නළුවන් අතර සුපිරි තරුව | සිළුමිණ

නළුවන් අතර සුපිරි තරුව

 

 

 

ස්ථානය නුගේගොඩ හන්දිය ය. ස්වර්ණාභරණ වෙළඳ සලක් අසල පොලිස් කොස්තාපල් කෙනෙකු හිටගෙන සිටියේය. වේගයෙන් පාරේ ඉදිරියට ආ මෝටර් බයිසිකලයක පිටු පස සිටි හෙල්මට් එකක් නොමැතිව සිටි තරුණයා පොලිස් නිලධාරියා දැක ඉවතට පැන ගත්තේය. හෙල්මට් එක පැලඳ සිටි තරුණයා සෙමින් සෙමින් ඉදිරියට එමින් සිටියේය. පොලිස් නිලධාරියා අත දිගු කොට ඔහුව නතර කළේය. මේ සිද්ධිය දුටු අය සිනාසුණේය. මෙය තරුණයාට ද ප්‍රහේළිකාවකි.

පොලිස් නිලධාරියා දුටු තරුණයාට මඳ සිනාවක් මුවට නැඟුණි.

“මම කොස්තාපල් පුඤ්ඤසෝම.“ පොලිස් නිලධාරියා සිනාසෙමින් හිසෙහි රැඳි හිස වැස්ම ගැලවීය.

“ආ...... මේ මහේන්ද්‍ර පෙරේරා නේ? දැන් පොලිසියේ ද වැඩ.“

“ඔව් මල්ලී, චිත්‍රපටියක රඟපාන්න තාවකාලිකව පොලීසියට බැඳුණා. අද මෙතැන ඩියුටි.“

මෙය කුතුහලයෙන් ඈත සිටි පිරිස සිනාසෙමින් බලා සිටියෝය.

මහේන්ද්‍ර පෙරේරා තම සිනමා ජීවිතයේ හාස්‍ය ජනක සිද්ධිවලට මුහුණ දුන්නේ උදයකාන්ත වර්ණසූරිය විසින් අධ්‍යක්ෂණය කළ “කොස්තාපල් පුඤ්ඤසෝම.“ චිත්‍රපටයේ රඟපෑමට ගිය අවස්ථාවලය.

“මම මේ චිත්‍රපටයේ රඟපාන්න ගිහිල්ලා අමාරුවේ වැටුණ අවස්ථාවක් තියෙනවා. ඒක සිද්ධ වුණේ නාරාහේන්පිට හන්දියේ දී. මගෙන් ණයක් ගත්තු යාළුවෙක් ඒ සල්ලි දෙන්න නාරාහේන්පිට මම හිටිය තැනට ආවා. මම හිටියේ පොලිස් නිල ඇඳුමෙන්. ඒ වෙලාවේ ෂූටිං තිබුණේ නැහැ. මගේ යාළුවා ඇවිත් “මචං ගෙදරට ඇවිත් දෙන්න හිටියේ. මෙන්න උඹෙන් ගත්තු සල්ලි. ගණන් කරලා බලන්න.“ මම සල්ලි ගැනලා අරං සාක්කුවේ දා ගත්තා.

දැන් මේ සීන් එක කිහිප දෙනෙක් බලං හිටියා.

“බලනවා අයියේ අපේ ඇස් ඉස්සරාම පගාව අරගත් හැටි. පොලීසියට කොච්චර අවමානයක් ද?“ වැඩිහිටි කෙනෙක් ඔහු වටා සිටි අයට කිව්වා.

“අපි බලං හිටියෙ. අපි මිනිහාව අල්ලා පොලීසියට භාර දෙමු.“ තව කෙනෙක් කියනු මට ඇසුණා.

කවුදෝ කෙනෙක් මෙහෙම කිව්වා.

