තුන්වන ලෝක යුද්ධයේ ප්‍රධානම අවිය එන්නතද? | සිළුමිණ

තුන්වන ලෝක යුද්ධයේ ප්‍රධානම අවිය එන්නතද?

•කොවිඩ් ව්‍යාප්තියේ මධ්‍යස්ථානය දකුණු ආසියාවට

•වසර හතක් අඛණ්ඩව එන්නත්කරණයෙන් කොවිඩ්වලට තිත

මේ වන විට මුළු ලෝකයම කොවිඩ්වලින් ආරක්ෂාවීමේ අභියෝගයට මුහුණ දී සිටී. එන්නත් කිහිපයක්ම වයිරසයට සාර්ථකව ප්‍රතිචාර දක්වා ඇති අතර ඒ අතරින් එන්නත් පහක් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවී තිබේ. ලොව පුරා රටවල් තම ජනතාවට හැකි අන්දමින් එන්නත් ලබා දෙමින් සිටින නමුත් තවමත් මරණ අනුපාතය ඉහළ යමින් තිබේ. වයිරසය දිනෙන් දින නව ප්‍රභේද සාදමින්, වර්ධනය වෙමින් සිටින අතර මිනිසාට දැවැන්ත අභියෝගයක් එල්ල කරමින් සිටී. ඒ අනුව කවුරුන් කෙසේ කීවද මේ මුළු ලෝකයම එක්ව එකාවන්ව මුහුණ දෙන අභියෝගයක් වන බව සැබෑය. මීට පෙර මුළු ලොවටම එකවර එලෙස දැනෙන වාතාවරණයක් උද්ගත වූයේ නම් ඒ පළමුවන සහ දෙවැනි ලෝක යුද්ධයයි. එබැවින්ම මේ තුන්වැනි අවස්ථාව තුන්වැනි ලෝක යුද්ධය ලෙස හැඳින්වීම අතිශයින් සාධාරණය.

 

වයිරසය ලෝකය පුරා පැතිරීම ආරම්භ වූ පසුගිය වසරේදී රටවල් මුහුණ දුන් ප්‍රධානතම අභියෝගය වූයේ වයිරසයෙන් ආරක්ෂා වීම සහ ආර්ථිකය පවත්වා ගැනීමයි. එහෙත් මේ වන විට තත්ත්වය වෙනස් වී ඇත්තේ එන්නත්වල ආගමනය සමඟිනි. දැන් රටරටවල් තම ජනතාව වෙනුවෙන් එන්නත් ලබා ගැනීමේ තරගයට මුහුණ දී සිටින්නේ අන් කවරදාටත් වඩා ලෝකයේ රටවල් අතර දුප්පත් සහ පොහොසත් බේදය මතු කරමිනි.

රුසියාව වැනි රටවල් තමන් සොයාගත් එන්නත් තම රටේ ජනතාවට ලබා දෙන අතරම එම එන්නත් අලෙවි කරමින් සිටී. එන්නත් සොයා ගැනීමට ධනය ආයෝජනය කළ ඖෂධ සමාගම් ධනවත් රටවල ඉල්ලුම් සම්පාදනය කරමිනි සිටී. දරුණුතම අභියෝගයට මුහුණ දී සිටින්නේ දුගී රටවල ජනතාවයි. ඔවුන් එන්නත් හිඟයකින් මෙන්ම දරුණු ජීවිත අවධානමකින් ද පෙළෙති.

මේ වන විටත් ඖෂධ නිෂ්පදාන සමාගම් අති විශාල ලෙස එන්නත් නිෂ්පාදනය කරමින් සිටියත් එය සමස්ත ලෝකයෙන් එකවර ලැබෙන අති විශාල ඉල්ලුම සම්පාදනය කිරීමට කොහෙත්ම ප්‍රමාණවත් වී නැත.

මේ වන විට ලෝකයේ ධනවත් රටවල් තම ජනතාවගෙන් සැලකිය යුතු ප්‍රමාණයකට එන්නත් ලබා දී තිබේ. ඒ අනුව සියයට 75 ඉක්මවා තම ජනතාවට එන්නත් ලබා දී ඇති බැවින් රාත්‍රී සමාජ ශාලා විවෘත කිරීම දක්වා කටයුතු කිරීමට බ්‍රිතාන්‍ය මේ වන විට කටයුතු යොදමින් සිටින බව වාර්තා වේ. බ්‍රිතාන්‍ය වයිරස ප්‍රබේදය හඳුනා ගැනීමෙන් පසුව මහා රැල්ලක් සේ බ්‍රිතාන්‍ය හරහා පැතිර ගිය කොවිඩ් වසංගතයට බ්‍රිතාන්‍ය මුහුණ දුන්නේ ඉතා බුද්ධිමත් ලෙස රට වසා දමමිනි. අගමැති බොරිස් ජොන්සන් ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘ඉවසා සිටින’ ලෙසයි. එමෙන්ම එන්නත් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවූ මොහොතේ සිට තම ජනතාවට එන්නත් කිරීම ඇරඹූ බ්‍රිතාන්‍යය එය සිදුකළේ ඉතා විධිමත් ක්‍රියාපිළිවෙළක් ඔස්සේ බවද සඳහන් කළ යුතුය.

