කෝෆ් බෝල් කියන්නේ සමානාත්මතාව වඩවන ක්‍රීඩාවකට | සිළුමිණ

කෝෆ් බෝල් කියන්නේ සමානාත්මතාව වඩවන ක්‍රීඩාවකට

 

කෝෆ් බෝල් ලෝකයේ ජනප්‍රිය ක්‍රීඩාවකි. එහෙත් එය තවමත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යාංශය නිල වශයෙන් පිළිගෙන නැත. එය ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචිය අපේක්ෂාවෙන් දීර්ඝ කාලයක් තිස්සේ පසුවන ක්‍රීඩාවකි. අතිශය වේගවත් ක්‍රීඩාවක් මෙන්ම විනෝදශීලි හා සුහදත්වය ගොඩනංවන ක්‍රීඩාවක් වශයෙන් එය සැලකිය හැකි ය. වයස් භේදයකින් තොරව පෙර පාසල් වියේ සිට ඕනෑම වයස් කාණ්ඩයක ක්‍රීඩකයනට නිරත විය හැකි මෙම ක්‍රීඩාව ඉපැදී ඇත්තේ නෙදර්ලන්තය තුළදී ය. දැනට ලොව රටවල් හැත්තෑවකට අධික සංඛ්‍යාවක ව්‍යාප්තව ඇති කෝෆ් බෝල් ක්‍රීඩාව වෙනුවෙන් පිහිටුවා ඇති ශ්‍රී ලංකා කෝෆ් බෝල් සම්මේලනයේ ලේකම් ධුරය හොබවනු ලබන්නේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් හා පුහුණුකරුවකු ද වන පුෂ්පකුමාර මදුරප්පෙරුම මහතා ය. මේ කෝෆ් බෝල් ක්‍රීඩාව සම්බන්ධයෙන් හා එහි අනාගතය පිළිබඳ සංගමයේ ලේකම්වරයා සමඟ ‘ක්‍රීඩා’ පැවැත්වූ සංවාදයකි.

මොකක්ද මේ කෝෆ් බෝල් ක්‍රීඩාව කියන්නේ?

ලෝකය තුළ රටවල් හැත්තෑවක ව්‍යාප්තව ඇති අතිශය අපූරු ක්‍රීඩාවකට තමයි කෝෆ් බෝල් ක්‍රීඩාව කියලා කියන්නේ.

ඒක මොන වගේ ක්‍රීඩාවක් ද?

මේ ක්‍රීඩාව කණ්ඩායම් ක්‍රීඩාවක්. ඒ වගේම අතිශය විනෝදකාමී වගේම වේගවත් ක්‍රීඩාවක්.

ක්‍රීඩාවේ එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් කීදෙනෙක් ඇතුළත් වෙනවා ද?

එතැන කේ අට සහ කේ හතර කියලා තරග ඉසව් දෙකක් තිබෙනවා. කේ අට තරගයක කණ්ඩායමකට ක්‍රීඩකයන් අටක් සහ ක්‍රීඩිකාවන් අටක් එක් පිලකට නම් කෙරෙනවා. එකවර ක්‍රීඩා කරන්නේ ක්‍රීඩකයන් හතරක් සහ ක්‍රීඩිකාවන් හතර දෙනකුයි. කේ හතර තරග වෙනුවෙන් ක්‍රීඩකයන් දෙකක්

සහ ක්‍රීඩිකාවන් දෙකක් එකවර පිටියේ ක්‍රීඩා කරනවා. එය තමයි වඩාත්ම වේගවත් වන්නේ.

වේගවත් කියන එක සාපේක්ෂව කොහොමද ඔබ දක්වන්නේ ? උදාහරණයකට එය දැල්පන්දු වගේ ක්‍රීඩාවක් එක්ක සන්සන්දනය කරනවා නම් කොහොම ද?

ඇත්තෙන්ම කියනවා නම් ඊට වඩා බොහෝ වේගවත්. සමහර වෙලාවට පැසිපන්දුවලටත් වැඩිය වේගවත් ක්‍රීඩාවකට තමයි කෝෆ් බෝල් කියලා කියන්නේ.

අපි දන්නවා ඔබ ක්‍රිකට් ක්‍රීඩකයකුව සිටි අයෙක්. ඒ වගේමයි පසුකාලීනව හොඳ ක්‍රිකට් පුහුණුකරුවකු වශයෙනුත් කටයුතු කළා. ඒත් ඔබ හදිසියේ ක්‍රිකට් අතහැරලා අලුත් ක්‍රීඩාවකට අත ගහනවා. මොකද ඒ?