“මේ අර නළුවානේ.... කවුද?.... මේ දිව අග තියෙනවා. පොලිස් කැප් එක නිසයි අඳුනා ගන්න බැරුව මම ඉන්නේ.“

මම විරුත්තුවා.

“හා නේ..... මහේන්ද්‍ර පෙරේරා නේ.“

මම තව පොඩ්ඩෙන් අමාරුවේ වැටෙනවා. මොකද? මාව වට කරගෙන හිටිය කට්ටිය හිටියේ ලොකු ආවේගයකින්. මහේන්ද්‍ර සිනාසෙමින් කීවේය.

මහේන්ද්‍ර පෙරේරා සම්මානනීය, චිත්‍රපට, නාට්‍ය හා වේදිකා රංගන ශිල්පියකු ලෙස දැන සිටියත්, දක්ෂ ගිටාර් වාදකයකු මෙන්ම සිතාර් හා වයලීන වාදකයකු බව ඔබ දැන සිටියා ද? ඔහු රංගනයට අමතරව චිත්‍රපට කළා අධ්‍යක්ෂවරයකු හා චිත්‍රපට සහාය අධ්‍යක්ෂවරයකු ද වූ බව දන්නේ ද කලා ක්ෂේත්‍රයට සමීප අය පමණකි.

ඡායාරූපය - තිලක් පෙරේරා

“මට පුංචි කාලේ ඉඳලම රඟපෑමට ආදරයක් තිබුණා. හා පුරා කියා මා දුටු සිංහල චිත්‍රපටය වූයේ ‘ගම්පෙරළිය‘ චිත්‍රපටයයි. චිත්‍රපටිය බලලා ගෙදර ඇවිත් නන්දා (පුණ්‍යා) පියල් (හෙන්රි) රඟ පෑ දර්ශනයක් ඩබල් ඇක්ටින් දාලා රඟපෑවා. ගෙදර තියෙන බිත්තියකට හේත්තුවෙලා මෙහෙම රඟපෑවා.

“නන්දා, ඇයි මගේ අන්තිම ලියුමට වත් උත්තරයක් නොඑව්වේ.“

“අන්තිම ලියුම? පොතේ අස්සේ තිබුණු ලියුම ද? ලියුම්වලට උත්තර ලියන්නේ නෑ යි මම කිව්වා මතක නැද්ද?“

“උත්තර කටින් කියන්න බැරි නම් ලියා එවනවද“

“නැහැ“

මෙහෙම රඟපාන කොට අම්මයි තාත්තයි හිනා වුණා.

මහේන්ද්‍ර කුඩා කාලයේ සිද්ධිය විස්තර කළේ සිනාසෙමිනි. මහේන්ද්‍රගේ චිත්‍රපට පිස්සුව, නළුවකුවීමේ පිස්සුව දැන සිටි මිත්‍රයෙක් වූ රංජිත් දිනක් අපූරු යෝජනාවක් ගෙනාවේය.

“අපි ගමනක් යමු ද? හැඳල විජය චිත්‍රාගාරයේ ‘හතර දෙනාම සූරයෝ‘ කියන පික්චර් එකේ ෂූටිං තියෙනවලු. අපි දෙන්නා එහෙ ගියොත් නළු නිළියොත් බලා ගන්න පුළුවන්.“

“මරුනේ යමුකෝ“

ගෙදරට බොරුවක් කියා මහේන්ද්‍ර, තම මිතුරා සමඟ මේ ගමන පිටත් වුණේ පාන්දර 5 ට පමණය. විජය චිත්‍රාගාරයට යන විට උදේ 7 පමණ විය. දෙදෙනාම ප්‍රධාන ගේට්ටුව ළඟ සිටිනු දුටු ආරක්ෂකයා ඔවුන්ට කීවේ “ඔය ගොල්ලො ඉස්කෝලේ යන වයසේ ළමයි. ඇතුළට යන්න දෙන්න බෑ.“ යන කටුක වදන්ය.

