කෑගල්ල, ගලිගමුවේ නොනි­දන නග­ර­ය සදහටම නිදියයි | සිළුමිණ

කෑගල්ල, ගලිගමුවේ නොනි­දන නග­ර­ය සදහටම නිදියයි

 

දේශීය හා විදේශීය සංචාරක ආකර්ෂණය වැඩිදියුණු කිරීමේ අරමුණින් කෑගල්ල දිස්ත්‍රික්කයේ පැය විසිහතර පුරා විවෘතව පවතින වෙළෙඳපොළක් ස්ථාපිත කිරීම සඳහා ‘‘නොනිදන නගරයක්‘‘ ඉදිකිරීමට මුල්ගල තැබෙන්නේ 2018 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදීය. මේ සඳහා ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෝයගොඩ ග්‍රාම නිලධාරි වසමේ පිහිටි කෑගල්ල වැවිලි සමාගමට අයත් අටාල වත්තෙන් අක්කර තිහක භුමියක් පවරා ගැනීමට යෝජිතව තිබිණි.

කෑගල්ල දිස්ත්‍රික්කයෙහි ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන සඳහා ස්ථාවර වෙළෙඳපොළක් නැතිවීම, බොහෝ නිෂ්පාදන නිමි භාණ්ඩ වශයෙන් වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට හැකියාව තිබියදී අමුද්‍රව්‍ය වශයෙන් වෙළෙඳපොළට ඉදිරිපත් කිරීම, අමුද්‍රව්‍ය ඒකාධිකාරයක් පවත්වාගත හැකි රබර් වැනි නිෂ්පාදනවල මිල ඉතා පහළ අගයක් ගැනීම, පවතින නිෂ්පාදන ආශ්‍රිත අමුද්‍රව්‍ය සඳහා ඉහළ මිලක් ගෙවීමට සිදුවීම මෙන්ම සංචාරක ආකර්ෂණ ස්ථාන පැවතුණ ද කෑගල්ල සංචාරක නවාතැන්පොළක් වශයෙන් භාවිතයට නොගැනීම යන කරුණු මෙවැනි නොනිදන නගරයක අවශ්‍යතාව වශයෙන් හඳුනාගෙන ඇත.

 

විවෘත කිරීමෙන් තෙවසරකට පසුව අදද ඇත්තේ

මුල්ගල පමණයි

 

කෑගල්ල දිස්ත්‍රික්කයෙහි අපනයනකරුවන් සඳහා මේ නොනිදන නගරය අන්තර් වෙළෙඳපොළ හුවමාරු මධ්‍යස්ථානයක් බවට පත්කිරීමත්, ඒ වනවිට 6.9% ක්ව පැවැති කෑගල්ල දිස්ත්‍රික්කයේ සේවා වියුක්තිය 2020 වනවිට 2%කින් අඩු කිරීමත්,7.1%ක්ව පැවති දිස්ත්‍රික්කයේ දිළිඳුකම 2020 වනවිට 1%කින් අඩුකිරීමත් මෙම නොනිදන නගරයෙහි අරමුණු අතර විය. එමෙන්ම දිස්ත්‍රික්කයේ ප්‍රධාන කෘෂිකාර්මික නිෂ්පාදන ලෙස කැපූ මල්, බිම්මල්, රබර්, කිතුල් නිෂ්පාදන සහ කුළුබඩු සඳහා ශ්‍රී ලංකාවේ අපනයන ප්‍රතිශතයෙන් 15%ක් හිමිකර ගැනීමත් කෑගල්ල දිස්ත්‍රික්කය දේශීය හා විදේශීය සංචාරක ආකර්ෂණය වැඩිදියුණු වූ සංචාරක නවාතැන්පොළක් බවට පත්කිරීමත් ඒ අරමුණු අතර පැවතිණි.

