රටම බිත්ති හතරකට කොටු කළ කොරෝනා | සිළුමිණ

රටම බිත්ති හතරකට කොටු කළ කොරෝනා

- ජුනි 04 සිකුරාදා පැය 3ක් ඇතුළත පමණක් කොළඹට වාහන 62,235ක්
- පසුගිය දින 14 තුළ දකුණු ඇමෙරිකාවේ සහ දකුණු අප්‍රිකාවේ සංචාරය කළ මගීන්ට මෙරටට ඇතුළු වීම තහනම්
- ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ 1,600 ඉක්මවයි
- මැයි මාසයේදී පමණක් මරණ 776ක් සහ ආසාදිතයන් 75,000ක්
- දිස්ත්‍රික්කයක් තුළ වැඩිම දෛනික ආසාදිතයන් 2 වැනිදා ගම්පහින්- ආසාදිතයන් 1004ක් 
- අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආසාදිතයන් ලක්ෂය ඉක්මවයි

ලොව පුරා පුද්ගලයන් මිලියන 172ක් ආසාදිතයන් බවට පත්කර මිලියන 3.7කට දිවි අහිමි කළ කොවිඩ් 19 ගෝලීය වයිරසය ආසාදිත ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව මෙම සති අන්තය වන විට දෙලක්ෂයකට ආසන්න වී තිබුණි. මේ වන විට වයිරසයේ ශීඝ්‍ර ව්‍යාප්තියක් දැකිය හැකි අතර ඉකුත් 3 වැනිදා මෙරට දිස්ත්‍රික්ක 25න්ම ආසාදිතයන් වාර්තා වීම විශේෂත්වයකි. ඉකුත් 2 වැනිදා දිස්ත්‍රික්කයකින් හඳුනාගත් වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වූ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ඒ ආසාදිතයන් සංඛ්‍යාව 1,004කි. 

ඉකුත් 2 වැනිදායින් අවසන් වූ දින 10ක කාලය තුළ මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 296 ක් වාර්තා වූ අතර සති අන්තය වන විට මරණ 1600 ද ඉක්මවා තිබුණි.

එසේ වුවද දිවයින පුරා පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් ඉදිරියේදී කොවිඩ් ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාත්මක අඩුවීමක් බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේය. මේ අතර හැටන් ගාමිණිපුර ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයකුගේ පවුලේ සාමාජිකයන් 11 දෙනකුට වයිරසය ආසාදනය වීමේ පුවතක් ඉකුත් 4 වැනිදා වාර්තා විය.

මීට අමතරව තලවාකැලේ, කටුකැලේ වතුයායේ කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයකුගේ පවුලේ සාමාජිකයන් 13 දෙනකුට ද වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වූයේ වයිරසයේ ශීඝ්‍ර ව්‍යාප්තියට නිදසුන් දක්වන්නා සේය.

එන්නත්කරණය තවත් දිස්ත්‍රික්ක 12කට

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන ලබන 8 වැනිදා සිට තවත් දිස්ත්‍රික්ක 12ක ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය. එම දිස්ත්‍රික්ක වන්නේ මාතලේ, නුවරඑළිය,කෑගල්ල, ත්‍රිකුණාමලය, හම්බන්තොට, බදුල්ල, අනුරාධපුරය, පුත්තලම, අම්පාර, මඩකලපුව, මොනරාගල සහ පොළොන්නරුවයි. එම දිස්ත්‍රික්කවල කොවිඩ් අවදානම වැඩි ග්‍රාම සේවා වසම්වල වයස 60ට වැඩි පුද්ගලයන්ට, ගැබිනි මවුවරුන්ට හා රජයේ සේවකයන්ට එන්නත් ලබාදීමේදී ප්‍රමුඛතාව හිමිවනු ඇත. බස්නාහිර පළාතෙන් පසු කුරුණෑගල, මාතර, ගාල්ල, රත්නපුර,යාපනය සහ මහනුවර යන දිස්ත්‍රික්කවල එන්නත්කරණ වැඩසටහන මේ දිනවල ක්‍රියාත්මක වේ.

