සාම­සර ඛේදවාචකයට වසර 5යි | සිළුමිණ

සාම­සර ඛේදවාචකයට වසර 5යි

 සුරේකා නිල්මිණී ඉලංගකෝන්  පසුබිම් වාර්තා සහ ඡායාරූප  ඩබ්ලිව්. රෝහණ, බුලත්කොහුපිටිය සමූහ 

 

ලෝකයම ගෝලීය වසංගතයකින් පීඩා විඳිමින් සිටියදි තවත් බොහෝ මිනිසුන් සොබාදහමේ අරියාදුවලින් ද පීඩා විඳිති. මෑත කාලයේ මෙරට සිදුවූ ස්වාභාවික ව්‍යසන ගැන සිහි කරද්දී 2016 වසරේ මැයි මස 17 වැනිදා සිදුවූ අරණායක සාමසර කන්ද නාය යෑම අමතක කළ නොහැකිය. අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එළඟිපිටිය ග්‍රාම නිලධාරි වසමටත් දෙබත්ගම, පල්ලෙබාගේ ග්‍රාම නිලධාරි වසමටත් මැදිව පිහිටි සාමසර කඳු මුඳුනේ අක්කර ගණනාවක්ම ඇත්තේ තේ වගාවන්ය. ඊට අමතරව සාදික්කා සහ කුරුඳු ද එහි අතරින් පතර වගාකොට තිබිණ. සාමසර කන්ද පාමුල දිවි ගෙවූ ජනතාවගෙන් තවත් පිරිසකගේ ජීවනෝපාය වූයේ කුඹුරු ගොවිතැනයි. කිරි ගවයන්, එළුවන් සහ කුකුළන් ඇතිකිරීමෙන් තවත් පිරිසක් දිවි රැක ගත්හ.

 

වසර ගණනාවක් මුළුල්ලේ ඒ ජනතාවගේ සියලු දුක් සංකා දරාගනිමින් නොසැලී හුන් සාමසර කන්ද වියරු වැටී තම හිස මතටම කඩා වැටෙතැයි ඔවුහු සිහිනෙනුදු නොසිතන්නට ඇත.

දින කිහිපයක් තිස්සේ කෑගල්ල දිස්ත්‍රික්කයට ඇද හැලුණු මහ වැසි අවසන් වූයේ සාමසර කන්ද නාය යෑමෙනි. ඒ හේතුවෙන් පවුල් 178කට උන්හිටි තැන් අහිමි විය. ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ වාර්තා අනුව අධි අවදානම් කලාපයේ ජීවත් වූ පවුල් 571ක් වෙනත් ස්ථානයක පදිංචි කළ යුතු බව හඳුනා ගැණින. නායයෑමත් සමඟ සාමසර කන්ද ප්‍රදේශය ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් අවදානම් සහිත ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ඒ අවට ජීවත් වූ පවුල් 2000ක් පමණ ඉවත් කිරීමට සිදු විය. ඒ අනුව වසන්තගම, දෙබත්ගම කලුගල වත්තේ, හබලක්කාව, අඹදෙණියවත්ත වේරගොඩ , තල්ගස්පිටිය පණපුරවත්ත, දුල්දෙණිය වත්ත සහ රුවන්දෙණිය උඩවිහාරතැන්න ආදී ප්‍රදේශවල නිවාස ඉදිකර විපතට පත් ජනතාව සහ අවදානම් කලාපයේ ජීවත් වූ ජනතාව යළි පදිංචි කරවීමට කටයුතු කෙරිණ.

සාමසර කන්ද නාය ගොස් වසර පහක් ගතවී ඇත. නාය ගිය සාමසර කන්ද කිසිත් නොවූවා සේ අදත් විරාජමානව සිටියද එහෙත් නායයෑමෙන් ඉතිරි වූ සලකුණු අද ද කන්දේ තැනින් තැන දැකගත හැකිය. සාමසර කන්ද පාමුල ජීවත් වූ ජනතාව දැන් ජීවත් වන්නේ තැන්තැන්වල විසිරීය. ඔවුන්ගේ වත්මන් ජන ජීවිතය කෙසේ වීදැයි සොයා බැලීමේ අරමුණු ඇතිව අප ඔවුන් නැවත පදිංචි කළ ගම්මාන කරා ගියෙමු.