කෘෂිකාර්මික නිෂ්පාදන‍ පරිශ්‍රයෙහි ආහාර කුටි, පලතුරු වෙළෙඳසැල්, කිරි ආශ්‍රිත නිෂ්පාදන හා ආහාර සැකසුම් කලාපයන්ද, නිමි භාණ්ඩ පරිශ්‍රයෙහි අත්යන්ත්‍ර රෙදිපිළි නිෂ්පාදන හා තොග වෙළෙඳපොළක්ද, සේවා සහ දැනුම් කේන්ද්‍රස්ථානයෙහි පැය විසිහතර පුරා විවෘතව පවතින බැංකු, වාහන සේවා ස්ථාන, රූපලාවණ්‍යාගාර, මානසික හා ශාරීරික සුවතා ස්ථාන, ආයුර්වේද හා පංචකර්ම සත්කාරක සේවා, නවීකරණය කළ උත්සව ශාලා සහ ග්‍රහලෝකාගාරයකින්ද ,සංචාරක ආකර්ෂණ ස්ථාන ලෙස පෙර දසුන් දර්ශනතල (pre shoot locations) සංගීත කලාප, ක්‍රීඩාගාර, පිහිනුම් තටාක, කුඩා ප්‍රමාණයේ සත්වෝද්‍යානයක්, මින් මැඳුරක්, ළමා උද්‍යානයක්, 9D සිනමා ශාලා මෙන්ම ව්‍යාපාර ප්‍රතිඅපනයනය සඳහා කේන්ද්‍රස්ථානයක් ලෙස මෙම නොනිදන නගරය තුළ ස්ථාපිත කිරීමට යෝජිත පරිශ්‍ර විය.

හරිත සංකල්පය යටතේ සියලුම යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමටත්, ඉවතලන අපද්‍රව්‍යවලින් විදුලිය බලය නිපදවීමටත්, සංචාරකයන් සඳහා විදුලි බලයෙන් ක්‍රියාත්මක වන වාහන යෙදවීමටත්, මෙහිදී යෝජනාවී තිබිණි. සංචාරකයන් ස්ථාපිත වනතෙක් ආසන්න සංචාරක ස්ථානවල සිට නොමිලයේ ප්‍රවාහන පහසුකම් සැලසීමටත්, සංචාරකයන් සඳහා නවාතැන් ගැනීමට සුදුසු මට්ටමේ ගෘහාශ්‍රිත සංචාරක නිවාස (home stay) ඇතිකිරීමට හා වැඩිදියුණු කිරීමටත් තවදුරටත් යෝජිතව තිබිණි.

2018 වසරේ සැප්තැම්බර් 30 සිට වසර තුනකට ආසන්න කාලයක් ගතවුවද අද වනවිටත් එහි දක්නට ඇත්තේ එවකට පැවැති යහපාලන රජයේ මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් විවෘත කරන ලද සමරු ඵලකය පමණි. මෙම නොනිදන නගරය කෑගල්ලේ ඉදිකිරීමට මූලිකව ක්‍රියා කළ එවකට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති වත්මන් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය ඒ සම්බන්ධයෙන් පවසන්නේ මෙබන්දකි.

“නොනිදන නගරය මෙම ප්‍රදේශයේ ඉදිකිරීමට අපි කල්පනා කළේ කෑගල්ල දිස්ත්‍රික්යේ මධ්‍ය වගේ ප්‍රදේශයක් ලෙසින් ගලිගමුව සලකා බැලීමෙන් අනතුරුවයි. එයින් සමස්ත කෑගල්ල දිස්ත්‍රික්කයටම එහි ප්‍රතිලාභ බෙදී යනවා.

එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංචාරක ස්ථාන දෙක ලෙස ගැනෙන වයිට් වෝටර් රාෆ්ටින් සඳහා ලෝක පූජිත වූ කිතුල්ගලත්, පින්නවල අලි අනාථාගාරයත් අතරමැද සංචාරකයන්ට මේ ස්ථාන දෙකටම ගමන්මග පහසු නිසා. එසේම නොනිදන නගරය එක් ස්ථානයකට පමණක් සීමා නොවීමත් සලකා බලා මේ ස්ථානය තෝරා ගත්තා. ඊට අමතරව රජයේ ඉඩම් සම්බන්ධයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ විශාල ගැටලුවක් තිබෙනවා. එහිදී පවරා ගැනීමට හැකි ප්‍රධාන මාර්ගයක් සමීපයේ රජයේ ඉඩමක් ලෙස වතු සමාගම සතුව අවශ්‍ය ඉඩම් ප්‍රමාණය එතැන තිබෙනවා.

කෑගල්ල දිස්ත්‍රික්කයේ මල්, අත්කම්, පලතුරු වැනි දේ සඳහා හොඳ අලෙවි මධ්‍යස්ථානයක් හා සමහර දේ නිෂ්පාදනය කරන මධ්‍යස්ථානයක් ලෙස මෙය පත්කර ගැනීමට සැලසුම් කළා. මෙම ආයතනයේ කොටස්කරුවන් බවට පත්වන ලෙසට අපි එම වැවිලි සමාගමටත් යෝජනා කළා. මෙහි මුල් අදියර වශයෙන් ගලිගමුව ප්‍රාදේශීය සභාවට අයත් අදාළ මාර්ගය සංවර්ධනය කිරීමට අවශ්‍ය මුදල් ලබා දුන්නා. ඉන් අනතුරුව තමයි එහි වැඩ නතර වුණේ.

