ක්‍රීඩා අධ්‍යාපනය පෙරපාසලෙන් ඇරැඹිය යුත්තේ ඇයි? | සිළුමිණ

ක්‍රීඩා අධ්‍යාපනය පෙරපාසලෙන් ඇරැඹිය යුත්තේ ඇයි?

සමබර පෞරුෂයකින් යුතු පුද්ගලයකු සමාජයට අනුගත කිරීම සඳහා භාවිත කළ හැකි සාධකයක් ලෙස ශාරීරික අධ්‍යාපනය සහ ක්‍රීඩාව හඳුන්වා දිය හැකි ය. ඒ මඟින් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට පුද්ගලයා යොමු කරවීම, අධිෂ්ඨානශීලි බව, ධෛර්යමත් බව, කැපවීම, විදඳරා ගැනීමේ හැකියාව, සාමූහිකත්වය, මිත්‍රත්වය, ජය පරාජය, ගරු කිරීම, විනය, ගුණගරුක බව, නීතිගරුක බව සහ යුක්තිගරුක බව පුද්ගලයා වෙතට ගොනු කරවීමේ (සංජානනය) හැකියාව ලැබේ.

ඒ තුළින් යහපත් සමාජයක් බිහි කරවීම සඳහා අවශ්‍ය වන සෞඛ්‍ය සම්පන්න බව, ආයු අපේක්‍ෂාව, ඕනෑම කාර්යයක් සිදු කිරීමේ හැකියාව, ශාරීරික ක්‍රියාකාරකම් රාශියකට සහභාගි වීමේ හැකියාව, විශ්වාසය වර්ධනය, සාමූහිකත්වය, අරමුණු සහිතව කටයුතු කිරීම, අභියෝග ජය ගැනීම, ස්වයං විවේචනය, ආත්ම විශ්වාසය, යනාදී මානව ගුණාංග පෝෂණය කිරීමට අවශ්‍ය වන මූලික ගුණාංග රැසක් පුද්ගලයා තුළ පුරුදු පුහුණු කිරීමට ද හැකියාව ඇත.

යුනෙස්කෝ සංවිධානය ඉදිරිපත් කර ඇති වාර්තාවන්ට අනුව ලොව බොහෝ රටවල් ශාරීරික ක්‍රියාකාරකම් සඳහා දක්වා ඇත්තේ අඩු අවධානයකි. මේ නිසාම සෑම වසරකම මිලියන 3.2 ක පිරිසක් මරණයට ගොදුරු වන බවත් එම සංඛ්‍යාව ඒඩ්ස් රෝගයෙන් මිය යන ප්‍රමාණයට වඩා වැඩි බවත් එය වසංගත රෝගී තත්ත්වයන් හේතුවෙන් ඇතිවන තත්ත්වයන්ට සමරූපී බවත් ප්‍රකාශිත ය.

ඒ නිසා ශාරීරික අධ්‍යාපන සඳහා සිදු කරන ආයෝජනය පහත වැටීම වහා නතර කරන මෙන් යුනෙස්කෝ සංවිධානය ඉල්ලා සිටී. ඒ වෙනුවෙන් වන ආයෝජනයන් නැවතත් ඉහළ දැමීම සඳහා වන ඉල්ලීම් මාලාවාක් එම සංවිධානය විසින් ලොව සියලු රජයන්ට ඉදිරිපත් කර තිබේ.

ඇතැම් ධනවත් රටවල්ද ඇතුළුව ලෝකයේ බොහෝ රටවල් මෑත වසරවල දී ඒ වෙනුවෙන් සිදුකර ඇත්තේ අඩු ආයෝජනයක් බව යුනෙස්කෝවේ පිළිගැනීම ය.

ඔවුන් තව දුරටත් පෙන්වා දී ඇත්තේ, යුරෝපීය ආරංචි මාර්ගවලට අනුව මහාද්වීපයෙන් අඩකට වඩා වැඩි සංඛ්‍යාවක් පාසල් අධ්‍යාපනයේ දී ශාරීරික අධ්‍යාපනය සඳහා වන අරමුදල් හා කාලය වෙන් කිරීම ක්‍රමයෙන් ක්ෂීණ වීමක පවතින බවයි.

