එදා ඉඳලා හෙල්ල තමයි මගේ ආදරවන්තයා | සිළුමිණ

එදා ඉඳලා හෙල්ල තමයි මගේ ආදරවන්තයා

 

එයා සොයලා දුන්නේ අරුණ ශාන්ත සර්

දඩබ්බර කෙල්ලක් සුපහන් ජීවිතයකට යොමුකළේ ක්‍රීඩාව

ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ලොක්කිය වුණේ නදීකා ලක්මාලි. ඇගේ තැන දීර්ඝ කාලයක් රට ඇතුළේ ආරක්ෂා වෙලා තිබුණා. නදීකාට මතක ඇගේ ඒ කාලය පුංචි මතකයක් කරන්න වගේ නදීෂා බිහිවුණා. නදීෂා මිණිපුර මිණි කැටයකි. මිණිපුර කිව්වාට ඈ ඇහැලියගොඩ, පරකඩුවේ. මේ නදීෂා නැතහොත් නදීෂා ලේකම්ගේ ජාතික හා අන්තර්ජාතික වශයෙන් ජනප්‍රිය ක්‍රීඩිකාවගේ කතාව. ඇය පසුගිය දා පැවැති ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී ත් නදීකා අභිභවා පළමු ස්ථානයට පත් වූ නිසා අපි ඇය සමඟ සංවාදයක නියැළෙන්න තීරණය කළා.’

 

ඇහැලියගොඩ, රත්නපුර එක පෙළට පිහිටි නගර ය. ඇහැලියගොඩ අයත්වන්නේ සබරගමු පළාතට ය. එහෙයින් එම ප්‍රදේශයේ වෙල් එළි, වතු පිටි ඇතුළු බොහෝ තැන්වල ඇත්තේ ඉල්ලම් පොළවල් ය. කොටින්ම කියන්නේ නම් සබරගමු පළාතේ වෙසෙන්නෝ වැඩි වශයෙන් සොයන්නේ මිණි කැට ය.

ලංකාව පුරා මිණි කැට නොලැබුණ ද පාසල් පද්ධතිය තුළ රජය විසින් වැටුප් ගෙවා පත් කළ ගුරුවරුන් විසින් උදේ හවස සෙව්වේ ද ජීවන මිණි කැට ය. එය ඇහැලියගොඩට ද වෙනසක් නොවූයේ ය. ඒ අනුව බොහෝ කලකට පෙර පරකඩුව ශ්‍රී නාරද විදුහලට එවැනි මිණිකැට සොයන ගුරු පරපුරේ සාමාජිකයකු වශයෙන් නව ගුරුවරයෙක් පත් වී ආවේ ය. ඔහු නමින් අරුණ ශාන්ත ය.

අලුත් පාසල තුළ දැනෙන යමක් සිදුකිරීම මේ ගුරුවරයාගේ අවශ්‍යතාව විණි. ඔහු එහිදී වඩා සාර්ථක වූයේ යැයි කිව හැක්කේ ක්‍රීඩාව තුළිනි. ඒ පසුකලෙක රටේ ක්‍රීඩාවට සම්පතක් වූ හෙල්ල විසිකිරීමේ ශූරියක සොයා ගැනීමට හැකිවීමත් සමඟ ය. ඈ අන් කවරකුවත් නොව වර්තමාන හෙල්ල විසිකිරීමේ ජාතික ශූරිය නදීෂා ය.

‘මම මුලින්ම නදීෂාව දැක්කේ දසක දෙකකට එහා ඈත කාලයක දි. එහෙම පිටින්ම කොල්ලෙක් ගවුමක් ඇඳගෙන යනවා වගේ. කරාබු දාන්නෙ නැති, ගස් නගින, විසේකාර කෙල්ලක්. නිවාසාන්තර ක්‍රීඩා උලෙළේ පොල් ගස් නැගලා ගොක්කොළ කැපුවේ කවුද එතැන හිටියේ නදීෂා. ඉස්කෝලෙ ටයි එක දාගෙන එන්නෙත් නෑ. සපත්තු දාන්නෙත් නෑ. දාන්නේ රබර් සෙරෙප්පු. දඩබ්බර කෙල්ලක්.’ අරුණ ශාන්ත සර්ට සියලු සිසුන් අතර හිතුවක්කාරියක සේ නදීෂාව කැපී පෙනුණේ එසේ ය.

