අන්ධකාරයේ ධවල ආත්මය | සිළුමිණ

අන්ධකාරයේ ධවල ආත්මය

 

 

කෘතිය-ධවල අන්ධකාරය

පරිවර්තනය - ඇම්. ඩී. අතුලවංශ

සුරස ප්‍රකාශනයකි - මිල රු. 450

දුරකථනය 071 867 8008

 

ගමක් වශයෙන් එය ඈත දුෂ්කර ඉසව්වක පිහිටි එකකි. දුප්පත් ගුරුවරයෙකුගේ ශෝභමාන රූප සම්පත්තියක් ඇති දියණියක නාගරික ධනවත් පවුලක වෛද්‍යවරයෙකු හා විවාහ වී කෙටි කලකින් ඇයට සුදු කබර රෝගය වැලඳීම නිසා ඇගේ ජීවිතය අතරමඟ කඩා වැටෙන ආකාරයත්, ඉන් අනතුරුව ඇයට සමාජයෙන් එල්ලවන තාඩන පීඩන හා කෙනෙහිලිකම් මධ්‍යයේ ඇය ජීවිතයට මුහුණ දෙන ආකාරයත් මැනවින් කියැවෙන කෘතියක් වශයෙන් මෙය හඳුන්වා දිය හැකිය.

සම්මානනීය ඉන්දියානු ලේඛිකාවක වන සුධා මුර්ටි විසින් ලියු ”මහෙස්වෙතා” නම් නවකතාව “ධවල අන්ධකාරය” නමින් සිංහල බසට නගා ඇත්තේ ඇම්. ඩී. අතුලවංශ යි. ඉංග්‍රීසි හා කන්නඩ යන භාෂා දෙකෙන් ම සාහිත්‍ය කටයුතුවල යෙදෙන සුධා මුර්ටි මෙහි දී මතු කරන්නේ දියුණු සංවර්ධනීය මානව දහම් ඒ අයිතිවාසිකම් සුරකින නව ලොව පැවැත්මක් තුළ ඒ අධ්‍යාපනයෙන් පොහොසත් සමාජ රටාවක් තුළ වුව ද ඉන්දියානු සමාජය අභ්‍යන්තරයේ අදටත් පවතින මේ ප්‍රාථමික ආචිර්ණ කල්පිත හැසිරීම් කුමන අර්ථයක් සඳහා ද යන්න යි.

බිඳුන විවාහයෙන් පසු සිය යෙහෙළියක හමුවට යන අනුපමා (කතා නායිකාව) යෙහෙළියගෙන් රැකියාවක් සඳහා කරන කතා බහ, එහෙත් ඇගේ යෙහෙළිය ඇගේ උගත්කම සිහි කර දෙමින් ඇයට හිමි විය යුතු රැකියාව විශ්ව විද්‍යාල කථිකාචාර්යවරියක වීම නොවේ දැයි ප්‍රශ්න කරන විට අනුපමා නඟන මඳ සිනහව එම නිවසේදී ම යෙහෙළියගේ සැමියා වෙතින් ඇයට පැමිණෙන පුරුෂ පීඩනය ඉනුත් නොනැවතී එවැනි ම තවත් අවස්ථා ඇය හමුවේ නිර්මාණය වීම තුළ ඇය ගන්නා අවසන් තීරණය වන්නේ සැබෑ සංවේදී ආදරය යනු මිථ්‍යාවක් බව යි.

එක අතකින් සුදු කබර රෝගය නිසා සැමියාගෙන් ද නැන්දණිය ඇතුළු ආශ්‍රිත සමාජයෙන් ද නෙරපා දමන ඇය නැවත පොදු සමාජය තුළ දී විවිධ හිංසනයන්ට ලක්වේ.