අධි අවදානම් ගැබිනි මවුවරුන්ටත් කොවිඩ් එන්නත

කොවිඩ් ආසාදිතව මියගිය මෙරට 7 වැනි ගැබිනි මරණය ද ඉකුත් 1 වැනිදා කළුබෝවිල රෝහලෙන් වාර්තා වූ බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ මාතෘ හා ළමා සෞඛ්‍ය අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා පැවසුවාය. බෝවන රෝග පිළිබඳ උපදේශක කමිටුව විසින් ගත් තීරණයකට අනුව ගැබිනි කාන්තාවන් සඳහා චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත ලබාදීමට නියමිත බව ද ඇය සඳහන් කළාය. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඒ සඳහා චක්‍රලේඛය සකස් කරමින් සිටින බවත් එන්නත ලබාදීමේදී සංකූලතා සහිත මවුවරුන්ට ප්‍රමුඛතාව ලබාදීමට නියමිත බවත් වෛද්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය. 

ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළට

දැනට රෝහල්ගතව ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉකුත් සතිය තුළ සියයට 120කින් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ අනාවරණ කරයි.රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කොවිඩ් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ දත්තවලට අනුව ඉකුත් මැයි 27 වැනිදා වන විට රෝහල්වල සිටි ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 149කි. මැයි 28 වැනිදා වනවිට එම සංඛ්‍යාව 230 දක්වාත් මැයි 29 වැනිදා වන විට එම රෝගීන් සංඛ්‍යාව 237 දක්වාත් මැයි 30 වැනිදා වන විට 310 දක්වාත් ඉහළ ගොස් තිබුණි. මැයි 31 වැනිදා වනවිට එම රෝගීන් සංඛ්‍යාව 330ක් දක්වා වර්ධනය වී තිබුණි.

සංචරණ සීමා දැඩි කිරීමෙන් ආසාදිතයන් අඩු වෙයිද?

සති දෙකක කාලයක් දැඩි සංචරණ සීමා පැනවීමෙන් කොරෝනා රෝගීන්ගේ සඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩුකර ගැනීමේ හැකියාවක් පවතින බව ශ්‍රි ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පවසයි. එහෙත් ඒ සඳහා මේ කාලය තුළ ජනතාව හැකි තරම් නිවෙස්වලට වී සිටිමින් හා සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් සෞඛ්‍ය අංශවලට සහාය ලබාදිය යුතු බව ද ඇය අවධාරණය කළාය. සති දෙකක දැඩි සංචරණ සීමා පැනවීමෙන් පසුව ලැබෙන දත්ත විශ්ලේෂණය කර ඉදිරි පියවර ගත හැකි බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

ඉදිරියේදී ලංකාවට එන්නත් ලැබෙන හැටි

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් සහ ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 50ක් ඉදිරි මාස කීපයේදී මෙරටට ලැබීමට නියමිත බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවැසීය. ඒ අනුව සයිනොෆාම් එන්නතේ මාත්‍රා ලක්ෂ දහයක් 6 වැනිදාත් තවත් මාත්‍රා ලක්ෂ දහයක් ලබන 9 වැනිදාත් මෙරටට ලැබීමට නියමිත බවද හෙතෙම සඳහන් කළේය. මේ අතර ෆයිසර් එන්නතේ මාත්‍රා ලක්ෂ තුනක් ද ලබන ජූලි මාසයේදී මෙරට ලැබීමට නියමිත බව පැවසූ රාජ්‍ය ඇමතිවරයා, මෙම සියලුම එන්නත් ලැබෙන පරිදි ජනතාවට ලබාදීමට කටයුතු කරන බව ද පැවසීය. එන්නත්කරණ වැඩපිළිවෙළ සඳහා චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් එක්කෝටි හතළිස් ලක්ෂයක් සහ ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලක්ෂ දහයක් ආනයනය කිරීමට පසුගිය සතියේ කැබිනට් අනුමැතිය ලැබුණු අතර ඊට ඇමරිකානු ඩොලර් කෝටි 22ක මුදලක් වෙන්කිරීමට ද තීරණය වී ඇත. 