‘මේ පෙනුම මට ඇගේ අභ්‍යන්තරයේ ඇති සුවිශේෂීතා පෙන්නුවා. මට හිතුණා නදීෂා කියන්නේ ක්‍රීඩාව පැත්තෙන් ගොඩාක් දුර යන කෙල්ලක් වෙයි කියලා. ඒ කාලේ ඈ පාසලේ තිබුණු හැම ක්‍රීඩාවම කළා. කිසිම තෝරාගැනීමක් නෑ. මුලින් ම මට හම්බවෙන කොට පැන්නේ උස. ජවන ඉසව්වලටත් සහභාගි වුණා. ඒකෙන් පළාත් මට්ටමටම ගියා. දැල්පන්දු, රගර්, පාපන්දු හැමදෙයකටම සහභාගි වුණා. නදීෂා මගේ ක්‍රීඩා පුහුණුකරුවාගේ ලෝකය ඇතුළේ සුවිශේෂී චරිතයක් වෙන්නේ ඒ කියන කරුණු හින්දයි.” අරුණ ශාන්ත ගුරුතුමා පසුකලෙක නදීෂා සම්බන්ධයෙන් පැවසූවේ ය.

‘ඇහැළියගොඩ පරකඩුව ප්‍රදේශය තමයි මගේ ගම. මම මේ ගමන එන්න පොළඹවපු මුල්ම පුද්ගලයා තමයි අරුණ සර්. එයා නැත්නම් අද නදීෂා කෙනෙක් ක්‍රීඩා පිට්ටනිය ඇතුළේ නෑ. ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ දී නියෝජනය කරන්නෙත් නැති වෙයි. මම සර් කිව්වා වගේම ක්‍රීඩා කරන්න කැමතියි. ඒ කාලේ අද වගේ නෙවෙයි දඩබ්බරයි. මම හිතන්නේ ඒක ඇඟ ඇතුළේ තිබුණු ශක්තිය වෙන්න ඇති.’ නදීෂා ලේකම්ගේ ‘ක්‍රීඩා’ හා අදහස් දක්වමින් පැවසුවා ය.’

අම්මා, තාත්තා ක්‍රීඩාවට එක්වෙනවාට විරුද්ධ නොවුණේ දැයි අපි අතුරු ප්‍රශ්නයක් නැඟීමු. ‘නෑ. ඔවුන් විරුද්ධ වුණේ නෑ. අම්මා හුඟාක් උදව් කළා. අපි ගමේ නෙ. අරුණ සර් කියපු විධිහට ක්‍රීඩාව පැත්තෙන් ඉදිරියට යන්න බලාගෙන වැඩකරන්න පටන් ගත්තා. හැබැයි හැමදේම වෙනස් වුණේ එක පාරට.’ ඈ අතීතය සිහිපත් කරමින් කීවේ සතුටු සිනහවකින් මුවග සරසා ගෙන ය.

‘දවසක් මම දැල්පන්දු ක්‍රීඩාව කරද්දී පිට්ටනියේ එක කෙළවරක ඉඳලා තනි අතෙන් අනෙක් කෙළවරට බෝලය විසිකරලා තිබුණා. ඒක දැකපු අරුණ සර් මගෙන් ඇහුවා විසිකිරීමේ ඉසව්වක් පැත්ත පුහුණු වෙන්න බලන්න කියලා. සර් තමයි හෙල්ල ගැන කිව්වේ. එතකොට මම හෙල්ලක් විසිකරලා තිබුණේ නෑ. ඕනැ දෙයක් කරන්න ඉදිරිපත්වෙන ගතිය නිසාම මමත් සර් ගේ යෝජනාවට කැමති වෙලා පහුවෙනිදා ඉඳලම හෙල්ල දාන්න පුහුණු වෙන්න පටන් ගත්තා.’ නදීෂා පවසන්නේ සැහැල්ලුවෙනි.

