැරකුම්බා සිරිත විවරණය ෆ්රෑන්ක් ලී වුඩ්වඩ් ශ්‍රීමතාණන්ට සමර්පණය කරමින් ලියූ ඉහත වදන් පෙළ ඇදහිය නොහැකි අතීත මතකයක් කරා අප යොමු කරවීය. බ්‍රිතාන්‍ය කිරීටයට ලංකාව යටත්ව පැවති එදවස ලාංකිකයන් බොහෝ දෙනෙකුට වුවමනා වී තිබුණේ ඉංග්‍රීසින්ගේ බස ඉගෙන, ආගම වැළඳ ඔවුන්ගේ අනුකාරකයන් වීමටය.

එංගලන්තයේ කතෝලික පූජකවරකුට දාව උපන් ඉංග්‍රීසි ජාතිකයකු එසමයෙහි ලංකාවට පැමිණ ගාල්ල මහින්ද විද්‍යාලයේ අධිපති ධුරය භාරගෙන සිංහල බෞද්ධයකු බවට පත්ව පාසලේ දරුවන්ද පරගැති බවෙන් මුදවා ස්වදේශාභිමානයෙන් යුත් අදීන පුරවැසියන් බවට පත් කිරීමට දැරූ ප්‍රයත්නය අසාමාන්‍ය අරුමැසියකි. ඔහු ලංකාවට පැමිණෙන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ මහේශාඛ්‍ය ඒ්ජන්තයකු ලෙස නොව ඉතා සරල අල්පේච්ඡ මිනිසකු ලෙසය.

1999 වර්ෂයේදී මයිකල් පවෙල්ල ටැස්මේනියා විශ්වවිද්‍යාලයට ස්වකීය ආචාර්ය උපාධිය සඳහා ඉදිරිපත් කළ නිබන්ධයෙහි වුඩ්වඩ් ෆ්රෑන්ක් ලී ලංකාවට පැමිණි අවස්ථාව මෙසේ විස්තර කොට තිබේ.

“1903 අගෝස්තු මස පළමුවන දා උදේ වුඩ්වර්ඩ් නෞකාවකින් ගාල්ලේ පැරණි වරායට පැමිණියේය. ඔහු පිළිගැනීම සඳහා ගාල්ලේ බෞද්ධ පරම විඥානාර්ථ සමිතියේ නියෝජිතයින් වන වාසළ මුදලි ඊ. ආර්ග ගුණරත්න, මුහන්දිරම් තෝමස් ද සිල්වා අමරසූරිය, මුහන්දිරම් එෆ්. ඒ. වික්‍රමසිංහ වැඩබලන විදුහල්පති සගාරිස් ද සිල්වා සහ ගුරු මණ්ඩලය වරායට පැමිණ සිටියහ. මොවුහු බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයට ආධාර කරන දකුණු පළාතේ උසස් ස්වදේශික ප්‍රභූවරු වූහ. ඔහු වෙනුවෙන් යොදවා තිබුණු රථයට නොනැගුණු වුඩ්වඩ් ගාලු කොටුවේ පෙඩ්ලර් වීදියේ තිබුණු මහින්ද විද්‍යාලයට පිරිස සමඟ පා ගමනින් ළඟා විය.”

දීර්ඝ සමුද්‍ර තීරයකින් මායිම් වූ දකුණු පළාතේ අග නගරය ලෙස සැලකෙනුයේ ගාලු නගරයයි. රජයේ සියලු කාර්යාල, මෙන්ම වාණිජ ආයතනද පිහිටා තිබුණේ ගාල්ලේය.

ස්වකීය දරුවන්ට මනා අධ්‍යාපනයක් දීමට අපේක්ෂා කළ ඊට හැකියාව තිබූ සියලු දෙනා ඒ් සඳහා අධ්‍යාපන මධ්‍යස්ථානය ලෙස තෝරා ගත්තේ ගාලු නගරයයි. මෙවක වර්ධනය වෙමින් පැවති සිංහල බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයෙහි වැදගත් අංගයක් වූයේ බෞද්ධ අධ්‍යාපන ප්‍රවර්ධනයයි. එකුන් විසි වෙනි සියවසේ අග භාගයේ සිට පරම විඥානාර්ථ සමාගම ලංකාවේ ප්‍රධාන නගර ආශ්‍රිතව බෞද්ධ පාසල් පිහිටුවීම අරඹා තිබිණ.