අවදානමට මුහුණ දෙන්න දැඩි සත්කාර ඒකක වැඩි වෙයි

කොවිඩ් රෝගීන් වාර්තා වීමේ දැනට පවතින ප්‍රවණතාව ඉදිරි සති කිහිපය තුළ ද ඒ ආකාරයෙන් ම පැවතුණහොත් රට තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතු වනු ඇතැයි ඇතැම් වෛද්‍ය විශේෂඥයන් පවසයි. ශ්‍රී ලංකාව තුළ දෛනිකව නව කොවිඩ් ආසාදිතයන් දෙදහසකට අධික පිරිසක් මේ වන විට වාර්තා වන අතර එය ඉදිරි සති කිහිපය තුළ තවදුරටත් වර්ධනය වුවහොත් රෝගීන් විසි පන්දහසකට, තිස් දහසකට පමණ පිරිසකට ප්‍රතිකාර කිරීමට සෞඛ්‍ය අංශවලට සිදුවනු ඇතැයි ද ඔවුහු අනතුරු අඟවති. මේ වන විට රට තුළ පැතිර යන කොවිඩ් තෙවැනි රැල්ල වේගයෙන් පැතිර යන සහ ඉක්මනින් බෝ වන ප්‍රභේදයක් බවත් රෝගීන් බොහෝ දෙනකු අසාධ්‍ය තත්ත්වයට පත්වී ඔක්සිජන් ආධාරක සැපයුම් මත රඳා පවතින තත්ත්වයක් උද්ගත වී ඇති බවත් සෞඛ්‍ය අංශ රජයට පෙන්වා දී තිබේ.

මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් අසාධ්‍ය රෝගීන්ට ප්‍රතිකාර කළ හැකි අධි සත්කාර ඒකක පළාත් මට්ටමින් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. එම එක් අධි සත්කාර ඒකකයක රෝගීන් සිය දෙනකුට ප්‍රතිකාර කිරීමට පහසුකම් සකස් කෙරේ. දිස්ත්‍රික් 25 තුළ තෝරාගත් රෝහල් 25ක මෙම අධි සත්කාර ඒකක ඉදිරි සති දෙක තුළ ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

ඉකුත් සතිය වන විට 149ක්ව පැවති මෙරට කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන සංඛ්‍යාව මෙම සතියේදී 168ක් දක්වා ඉහළ නැංවීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබේ. පසුගිය සතිය වනවිට දැඩිසත්කාර ඒකක ඇඳන් පාවිච්චි වූයේ 60ක් බවත් ඉකුත් 2 වැනිදා වන විට එම සංඛ්‍යාව 70ක් දක්වා ඉහළ ගොස් තිබුණි. 

පළමු භික්ෂු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය විවෘත වෙයි

මෙරට ප්‍රථම භික්ෂු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය ඉකුත් 1 වැනිදා මල්වතු අස්ගිරි උභය මහ විහාරීය අනුනායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහ සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් විවෘත කර සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත නිල වශයෙන් බාරදෙනු ලැබුණි. මහනුවර ජාතික රෝහල, පේරා‌දෙණිය ශික්ෂණ රෝහල සහ මහනුවර වෛද්‍ය සංගමය මඟින් මෙම කොවිඩ් භික්ෂු ප්‍රතිකාර මධ්‍යස්ථානය පූර්ණ අධීක්ෂණයට ලක්වනු ඇත. එම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ එකවර භික්ෂූන් වහන්සේලා පනස් නමකට ප්‍රතිකාර ලබාගැනීමට හැකියාව පවතින අතර ගිලන් රථයක්ද ප්‍රතිකාර මධ්‍යස්ථානය සතුවේ.

සැර කොරෝනා වයිරස් සෙවීම යළි ඇරඹෙයි

සැර කොරෝනා වයිරස ප්‍රභේද සෙවීමේ පරීක්ෂණ යළි ආරම්භ කර ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර පැවැසීය. දිවයිනේ විවිධ ප්‍රදේශවල කොරෝනා ආසාදිතයන්ගෙන් අහඹු ලෙස ලබාගත් ජෛව පටල සාම්පල 96ක් මේ යටතේ පරීක්ෂණයට ලක් කෙරෙන බවත් පරීක්ෂණවල ප්‍රතිඵල සතියක් ඇතුළතදී ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම සඳහන් කළේය. සැර කොරෝනා වයිරස ප්‍රභේද සොයා ගැනීමේ පරීක්ෂණ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය විසින් මීට පෙර අවස්ථා කිහිපයකදීම කරනු ලැබූ අතර එමඟින් ලෝකයේ විවිධ රටවල ව්‍යාප්තව ඇති කොරෝනා වයිරස ප්‍රභේද පහක් සොයා ගැනුණි. 

