පළිඟු පිරි­සිදු කරන්නේ මෙහෙ­මයි | සිළුමිණ

පළිඟු පිරි­සිදු කරන්නේ මෙහෙ­මයි

 

 

පළිඟුවල ඇති විභව ශක්තිය, පරිසරයේ හා එය පලඳින පුද්ගලයා තුළ ඇති සෘණාත්මක ශක්තීන් සමඟ ගැටීම නිසා ශක්තිය හීන වීම හා අපිරිසුදු වීම සිදුවේ. මසකට වරක්වත් ‍පළිඟු හෝ පළිඟු ආභරණ පිරිසිදු කිරීම හා නැවත බලගැන්වීමෙන් නිසි ප්‍රතිඵල ලබා ගත හැකිය. පළිඟු පිරිසිදු කරන ක්‍රම ගණනාවකි. ඒ සඳහා සෑම විටම භාවිත කරන්නේ සොබා දහමේ ශක්තීන්මය. පළිඟු යනු මේ සොබාදහමේ ම නිමැවුමක් නිසා එහි ශක්තීය වැඩි කිරීමේ හැකියාව ඇත්තේ ද සොබාදහමට ය. පළිඟු පිරිසිදු කිරීම සඳහා ජලය, දුම, ලුණු, නාදය සහ අනිකුත් පළිඟු බහුලව භාවිත කෙරේ.

 

ජලය

උල්පත් ජලය නම් වඩාත් සුදුසුය. ළිං ජලය, ගංගා ඇළ දොළ ජලය, වැසි ජලය, හා මුහුදු ජලය ද මේ සඳහා වඩාත් යෝග්‍ය වේ. ස්වභාවික ජලය යොදා ගැනීමට නොහැකි අවස්ථාවල නළ ජලය භාවිත කළ හැකිය. මෙයින් පැහැදිලි කර දෙන්නේ මූලිකවම ගලා යන ජලයෙන් පළිඟුව පිරිසුදු කළ යුතුය යන්නයි. නමුත් සමහර පළිඟු වර්ග ජලයේ දිය වීම නිසා ජලයෙන් පිරිසුදු කළ නොහැක. එවැනි පළිඟු පිරිසුදු කර බලගැන්වීමට අනෙක් ක්‍රමවේද යොදා ගත හැකිය.

 

දුමාරය

පළිඟුවට දුමට ඇල්ලීමද පළිඟු පිරිසිදු කරන තවත් ක්‍රමයකි. Sage පත්‍ර, Palo santo, මස්බැද්ද පත්‍ර, කට්ටකුමංජල්, දුම්මල, Lavender,Frankincenseවැනි ප්‍රබල පිරිසුදුකාරක ගුණ ඇති මෙවැනි දෑවලින් සේම වෙනත් ඕනෑම දුමාරයකින් ද පළිඟු පිරිසුදු කර බලගැන්විය හැකිය. අප ඉහත කී ජලයෙන් පිරිසුදු කර ගත නොහැකි පළිඟු මෙම ක්‍රමය භාවිත කර පිරිසුදු කර ගත හැකිය.

 

ලුණු ද්‍රාවණය

ලුණු දියර ද පළිඟු පිරිසුදු කිරීමට භාවිත ක්‍රමයකි. ප්‍රබල පිරිසිදු කාරකයක් ලෙස හැඳින්වෙන ලුණු, බටහිර යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලදී සෘණාත්මක බලවේග පලවා හැරීමට හා යම් ස්ථානයකට හෝ යම් භාණ්ඩයකට ආරක්ෂාව සැපයීමට ද භාවිත කරනු ලබයි. එම නිසාම පළිඟුවලට ආසක්ත වන සෘණාත්මක බල ඉවත් කිරීමටද ලුණු දියර භාවිත කළ හැකිය. මේ සඳහා ලුණු ස්වල්පයක් ජලයේ දියකර එම ජලයෙන් පළිඟු සේදීය හැක.

 

නාදය

නාද භාවිතයෙන් ද පළිඟු පිරිසුදු කෙරේ. ඒ සඳහා බහුලව භාවිතවනුයේ singing bowl(නිත්නාද මංජුසාව) ලෙස හඳුන්වනු ලබන උපකරණයයි. එය ටිබෙට් සම්ප්‍රදායට අයත් පූජා භාණ්ඩයක්වන අතර, මෙම මංජුසාව නිර්මාණය කර ඇත්තේ විශේෂ වූ නාද (frequency)නිකුත් කිරීමටය. පුද්ගලයකු සිටින අවකාශය පිරිසිදු කිරීමට, මනස තැන්පත් කිරීමට ආදී කටයුතුවලටද එම විශේෂිතය වූ නාදය උපයෝගී කර ගනු ලබයි. පළිඟු singing bowlඑකකට දමා නාද කිරීමෙන් පළිඟුව අවශෝෂණය කර ගත් සෘණාත්මක ශක්ති ඉවත් කර පළිඟුවට ආවේණික ශක්තිය පමණක් ඉතිරි කරයි.

පිරිසිදුකාරක පළිඟු භාවිතය

පළිඟුවකින් පළිඟු පිරිසිදු කර ගත හැකි විවිධ පළිඟු වර්ග ඇත. ප්‍රබල පිරිසිදු කාරක ගුණ ඇති නොයෙක් පළිඟු සෘණාත්මක ශක්තින් අවශෝෂණය කර නොගනීයි. එම නිසා පිරිසිදු කළ යුතු පළිඟු හෝ පළිඟු ආභරණ එවැනි පළිඟුවක් මත හෝ එවැනි පළිඟුවලින් සැදුම්ලත් කුහරයක් තුළ පැය කිහිපයක් තැන්පත් කිරීමෙන් පිරිසිදු කර ගත හැකිය.

 

(ලබන සතියට - පළිඟු බලගන්වන ආකාර)

 

Comments