වසන්තගම පදිංචිව සිටින රංජනී අමරලතා තම ජීවිත කාලය තුළදී මුහුණ දීමට සිදුවු ඒ ව්‍යසනය පිළිබඳ මතකය අවදි කළේ තවමත් රිදුම් දෙන හදවතිනි.

සාමාසර කන්දෙන් ආපදාවට ලක්වූවන්ට සෑදූ නව නිවාස

“ අපි පදිංචි වෙලා හිටපු පල්ලේලේබාගේට ගොඩක් දුරින් තමයි සාමසර කන්ද තිබුණේ. නායයාමක් ගැන අපිට හිතාගන්නත් බැරිවුණා. එහෙම අත්දැකීමකට අපි මීට කලින් මුහුණ දීලා තිබුණේ නැහැ. මැයි 17 වැනිදාට කලින් දින කිහිපයක් හොඳටම වැස්සා. එදත් වැස්සා. හවස එක පාරට ප්ලෙන් එකක් කඩා වැටෙනවා වගේ ශබ්දයක් ඇහුණා. අපි ජනේල්යයෙන් බලන කොට කන්ද උඩින් ගස් පෙරළීගෙන එනවා දැක්කා. මම දරුවොත් එක්ක එවෙලමෙ අපේ ඥාති ඉන්න අලපලාවෙලට ගියා. මහත්තයා ගෙදර හිටියා. කන්දේ පස් ඇවිල්ලා ඇළවල් හරස් වෙලා අපේ ගෙවල් ඒ මඩ එක්ක ආපු වතුරට යටවෙලා තිබුණා. අපිට ඉතුරු වුණේ ඇඳි වත විතරයි. අනිත් සේරම මඩවලට යට වෙලා ගියා. අන්තිමට මහත්තයායි මමයි දරුවොයි අලපලාවෙල ඉඳන් වියන්ඔලිය කඳවුරට ආවා. එතනින් පස්සේ උස්සාපිටිය සංස්කෘත මධ්‍යස්ථානයේ හිටියා. පස්සේ වසන්තගමට කූඩාරම් හදාගෙන ආවා. ගෑනු ළමයි එක්ක එහෙම ඉන්න බැරි නිසා කුළියට වෙන ගෙදරකට ගියා. ඊටපස්සේ ගේ හදාගෙන වසන්තගමට ආවා. අද අපිට ආදායම් මාර්ගයක් නැහැ. අපි ඉස්සර වත්තේපිටියේ වගා කරලා ජීවත් වුණේ.”

ඒ. ජී. රංජනී ට ද ඒ දවස අද මෙන් මතකය.

“අපි පදිංචි වෙලා හිටියේ එළගිපිටිය, සිරිපුර ප්‍රදේශයේ. එදා 17 වැනිදා හවස මමයි මහත්තයයි දුවලා තුන්දෙනයි මගෙ කසුන් පුතා එක්ක එයාගේ යාළුවෙක්ගෙ ගෙදර යන්න ගෙදරින් පිටත් වෙනකොටම ගෙවල් ළඟ පුතාගේ යාළුවෙක් පුතාට කතා කරලා කිව්වා කසුන් අපේ ගෙට වතුර ආවා, ඒ ටික එළියට ඇදගන්න එන්න කියලා. ඒ නිසා පුතා නැවතුණා. පුතා නැවතුණ නිසා මහත්තයාත් නැවතුණා; පුතා එක්ක එන්නම් කියලා. මමයි දුවලායි අපිට එන්න කියපු පුතාගේ යාළුවගේ ගෙදරට යනවාත් එක්කම විශාල ශබ්දයක් ඇහුණා. ලොකු දුව කෑගැහුවා අපේ ගෙවල් යට වෙලා කියලා. මට පුතායි මහත්තයයි මතක් වුණා. පුතාට කෝල් එකක් ගත්තම පුතා කිව්වා වතුර ටික ඇදලා එන ගමන් කියලා. ඒ නිසා මගේ හිතේ තිබුණු බය නැති වුණා. ඒත් අපි රෑ 8 විතර වෙනකල් හිටියත් පුතයි, මහත්තයයි ආවේ නෑ. කට්ටිය කීවා පහළට යන්න ඇති කියලා. 18 වෙනිදාත් කඳවුරුවල බැලුවා පුතායි මහත්තයායි හිටියේ නෑ. අද වෙනකලුත් නෑ. පස්සේ අපි රාජගිරි පාසලේ කඳවුරේ ඉඳලයි වසන්තගමට ආවේ. දැන් අපිට ජීවත් වෙන්න ක්‍රමයක් නෑ. මමයි මහත්තයයි නුවර මහත්තයෙක්ගේ තේ වත්ත වැඩ කරලා ජීවත් වුණේ. අපිත් ඉඩම් අක්කර බාගයක කරාබු, තේ, ගම්මිරිස්,පොල්,පුවක් හැමදේම වගාකරලා තිබුණු නිසා කිසි අඩුපාඩුවක් තිබුණේ නැහැ. අද මම කුලී වැඩ කරලා ළමයි තුන්දෙනා නඩත්තු කරන්නෙ. දරුවො දෙන්නෙක් තවම පාසල් යනවා.”

