යක්ක­ල­මුල්ල පොලී­සිය යකා නැටූ හැටි | සිළුමිණ

යක්ක­ල­මුල්ල පොලී­සිය යකා නැටූ හැටි

පොලිස් නිලධාරින් විසින් සාමාන්‍ය සිවිල් පුරවැසියන්ට පහර දීමේ සිද්ධින් පසුගිය කාලයේ විටින් විට වාර්තා විය. මෙකී පහරදීමේ සිද්ධීන් වෙනදා මෙන් වසන් කළ නොහැකිය. මක්නිසාදයත් තාක්ෂණයේ ඇති දියුණුවත් සමඟ ඒ සියල්ල ක්ෂණයෙන් සමාජ මාධ්‍යජාල හරහා ප්‍රචාරය වන බැවිනි. රථවාහන රාජකාරියේ යෙදි සිටි පොලිස් නිලධාරියකු විසින් මහමඟදී සිවිල් පුරවැසියකුට පහරදිමේ සිද්ධියක් මිට මාස දෙක තුනකට ඉහතදි වාර්තා විය. එකී පහර දීම පිළිබඳ සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වූයේ ක්ෂණයකිනි.

 

අප මේ කියන්නට යන්නේද සිවිල් පුරවැසියකුට යක්කලමුල්ල පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් කළ පහර දීමක් ගැනය. මෙසේ පහරකෑමට ලක්වුයේ 33 හැවිරිදිවියේ පසවු ගාල්ල නාකියදෙණිය අලුත්වත්ත ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. පහරකෑමට ලක්වු තරුණයා කේ. ඩබ්ලිව්. සිසිර කුමාරය. සිසිර අවිවාහකයෙකි. හේ වටලප්පන් පුඩින්, නිෂ්පාදනය කොට අලෙවි කිරිමේ ව්‍යාපාරයක් කරගෙන ගියේය. සිසිරගේ මිතුරකු විසින් මාකුඹුර ප්‍රදේශයේ කොමියුනිකේෂන් එකක් පවත්වා ගෙන ගියේය. සිසිර ද ඉඩ ලැබුණු හැම අවස්ථාවකදීම එම ආයතනයට පැමිණ තම මිතුරාට උදවු පදවු කළේය. දිනය ඉකුත් 09 වැනිදින එදින රාත්‍රියේ සිසිර තම මිතුරාගේ කොමියුනිකේෂන් එක වෙත පැමිණියේය. එහි සේවය කරණ උදේෂ් නැමති මිතුරා නිවසට ඇරලවා සිසිර C විටමින් පෙති කිහිපයක් ලබාගැනීම සඳහා යක්කලමුල්ල නගරයේ පිහිටි ඔසුහල වෙත ගියේය. එහිදි සිසිරට මුහුණදීමට සිදුවූයේ අනපේක්ෂිත සිද්ධියකටය.

‘ඒ ඔසුහලේ හිමිකරු මගේ හිතවතෙක්. මම ඔහුත් සමඟ කතාබස් කරමින් සිටින අතරේ රතිඤ්ඤා පත්තුකරන ශබ්දයක් ඇසුණා. ඔසුහලේ හිමිකරු මට කීවා මල්ලි මොකක්ද කියලා බලන්න කියලා. මම එළියට ගිහින් බැලුවා. ඔසුහලේ අයියාත් එළියට අවා. මල්ලි පොඩි ප්‍රශ්නයක් අපි යමු ඇතුළට කියලා ඔහු කීවා. අපි දෙදෙනා ඔසුහල ඇතුළට ගියා. ඕ.අයි. සි. මහත්තයා මාරුවෙලා ගිහින් තියෙනවා. කොල්ලෝ එකට තමයි ඔය රතිඤ්ඤා දමනවා ඇත්තේ කියලා ඔසුහලේ අයියා මට කීවා. ඒ මනුස්සයා හොඳ මනුස්සයෙක්; අපිට නම් කිසිම වරදක් වෙලා නැහැ කියලා මා ඔසුහලේ අයියාට කිවා. මම බෙහෙත් ලබා ගනිමින් සිටින විට පොලිසියේ ඉදලා සිවිල් ඇඳුමින් සැරසුණු දහ පහළොස් දෙනෙකු විතර එනවා දැක්කා. පාරේ පාපැදියකින් යමින් සිටි අයකුට පොලිස් නිලධාරීන් පහර දෙනවා. ඒ ගහන එක දැකලා මම අන්න අයියේ මොකක් හරි දෙයකට හසුවු මනුස්සයකුට පොලිසියෙන් ගහනවා කියලා මම කෑගහලා කිවා.