පරම විඥානාර්ථ සමාගම විසින් 1880දී ගාල්ලේ පෙට්ටිගලවත්තේ පිහිටුවන ලද බෞද්ධ පාසල කෙටි කලකින් වැසී ගිය අතර 1892 වර්ෂයේ ඒ පාසල ගාල්ල කොටුවේ පෙඩ්ලර් වීදියෙහි මහින්ද විදයාලය නමින් නැවත ආරම්භ කෙරුණේ බවුලස් ඩැලී විදුහල්පතිතුමාගේ නායකත්වයෙනි.

එසේ දෙවන වර ඇරඹුණ පාසලද දියුණුවක් කරා ගමන් ගන්නා බවක් නොපෙනුණෙන් පරමවිඥානාර්ථ සමාගමේ ගාලු ශාඛාවේ ප්‍රධානියා සහ මහින්ද විද්‍යාලයේ කළමනාකරු වූ තෝමස් අමරසූරිය මුහන්දිරම් විසින් කාර්යශූර විදුහල්පතිවරයකු සොය එවන ලෙස හෙන්රි ස්ටීල් ඕල්කට් වෙත දන්වා යවන ලදී. ෆ්රෑන්ක් ලී ඩුඩ්වඩ් මහින්දයේ විදුහල්පති තනතුර භාර ගැනීමට පැමිණියේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.

හැටක් වැනි ඉතා අඩු සිසුන් සංඛ්‍යාවක් සිටි නොදියුණු තත්ත්වයක පැවති පාසලක විදුහල්පති තනතුර භාර ගැනීමට මේ ඉංග්‍රීසි ජාතිකයා පැමිණියේ ජීවත් වීමට මාර්ගයක් නොතිබුණු නිසා නොවේ. 1871 අප්‍රේල් 13 වෙනිදා විලියම් වුඩ්ඩඩ් සහ මේරි ඈන් ලී යුවළගේ තුන්වෙනි දරුවා ලෙස එංගලන්තයේ නෝෆෝක් ප්‍රාන්තයේ උපන් ෆ්රෑන්ක් ලී වුඩ්වඩ් පාසල් අධ්‍යාපනය සාර්ථක අයුරින් නිම කොට 1892 වර්ෂයේදී කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් බටහිර සම්භාව්‍ය භාෂා පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය ලැබ ගත්තේ දෙවන පෙළ ඉහළ සාමර්ථ්‍යයක්ද සහිතවය.

ඒ වසරේදීම එංගලන්තයේ රග්බි නගරයේ ප්‍රිපරෙටරි පාසලෙහි ගුරුවරයකු ලෙස වෘත්තීය ජීවිතය ඇරඹූ ෆ්රෑන්ක් එංගලන්තයේ ප්‍රසිද්ධ පාසල් කිහිපයකම සේවය කළ අතර ඒ් කාලය ඇතුළත කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය දිනා ගැනීමටද සමත් විය.

එංගලන්තයේ පාලි පොත් සමාගම මඟින් ප්‍රකාශිත පොතපත පරිශීලනය කොට බුදු දහම කෙරෙහි ආකර්ෂණය වූ ෆ්රෑන්ක් ලී වුඩ්වඩ් තරුණයා පරමවිඥානාර්ථ සමාගමේ සාමාජිකයෙක්ද විය. තෝමස් අමරසූරිය මුහන්දිරම් කර තිබූ ඉල්ලීම හෙන්රි ස්ටීල් ඕල්කට් විසින් ඔහු වෙත ඉදිරිපත් කරන ලද අවස්ථාවේ කිසිදු පැකිලීමකින් තොරව ඔහු ඒ අභියෝගය භාර ගත්තේ තම ජීවන ප්‍රනිධානය සඵල කර ගැනීමට එය මාර්ගයක් වන බව හැඟුණු බැවින් විය යුතුය. මහින්ද විදුහලේ වැඩ භාරගත් අවස්ථාවේදීම ෆ්රෑන්ක් ලී වුඩ්වඩ් නව විදුහල්පතිවරයාට ඒ්ත්තු ගියේ ගාලු කොටුවේ තදබදයෙන් යුත් කලබලකාරී පරිසරය කිසි සේත්ම පාසලකට යෝග්‍ය නොවන බවය. එසේම ගොවි - ධීවර කුල අතර පැවති තරගයටද තමා හසු නොවිය යුතු බව දූරදර්ශී විදුහල්පතිවරයාට අවබෝධ වී තිබිණ. ඒ සියලු තත්ත්ව අවබෝධ කර ගෙන කිසිදු කඳවුරක ග්‍රහණයට හසු නොවී ගාල්ලේ දවටගහවත්ත’ නම් ඉඩම මිල දී ගෙන එහි විධිමත් සැලසුමකට අනුව ගොඩනැගිලි ඉදි කොට මනා ඉගෙනුම් පරිසරයකින් යුත් අභිනව විදුහලක් නිර්මාණය කිරීමට වුඩ්වඩ් විදුහල්පතිතුමා සමත් විය. විදුහල සඳහා ගොඩනැගිලි ඉදිකෙරෙමින් පැවති අවස්ථාවේ වුඩ්ඩව් මහතාගේ මවගේ අභාවය සිදු වුවද එංගලන්තයට යාමට අවශ්‍ය තරම් මුදල් නොතිබුණු නිසා ඔහුට අවමංගල්‍යයට සහභාගි වීමට නොහැකි විය. මහින්දයේ ගොඩනැගිලි ඉදිකිරීමේ කටයුතු සඳහා ෆ්රෑන්ක් ලී වුඩ්වඩ් විදුහල්පතිතුමා සිය ශ්‍රමය මෙන්ම මා පිය උරුමයෙන් ලද පෞද්ගලික ධනයද වැය කිරීම විශේෂත්වයකි.