“අපි බොහොම ඈත ඉඳලා ආවේ. අපි ඈතින් ඉඳල බලං......“

“බැහැ. බැහැ. නීල් රූපසිංහ මහත්තයාගෙන් අවසර ඕනෑ ඇතුළට යන්න.“

එළියට පැමිණි මිතුරෝ අසල්වැසියකුගෙන් නීල් රූපසිංහගේ නිවස අසා එහි ගියහ. ‘සමුද්‍රා‘ නම් ඒ නිවස තිබුණේ විජය චිත්‍රාගාරය අසලය. එහි ගිය මිතුරෝ නිවසේ සීනුව හැඬ වූහ.

“සර් අපි ෂූටිං බලන්න ආසයි. සිකියුරිටි කිව්වා ඇතුළට යන්න සර්ගෙ අවසරය ඕනෑ කියලා.“

“මේ ළමයි යන්න. මම කිව්වා කියලා කියන්න. මම තව ටිකකින් එනවා.“

මිතුරෝ දෙදෙන නැවත ආරක්ෂක නිලධාරියාට කාරණය කීවත් ඔහු ඇතුළට යාමට නුදුන්නේය. ඒ අවස්ථාව ගැන මහේන්ද්‍ර මෙසේ කීවේය.

“අපි මුළු චිත්‍රාගාරයටම ඇහෙන්න අඬමු“ යයි මහේන්ද්‍ර මිතුරාගේ කණට කොඳුරා කීවේය.

“නීල් මහත්තයෝ, මේ සික්කා අපිට ඇතුළට යන්න දෙන්නෙ නැතෝ“

අපි හොටු පෙර පෙරා මහ හඬින් හයියෙන් ඇත්තටම ඇඬුවා. ඒ හඬ කොච්චර ඈතට ඇහුණාද කිව්වොත් නීල් රූපසිංහ මහත්තයාට ඇහිලා. අතින් අපට එන්න කිව්වා. සික්කා හොඳටම බය වෙලා.

“හා.... හා ළමයි අඬන්න එපා. ඇතුළට ගිහිං නිශ්ශබ්දව බලා ඉන්න.“

ඒ ඇඬිල්ල තමයි මගේ ප්‍රථම රඟපෑම. ඒ 1970 වසර. මට වයස අවුරුදු 14 ක් විතර ඇති. එදා අපි චිත්‍රාගාරයේ කෙසෙල් ගහක් ළඟ ඉඳලා, ගාමිණී, විජය, ඇන්තනි, සේනාධීර රඟපෑ ‘කොඩි ගහ යට අපි උපන්නේ‘ ගීතයේ කොටස් රූ ගත කරනවා බලං හිටියා.

මහේන්ද්‍ර ශ්‍රී කාන්ත පෙරේරා උපන්නේ 1956 අගෝස්තු 17 වෙනිදා ගල්කිස්සේ දී ය. ඔහුගේ පියා වූ වින්සන්ට් පෙරේරා බ්‍රවුන්ස් සමාගමේ ගබඩා කළමනාකරුවකු ලෙස සේවය කළ අතර මව වූ සෝමා වීරසේකර රජයේ රෝහල් කිහිපයක මේට්‍රන්වරියක ලෙස සේවය කළාය. මහේන්ද්‍රට, ප්‍රියන්ති දමයන්ති හා ගිවන්ති කල්‍යාණි නම් වැඩිමහල් සොහොයුරියන් දෙදෙනෙකු වූහ.