ඇමරිකාවද එසේම කටයුතු කළ අතර මේ වන විට ඔවුන් වයස අවුරුදු 15- 12 අතර වයස් ඛාණ්ඩයේ පසුවන දරුවන් සඳහාද ෆයිසර් එන්නත අනුමත කර තිබේ. දැනට තම ජනගහනයෙන් වැඩිම ප්‍රතිශතයකට එන්නත් ලබා දුන් රටවල් අතර ඉදිරි රටවල් දහය අතරට එක්වීමට දකුණු ආසියාවේ ඉතා කුඩා දූපත් රාජ්‍යයක් වන මාලදිවයිනට හැකියාව ලැබී තිබීම පුදුම සහගතය. එම රටවල් අනුපිළිවෙළින් ගත් කළ සී ෂෙල්ස්, ඊශ්‍රායෙල්, එක්සත් අරාබි එමිරේට්ස්, සැන් මැරීනෝ, බහරේන්, චිලී, මාලදිවයින, බ්‍රිතාන්‍ය, ඇමරිකාව, මාල්ටා, හංගේරියාව යනාදී වශයෙන් වේ.

මේ අතර ලොව රටවල් රාශියක් මේ වන විට දිනෙන් දින වර්ධනයවෙමින් පැතිරෙන කොවිඩ් වසංගතයේ දැඩි ප්‍රහාරයන්ට මුහුණ දෙමින් සිටින අතර ලෝකයේ දරුණුතම කොවිඩ් වාතාවරණය මේ වන විට දකුණු ආසියාවෙන් වාර්තා වෙමින් තිබේ. ඉන්දියාව ප්‍රධානව අසල්වැසි පකිස්තානය, නේපාලය, බංග්ලාදේශය මෙන්ම ශ්‍රී ලංකාවද මේ කනගාටුදායක තත්ත්වයට මුහුණ දෙමින් සිටී. පසුගියදා එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය මේ රටවලින් පැමිණෙන ගුවන් යානා තහනම් කළ අතර මේ රටවල් තම ජනතාවට ප්‍රමාණවත් එන්නත් නොමැතිව පීඩාවට පත්ව සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කර තිබේ.

මේ වන විට ඉන්දියාව කොවිඩ් ආසාදිතයන් මිලියන දහයකින් පමණ ඇමරිකාවට වඩා පසුපසින් සිටියද බොහෝවිට ආසාදිතයන් සංඛ්‍යාවෙන් ඇමරිකාව පසුකර යෑමට ඉන්දියාවට හැකියාව ලැබෙනු ඇතැයි සිතිය හැකිය. එසේ වන්නේ මේ වන විටත් දෛනිකව අති විශාල ආසාදිතයන් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වෙමින් තිබෙන බැවිනි. පකිස්තානයද මේ වන විට ආසාදිතයන් ලක්ෂ අට ඉක්මවා වාර්තා කරමින් ලෝක කොවිඩ් සටහනේ 28වැනි ස්ථානයේ පසුවන්නේය.

බංග්ලාදේශය ආසාදිතයන් ලක්ෂ හත ඉක්මවා වාර්තා කරමින් ලෝක කොවිඩ් සටහනේ 33වැනි ස්ථානයේ පසුවන්නේය. නේපාලය ලෝක කොවිඩ් සටහනේ 45වැනි ස්ථානයේ පසුවන්නේ ආසාදිතයන් ලක්ෂ 4 ඉක්මවා වාර්තා කරමිනි.

මේ අනුව දකුණු ආසියාව මේ ගෙවී යන මොහොත වන විට සමස්ත ලෝකයේ වැඩිම කොවිඩ් ආසාදිතයන්ගේ වර්ධනයක් පෙන්වන කලාපය බවට පත්ව තිබේ. මේ රටවල් අතරින් බහුතරය තම ජනගහනයෙන් සියයට එකකට හෝ එන්නත් ලබා දීමට අපොහොසත්ව සිටීම ද විශේෂ කරුණකි. ඉන්දියාවේද තත්ත්වය තවමත් පාලනය කර ගැනීමට එරට බලධාරීන් හැකියාවක් ලැබී නැති අතර දෛනිකව ලක්ෂ හතර ඉක්මවූ ආසාදිතයන් සංඛ්‍යාවක් සහ දෛනිකව හාරදහස ඉක්මවූ මරණ සංඛ්‍යාවක් වාර්තා කරමින් සිටී.

කෙසේ වුවද එන්නත හැර වෙනත් ප්‍රතිකර්මයක් කොවිඩ් සම්බන්ධයෙන් නොමැති බව මේ වන විට සමස්ත ලෝකයේ පිළිගැනීම බවට පත්ව ඇති අතර යුරෝපා රටවල් මේ වන විට තම ජනතාවට එන්නතේ තුන්වැනි මාත්‍රාවක්ද ලබා දීමට කටයුතු යොදමින් සිටින බව වාර්තා වේ. ඉන්සපු වසරක් පාසා වසර හතක් පමණ දක්වා අඛණ්ඩව එන්නත් ලබා ගැනීම මඟින් කොවිඩ් වයිරසය පරාජය කළ හැකි බව වි‌ශේෂඥයන්ගේ මතය වී තිබේ.

Comments