හොඳම අධ්‍යා­ප­නය ලැබුවේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවලින් නෙවෙයි සමා­ජ­යෙන් | සිළුමිණ

හොඳම අධ්‍යා­ප­නය ලැබුවේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවලින් නෙවෙයි සමා­ජ­යෙන්

 

 

මේ රටේ මානව සම්පතේ විපුලත්වය ලෝකයට දැක්විය හැකි ආදර්ශ බොහෝය. ඒ ආදර්ශ අතර අපට හමුවිය හැකි සුවිශේෂී සමාජීය මිනිසා ඔහු විය හැකිය. පරිපාලකයෙක්, සමාජීය ජීවිතයේ යථාව පරිශීලනය කරමින් ලෝකයක් හැඩ ගස්වන්නට තමන්ගේම ක්‍රමයක් සොයා ගත් නිර්මාණශීලී මනුෂ්‍යයෙක්, සියල්ලටම ඉහලින් වැජඹුන ගුරුවරයෙක් වූ ජේ්‍යෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග ගැන ශාස්ත්‍රීය ලෝකයේ නොදන්නා අයෙක් නොවෙති.

 

මේ වනවිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපතිවරයා ඔහුය. ඔහු දෙවතාවක් ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ උපකුලපති ධූරය දැරූ පරිචය ඇත්තෙකි. දශක තුනක සරසවි අධ්‍යාපන පරිපාලනය තුළ නායකත්වයේ විවිධ භූමිකා ප්‍රායෝගික කළ නායකයෙකි. පුරා වසර හැටක් තුළ දිවෙන ජයවර්ධනපුර සරසවි ඉතිහාසයේ වැඩබලන උපකුලපතිවරු ගැන නොසලකා උපකුලපති ධූරයට පත් වූ ප්‍රථමයා ලෙස ඉතිහාස ගතවූවෙකි. ජපාන රජයෙන් විදේශිකයෙක් වෙත පිරිනැමෙන උසස්ම සම්මානයෙන් පිදුම් ලද ශ්‍රී ලාංකිකයෙකි.

‘රසඳුන‘ වෙනුවෙන් ඒ බරසාර මනුෂ්‍යයා සමඟ කෙරුණු දුලබ පිළිසඳරට සිය මනරම් අතීතය සිහි කරමින් අමරතුංගයෝ සිය කතාව අපට කියන්නට වූහ.

“මගේ ගම් පළාත තමයි බත්තරමුල්ල. මට මතක කාලයේ ඇත්තටම එය දියවන්නා ඔයට මායිම් වෙච්චි හරිම සුන්දර ගමක්. අපේ පවුලේ හිටියේ මමයි මල්ලියි නංගියි. මගෙ සීයලා කෑගල්ලෙ. ඔවුන් විසින් මේ පරිසරයේ නව ජනාවාස ගොඩනඟන්නෙ එක්දාස් නවසිය හැට ගණන්වල. තාත්තයි අම්මයි මේ ගම්මානවලම හැදී වැඩුණු අය. තාත්තා අධ්‍යාපනය ලබා තිබුණේ ශාන්ත පීතර විද්‍යාලයෙන්. අම්මා දේවි බාලිකා විද්‍යාලයෙන්. ඒ කාලෙ දේවි බාලිකාව කියන්නෙ මේ තියන සුපිරි ඉස්කෝලෙ නෙමෙයි. පොල් අතු මඩුවලින් ආවරණය වුණු ඉස්කෝලයක්. අපි ඒ ජනාවාසේ තුන්වෙනි පරම්පරාව.

මම හෝඩියේ ඉඳන් ගියෙ කොළඹ ආනන්ද විද්‍යාලයට. ඒ ළමා කාලය කියන්නෙ වෙනම චමත්කාරයක්. ඉස්කෝලෙ යන එක පුදුම සතුටක්. බත්තරමුල්ල හන්දියට කිලෝමීටරයක් විතර පයින් ඇවිත් පාසල් බස් එකේ ඉස්කෝලෙ ගියෙ ඉගෙන ගන්න නෙමෙයි, සෙල්ලම් කරන්න.