“අම්මා තමයි මගේ කලා රසය පුංචි කාලේ සිටම පෝෂණය කළේ. අම්මා මට පියානෝ එකෝඩියන් ගෙනත් දුන්නා. ක්ලියෝපැට්රා, සින්ඩ්‍රැල්ලා, රොබින් හුඩ්, ගලිවර්ගේ කතා අම්මා මට නින්ද යනකොට කියනවා ආසාවෙන් අහගෙන හිටියා. මම මුලින්ම ඉගෙන ගත්තේ නුගේගොඩ හයිලන්ඩ් විද්‍යාලයෙන්. පස්සේ මහරගම විද්‍යාකර විද්‍යාලයටත්, කොළඹ තර්ස්ටන් විද්‍යාලයටත් ගියා. තර්ස්ටන් විද්‍යාලයේ පන්තියේ එකට ඉගෙන ගත් මගේ හොඳම යාළුවා කලණි පෙරේරා. ඔහු අද ලංකාවේ සිටින විශිෂ්ට වයලීන වාදකයෙක් වගේම සංගීත නිර්මාණ ශිල්පියෙක්. අපි දෙන්නා සංගීත පැත්තෙන් ඉදිරියට ගියා. අපේ සංගීත ගුරුවරයා වූ යෝගානන්ද විජේසුන්දර මහතාගෙන් වයලීනය, ජල තරංගයත්, තබ්ලා වාදනයත්, සයිලෆෝනයත් ඉගෙන ගත්තා. මහේන්ද්‍ර තම අතීත කතාව කීවේය.

ඔහු පාසලේ වැඩ අතපසු කොට “බයිස්කෝප් පිස්සුව“ට මුල්තැන දෙන බව දුටු පියා ඔහුට වරක් කෝපයෙන් මෙසේ කීවේය.

“බලපන් උඹේ හැටි. උඹ කොටයි. පෙනුමක් නෑ. කොහොමද උඹ බයිස්කෝප් නළුවෙක් වෙන්නේ.“

මහේන්ද්‍ර උත්සාහය අත් නොහළේය. ඔහු ගල්කිස්සේ Rock Band සංගීත කණ්ඩායමේ ගිටාර් වාදනය කළේය. දැන් ඔහුගේ පෙනුම හිපියකු වාගේය. ඩෙනිම් කලිසම, කොණ්ඩය වවාගෙන මාල පැලඳ සිටි ඔහු දැකීම පවා පියාට තිත්ත විය. මහේන්ද්‍ර ගෙදරින් පලා ගොස් හපුතලේ ඥාති සහෝදරයකු සමඟ අල වගා කළේය. ගොවිපළ අසල ගෙදරක සිටි උපුල් සාන්ත සන්නස්ගල (ලේඛක / දේශක / චිත්‍රපට අධ්‍යක්ෂ) සමඟ එක්වී ගොවිතැන් කළහ. හවසට දිය ඇල්ලකින් දෙදෙනා නාගෙන කලාව සිනමාව ගැන සාහිත්‍යය ගැන කතා කළහ. මේ අතර අකීකරු පුතා සොයා පියා හපුතලේ පැමිණ “යමු ගෙදර. උඹ ඕන කලාවක් කර ගනින්“ යැයි කියා මහේන්ද්‍රව කොළඹ ගෙන ගියේය.

“මම ගෙදර ඇවිත් ධම්ම ජාගොඩගේ රංග ශිල්ප ශාලිකාවට බැඳී රඟපෑම ඉගෙන ගත්තා. ඔහු ‘සිංහබාහු‘ ‘මනමේ‘ රඟපෑම පමණක් ඉගැන්නූ නිසා එය නීරස යයි කියා ධම්ම එක්ක ගැටුණා.“

“තමුසෙගේ කට වැඩියි යනව එළියට.“

ඔහුු මහේන්ද්‍රව පන්තියෙන් එළියට දැම්මේය.

“හොඳයි සර් මම කවදා හරි හොඳ නළුවෙක් වෙනවා.“ මම පන්තියෙන් ගියා. ඊට පස්සේ ආචාර්ය සාලමන් ෆොන්සේකා නාට්‍ය පාඨමාලාවට ගිහින් රුසියානු නාට්‍යවේදී කොන්ස්ටයින් ස්ටෑනිස්ලව්ස්කි හඳුන්වා දෙන ලද රංග රීතින් ඉගෙන ගත්තා.“ මහේන්ද්‍ර තමා රංගනය ගැන ඉගෙනීමට ගත් අසීරුතාව අපට විස්තර කළේය.