පින්නවල හා කිතුල්ගල සංචාරක මධ්‍යස්ථාන දෙකටම සාධාරණය ඉටුකරන්න ඕනෑ. මේ ස්ථාන දෙකටම දැනටමත් සංචාරකයන් එනවා.

නොනිදන නගරයක්

එවැනි පරිසරයක්

ඇති ස්ථානයක ස්ථාපිත වීම

වඩා වැදගත්

 

එම ස්ථාන දෙක පාදක කරගෙන කෑගලු දිස්ත්‍රික්කය තුළ තවත් ස්ථානයක් ඉදිරියට ගැනීමටයි අපි අපේක්ෂා කළේ. එවකට හිටපු දිසාපතිතුමා වෙනම කමිටුවක් පත්කරලා දීර්ඝ සොයා බැලීමක් කරලා ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු අදාළ සියළු බලධාරින්ට වාර්තා ඉදිරිපත් කළා.

නව රජයේ පත්වීමත් සමඟ මේ ගැන අපිට කතා කරන්න අවස්ථාවක් එළඹුණේ නැහැ. අවස්ථාවක් ලැබුණොත් ජනාධිපතිතුමාට හා අගමැතිතුමාට කරුණු දක්වන්න මම බලාපොරොත්තු වෙනවා. නමුත් නව රජය පත්වන විටත් පැවති කොවිඩ් අර්බුදයත් සමඟ මේ කාරණාව නැවත අවධානයට යොමුවන අවස්ථාවක් එළඹුණේ නැහැ.‘‘

නව රජයේ සෞභාග්‍යයේ දැක්ම සමඟ කෑගල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධනය සඳහා රාජ්‍ය ඇමැති කනක හේරත් ‘‘කෑගල්ලත් හදමු‘‘ යනුවෙන් සංවර්ධන සැලැස්මක් ඉදිරිපත් කළේය. ඒ අනුව මෙවැනි නොනිදන නගරයක් පින්නවල අලි අනාථාගාරය හා සතුන් වත්ත ආශ්‍රිතව ඉදිකිරීමට එමඟින් සැලසුම් කර ඇත. ගලිගමුව ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිතව තිබූ නොනිදන නගරය සම්බන්ධයෙන් කනක හේරත් රාජ්‍ය අමාත්‍යවරයා අදහස් දක්වන්නේ මෙලෙසිනි.

“ නොනිදන නගරය කියලා පසුගිය ආණ්ඩුව ගලිගමුවේ මුල්ගල් තිබ්බාට ඒක ඒ ප්‍රදේශයට ගැළපෙන්නේ නැහැ. අපේ දිස්ත්‍රික්කයේ සංචාරකයන්ගේ ගමන් මාර්ගය තිබෙන්නේ එක පැත්තකින් පින්නවල අලි අනාථාගාරය පසුකර කුරුණෑගලට හෝ මහනුවරටයි. එහෙම නැතිනම් කිතුල්ගල හරහා උඩරටටයි. ඉතින් මේ දෙකටම ගලිගමුව අයිති නැති නිසයි ඒක සාර්ථක නොවුණේ. අපේ ඉලක්කය තමයි සංචාරකයන් දවසක් හෝ දෙකක් පින්නවල රඳවා ගැනීම. ඒ සඳහා පින්නවල නොනිදන නගරයක් ලෙසින් සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. පින්නවල නවතින සංචාරකයන් කෑගල්ලේ අනෙකුත් දර්ශනීය හා පෞරාණික ස්ථාන වෙත ආකර්ෂණය කරගැනීමටත් අපි ඒ යටතේ වැඩපිළිවෙලක් සකස් කරනවා.‘‘ මේ නොනිදන නගරය සම්බන්ධයෙන් අප කෑගල්ල දිසාපති මහින්ද එස්. වීරසූරියගෙන්ද විමසූවෙමු.

‘‘නොනිදන නගරය ලෙස ගලිගමුව සාර්ථක වූවේ නැහැ. නොනිදන නගරයක් කීවාම ඇත්තටම එවැනි පරිසරයක් ඇති ස්ථානයක ස්ථාපිත වීමයි වඩාත්ම වැදගත්. නොනිදන නගරයකට සංචාරක ව්‍යාපාරය ඉතාම වැදගත් වෙනවා. දේශීය හා විදේශීය සංචාරකයන් වැඩි වශයෙන්ම පැමිණෙන කෑගල්ල දිස්ත්‍රික්කයේ සංචාරක කේන්ද්‍රස්ථානය තමයි පින්නවල අලි අනාථාගාරය, සතුන් වත්ත හා ඉපැරණිගම ආශ්‍රිත කලාපය. අනෙක් ස්ථානය වන්නේ කිතුල්ගල ගඟ ආශ්‍රිත කලාපය.