ඉගෙන ගන්න එක ඒ කාලෙ මගෙ හීනවල කොතැනකවත් තිබුණෙ නෑ. එකම ඉලක්කය වුණේ ක්‍රිකට් ටීම් එකේ සෙල්ලම් කිරීම. මම 12න් පහළ ඉදන් ආනන්ද ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළා. මලල ක්‍රීඩා කළා. ශිෂ්‍යභට කණ්ඩායමේ හිටියා. අතෝරක් නැති යාළුවො තොගයක්. ඉවරයක් නැති දඩබ්බරකම්. ඒ වැඩවල අවසාන ප්‍රකාශනය මවුපියන්ගෙන් එළියට ආවේ කොහොම ද දන්නව ද? අනික් අම්මලා එයාලගෙ පුත්තු මාත් එක් ආශ්‍රය කරනවට බය වුණා. ඒක හරිම අපූරුයි. අම්මලා තහනම දාපු හැමෝම මගෙ හොඳම යාළුවො වුණා. මේ හැමදේම මගෙ අම්මයි තාත්තයි ගත්තෙ හරිම උපේක්ෂාවෙන්. ඔවුන් මාව මෙහෙයවමින් මට නිදහස දුන්නා. මම දන්නෙ නෑ මම ඕලෙවල් පාස් වුණේ කොහොම ද කියලා. ඒ කාලේ පාඩම් කිරීම කියන එක මට මගෙ ජීවිතේ කොතැනකවත් තිබුණ දෙයක් නෙමෙයි. ඒ විශාල පරාසයක සමාජ ආශ්‍රයෙන් යම් බහුශ්‍රැත දැනුමක් මගෙ ජීවිතයට එකතු වුණා. මේ මහා ශාස්ත්‍රීය අධ්‍යාපනයට වඩා මගෙ චරිතය ගොඩනඟන්න අවශ්‍ය පදනම හැදුවේ ඒ දැනුම.“

සම්පත් අමරතුංගයන් යනු අද මේ රටේ කීර්තිමත් ශාස්ත්‍රීය මනුෂ්‍යෙයකි. විද්වතෙකි. සාමාන්‍ය පෙළ සමත්වීම සම්බන්ධව හෝ පාසල් වකවානුවේ විශ්වාසයක් නොතිබුණු සමාජශීලී කෙළි ලොල් නව යොවුන් තරුණයාගේ ජීවිත හැරවුම් ලක්ෂ්‍යය එක්තරා ගුරුවරියකි. ඇය ගැන ඉකුත් සතියේ ලියා තැබුවෙමි. ඇය නන්දනී රණතුංගයන්ය. ලෝක පූජිත ගෞරවනීය ක්‍රිකට් නායක අර්ජුණ රණතුංගගේ මව නන්දනී රණතුංගය. සිය පුතා අධ්‍යාපන කූඩුව තුළ සිර නොකර ක්‍රීඩාව තුළ හැසිරීමට ඉඩ දී ලෝකය දිනාගෙන එන්නට මඟ කියූ නන්දනී ගුරුමව ක්‍රිකට් ක්‍රීඩාවට දියවී නොපෙනෙන්ට ගිය තරුණයෙක් අතින් අල්ලා ගෙනැවිත් ඔහුගේ මඟ මත තබා ලෝකය දිනූ කීර්තිමත් ශාස්ත්‍රඥයෙක් කර ඇති විශ්මය ගැන මම තවම කල්පනා කරමි. මේ සමාජය තවමත් සුවපත් තැනක් කරන්නේ තුන්කල් දකිමින් සිය දරුවන් සේම තමන් ඇසුරටපත් සියලු දරුවන් මෙහෙයවූ එවන් ගුරුවරු අතළොස්සය.