වියරු වැටී නාය ගිය සාමසර කන්ද ඊ. ගුණසේන ගේ ජීවිතය ද බොහෝ වෙනසකට ලක්කර ඇත. ඔහු ඒ ගැන කීවේ මෙවැන්නකි.

“සාමසර කන්දේ සිරිපුර ප්‍රදේශයේ අපි ජීවත් වුණේ. සිරිපුර කියන්නේ බොහොම සශ්‍රීක ප්‍රදේශයක්. ඕනෑම දෙයක් හැදෙනවා. මටත් තිබුණා අක්කර 4 ක් තේ, පොල්, කරාබු හැම දෙයක්ම වවලා තිබුණා. මසෙකට ලක්ෂ දෙකක් විතර ආදායම් ගත්තා. ඒ ඔක්කොම අපිට නැතිවුණා. සිරිපුර පාරවල් මුලින්ම කැපුවේ අපේ අත්වලින්. අපිට සමෘද්ධියත් නෑ. පර්චස් 10කට කොටුවෙලා ඉන්නවා. වගා කරන්න ඉඩම් අක්කරයක්වත් ලැබෙනවා නම් ලොකු දෙයක්. ”

විපතට පත් ජනතාව නඟන මැසිවිලි පිළිබඳ අප අරනායක ප්‍රාදේශීය ලේකම් Z.A.M. ෆයිසල් ගෙන් විමසුවෙමු. ඔහු ඒ පිළිබඳ මෙසේ කීවේය.

“අරනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සාමසර කන්ද ආශ්‍රිතව සිදුවූ නාය යාමෙන් මරණ 123ක් සිදුවූ බවට වාර්තා වී තිබෙනවා. ඉන් හඳුනා ගත්තේ 22ක් පමණයි. අනෙක් අය අතුර­ුදහන්. ඒ අයත් මියගිය අයසේ සලකා වන්දි මුදල් ප්‍රදානය කිරීමට කටයුතු කර තිබෙනවා. පවුල් 14ක කිසිම කෙනෙක් නැහැ. 2016 මැයි මස 17 වැනිදා සාමසර කන්ද නාය යෑමට අමතරව ගංතුන උඩගම, කුමාරපුර, ගල්බොක්ක,දීවෙල (උඩගම) ආදි ප්‍රදේශවල නිවාස 72 ක් සම්පූර්ණයෙන්ම විනාශ වුණා. මීට අමතරව අරනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අධි අවදානම් පවුල් 586 ක් හඳුනා ගත්තා. අර්ධ හානි නිවාස 152 ක් වාර්තා වුණා. මියගිය අය වෙනුවෙන් රුපියල් එක් කෝටි දහතුන් ලක්ෂයක් ගෙවා තියෙනවා. අධි අවදානම් හා නායයාමෙන් අවතැන් වූවන් සඳහා වසන්තගම පවුල් 55 ක්, කලුගල පවුල් 74 ක්, හබලක්කාව පවුල් 52 ක්, දූල්දෙණිය පවුල් 16 ක්, තල්ගස්පිටිය,පනපූරවත්ත (මුස්ලිම් වසම) පවුල් 28ක් ,වේරගොඩ වසමේ අඹදෙණිය වත්ත පවුල් 54 ක් , තල්ගමුව වසමේ ගම්මලේවත්ත පවුල් 37 ක්, රුවන්දෙණිය වසම වීදියමන්කඩ පවුල් 23ක් හා රුවන්දෙණිය වසමේ උලු විහාරතැන්න(චීන මිත්‍රත්ව ගම්මානය) පවුල් 59 ක් පදිංචිකර තිබෙනවා. අවතැන් ජනතාව වෙනුවෙන් එම නිවාස ව්‍යාපෘති සඳහා යටිතල පහසුකම් සියල්ල සියයට අනුනවයක් සම්පූර්ණ කර තිබෙනවා.”

බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාව වෙනුවෙන් රජය විසින් ගෙන ඇති පියවර පිළිබඳව බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් ජේ.එම්. රම්‍යා ජයසුන්දර ද පැහැදිලි කිරීමක් කළාය.

“2016 මැයි මස 17 වැනි දින සිද්ධියෙන් බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුද්ගලයන් 17 දෙනෙකු මිය ගොස් තිබෙනවා. බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් 27 න් 26 ක ආපදා සිද්ධීන් වාර්තා වුණා. අධි අවදානම් පවුල් 455 ක් සඳහා නිවාස අවශ්‍යාතව 591 ක් වුණා. ඔවුන් වෙනුවෙන් රජයේ මැදිහත්වීමෙන් ඉඩම් ලබා ගෙන වෑගල්ල වසමේ කරදවත්තේ පවුල් 28ක් හා මානන්ගල වත්තේ පවුල් 23 පදිංචි කළා. මහරංගල්ල වසමේ ලප්පාන ගම්මානයේ පවුල් 27ක් ද, කිරිපෝරුව වසමේ අංක එක කොටසේ පවුල් 15 හා අංක දෙක කොටසේ පවුල් 19 පදිංචිකර තියෙනවා. පුස්පනේ ග්‍රාම සේවා වසමේ උඩගොඩ වසා දැමූ රජයේ පාසල් ඉඩමේ පවුල් 2 ක් හා කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උදුගොඩ වසමේ යටිදෑරිය වත්තෙහි බුලත්කොහුපිටිය කොට්ඨාසයේ පවුල් 11 ක් පදිංචි කර තියෙනවා. පදිංචිකරුවන් වෙනුවෙන් යටිතල පහසුකම් සියයට අනු නවයක් පමණ මේ වනවිට සම්පූර්ණ කර තියෙනවා.”

කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය ද පැවසුවේ සමස්තයක් ලෙස ජනතාව පදිංචි කළ ස්ථානවල යටිතල පහසුකම් සියයට අනු නවයක් ලබා දී තිබෙන බවයි.

එහෙත් එම ප්‍රදේශවල පදිංචි වී සිටින ජනතාව වැඩි දෙනකු මැසිවිලි නඟන්නේ සාමසර කන්ද නාය යෑමෙන් පසුව ඔවුන් වෙනත් ගම්වල පදිංචි කළද එහි ඔවුන්ගේ ජීවනෝපාය මාර්ග සකස් වී නැති බවයි. වගා කළද අස්වැන්න වෙළෙඳපොළට ගෙනඒම සඳහා නිසි මාර්ග පහසුකම් නැතිකමින් තමන් අපහසුතා විඳින බව ලීලාගම වැසියෝ කිහිපදෙනකුම අප සමඟ පැවසූහ.

