තාප හියු­ම්ක­රණ ඔක්සි­ජන් ඒක­කය ජන­ප­තිගේ නිරීක්ෂණයට | Page 2 | සිළුමිණ

තාප හියු­ම්ක­රණ ඔක්සි­ජන් ඒක­කය ජන­ප­තිගේ නිරීක්ෂණයට

ස්වසන අපහසුතා ඇති රෝගීන්ගේ ස්වසන පහසුව සඳහා භාවිත කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිෂ්පාදනය කළ තාප හියුම්කරණ චිකිත්සා ඒකකය පසුගියදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් වෙත බාර කෙරිණි. කොවිඩ් 19 වසංගතය හමුවේ ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි, නවෝත්පාදන ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර තානාපතිවරයකු වන විද්‍යාජෝති ආචාර්ය බන්දුල විජේගේ සංකල්පයක් මත මහාචාර්ය රනිල් ද සිල්වා සහ වෛද්‍ය තිලංක රත්නපාල ඇතුළු ප්‍රවීණ වෛද්‍ය කණ්ඩායමකගේ දායකත්වයෙන් උපකරණ කට්ටලය නිර්මාණය කර තිබේ. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ මඟපෙන්වීමෙන් ගුවන් හමුදා අණදෙන නිලධාරි ගෘප් කපිතාන් ප්‍රසන්න මාටිනෝගේ අධීක්ෂණය යටතේ ගුවන් හමුදා ඉංජිනේරු බළකායේ ගුවන් යානා නඩත්තු ඒකකය මෙකී චිකිත්සා ඒකකය නිර්මාණය කළේය. සීමාවන්, ආරක්ෂිත අංග සහ කාර්ය සාධන ප්‍රමිතීන් පරීක්ෂා කිරීමෙන් පසු ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරියට ඉදිරිපත් කරන ලද විදුලි ආරක්ෂණ ප්‍රමිති අනුකූලතාව මොරටුව විශ්වවිද්‍යාලය විසින් සනාථ කර තිබේ.

ඇස්තමේන්තුගත මුදල රුපියල් ලක්ෂ 15ක් වුවත් ගුවන් හමුදා නිලධාරින්ගේ කාර්යක්ෂමතාව නිසාවෙන් රුපියල් ලක්ෂ තුනක් වැනි මුදලකින් එය නිෂ්පාදනය කිරීමට හැකි වීමද ගුවන් හමුදාව ලත් විශාල ජයග්‍රහණයකි. මේ වන විට උපකරණ කට්ටල 50ක් නිෂ්පාදනයට සැලැසුම්කර ඇති අතර සෞඛ්‍ය අංශවල අවශ්‍යතාව අනුව අඛණ්ඩව නිෂ්පාදන කටයුතු සිදු කිරීමටද නියමිතය.

Comments