“ මගේ පාසල් ගුරුතුමිය නන්දනී මැඩම්. මගෙ හීනවල කවදාවත් නොතිබුණු විශ්වවිද්‍යාලයට මාව යවන්න ඕන වුණේ එතුමියට. ක්‍රිකට් ඇතුළුව බාහිර ක්‍රියාකාරකම්වල කරවටක් හිටිය මට එතුමිය තමයි කිව්වේ “සම්පත් දැන් මේ සියලු දේ නවත්වන්න“. ඔයාගෙ අනාගතය තියෙන්නෙ මෙතන නෙමෙයි. ඔයා විශ්වවිද්‍යලයට යන්න ඕන කියලා. නන්දනී මැඩම් අපට ආදරය කළෙත් ධම්මිකට, අර්ජුණට, සංජීවට, ප්‍රසන්නට, නිශාන්තට සහ රුවන්ට ආදරය කරන විදිහටම තමයි. කැන්ටින් එකෙන් කෑම කනවට මැඩම් සල්ලි දෙන්නෙ මාසෙ අන්තිමට. එතුමියගෙ නමට මම කෑම කාල ඇති ඕන තරම්. කී දෙනෙක් නම් කනවද. හිතන්න. හය දෙනකුගෙ යාළුවො. කවදාවත් එක වචනයක් කියලා නෑ.

ඒ පෙලඹවීමෙන් මට ඉලක්කයක් ලැබුණා. ජයවර්ධනපුර සරසවියට ගියා. සරසවියෙත් බාහිර ක්‍රියාකාරකම් කළා. ක්‍රිකට් ටීම් එකේ කැප්ටන් මම. මගෙ සමාජශීලී හැසිරීම එක්ක සරසවිය තුළ හැමෝම මගෙ යාළුවො වුණා. ඒ කාලය කියන්නෙ මේ රටේ අතිශයින්ම බිහිසුණු තිරශ්චීන කාලයක්. මම සරසවියෙ දේශපාලනය කළ කෙනෙක් නෙමෙයි. හැබැයි සෑම පාර්ශ­්වයකම දේශපාලනය කරපු ශිෂ්‍ය නායකයො මගෙ හොඳම මිතුරන් වෙලා හිටියා. ගොඩක් දෙනෙක් මැරුණා. සමහරු සිරගත වුණා. සමහරු වද බන්ධනයට ලක් වුණා. ඒ මිත්‍රකම් එහෙමමයි. තවමත් මම ඔවුන් එක්ක ඇසුරු කරනවා. “

මේ අත්දැකීම් එක්ක තමයි මම සරසවි ආචාර්යවරයෙක් විදිහට සේවයට එන්නෙ. එතැන සිට මේ දක්වා ආපු ගමන අවස්ථාව අනුව සුදුසුකම් අනුව ආපු ගමනක්.

මහාචාර්ය අමරතුංගයන් යනු මහා විශාල තාරුණ්‍යයක අත්දැකීම් සහිත චරිතයකි. ඔහු මේ අත්දැකීම් සිය සරසවි ජීවිතය තුළ ප්‍රායෝගික කර තිබුණේ අතිශය විචක්ෂණ ලෙසය.

“ ඒ ජීවිතෙන් ලබපු අත්දැකීම ගැන ආයෙ කියන්නම්. ඒ තමයි සැබෑ දැනුම. කාමරයේ දොර ඇරගෙන එනකොට එන කෙනා ගැන තක්සේරුවක් ගන්න පුළුවන් ඥානයක් මට ඒ අත්දැකීම්වලින් ලැබුණා. මම මහාචාර්යවරයෙක්, ගුරුවරයෙක් විදිහට ගොඩක් ජීවත් වෙන්නෙ තරුණ උගත් ළමයි එක්ක. සමාජය එක්ක ගැටුණු කෙනෙක් විදිහට ඒ අයගෙ ප්‍රශ්න, සමාජ ගැටලු, දේශපාලන සංස්කෘතික ආර්ථික ගැටලු තේරුම් ගන්න මට ඉතාම පහසු වුණා. මම දැඩිව විශ්වාස කරන දෙයක් තියෙනවා. සරසවි ආචාර්යවරයකුගෙ භූමිකාව උගන්වන එක විතරක් නෙමෙයි.