ගල්කිස්සේ මහේන්ද්‍ර පදිංචිව සිටි හුළුදාගොඩ පාරේ පදිංචිවසිටි අරිසෙන් අහුබුදු මහතාගේ පුතා වූ දෙමින්ද අහුබුදු ඔහුගේ ගජ මිතුරෙකි. හවස ක්‍රිකට් ක්‍රීඩා කළේත් එකටය. මහා නළු ගාමිණී ෆොන්සේකාගේ ගුරුවරයෙකු වූ අහුබුදු මහතා හමුවීමට මහේන්ද්‍ර තම මිතුරා දෙමින් ද සමඟ ගියහ.

“අහුබුදු මහත්තයා, මම රඟපාන්න ආසයි, ගාමිණී සර් මේ දවස්වල ‘සක්විති සුවය‘ කියලා චිත්‍රපටයක් කරනවා. ඔබතුමා ගාමිණී සර්ට කිව්වොත් මට අවස්ථාවක් ලැබෙයි.“

අහුබුදු මහතාගේ රෙකමදාරුව මත ගාමිණී විසින් මහේන්ද්‍රව ‘සක්විති සුවය‘ චිත්‍රපටයේ ‘බර්ටි මල්ලී‘ ගේ චරිතයට තෝරා ගත්තේය.

“දවසක් මේ චිත්‍රපටයේ ඩබිං කරන වේලාවක නිහාල්සිංහ මහත්තයා ගාමිණී සර් හමුවෙන්න ඇවිත් නැවත කාර් එකට නගින කල් ඉඳලා මම එතැනට ගියා.

“සර් මම මේ චිත්‍රපටයේ රඟපානවා. සර් කරන “රිදී නිම්නයේ“ රඟපාන්න කැමතියි.“

“එහෙනං පින්තූරයකුත් අරං එලිබෑන්ක් පාරේ මගේ ගෙදරට එන්න.“ ඔහු කරුණාවෙන් කිව්වා.

මට ‘රිදී නිම්නයේ“ වින්කලේ නිව්ටන් ලෙස රඟපාන්න ලැබුණා. ඊළඟට “සාගරයක් මැද“ චිත්‍රපටයේ මම කමල් අද්දරආරච්චි, ජයන්ත චන්ද්‍රසිරි, ශ්‍රියන්ත මෙන්ඩිස් සමඟ රඟපෑවා. මගේ රංගනය පෝෂණය කළ ගාමිණී ෆොන්සේකා හා ටෝනි රණසිංහ මම අදත් ආදරයෙන් මතක් කරනවා. හෙලේනා ලෙහ්තිමගේ නාට්‍ය පාඨමාලාවක් හදාරා “පුන්තිලා“ නාට්‍ය රඟපෑමට උපකාර කළ ටෝනි තමා විසින් නිෂ්පාදනය කළ “ජුලියස් සීසර්“, “ගිම්හානේ රැයක සිහිනයක්“ යන ෂේක්ස්පියර් නාට්‍යවල ප්‍රබල චරිත රඟපෑමට අවස්ථාව ලබා දුන්නා.“ මහේන්ද්‍ර කීවේය.