අවසානයේ දී ජීවිතය තුළ ම නෙරපා හැරීමකට ලක් වුණ අනුපමා සිය උගත්කම මතින් ම ඉදිරියට විත් නාට්‍ය කලාව විෂයයිකව ආචාර්යවරියක බවට පත් වෙමින් විවාහය ප්‍රතික්ෂේප කරන්නේ හුදෙක් ඒ නිසා උපන් කලකිරීම නිසා පමණක් ම නොවේ. කෙටි කාලයක් තුළ විවාහය ගැන ලැබූ සමාජගත අවබෝධය ද හේතු කොටගෙනය යන්න පැහැදිලි වේ. ඒ ආකාරයට ඇය විසින් විවාහය ප්‍රතික්ෂේප කිරීම වනාහි හුදු පුද්ගල අත්දැකීමක කලකිරීමකට වඩා පුළුල් වු සමාජ විග්‍රහයක් බව පැහැදිලි වේ. මෙම කෘතියට අදාළව විචාරයක් සිදු වන්නේ නම් විචාරය සිය හඬ අවදි කළ යුතු වන්නේ ඒ විග්‍රහය තුළ පවතිමින් යැයි සිතේ. එය වඩාත් ප්‍රකටව ඉදිරිපත් වන්නේ ඇගේ මුල් ස්වාමි පුරුෂයා හා ඇය ඔවුන්ගේ බිඳුන විවාහයේ සුන්බුන් අතර සිටිමින් කරන (පහත දැක්වෙන) කතාබහ තුළ ය.

“මං නැවත විවාහ වුණේ නැහැ අනුපමා” ආනන්ද් පැවසුවේ ය.

“නමුත් මට ආරංචි වුණා ඔයා එයට කැමති....”

“අච්චා බොහොම උත්සාහ කළා මට නැවත විවාහයක් කරල දෙන්න. ඒත් මං ඒක තරයේ ම ප්‍රතික්ෂේප කළා. ඔයා කියපු හැම දෙයක් ම ඇත්ත අනුපමා. මං ඔයාගෙන් ඉතා බැගෑපත්ව ඉල්ලනවා, පහුගිය අතීතය අමතක කරන්න කියලා. ඔබට මගේ අච්චාත් එක්ක ජීවත්වෙන්න බැරි නම් අපට කිසි කෙනෙකුගේ කරදරයක් නොවෙන එංගලන්තයටම යමු. අපි දෙන්නාම එකතු වෙලා ජීවිතයට මුහුණ දෙමු” ආනන්ද් අධිෂ්ඨානශීලිව පැවසුවේ ය.

“පිලිස්සී ගිය බීජයකින් ගහක් හැදෙයි කියලා කොහොම බලාපොරොත්තු වෙන්න ද? ස්වාමි පුරුෂයා, දරුවන්, සෙනෙහස, ආදරය මට දැන් කිසිවක් අදාල නැහැ. ඒකට අපි ප්‍රමාද වැඩි යි. මං තවදුරටත් එදා ඔබ වටා ම භ්‍රමණය වු ලෝකයක් සේ සිටි බොළඳ අනුපමා නෙවෙයි. මං දැන් දන්නවා මගේ අරමුණු මොනවා ද මං යන්නේ කොහේ ද කියලා. මගේ අවසාන ඉලක්කයට යන්න මට කිසි කෙනෙකුගේ උදව් අවශ්‍ය නැහැ.”

සමාජගත චරිතයක් නිර්මාණය වන්නේ රටක කාලගුණය, දේශගුණය යන පරිසර සාධක මත නොවේ. මුලික වශයෙන් ම සමාජ හැසිරීම් මතින් එවැනි චරිත බිහිවේ. අනුපමා යනු ඊට කදිම නිදසුනකි. සමාජ කම්පන ප්‍රකම්පන හමුවේ නිර්මාණය වන්නා වු එවැනි චරිත අප බලාපොරොත්තු නොවු අන්දමේ වෙනස් ම චිත්‍රයක් වීමට ඉඩ ඇත. ධවල අන්ධකාරය යනු එසේ නිර්මාණය වූ චරිතයක් වන අනුපමාගේ කතාව යි.

Comments