විදුහලකට යෝග්‍ය ගොඩනැගිලි ඉදිකිරීමෙන් පමණක් ඒ විදුහ‌ලෙන් අපේක්ෂිත පරමාර්ථ සපුරාගත නොහැකි බව දත් වුඩ්වඩ් විදුහල්පතිතුමා ලාංකික දරුපරපුර තුළ පරාදීනත්වය වෙනුවට ස්වදේශාභිමානී හැඟීම් ජනිත කිරීම සඳහා අවශ්‍ය ආකල්පමය වෙනස ඇති කිරීමට පාසලේ විෂය නිර්දේශයද විප්ලවීය වෙනසකට බඳුන් කෙළේය. සිංහල, පාලි භාෂාව සහ ලංකා ඉතිහාසය යන විෂයයන් පාසලේ විෂය නිර්දේශයට ඇතුළත් කරනු ලැබිණ. එකී විෂයයන්ට නිසි පිළිගැනීමක් සහ වටිනාකමක් ඇති කිරීමට කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ විභාග සඳහා ඒ විෂයන් පිළිගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමටද එතුමා පුරෝගාමි විය. වුඩ්වඩ් මහතා පාලි භාෂාව සහ සිංහල භාෂාව නිසි ලෙස උගෙන ඒ් භාෂා නිවැරැදිව ව්‍යවහාර කිරීමට පරිචයක් ලැබුවා පමණක් නොව සිය වුඩ්වඩ් යන තම නමද ..වනපාල, යනුවෙන් ව්‍යවහාර කළේය. මහින්ද විදුහලේ අභිනවයෙන් ඉදිකෙරුණු ඕල්කට් ශාලාව විවෘත කිරීමේ උත්සවයට සම්බන්ධ ආරාධනා පත්‍රයද එතුමන්ගේ අනුදැනුම පරිදි සකස් වූයේ සිංහල භාෂාවෙනි. ලංකාවේ ජාතික නායකයන් විසින් මෙරටට විශ්වවිද්‍යාලයක් ස්ථාපනය කර ගැනීම සඳහා දියත් කරන ලද ව්‍යාපාරයේ සක්‍රීය සාමාජිකයකු ලෙසද වනපාල මහතා කටයුතු කළේය.

1903 සිට 1919 වන තෙක් සොළොස් වසක් අප්‍රතිහත ධෛර්යයෙන් මහින්ද විද්‍යාලය සැම අතින්ම තමා අරමුණු කළ ස්ථානයට පත් කිරීමෙන් පසු වනපාල මහතා තම ප්‍රාණය සේ රැකගත් විදුහලටද ලංකාවටද සමු දී ටැස්මේනියාව බලා පිටත් විය.

ටැස්මේනියාවේ වෙසෙමින් ත්‍රිපිටක ධර්ම ග්‍රන්ථ රැසක් ඉංග්‍රීසියට පරිවර්තන කරමින් තම ඇලුම් කළ ජීවන මාර්ගයේ ගමන් කළ එතුමා 1952 වර්ෂයේ මැයි මස 27 වැනි දින ආයු සංස්කාරය අත් හළේය.

Comments