පොලිස් නිලධාරින් අන්න තව එකෙක් ඉන්නවා කියලා මා දෙසට ආවා. මගේ කමිසයෙන් අල්ලාගෙන උඹත් රතිඤ්ඤා දැම්මා නේද කියලා මගෙන් ඇසුවා. ඔසුහලේ අයියා මට කීවා ඇතුළට වරෙන් වරෙන් කියලා. ඔහු පොලිස් නිලධාරින්ට කීවා මෙයා මගේ කස්ටමර් කෙනෙක් කියලා. මාව අල්ලාගෙන ඔසුහලෙන් එළියට අරගෙන ගිහින් රතිඤ්ඤා දැම්මාද කියලා මගේ අත්දෙක ඉඹලා මට පහර දුන්නා. ඒ සමඟ මම දුරකථන ඇමතුමක් ගෙන මගේ කොමියුනිකේෂන් එකේ මිතුරාට මට පොලිසියෙන් පහර දෙනවා කියන විටම එහි සිටි පොලිස් නිලධාරියකු මගේ ජංගම දුරකථනය උදුරාගත්තා. පසුව පොලිස් නිලධාරීන් මගේ කොණ්ඩයෙන් අල්ලාගෙන මාව පොලිසියට අරන් ගිහින් පහර දෙනවා. උඹ රතිඤ්ඤා දමනවා දැකලා තියෙනවා කියලා පොලිස් නිලධාරියකු මට කිව්වා. මම කිව්වා, අපි එළියට එද්දි කිසිවෙක් එතන හිටියේ නැහැ රතිඤ්ඤා පත්තුවන ශබ්දය විතරයි ඇහුණෙ කියලා මම පොලිසියේ රාලහාමි කෙනෙක්ට කිව්වා. හෙල්මට් එකෙන් මගේ හිසට ගැහුවා. මට ගහන්න එපා කියලා මම වැඳලා කිව්වා.

පොලිසියේ අමානුෂික ප්‍රහාරයට ලක්වූ
නාකියදෙනියේ සිසිර කුමාර

පස්සේ මාව කුඩුවට දැම්මා. උඹ හයිකොට් යවනවා; ඇයි රතිඤ්ඤා දැම්මේ කියලා ඇසුවා. මම කිසිම වැරද්දක් කරලා නැහැ; ඔසුහලේ දිමුතු අයියාගෙන් අහන්න; ඔසුහලේ සී.සී.ටී. වි කැමරා තියෙනවා; ඒ කැමරා බලන්න කියලා මම කිව්වා. පස්සේ දිමුතු අයියා පොලිසියට ඇවිත් කැමරාවල තිබූ දර්ශන පොලිස් නිලධාරින්ට පෙන්නුවා. විඩියෝ ටික පෙන්වුවාට පසුවවත් මා හිතුවේ මාව එළියට දමාවි කියලා. මට අමාරුයි; මගේ ඇග රිදෙනවා; මාව එළියට දමන්න කියලා මම කිව්වා. විඩියෝවේ ඉන්න රාලහාමි මට බාම් එකක් හා පැනඩොල් පෙති දෙකක් ගෙනවිත් දුන්නා. ඔහු ඒ අවස්ථාවේ තේරුම් ගත්තා වැරදීමක් වුණා කියලා. නමුත් මාව එළියට දැම්මේ නැහැ. පොතේ ලියලා තියෙන්නේ ඒ නිසා එළියට දමන්න බැහැ කියලා කිවා උදේ වෙනකම් කුඩුවට වෙලා හිටියා. පස්සේ පොලිස් නිලධාරීන් තේරුම් ගත්තා වැරදිමක් වුණේ කියලා. මොකක්ද කරන්න ඕන කියලා ඔවුන් මගෙන් ඇසුවා. මම අසාධාරණ විදියට තමයි ගුටි කෑවේ. ඉදිරියට මේ වගේ දේවල් නොවෙන්න වැඩකරන්න ඕන කියලා මම කිව්වා. පස්සේ පොලිස් නිලධාරින් කිව්වා නිරෝධායන නීතිය යටතේ නඩු දමන්න පුළුවන් කියලා. මම මුඛ ආවරණ පැළඳ හිටියේ. මා කලහකාරිලෙස හැසිරිලා නැහැ. මා නිරෝධායන නීතිය කඩකරලා නැහැ කියලා මම කිව්වා. පස්සේ මම ඇවිත් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් වුණා.

මට පහර දුන් පොලිස් නිලධාරීන්ගේ රක්ෂාව නැති කරන්න මට අවශ්‍ය නැහැ. මා ඉල්ලන්නේ වරද පිළි අරගන්න කියලයි. මේ වගේ දේවල් ඉදිරියේ දි නොවෙන්න හා අපිට කරදරයක් නොවෙන්න වැඩකරන්න ඕන නිසා. අලුතෙන් ආපු ඕ.අයි.සි මහත්තයා මේ ප්‍රශ්නය ගැන දන්නේ නැතිව ඇති. මා කිසිදු නිතිවිරෝධි ක්‍රියාවක් කරලා නැහැ. කැමරා තිබු නිසා තමයි මම නිවැරදි වුණේ. ගාල්ල පොලිස් අධිකාරි කාර්යාලයට ගිහින් මා සාක්ෂි ලබා දුන්නා. මේ ගැන දැන් පරික්ෂණයක් කරනවා‘

ඒ සිසර කියන කතාවයි.

