මනු­ස්ස­ක­මට තැන­දෙන ජපුර විශ්වවිද්‍යා­ලයේ “රොට­රැක්ට්” සමා­ජය | සිළුමිණ

මනු­ස්ස­ක­මට තැන­දෙන ජපුර විශ්වවිද්‍යා­ලයේ “රොට­රැක්ට්” සමා­ජය

2021 රොටරැක්ට් තේමාව වන “විවිධාංගීකරණය වූ වෙනස්කම් තුළින් මිත්‍රත්වයේ බැඳීම් ශක්තිමත් කරගැනීම” අනුව යමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රොටරැක්ට් සමාජය විසින් මානව විවිධත්වයට ගරු කරමින් සාමය, සමඟිය, සහජීවනය තුළින් සංහිඳියාව හා සමානාත්මතාවය තරුණ තරුණියන් අතර ප්‍රවර්ධනය කිරීමෙහි සමාජ අවශ්‍යතාවය මත Rise up Sri Lanka ව්‍යාපෘතිය ප්‍රථමවරට හඳුන්වා දුන් අතර එය ප්‍රධාන අදියර තුනකින් ක්‍රියාත්මක විය.

 

පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් ව්‍යාපෘතියේ පළමු අදියර වූ වෙබිනාර් මාලාව zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වූ අතර එහි පළමු වෙබිනාර් සාකච්ඡාව “ආගමික සාමය හා සංහිඳියාව සඳහා තරුණ දායකත්වය” බෞද්ධ, කතෝලික, හින්දු හා මුස්ලිම් ආගමික නායකයන් සම්බන්ධ කරගනිමින් පැවැත්වුණි. වෙබිනාර් මාලාවේ දෙවෙනි සාකච්ඡාව “ආයතනික සාමය හා ගැටුම් කළමනාකරණය, ආයතනික ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය” වූ අතර තෙවැන්න “කලාව හා සාමය” පිළිබඳවත්, සිවුවැන්න “ශ්‍රී ලංකාවේ සාමාජීය ගැටලු” යන තේමාවන් විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.

සමාජීය විවිධත්වය හා සමාජීය සාමය පිළිබඳ තරුණ තරුණියන්ගේ නිර්මාණාත්මක අදහස් එක් කරගනිමින් ව්‍යාපෘතියේ දෙවන අදියර ලෙස කෙටි චිත්‍රපට තරගයක් zam zam පදනමේ අනුග්‍රහය මත පැවැත් වූ අතර එහි සියලු විනිශ්චය කටයුතු ක්ෂේත්‍රයේ ප්‍රතිභාපූර්ණ කලාකරුවන් දෙදෙනෙක් වන ආචාර්ය සෝමරත්න දිසානායකයන් හා සම්මානිත රංගන ශිල්පීනී නෙරංජනී ෂන්මුගරාජා මෙණවිය අතින් සිදු විය.

ව්‍යපෘතියේ සමාජීය බලපෑම වැඩිකිරීමේ අරමුණෙන් එහි අවසන් අදියර ලෙස රටේ සියලු ආගම් නියෝජනය වන පරිදි රත්මල්ගොඩ රත්නාවලී විහාරය, වග ශුද්ධ ජපමාල පල්ලිය, කුමාරකට්ටුව ජපමාල මාතා පල්ලිය, නව කැලණිපුර තමිල්නාඩු ගණපති කෝවිල හා ගාල්ල අල් මස්තිජුල් ඛිල්රියා මස්ජිදය යන සිද්ධස්ථාන වැඩිදියුණු කිරීමට අවශ්‍ය ශ්‍රම දායකත්වයත්, මුදල්මය ආධාරත් හා අනෙකුත් ආධාර ද පරිත්‍යාග කරන ලද අතර ඒ සඳහා අස්වැද්දුම ආයතනය විසින් අනුග්‍රාහකත්වය දක්වන ලදී.

මෙම ව්‍යාපෘති මාලාව ඉදිරි වසර වලදීත් ඉතා පුළුල්ව හා සාර්ථකව පැවැත්වීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රොටරැක්ට් සමාජයේ අරමුණ වේ.

Comments