වයිරසය වායුගෝලයේ පැතිර තිබෙනවාද?

කොවිඩ් වයිරසය වායුගෝලයේ පැතිර පවතින බවට පැතිරෙන කතාව මිත්‍යාවක් බව වයිරසවේදය පිළිබඳ ප්‍රකට විද්‍යාඥයකු වන මහාචාර්ය තිස්ස විතාරණ පැවසීය. වයිරසවලට පිටත පරිසරයේ වර්ධනය වීමට හැකියාවක් කිසිසේත්ම නැති බවත් වයිරස වර්ධනය වන්නේ ජෛව සෛල තුළ පමණකක් බවත් හෙතෙම සඳහන් කළේය. සාමාන්‍ය උෂ්ණත්වයේදී වයිරස විනාශ වන අතර, ආසාදිත පුද්ගලයකුගේ කෙළ බිඳිති ඔස්සේ වයිරසය වෙනත් පුද්ගලයකුගේ ශ්වසන මාර්ගයට ඇතුළුවීමේ හැකියාවක් ඇති බවත් මුව ආවරණ පැලඳ දුරස්ථභාවය පවත්වාගෙන යෑමෙන් වයිරසය එලෙස ඇතුළුවීම වළක්වා ගත හැකි බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසීය. එමෙන්ම පුද්ගලයකුගේ ඇස්වලින්ද වයිරසය ඇතුළු විය හැකි බවත් කෙසේ වෙතත් වයිරසය යම් යම් පෘෂ්ඨයන්හි කිසියම් කාලයක් රැඳී තිබිය හැකි බවත් දෑත් සබන් යොදා සේදීමෙන් වයිරසය විනාශ වන බවත් මහාචාර්ය තිස්ස විතාරණ සඳහන් කළේය.

රජයේ රෝහල් සායනවලින් ඖෂධ නිවෙස්වලටම

සංචරණ සීමා හමුවේ සායන සඳහා සහභාගී වීමට නොහැකි රෝගීන්ගේ පහසුව සඳහා රජයේ රෝහල්වල සායන සඳහා ලියාපදිංචි වී සිටින රෝගීන්ට අදාළ බෙහෙත් වට්ටෝරු ඔවුන්ගේ නිවෙස්වලටම ලබාදීමේ වැඩපිළිවෙළක් 4 වැනිදා ආරම්භ විය. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ තැපැල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි. ඒ අනුව, රජයේ රෝහල්වල සායන සඳහා ලියාපදිංචි වී සිටින රෝගීන්ට මාස 02ක් සඳහා අවශ්‍ය බෙහෙත් වට්ටෝරු, වෙන වෙනම පාර්සල් කර තැපැල් දෙපාර්තමේන්තුව හරහා නිවෙසටම ලබා දීමට සැලසුම් කර ඇත.

රෝගීන් ලියාපදිංචි කිරීමේදී රෝහල වෙත ලබා දී ඇති ලිපිනයට බෙහෙත් වට්ටෝරු බෙදා හරින බැවින් ලියාපදිංචියේ දී ලබා දී ඇති ලිපිනය වෙනස් වී ඇත්නම් ඒ පිළිබඳව අදාළ රෝහල දැනුවත් කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය රෝගීන්ට දැනුම් දෙයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 072 0 720 720 හෝ 072 0 606 060 දුරකතන අංක ඔස්සේ ලබා ගත හැකිය.