යක්කලමුල්ල පොලිසියේ ඇතැම් ක්‍රියාවන් පිළිබද පසුගිය කාලයේ යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ ද දැඩි ලෙස විවේචනයට ලක්විය. යක්කලමුල්ල ප්‍රාදේශිය සභාවේ සභාපති. යු.ජි පියදාස ඒ ගැන කිව්වේ මෙවැන්නකි.

මේ පහරදීම ඉතා අසාධාරණයි; වැරදිසහගත ක්‍රියාවක්. පහරකෑමට ලක්වූ තරුණයා අහිංසක අයෙක්. වෙන දෙදෙනකු රතිඤ්ඤා පත්තුකොට ඇති බව කියනවා. ඕ.අයි. සි මහත්තයාගේ සිද්ධියට රතිඤ්ඤා පත්තු කළා කියලා පහර දෙන්න අයිතියක් නැහැ. යක්කලමුල්ල පොලිසිය පසුගිය කාලයේ වදකාගාරයක් බවට පත්වෙලා තිබුණා. යක්කලමුල්ලේ රාජ්‍ය අපරාධකාරයන් නැහැ. ගොවිතැනක් කරගෙන ජීවත්වෙන අය තමයි වැඩිපුර ඉන්නේ. ඒ අය ළඟ තියෙන තුවක්කු කෑලි ගෙනවිත් තුවක්කු ඇල්ලුවා කියා පත්තරවල දා ගත්තා. තිරිසන් විදියට පහරදීම සම්බන්ධව මානව හිමිකම් නඩු කිහිපයක්ද තියෙනවා. ඒ සිද්ධිවලට විරුද්ධව තමයි සභාවේ මන්ත්‍රිවරු අදහස් ප්‍රකාශ කළේ. එවාට පරික්ෂණ සිදුවුණේ නැහැ. මාරුකරපු ඕ.අයි.සි මහත්තයා සම්පුර්ණ සේවා කාලයම හිටියා. යක්කලමුල්ල පොලිස් රාජ්‍යයක් වෙන්න දෙන්න බැහැ. මහජන නියෝජිතයකුට අයිතියක් තියෙනවා වැරදි පෙන්වලා දෙන්න. මේ පොලිසියේ අවංකව රාජකාරි කරන ඉතා හොඳ මහත්තවරුත් ඉන්නවා. මේ සිද්ධිය පිළිබඳ අපක්ෂපාති පරික්ෂණයක් කරාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. යැයිද සභාපතිවරයා කීවේය.

ඒ කොයිහැටි වුවද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාගේ හිතවතුන් ප්‍රකාශ කරන්නේ පොලිස් ස්ථානාධිපතිවරයා කිසිදු බලපෑමකට යටත් නොවී නීතියට අනුව රාජකාරි කළ බවය. ඔහු අවංකව සිය රාජකාරිය අකුරටම කළ අයකු බවද ඔවුහු පවසති. පසුගිය කාලයේ යක්කලමුල්ල පොලිස් බල ප්‍රදේශය තුළ නිති විරෝධි ගිනි අවි විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම පහරදීම පිළිබඳ අප යක්කලමුල්ල පොලිසියෙන් කළ විමසුකමදී එහි ප්‍රකාශකයකු සඳහන් කළේ කිසිදු පහරදීමක් සිදුවී නැති බවය. නිරෝධායන නීතිරීති යටතේ මුඛ ආවරණ නොමැතිව මොහු ඔසුහලේ රැඳී සිටි නිසා පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කළ බවය.

මේ පිළිබඳ විමර්ශනයක් සිදුකරන බවද පොලිසිය පවසයි. ගාල්ල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විකුම් ගිණිගේ කළ විමසුමකදී ඔහු සඳහන් කළේ මේ පිළිබඳ තොරතුරු මාධ්‍ය ප්‍රකාශකවරයාට ලබා දී ඇති බවය.

මේ පිළිබද සොයා බලා ඔය කියන ආකාරයේ සිද්ධියක් වී ඇත්නම් ඒ පිළිබඳ පරික්ෂණයක් කිරීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

ජාතික පොලිස් කොමිසම් සභාවේ සභාපති චන්ද්‍ර ප්‍රනාන්දුගෙන් මේ පිළිබඳව අප කළ විමසුමකදී ඔහු සඳහන් කළේ මේ පිළිබඳ පැමිණිල්ලක් තවමත් පොලිස් කොමිසමට ලැබී නැති බවය.

Comments