ශාරීරික අධ්‍යාපනය යනු ලොව සෑම රටකම පාසල් විෂය මාලාවේ කොටසකි. නමුත් ඒ පිළිබඳ ව නිවැරැදි පාඩම් ලබා දී නොමැති නිසා ළමයින්ට සහ තරුණයන්ට ශාරීරික ක්‍රියාකාරකම් පිළිබද ඇත්තේ අඩු අත්දැකීම් බව පර්යේෂකයන් ගේ මතය වේ. මෙම තත්ත්වයන් අවධානයට ගනිමින් පසුගිය වසරේ දී ශාරීරික අධ්‍යාපන තත්ත්වය පිළිබඳ යුනෙස්කෝවේ ගෝලීය සමාලෝචනයේ දී විශේෂිත කරුණු 07 ක් සම්බන්ධයෙන් අදාළ මාර්ගෝපදේශ ඉදිරිපත් කර ඇත.

එනම්, ප්‍රතිපත්තිය සහ ක්‍රියාත්මක කිරීම අතර නිරන්තර හිඩැස්, විෂයමාලා කාල ප්‍රතිපාදනවල අඛණ්ඩ අඩුපාඩු, විෂය මාලාවේ අදාළත්වය සහ ගුණාත්මකභාවය, ආරම්භක ගුරු පුහුණු වැඩසටහන්වල ගුණාත්මකභාවය, පහසුකම්වල ගුණාත්-මකභාවය සහ නඩත්තුවෙහි අඩුපාඩු, සැමට සමාන ප්‍රතිපාදන සහ ප්‍රවේශය සඳහා අඛණ්ඩ බාධක, පාසල් ප්‍රජා සම්බන්ධීකරණය ප්‍රමාණවත් නොවීම පෙන්වා දී ඇත.

මෙම අවදානම් තත්ත්වයන් පාලනය කිරීම සඳහා යෝජිත විසඳුම් ලබා ගැනීම වෙනුවෙන් යුනෙස්කෝව අන්තර්ජාතික රාජ්‍ය සංවිධාන සමඟ මැදිහත්ව කටයුතු කිරීමටත් පියවර ගෙන ඇත.

එහිදී ශාරීරික අධ්‍යාපන ගුරුවරුන් සඳහා ගුණාත්මක ශාරීරික අධ්‍යාපනය සහ පුහුණුව ලබා දීමේ අවශ්‍යතාව ඔවුහු පෙන්වා දෙති. එම වාර්තාවන්හි දක්වා ඇත්තේ ශාරීරික අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ හා ආයෝජනය නොකිරීමේ පිරිවැය මඟින් එම අසුබ තත්ත්වයන් මනාව ඉස්මතු කරන බවයි.

තවද, ලෝක සෞඛ්‍යය සංවිධානය ශාරීරික ව්‍යායාම් සහ ශාරීරික සුවතාවයෙහි ඇති වැදගත්කම, එවැනි භාවිතාවන්ගෙන් ඈත් වීමෙන් සිදු වන අනිසි විපාකයන් පිළිබඳවත් මැනවින් පෙන්වා දී ඇත. ඒ නිසා මෙම තත්ත්වයන් පාලනය කර ගැනීම සඳහා අදාළ නව නිර්දේශයන් ඉදිරිපත් කිරීමට මාර්ගෝපදේශයන් පිළිබඳ දැනුවත් කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව පුරා රජයන්ගෙන් සහ අධ්‍යාපන සැලසුම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ ඒ සඳහා අදාළ ශාරීරික අධ්‍යාපන මාර්ගෝපදේශ සකස් කිරීමේදී ගුණාත්මක බව පිළිබඳ අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානයන යොමු කරවන ලෙසයි.