අරුණ ශාන්ත සර්ට අනුව නම් නදීෂාට පාසල් සමයේ සිදුකළ නොහැක්කක් නොමැති ය. ‘දවසක් වතුර බාල්දිය ළිඳට වැටුණා කියලා මේ දරුවා ළිඳට බැහැලා බාල්දියත් අරගෙන උඩට එනවා. ගුරු මණ්ඩලය හොඳටම දොස් කිව්වා. ඉස්සර තිබුණු දඩබ්ර කම කොයිතරම් ද කියනවා නම් වෙලාවට පුහුණුවටවත් එන්නෙ නෑ. එයාට හිතුණ වෙලාවට තමයි එන්නෙ. පස්සේ පස්සේ එයාම තමන්ගේ විනය හදාගෙන වෙලාවට වැඩකරන්න පටන් ගත්තා. දැන් ඉන්න නදීෂා ලේකම්ගේ තමන්ගේ ජීවිතයේ ලේකම්කම බාරගත්තේ ඈ විසින් ම ඈ තුළ වඩා ගන්නා විනයත් එක්කයි.’ අරුණ සර් පසුකලෙක නදීෂා ගැන කියා තිබුණේ ය.

ඒ වෙනස සමඟ ඈ වෙලාව නොවරදවා, බැති පෙම් උපදවා, ක්‍රීඩාව ඉගෙන ගන්නට පටන් ගත්තා ය. ‘මම පුංචි කාලේ දඩබ්බරයි. ඒත් ක්‍රීඩාව තුළ ගැඹුරට හා අවධානයෙන් යුතුව ක්‍රීඩා කරද්දී ක්‍රීඩාවේ තිබෙන ආධ්‍යාත්මික ශක්තියෙන් මගේ හිතුවක්කාරකම් මෙල්ල වුණා. මෙතැන අපිට නොපෙනෙන තරම් ගැඹුරක් තියෙනවා නේද කියලා මට දැනෙද්දී අර විනෝදයට වගේ කරපු ක්‍රීඩාව ගැන ගැඹුරින් කරන්න මට සිත කිවුවා. දවසින් දවස සාර්ථක වද්දී මගේ ඒ හැඟීම ප්‍රබල වුණා. එහෙම තමයි මම ක්‍රීඩාව ඇතුළේ මාව සොයාගත්තේ.’ එහෙම කියන්නට ඈ නොපසු බට වූයේ සැබැවින්ම ක්‍රීඩාවෙන් තමන් උපයාගත් ශාන්තිය ගැන සතුටිනි.

‘මම නාරද විද්‍යාලයෙන් ඇරේපොළ ශ්‍රී මහින්ද විද්‍යාලය සමඟ එක්වෙන්නේ 2003 අවුරුද්දෙදිම යි. ඒ අරුණ සර්ට ස්ථාන මාරුවක් ලැබිලා පාසල මාරුකරලා යන නිසා. මම එහෙම පාසල මාරුකළේ සර් යටතේ පුහුණුවීම් කළ නිසයි. මම ක්‍රීඩාව තුළ මේ තරම් දුරක් ආවානම් ඒකේ ගෞරවයේ හිමිකරුවන් අතර පළමුවැනියා වෙන්නේ අරුණ සර් යි. සර් නැත්නං නදීෂා ක්‍රීඩා පිටියේ නැති වෙයි.’ ඈ කියන්නී ය.

පාපැදියට ජනප්‍රිය සබරගමුව මලල ක්‍රීඩාව හා බොක්සිං ක්‍රීඩාව ඇතුළු සෙසු ක්‍රීඩා වෙනුවෙන් දක්ෂයින් පසුකලෙක නිර්මාණය වන්නට විය. ඔලිම්පික් පදක්කම්ලාභී ජයග්‍රාහිකාවක වන සුසන්තිකා ජයසිංහ, නිලානි රත්නායක, සුමේධ, බොක්සිං තරු රැසක් නිර්මාණය වුණේ සබරගමුව කේන්ද්‍ර කරගනිමිනි.

‘හෙල්ල විසිකරන්න පුහුණු වෙන්න වුණාට පස්සේ මම අනෙකුත් ක්‍රීඩා ගැන වැඩිදුර හිතන්න ගියේ නෑ. හෙල්ලටම හිත දන් දුන්නා. ඒක භාවනාවක් වුණා. අන්තිමට පාසලෙන් ඉවත් වෙලා 2012 වෙනකම්ම මම අරුණ සර් යටතේ පුහුණුවීම් කළා. පසුව ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වුණා.’ නදීෂා කියන්නීය.