අරකොටවැල්ල ද එම විපතින් පීඩාවට පත්වූ තවත් පිරිසක් නැවත පදිංචි වී සිටින ගම්මානයකි. “ අපිට රජයෙන් ඉඩම්, ගෙවල් හදාගන්න මුදල් ආධාර,ජල විදුලිය හැමදේම ලැබුණා. මාවනැල්ල ප්‍රාදේශීය ලේකම්තුමිය මැදිහත් වෙලා ඒ හැමදේම අපිට ඉතා ඉක්මනින් ඉටුකර දීම ගැන අපි එතුමියට ස්තුතිවන්ත වෙනවා. නමුත් මෙහේ විවිධාකාර ප්‍රශ්න තිබෙනවා. කලින් අක්කර ගාණක ඉඩම්වල වගාකරගෙන නිදහසේ ජීවත් වුණු මිනිස්සු මේ ගම්වල එකතැනකට කොටුවෙලා ඉන්නේ. ඒ වගේම විවිධ ප්‍රදේශවලින් ආව පවුල් 150කට ආසන්න පිරිසක් දැන් මෙහේ පදිංචි වෙලා ඉන්නවා. ඒ නිසා විවිධ සමාජ තලවල හිටිපු අය එක තැනකට එකතු වුණාම තියෙන ප්‍රශ්න මෙහෙත් අඩු නැතිව තියෙනවා. පන්සලක් හදලා ආගමික පරිසරයක් ඇති කළොත් මෙහේ තියෙන සමාජ ප්‍රශ්නවලට යම් විසඳුමක් ලැබෙයි කියලා හිතනවා. ඒ වගේම ගමේ ජනතාවගේ ආර්ථිකය දියුණු කරන්න ඕන. ඒ සඳහා කර්මාන්තපුරයක්වත් මේ අවට හැදෙනවා නම් හොඳයි”

ගමේ වැඩිහිටියකු එසේ කීවේය.

හත්ගම්පොල ඉස්කොලේ හන්දිය ද මධ්‍ය අවදානම් කාණ්ඩයට අයත් වන අතර ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතන විසින් එහි සවි කර ඇති පුවරුවේ සඳහන් වන්නේ ආරක්ෂිත ස්ථානයක් වෙත ඉවත් වීමේ මාර්ගය නාය යන ප්‍රදේශය හරහා වැටී ඇත්නම්, වර්ෂාපතනය පැය 24ක් තුළ මිලිමීටර් 150ට හෝ පැයක් තුළ මිලිමීටර් 75ක සීමාවට ළංවීමට ප්‍රථම අනාරක්ෂිත ස්ථානයෙන් ඉවත් වන ලෙසටය. එම ඉස්කෝලේ හන්දියේ ත්‍රිරෝද රථ නැවතුමේ සිටින තිස්ස වීරසිංහ, තුසිත නිශාන්ත යන අයටද නායයෑම නිසා පවුල්වල සාමාජිකයන් අහිමි කොට ඇත. සොබාදහම විසින් ඔවුන්ට බොහෝ දේ අහිමි කළද ඔවුහු උපේක්ෂාවෙන් ජීවිතයට මුහුණ දීම අගය කළ යුතුය.

ප්‍රදේශයේ මහජන නියෝජිතයකු වන සමන් ඇතුගලට ද සාමසර කන්ද නායයෑම නිසා ඥාතීන් විසිඑක් දෙනකු අහිමි වී තිබේ. එපමණක් නොව එදා එකට සිටි ගමේ ඇත්තන් අද ජීවත් වන්නේ ගම්මාන කිහිපයකය. “ගෙවල් හදලා වෙනත් තැන්වල පදිංචි කළාට හැම ප්‍රශ්නයක්ම විසඳිලා නැහැ. මේ ජනතාවට තියෙන ලොකුම ප්‍රශ්නෙ නාය යෑමත් එක්ක වගාබිම් විනාශ වීම නිසා ජීවනෝපාය අහිමිවීමයි. ඒ නිසා ඇතිවෙලා තියෙන ආර්ථික ප්‍රශ්නවලට විසඳුමක් ලබාදෙන්න නම් රැකියා ප්‍රශ්නය විසඳිය යුතුයි. ඒ නිසා රැකියා ලබාදීමේදී ඔවුන්ට ප්‍රමුඛතාව ලබාදෙන්න කියලා රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ගම්වල තියෙන මාර්ග ප්‍රශ්නත් විසඳන්න පුළුවන්නම් ඔවුන්ගේ ප්‍රශ්නවලින් සියයට පහනකටම විසඳුම් ලැබෙනවා.” යැයි ඔහු කීවේය.

සාමසර කන්ද දැන් නම් නිසොල්මනේය. එහෙත් එදා සාමසර කන්දේ උමතු වියරුව අත්විඳි හදවත්වලට අදත් වැස්සක පෙර නිමිති පහළ වන විට එදා හිතට දැනුණු භීතියම දැනෙන බව ඔවුහු වේදනාවෙන් සිහිපත් කරති.

Comments