සරසවි දරුවෝ පෙළපාළියකින් ඇවිත් උද්ඝෝෂණ කරද්දි මම කවදාවත් රහස් දොරටුවකින් ගෙදර ගිය උපකුලපතිවරයෙක්වත් විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයෙක්වත් නෙමෙයි. මම මුණගැහෙන්න ළමයි ගාවට ගියා. ගිහින් කතා කළා. ඔවුන්ගේ සෑම ප්‍රශ්නයකටම උත්තර මගෙ ළඟ තිබුණා.

ඒ වගේමයි මම දරුවන්ට හොඳට දඬුවම් කළ උප කුලපතිවරයෙක්. ඒ දඬුවම් කළේ හොඳට හොයලා බලලා. විනිවිද භාවයක් ඇතිව. ඒ දඬුවමින් පස්සෙ පන්ති තහනම් වුණු දරුවගේ ජීවිතය ගැන හොයන සමාජ වගකීමත් මා තුළ තිබුණා. මම දඬුවමක් දුන්න අය යහපත් කල්ක්‍රියාව නිසා දඬුවම් කාලය කලින් ගෙවලා දැම්මා විතරක් නොවෙයි නැවත ඔවුන් මගෙන් දඬුවම් වින්ඳේ නෑ.

මම විශ්විද්‍යාලයෙ ඉද්දි මගේ පුතා ඉගෙන ගත්තෙත් මගෙ විශ්වවිද්‍යාලයේ. මගෙ පීඨයේ. මගෙ පුතාට කවුරුත් කරදර කළේ නෑ. මගේ පුතා කියලා ඔහු මට විශේෂ ශිෂ්‍යයෙක් වුණෙත් නෑ. දැන් පුතා වැඩිදුර අධ්‍යාපනයට මෙල්බර්න් සරසවියට ගිහින් ඉන්නෙ. ඔහුට වයස අවුරුදු 26යි. ඔහු විවාහකයි. මගෙ බිරිය සුනෙත්‍රානි අමරතුංග. කැලණිය විශ්වවිද්‍යාලයෙ කළමනාකරණ පීඨයේ වැඩ කරන්නෙ. මට ගෙදර ඉතාම ප්‍රිය පරිසරයක් හැමදාම තිබුණා. තෘප්තියක් තිබුණා. එය මගෙ වෘත්තීය ජීවිතයට විශාල පදනමක් හදලා දුන්නා.

පරිපාලකයෙක් විදිහට මට කිසිම චෝදනාවක් තිබුණෙ නෑ. දරුවන්ට හැම වෙලාවෙම මගෙ කාමරයෙ දොර ඇරලා තිබුණා. මම පාලනය කළේ ලංකාවෙ විශාලම විශ්විද්‍යාලය. ළමයි දාහතර දාහක් හිටපු විශ්විද්‍යාලය. අම්මා නැතිවුණා. පෙට්ටිය ගන්න සල්ලි නෑ කියලා ඉහේ කෙස් ගානට දරුවො මං ළඟ අඬලා ඇති. මම ඒ අවස්ථාවෙ පෙට්ටි අරන් දීලා තියනවා ආණ්ඩුවෙ සල්ලිවලින්. මොකද මම දන්නවා ඒක අරන් දුන්නා කියලා හිරේ යන්නෙ නැති වග. මම තරුණ ළමයින්ව තේරුම් ගත්තා. මට ඔවුන්ව හදාගන්න පුළුවන් වුණා. “

කතාව ගලාගෙන යන අතරතුර මේ විචක්ෂණ ගුරුවරයාගෙන් අපේ දරුවන් ගැන විමසුවෙමි. අද අපේ දරුවන්ගේ ගැටලුව කුමක්දැයි ඇසුවෙමි. මඳක් නිහඬව සිට ඔහු මේ කතාව කීවේය.