බොහෝ ක්‍රීඩක, ක්‍රීඩිකාවනට මෙන්ම නදීෂාගේ ක්‍රීඩා ජීවිතයේ ද කෙම්බිම බවට පත්වූයේ ශ්‍රී ලංකා යුද හමුදාව ය. ‘මම මගේ ජීවිතයේ හැමදෙයක්ම කරගන්නේ යුද හමුදාවට පින්සිදුවන්න. කන්නෙ, බොන්නේ, පුහුණු වෙන්නේ, ගෙදරට සලකන්නේ යුද හමුදාවෙන් ලැබෙන වැටුපෙන්. ඇත්තම කියනවා නම් යුද හමුදාව නොතිබෙන්න නදීෂා ලේකම්ගේ කෙනෙක් නෑ. ඒ නිසා මාව ක්‍රීඩාවේ රඳවා ගන්න ප්‍රධාන ශක්තිය තමයි යුද හමුදාව කියන්නේ.’ ඇය කියන්නේ මහත් කෘතවේදිත්වයෙන් යුක්තව ය.

‘පිටියේ ක්‍රීඩාවන්ට අපේ රටේ තිබෙන ජනප්‍රියතාව අඩුයි. හැමෝම බලන්න කැමති කෙටි දුර හා මැදි දුර ඉසව් පමණයි. එතැන තමයි උද්වේගය තිබෙන්නේ කියලා හැමෝම ඒ ඉසව් වටා රොක්වෙනවා. නමුත් පිටියේ ඉසව් අතරින් උස පැනීම, හෙල්ල විසිකිරීම වගේම දුර පැනීමත් සාපේක්ෂව ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනාගෙන තිබෙනවා. අනෙක අපිම තමයි ඒ ඉසව්වලට ප්‍රේක්ෂකයින් එක් කරගන්න අවශ්‍ය වන්නේ. දක්ෂතාවය මතින් තමයි ප්‍රේක්ෂකයන් එක් එක් ඉසව්වලට රොක්වෙන්නේ.’ ඈ කියන්නේ ගම්භීරව ය.

ඈ පරකඩුව විදුහලේ ක්‍රීඩා කළ දඩබ්බර ක්‍රීඩිකාවගෙන් ඔබ්බට ගොස් ඇති ආකාරය පුදුමාකාරය. ‘ක්‍රීඩාව කියන්නේ භාවනාවක්. අපි ඒ භාවනාවට නිවැරදිව සම වැදෙනවා නම් දක්ෂතා ඔප්නංවා ගන්න පිළිවන් වෙනවා. මගේ ඉසව්ව ගැන කියනවා නම් මම හිතන්නේ විසිකරන ඉසව් මගින් ජාත්‍යන්තරයට යන්න විශේෂයෙන් හෙල්ල වගේ විසිකරන ඉසව්වක් තුළින් යන්න පහසුයි කියලයි. ඒ නිසා මගේ ජීවිතයේ තිබෙන ප්‍රධානම ඉලක්කය තමයි ආසියානු, පොදු රාජ්‍ය මණ්ඩලයීය තලයේ පදක්කමකින් මගේ මව්බිමට ගෞරව කිරීම.’ ඈ සිය අපේක්ෂාව ගැන කියා සිටියා ය.

ඔලිම්පික් තරගාවලි සිහිනය මේ වනවිට අතහැර ඇත්දැයි අප ඇසුවේ ඇගේ ඒ පිළිතුරෙන් මතුවූ කරුණු හේතුවෙනි.