චීනයේ සිනොවැක් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

චීනයේ ‍සිනොවැක් සමාගම නිෂ්පාදනය කර ඇති සිනොවැක් එන්නත කොවිඩ් 19 සඳහා ආරක්ෂිත, ඵලදායී හා ගුණාත්මක බවත් එය හදිසි භාවිතයට සුදුසු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා නිවේදනය කළේය. ඒ අනුව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවුණු දෙවැනි චීන එන්නත මෙයයි. චීනයේ අනෙක් සාර්ථක එන්නත වන්නේ ශ්‍රී ලංකාවේ ද භාවිතයට ගැනෙන 'සයිනෝෆාම්' එන්නතය. මේ වනවිට චීනයේ තවත් ඖෂධ සමාගම් රැසක් ද කොරෝනා වයිරසයට එරෙහිව එන්නත් නිපදවමින් සිටින බව වාර්තා වේ. 'සයිනෝෆාම්' එන්නත සේම, මෙම 'සිනෝවැක්' එන්නත ද මාත්‍රා දෙකකින් සමන්විතය. මෙම එන්නත පහසුවෙන් ගබඩා කිරීම හේතුවෙන් අවම සම්පත් සහිත පරිසරයට ඉතා සුදුසු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත.

බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට සංචරණ තහංචි

කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 7ක සිට බ්‍රිතාන්‍යයට පැමිණෙන පුද්ගලයන්ට නිරෝධායනය අනිවාර්ය කරමින් බ්‍රිතාන්‍ය රජය විසින් පසුගියදා රතු නිවේදනයක් නිකුත් කළේය. මෙම නව නීතිය ලබන 08 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර ඇති බව වාර්තා වන අතර ශ්‍රී ලංකාවට අමතරව යන රට වලටද මෙම නීතය බලපැවැත්වේ. ශ්‍රී ලංකාව හැරුණු විට එම නිවේදනය වලංගු වන්නේ ඇෆ්ගනිස්ථානය, බහරේනය, ඊජිප්තුව, කොස්ටාරිකා , සුඩානය, ට්‍රිනිඩෑඩ් සහ ටුබැගෝ රටවලටය. ඒ අනුව අදාළ රටවල සිට බ්‍රිතාන්‍යයට පැමිණෙන්නේ නම් එම පිරිස් අනිවාර්යයෙන්ම එරට හෝටලයක නිරෝධායනයකට යොමු විය යුතුව ඇත.

ඇමෙරිකාවේ එන්නත් බෙදාහැරීමේ වැඩසටහනට ශ්‍රී ලංකාවත්

ඇමෙරිකා එක්සත් ජනපදයේ එන්නත් බෙදාහැරීමේ වැඩසටහනට ශ්‍රී ලංකාව ද ඇතුළත් කරගෙන ඇතැයි පසුගියදා වාර්තා විය. ඇමෙරිකාව සතු අමතර කොවිඩ්-19 මර්දන එන්නත් අනෙක් රටවලට බෙදාහරින්නැයි එරට රජයට විවිධ පාර්ශ්වයන්ගෙන් පසුගිය කාලයේදී දැඩි පීඩනයක් එල්ල වූ අතර එන්නත් ගබඩා කරගෙන සිටින බවට එරට ජනාධිපති ජෝ බයිඩන් ඇතුළු පරිපාලනයට විවිධ පාර්ශ්වවලින් චෝදනා ද එල්ල විය.ඊට ප්‍රතිචාර දක්වමින් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඉකුත් 3 වැනිදා එන්නත් බෙදාහැරීම වැඩසටහන ප්‍රකාශයට පත් කළේය.

එම එන්නත් බෙදාහැරීමේ පළමු කොටස යටතේ ආසියාව, ලතින් ඇමෙරිකාව, කැරිබියානු කලාපය සහ අප්‍රිකාවට එන්නත් මාත්‍රා මිලියන 25ක් බෙදාහැරීමට නියමිත ය. එයින් එන්නත් මාත්‍රා මිලියන හතක් ආසියානු කලාපයට ලැබෙන අතර ඒ මඟින් ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, මාලදිවයින, මැලේසියාව, පිලිපීනය, වියට්නාමය, ඉන්දුනීසියාව, තායිලන්තය, ලාඕසය, පැපුවා නිව්ගිනියාව, තායිවානය, සහ ශාන්තිකර දූපත් ආදී රටවලට එන්නත් හිමිවේ. ජූනි මාසය අවසන් වන විට එන්නත් මාත්‍රා මිලියන 80ක් එසේ බෙදාහැරීමට නියමිත බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

(මෙහි සඳහන්ව ඇත්තේ ජුනි 04 වැනිදා තෙක් වාර්තා වූ දත්තයන්ය)

Comments