“ ලංකාවේ තියන ලොකුම ප්‍රශ්නය තමයි අපේ ළමයි පැරදිලා නෑ. ඒ අයට එයාලගෙ මවුපියො පරදින්න දීලා නෑ. සමාජ අත්දැකීමක් ගන්න සමාජයට මුදාහැර නෑ. ඔවුන් ජීවිත යථාර්ථයේ එන බිඳවැටීම් පරාජයන් දන්නෙ නෑ. අපිට අද ළමයින්ව පරද්දන්න වෙලා තියෙනව ඒ අත්දැකීම් ලබා දෙන්න.

“පන්තියට වාහනෙන් ගිහින් පන්ති ඇරෙනවෙලාවට වාහෙනන් එක්ක ඇවිත් ඉස්කෝලෙ යවලා හදන ළමයි අසාර්ථකයි. ඒ ළමයි විශ්විද්‍යාලයට එනවා. ඒ තුනක් අරන් එන්නෙ. ඇවිත් සරසවියෙ හැම විභාගයක්ම හොඳට පාස් වෙනවා. ඒත් ඔවුන්ගෙ රස්සාව අසාර්ථකයි. රස්සාව සාර්ථක කරගත්තත් ජීවිතේ අසාර්ථකයි. තමන්ට සුදුසු සහකරුවෙක් හෝ සහකාරියක් සොයාගන්න තරම් සමාජ දැනුමක් නැති තරුණ පිරිස් අපට හමුවෙනවා. ඔවුන්ව සරසවි තුළ දී සමාජීය මිනිසුන් විදිහට හැඩගැස්වීම අප කරලා තියනවා.“

මහාචාර්ය අමරතුංගයන් සිය උසස් අධ්‍යාපනය ලැබුවේ ජපානයෙනි. පුරා වසර හතක් ජපානයේ අධ්‍යාපනය ලද හේ ජපන් බස ශූර ලෙස වහරන්නේය. ජපානයෙන් ලද ජීවිතාදර්ශ සිය වෘත්තීය ජීවිතය තුළ ප්‍රායෝගික කරන්නේය.

“ ජපානයෙ ජීවත් වුණාම මමත්වයනැතිවෙලා ගියා. ඒ ඊගෝ එක නැති වුණාම ජීවිත ගොඩක් පහසු වුණා. මට පියන්ලා නෑ. ක්ලාක්ලා නෑ. මම අවුරුදු හතක් ජපානෙ ජීවත් වුණා. ශිෂ්‍යත්වයක් ලැබිලා. මට ජපානයේ අධිරාජ්‍යයා විසින් විදේශිකයන්ට ජපන් රජය පිරිනමන ඉහළම සම්මානය පිරිනැමුවා. “

මේ විශිෂ්ට මිනිසාට සමුදෙන්නට පෙර අවසන් වශයෙන් මම ඔහුව විමසුවෙමි.

දැන් ඔබතුමාගේ සරසවි වෘත්තීය ජීවිතයට දශක තුනකටත් වඩා වැඩියි. ජීවිතයේ මොනයම් අවස්ථාවක ගැන අතපසුවීමක් පසුතැවීමක් ඇතිවෙලා නැද්දද? ඔහු විශ්වාසයෙන් යුතුව අපට මෙසේ කීවේය.

මම යුතුකම් ඉෂ්ට කරන එක ජීවිත වගකීමක් විදිහට හිතන මනුස්සයෙක්. මම දන්න දේ මෙච්චරයි. මගෙ අතින් කිසි දෙයක් මගඇරිලා නෑ. ආපසු හැරිල බලනකොට මා තෘප්තිමත් මනුස්සයෙක්. පිටරටක ගිහින් කටුනායකට ආවම ඉන්නෙත් මගෙ ශිෂ්‍යයො. ඕනෑම රාජ්‍ය ආයතනයකට ගියත් ඉන්නෙ මගෙ ශිෂ්‍යයො. පිටරට විශ්විද්‍යාලයකට ගියාම මාව පිළිගන්න ඒ සරසවියෙ උපකුලපති සමහර වෙලාවට එවන්නෙ මගෙ ශිෂ්‍යයෙක්. මිනිහෙකුට මීට වඩා දෙයක් තියෙන්න විදිහක් නෑ .

ඒ හඬ රැවු දෙනු අසා සිටියෙමි.

 

Comments