ජපන් හා කොරියානු හපන්කම ලොව බොහෝ රටවල් ක්‍රීඩාවෙන් ලබා ගත හැකි ප්‍රයෝජන නිවැරැදිව හඳුනා ගනිමින් කටයුතු කරන බව දැක්වීම සඳහා පමණක් මෙම නිදර්ශන කිහිපය ඉදිරිපත් කරමි. ජපානය ශාරීරික අධ්‍යාපනය සඳහා අත්පොත් තබන්නේ පෙර පාසල් අධ්‍යාපනයේ සිට ය. ප්‍රාථමික අධ්‍යාපනය සඳහා පාසල වෙත යොමු වන දරුවන් සඳහා වැඩි කාලයක් වෙන් කරනු ලබන්නේ ශාරීරික අධ්‍යාපන හා සම්බන්ධ ඉගැන්වීම් ක්‍රමවේදයන්ට ය. එහිදී ශාරීරික යෝග්‍යතාව පිළිබඳ ඉගැන්වීම් අධ්‍යාපනය වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරනු ඇත.

එමඟින් නිරෝගීව සිටීමට පමණක් නොව ක්‍රියාශීලි බව, සහයෝගයෙන් කටයුතු කිරීම, උද්‍යෝගී බව, තනිවම කටයුතු කිරීමට හුරු කර වීම, යනා දී ගුණාංගයන් ද පුහුණු කරනු ඇත. ජපන් දරුවන් තුළ පමණක් නොව, සෑම පුරවැසියකුම වයස් භේදයකින් තොරව වඩාත් ක්‍රියාශීලි බවට පත්වීම සිදු වන්නේ දෛනික ජීවීතයේ අත්‍යවශ්‍ය අංගයක් බවට ශාරීරික යෝග්‍යතාව වර්ධනය කර ගැනීම, සාමාන්‍ය ජීවිත අංගයක් බවට පත් කර ඇති නිසා ය.

කොරියාවේ ද පෙර පාසල් අධ්‍යාපනයේ සිටම ශාරීරික අධ්‍යාපනය සඳහා දරුවා හුරු කර වීමත් ඉන් පසුව පාසල් අධ්‍යාපනය දක්වා වන විධිමත් ඉගැන්වීම් ක්‍රමයක් බවට ශාරීරික අධ්‍යාපනය යොමු කර තිබීම දැක ගත හැකි වේ. ග්‍රීසියේ පාසල් අධ්‍යාපනයේ පමණක් නොව ඇතැම් රැකියාවන් සඳහා ඇතුළත් වීමේදී ද ශාරීරික යෝග්‍යතාවට අදාළව පවතින නිර්ණායකයන් සමත් වීම ද ප්‍රධාන කරුණකි.

මේ ආකාරයට ලොව බොහෝ රටවල ශාරීරික අධ්‍යාපනයේ මූලික පදනම විධිමත් ආකාරයට සකස් කර තිබීමත් එහි විධිමත් බව එනම් පෙර පාසල් අධ්‍යාපන කාලයේදීම ඒ සඳහා විධිමත් නිර්ණායකයන් ඇතුළත් කරමින් ප්‍රමුඛත්වයක් ලබා දී තිබීම පැහැදිලිව දැක ගත හැකි ය.

ශ්‍රී ලංකාවේ තත්ත්වය ශ්‍රී ලංකාවේ ද ශාරීරික අධ්‍යාපනය සඳහා පාසල් අධ්‍යාපනය තුළින් විශාල නැඹුරුවක් ලබා දීමට අවශ්‍ය පසුබිම සකසා තිබීම සඳහන් කළ යුතුව ඇත. විශේෂයෙන් නව පාසල් වාරය ආරම්භයේ දී පැවැත්වෙන උත්සවයන් අතර පාසල් ක්‍රීඩා උත්සවය ප්‍රධාන සහ අනිවාර්ය ලෙස පැවැත්වීමට නිර්දේශ ලබා දී තිබීම සැබවින්ම අගය කළ යුතු කාර්යයකි.