“අත්“, “අහිමි ජීවිත“, “සාජන්ට් නල්ලතම්බි“ ඇතුළු වේදිකා නාට්‍ය කිහිපයක ද “සුදු සහ කළු“, “නියං උකුස්සෝ“, “ධවල රාත්‍රිය“, “දිය කැට පහණ“, “හදවිල සක්මන“, “දණඩේ ලූ ගිනි“, “දියසේන“, “වෙස්මුහුණු“ ටෙලි නාට්‍යවල රඟපෑ මහේන්ද්‍ර සිහින දේශයෙන්, අස්වැසුම, බහු බූතයෝ, සුදු කළු, අරුමෝසම් වැහි, මිල්ලෙ සොයා, ඇඩ්රස් නෑ, කොස්තාපල් පුඤ්ඤසෝම චිත්‍රපටවල රඟපෑ අතර ‘කොටිවලිගය‘ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂ ලෙස ද ජුලියට්ගේ භූමිකාව, පවුරු වළලු චිත්‍රපටවල කලා අධ්‍යක්ෂණයට සම්බන්ධ වී ඇත. ඔහු ටෙලි නාට්‍ය හා චිත්‍රපට රංගනය සඳහා ප්‍රධාන සම්මාන කිහිපයක්ම ලබා ඇත.

“ඒ කාලේ මට ගල්කිස්සේ පෙම්වතියෝ කිහිප දෙනෙකු සිටියත් ඒවා සීරියස් ඒවා නෙවෙයි. මම විවාහ වුණේ මගේ දුර ඥාතිවරියක් සමඟ. ඇගේ නම තක්ෂිලා දමයන්තිය. කාලයක් තක්ෂිලා අපේ ගෙදර නතර වෙලා හිටියා. අප අතර ප්‍රේම සම්බන්ධයක් ඇති වෙලා පසුව විවාහ වුණා. විවාහ වීමට පෙර මම ඇයට එක කොන්දේසියක් දැම්මා.

“මගේ ජීවිතය කලාව. මම රැකියාවක් කරන්නේ නෑ. රැකියාවක් කරන්න කියලා කිසිම බලපෑමක් කරන්න බැහැ.“

ඒ සියල්ලටම ඇය එකඟ වුණා. විවාහ වුණා. අපට උවින්, නවීන්, ප්‍රවීන් නම් පුතුන් තිදෙනෙක් සිටිනවා.

මගේ චිත්‍රපට ජීවිතයේ දී මම බිය වූ කම්පනය වූ ඇඟ කිලිපොළා ගිය සිද්ධියක් මතක් වෙන කොට “එවැනි දෙයක් ඇති නොවේවා“ යයි ප්‍රාර්ථනා කරනවා. මේ අවස්ථාව මම රඟපෑවේ බෙනට් රත්නායක අධ්‍යක්ෂණය කළ “අස්වැසුම“ චිත්‍රපටයේ. මේ චිත්‍රපටයේ මම සංගීතා වීරරත්නව රේප් කරනවා. ඊට පස්සේ මට තිබුණා සංගීතා හා බහින්බස් වීමක්. මම ඇයට වේගවත් කම්මුල් පහරක් ගහනවා. අපි හිටියේ ගල් පොතක් උඩ. ඊට යටින් අඩි 30ක් පමණ ගැඹුරු ජලාශයක්. මගේ පහරට සංගීතාගේ පය ලිස්සලා වතුරට වැටුණා. මට දෙයියෝ සිහිවුණා. දෙයියනේ සංගීතා වතුරට වැටිලා දඟලනවා. අධ්‍යක්ෂ බෙනට් රත්නායක වතුර යට කිමිදුම්කාරයෝ යොදලා තිබුණා. ඒ ගොල්ලෝ හැංගිලා හිටියේ. පපුව ගලක වැදිලා වේදනාවෙන් දඟලමින් සිටි සංගීතාව කිමිදුම්කරුවන් ගොඩට ගත්තා. මට අස්වැසුමක් ලැබුණෙ එතකොට.“ මේ දර්ශනය රූගත වුණේ කිතුල්ගල ඉඳලා දැරණියගලට යන පාරේ තිබුණ දිය ඇල්ලක් ළඟ.“ මහේන්ද්‍ර මේ සිද්ධිය අපට කියන විටත් ඔහුගේ මුහුණේ බිය රැඳී තිබුණි.

Comments