නොනිදන නගරය

පින්නවල ආශ්‍රිතව ඉදිකිරීමේ නව යෝජනාවක්

 

නොනිදන නගර කලාපය දැනටම සැලසුම් කරලා ක්‍රියාත්මකව තිබෙන නිසා අපි අදහස් කළා පින්නවල සංචාරක කලාපය ආශ්‍රිතව ක්‍රියාත්මක කරන්න.එහිදී මාඔය ආශ්‍රිත ඔයෙන් එගොඩ ඉඩම් පවරා ගැනීමට මේ වනවිටත් කටයුතු කර තිබෙනවා. පින්නවලට කේබල් කාර් ව්‍යාපෘතියකුත් යෝජනාවී තිබෙනවා. පින්නවල දිවා කාලයටත් දේශීය හා විදේශීය සංචාරකයන් මෙන්ම පාසල් සිසුන්ගේ ආකර්ෂණීය ස්ථානයක්. අපට තිබෙන ගැටලුව ‍විදේශීය හා දේශීය සංචාරකයන් පින්නවල රාත්‍රී කාලයේදී නොරැඳීමයි.

අලි අනාථාගාරය නරඹා ඔවුන් රාත්‍රිය ගත කිරීමට මහනුවරට හෝ දඹුල්ල වැනි නගරයකට යනවා.මෙම නොනිදන නගරය පින්නවල ස්ථාපිත කිරීමේ අරමුණ මෙම සංචාරකයන් දිනක් හෝ දෙකක් එහි නවත්වා ගැනීමයි. ඒ සඳහා අවශ්‍ය හෝටල් පහසුකම් දැනටමත් පින්නවල තිබෙනවා. සංචාරක ව්‍යාපාරයේ දියුණුවටත් එය හේතුවක්. ඒ සමඟම දැනට ඉදිවෙන අධිවේගී මාර්ගයටත් රඹුක්කනින් පිවිසුමක් තිබෙනවා.

එමෙන්ම උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන ප්‍රධාන දුම්රිය ස්ථානයක්. ඉදිරියේදී සංචාරකයන් වෙනුවෙන්ම පින්නවල දක්වා දුම්රිය මාර්ගයක් පවා ඉදිකළ හැකියි.

සංචාරක අමාත්‍යාංශය, සංචාරක අධිකාරිය හා සබරගමුව පළාත් සංචාරක අමාත්‍යාංශයට මේ සම්බන්ධ වාර්තා යොමුකර මේ වසරේ සැලසුම් සමඟ ක්‍රියාත්මක වීමට අපේක්ෂා කරනවා. ගලිගමුවේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ නොනිදන නගරයේ කටයුතු ප්‍රායෝගිකව සාර්ථකවූ බවක් පෙනෙන්න නැහැ.

පින්නවල සංවර්ධනය කළ විට ඊළඟ ගමනාන්තය ලෙස කිතුල්ගල සංවර්ධනය කළ හැකියි.

නොනිදන නගරයක් ලෙස පිටරට වුවත් කඩසාප්පු හා විවිධ සේවා සපයන ආයතන තිබෙන්නේ මහාමාර්ගය හා අතුරු මාවත් දෙපසයි. තායිලන්තය, වියටිනාමය වැනි රටවල් ඊට උදාහරණ ලෙස දැක්විය හැකියි. කෘත්‍රිමව අපට වෙළෙඳපළක් හදන්න බැහැ.

පින්නවලට එන විදේශීක සංචාරකයන් ගලිගමුවට ගෙනයන්න අපහසුයි. පින්නවල නොනිදන නගරයට සමගාමීව කඩුගන්නාව මාර්ගය දෙපස වෙළෙඳසැල් නවීකරණය කිරීමටත්, බතලේගල වැනි කඳුපන්ති නැරඹුම් වේදිකාවක් නිර්මාණය කිරීමටත් අපේක්ෂිතයි. පින්නවල රාත්‍රියක් දෙකක් නවතින සංචාරකයන්ට කෑගල්ල දිස්ත්‍රික්කයේ ‍ඵෙතිහාසික හා පුරාවිද්‍යාත්මක ස්ථාන නැරඹීමටත්, බෝගල පතල වැනි ස්ථාන නැරඹීමටත් අවස්ථාව උදා කරදීමත් මෙම වැඩසටහනට ඇතුළත් වෙනවා.‘‘

 

Comments