ඒ වගේම 10 සහ 11 ශ්‍රේණියේ දී සෞඛ්‍යය හා ශාරීරීක අධ්‍යාපනය හදාරා දරුවන් වෙනත් විෂය ධාරාවක් යට‍තේ උසස් පෙළ හැදෑරීමෙන් පසුව විද්‍යා පීඨ සඳහා අයැදුම් කිරීමේ දී සෞඛ්‍යය හා ශාරීරීක අධ්‍යාපනය විෂය හැදෑරීම ප්‍රයෝජනවත් වීමත් සඳහන් කළ හැකි ය.

ශ්‍රී ලංකාවේ ශාරීරික අධ්‍යාපනය සඳහා මූලිකවම දරුවා යොමු වන්නේ පාසල් අධ්‍යාපනයෙනි. පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා ඉගැන්වෙන පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් යටතේ ශාරීරික ක්‍රියාකාරකම් ඇතුළත් කර ඇත. එමඟින් ශාරීරික ක්‍රියාකාරකම් සඳහා දරුවා යොමු කරනු ඇත. පසුව එහි න්‍යායාත්මක අවබෝධය ලබා දීම සඳහා ප්‍රවේශය සිදු වන්නේ හය ශ්‍රේණියේ සිටය. ඒ සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය යන විෂය ධාරාව යටතේ ය.

ඒ නිසා සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය අනිවාර්ය විෂයක් ලෙස දක්වා ඇත. මෙහි විශේෂත්වය වන්නේ 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා පමණක් සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය අනිවාර්ය විෂයක්ව පැවතීමයි. 10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අභිමතය අනුව පමණක් මෙම විෂය තෝරා ගැනීමට අවස්ථාව ලබා දී ඇත. සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය විෂය තෝරා ගැනීම අනිවාර්ය නොවන අතර ඒ සඳහා අකැමැත්තක් දක්වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා වෙනත් විෂයයන් තෝරා ගැනීමටත් අවස්ථාව ලබා දී ඇත.

ඒ අනුව 10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිවලදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් තෝරා ගත් විෂයක් යටතේ අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇත. එම විෂය තෝරා ගැනීම සඳහා ප්‍රධාන කාණ්ඩ තුනක් යටතේ විෂයයන් බෙදා දක්වා තිබේ. මේ අංශයන් යටතේ ඇති එක් විෂයක් තෝරා ගැනීම අනිවාර්ය වේ. එය ඉදිරිපත් කර ඇත්තේ සහ යනුවෙනි.

මෙම වර්ගීකරණයේ දී සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය විෂය අයත් වන්නේ ධචඑසදබ්ක 03 යටතට ය. ඒ යටතේ ඇති අනෙකුත් විෂයන් වන්නේ විෂයන් ය.

විෂය මාලාවේ අසාධාරණය

මෙහිදී දක්නට ලැබෙන කරුණක් වන්නේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය විෂය වඩාත් තරගකාරී සහ ජනප්‍රිය විෂයන් සමඟ යොදවා ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා තෝරා ගැනීම් සිදු කිරීමට සලසා දී තිබීමයි. ඒ නිරායාසයෙන්ම ක්‍රීඩාවට අකැමැත්තක් දක්වන සහ එහි වැදගත්කම පිළිබඳ ව නිවැරැදි අවබෝධයක් නොමැති පිරිස් මෙන්ම ඒ සඳහා වන අඩු අධ්‍යාපන අවස්ථා තිබීම නිසා බොහෝ දෙනකු ඉන් ඉවත්වීමට පරිසරයක් නිර්මාණය කර ඇත. බොහෝ විට කැමැත්තක් දැක්වුව ද මෙම විෂය සඳහා වන අඩු අවධානය සහ ඒ සඳහා වන උසස් පෙළ අවස්ථා නොතිබීම නිසා එකී විෂය හැදෑරීමට බොහෝ විට මැළිකමක් දැකවීම සාමාන්‍ය තත්ත්වයකි. මන්ද තාක්‍ෂණික ලෝකය සමඟ සම්බන්ධ වීමට, විද්‍යාව පිළිබඳ හැදෑරීමට වර්තමානයේ දී දරුවන් විශාල උනන්දුවක් දැක්වීම ඊට හේතුවයි.

ඉතිරි කොටස ලබන සතියේ

Comments