‘මේ පාර මම මලල ක්‍රීඩා ශූරතාවට ආවේ මගේ පෞද්ගලික දක්ෂතා අතරට එන්න බලාගෙන. නමුත් වර්ෂාව එතැනදී හරස් වුණා. ඉසව්ව දිනුවත් මට අවශ්‍ය ඉලක්කයට එන්න බැරිවුණා. මම ආබාධයකට නතුවෙලා ඉඳලා තමයි යළි පුහුණු කටයුතු ආරම්භ කළේ. ඒ නිසා තවමත් මගේ උපරිමයට මම ළඟාවෙලා නෑ. අනෙක මගේ පුහුණුකරු රුද්‍රිගු සර්ගේ හදිසි අභාවය මට විශාල බලපෑමක් කළා. දැන් තමයි එතැන ඉඳලා පැරණි දක්ෂතා සොයාගෙන ඉදිරියට යන්න උත්සාහ කරන්නෙ. කොහොම වුණත් මෙවර ටෝකියෝ ඔලිම්පික් යන්න අවශ්‍ය දක්ෂතා පෙන්වන්න මට තිබෙන කාලය ප්‍රමාණවත් නෑ. ඒ නිසා ඒ සිහිනය මා තුළ ක්ෂීණයි.’ ඈ පවසයි.

ඇහැලියගොඩ, පරකඩුව නිවසේ ඇගේ අම්මා හා

තාත්තා සමඟ එකම සොහොයුරා ජීවත්වන අතර සති දෙකකට පමණ වාරයක් ඈ ඔවුන් හා වෙසෙන්නට යන්නී ය. ‘කොළඹ තමයි ඉන්නෙ. ඇය මේ වනවිට මාධව සෙනරත් බණ්ඩාර සර් යටතේයි පුහුණු වෙන්නේ. කොළඹ පුහුණුවීම්වලට යන නිසා ගමේ ඉන්න බෑ. අනෙක රැකියාව කරන්න කොළඹ ඉන්න වෙනවානෙ. උදේ තමයි පුහුණු වෙන්නේ. සාමාන්‍යයෙන් මම දවසකට විසිකිරීම් වාර තිහක් තිස් පහක් දානවා. ඒක හරිම අසීරුයි. මොකද හෙල්ල විසිකරද්දී මුළු සිරුරම ක්‍රියාකාරී වන නිසා. පුහුණුවීම් අවසන් වද්දී ඇඟ රිදෙනවා. ඒත් ඉලක්කය ගැන හිතද්දී ඕනෑම අභියෝගයක් ජයගෙන එතැනට යන්න සිත කියනවා.’ නදීෂා පවසන්නේ මන්දහාසයක් නඟමිනි.

දැන් සුදුසු කාලය එළඹ ඇති නිසා ජීවිතයේ වෙනස්කමක් සිදුකරගන්නට අපේක්ෂාවක් හෝ සූදානමක් නැත්දැයි ‘ක්‍රීඩා’ විමසුවේ ය.

‘මම පෙම් කරන්නේ හෙල්ලයට. හෙල්ලයට කරන ප්‍රේමය එක්ක වෙනත් කෙනෙකුට පෙම් කරන්න බෑ. ක්‍රීඩාව අවබෝධ කරගත්තු පෙම්වතෙක් සොයාගන්නත් අසීරුයි. අනෙක ඒ දෙකම සමාන්තරව කරන්නත් බෑ. ක්‍රීඩාවෙන් සමුගත්ත දවසක තමයි විවාහයක් ගැන හිතන්නේ.’ ඈ සැහැල්ලුවෙන් පවසන්නීය.

‘මම අඩුම තරමේ අවුරුදු තිස් හතක් තිස් අටක් වෙනකම් වත් ක්‍රීඩාවේ නියැලෙන්නයි හිතාගෙන ඉන්නෙ.’ ඈ ‘ක්‍රීඩා’ හා සංවාදය නවතන්නට පෙර අප හා පැවසූවා ය.

ඒ කියන්නේ පරකඩුවෙන් මංගල කේක් කෑල්ලක් කන්න තව සැලකිය යුතු කාලයක් බලාගෙන ඉන්න වෙයි නේද? යැයි අප කියද්දී ඈ තුළ පාසල් සමයේ තිබූ දඩබ්බර සිනාව සැණෙකින් මතුවී යළි එසැණින්ම මන්දහාසයක් බවට පත්ව තවත් මොහොතකින් මැකී ගියේ ය. අපි ඇයට හෙල්ලට ආදරය කරන්නට දී නික්ම ආවෙමු.

 

 

කාන්ති ජයසිංහ

Comments