වසර අව­සා­න­යට පෙර ජන­ග­හ­න­යෙන් තුනෙන් දෙක­කට එන්නත | සිළුමිණ

වසර අව­සා­න­යට පෙර ජන­ග­හ­න­යෙන් තුනෙන් දෙක­කට එන්නත

ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 63%කට හෙවත් ලක්ෂ 135කට පමණ මේ වසර තුළදීම කොවිඩ් එන්නතෙහි මාත්‍රා දෙකම ලබාදීමට රජය කඩිනමින් කටයුතු කරගෙන යන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සිළුමිණට සිකුරාදා ප්‍රකාශ කළාය.

එන්නත්කරණ වැඩපිළිවෙළ යටතේ ඉකුත් සිකුරාදා වන විට 13,98,572ක් එන්නත් ලබා දී තිබේ. එන්නත්කරණය කඩිනම් කිරීම පිණිස ස්පුට්නික් එන්නත් මිලියන 13ක්ද, සයිනොෆාම් එන්නත් මිලියන 10ක්ද ඊට අමතරව ෆයිසර් එන්නත් මිලියන 5ක්ද ඇණවුම් කර ඇතැයි ඇමැතිනිය පෙන්වා දුන්නාය. එයට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම් යටතේ එන්නත් ලක්ෂ 84ක්ද ලැබීමට නියමිතය.

අඩුපාඩුවක්ව පවතින කොවිෂීල්ඩ් එන්නත් ලබා ගැනීම සඳහා ප්‍රංශ සහ ස්වීඩන් තානාපතිවරුන් සමඟ දැනටමත් සාකච්ඡාකර ඇතැයි ඇය කියා සිටියාය. ස්පුට්නික් වී හා සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව සති 4න් ලබා දුන්නද කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දිය යුත්තේ සති 16ත් 17ත් අතර කාලයකදී නිසා පළමු මාත්‍රාව ලබාගත් අය ඒ ගැන කිසිදු ආකාරයක බියක් ඇති කරගත යුතු නැති බවද රාජ්‍ය ඇමැතිනිය අවධාරණය කළාය.

 

 

Comments