මේ ක්‍රීඩාව ගැන මම දැනගත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදියි. එතකොට මම හිතුවා මේ ක්‍රීඩාව ලංකාවට ඇතුළේ ව්‍යාප්ත කරන්න කටයුතු කරන්න උවමනායි කියලා. එදා ඇතිවුණු ආශාව නිසා තමයි මම කෝෆ් බෝල් ක්‍රීඩාව ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කිරීමේ අරමුණට එක්වන්නේ.

ක්‍රිකට් කියන්නේ සල්ලි පිරුණු ක්‍රීඩාවක්. ක්‍රිකට් අතහැරලා අලුත් ක්‍රීඩාවක් පටන් ගත්තේ එතැන ඊට වැඩිය සල්ලි ලැබෙන නිසා ද?

ඇත්තටම මම මෙතැන බැලුවේ මුදල් ගැන නෙවෙයි. දන්න හැමෝම දන්නවා මම ක්‍රිකට් පුහුණුකරුවෙක් වශයෙන් හොඳට මුදල් ඉපැයූ බව. ගම්පහ දිස්ත්‍රික්කයේ විශාලම ක්‍රිකට් පුහුණු පාසල පැවැත්වූයේ මම. ඒත් දවසක මම අලුත් ක්‍රීඩාවක් වෙනුවෙන් හිත වෙනස් කර ගත්තා. එහෙම වෙනස් කරගත්තා. ඒ හිතත් සමඟ ක්‍රිකට්වලට නැවතීමේ තිත තැබුවා. එතැනදී මම සැලකිල්ලට ගත්තේ මුදල් ගැන නෙවෙයි. ක්‍රිකට්වලට වැඩිය මේ ක්‍රීඩාව මඟින් ලෝකය සමඟ ගනුදෙනු කරන්න පිළිවන් කියා මට වැටහුණා. ඒ වගේම මෙම ක්‍රීඩාව මහත්මා ගුණයෙන් වඩා පරිපූර්ණ, විනෝදාස්වාදයෙන්

යුතු ක්‍රීඩාවක් බවත් මට වැටහුණා. ඉතින් මම ඒ විදිහට කටයුතු කරන්න පටන් ගත්තා.

ඒ කියන්නේ මේ ක්‍රීඩාව කරලා ලෝකයට යන්න පුළුවන් නිසා ඔබ කෝෆ් බෝල් තෝරා ගත්තා?

ලෝකයට විවර වෙන්න හොඳ අවස්ථාවන් තිබෙන බව ඇත්ත. මට ක්‍රිකට් පුහුණුකරුවකු වශයෙනුත් ලෝකය විවර වෙන්න පිළිවන්කම තිබුණා. ඒත් මම එතැනදී වැඩියෙන්ම දැක්කේ මේ ක්‍රීඩාවේ ඇති ගුණාත්මක භාවය. අඩු වෙහෙසකින්, අඩු ඉඩකින් ඕනෑම වයස් කාණ්ඩයක ඉන්න කණ්ඩායමකට මෙම ක්‍රීඩාව කළ හැකියි. ඒ වගේම කෝෆ් බෝල් ක්‍රීඩාව සමඟ අපිට ලෝකය විශාල රටවල් සංඛ්‍යාවක් එක්ක සෘජුව ගනුදෙනු කරන්න අවස්ථාව උදා වෙලා තිබෙනවා. කෝෆ් බෝල් ක්‍රීඩාව සම්බන්ධයෙන් කොටින්ම කියනවා නම් මානුෂිකත්වය රැකුණු විශිෂ්ට ක්‍රීඩාවක්. ලෝකයට යන්න පිළිවන්කම විතරක් නෙවෙයි මෙතැන තියෙන්නේ. ලිංගික සමානාත්මතාවය උපරිම වශයෙන් ආරක්ෂා කර නත් කෝෆ් බෝල්වලට හැකියාව තිබෙනවා.

මොකක් ද මේ ලිංගික සමානාත්මතාව වශයෙන් ඔබ අදහස් කරන්නෙ?

මේකෙ කාන්තාවන් සිව් දෙනයි පිරිමි සිව්දෙනයි එකම කණ්ඩායමකට ඇතුළත් විය යුතු ක්‍රීඩාවක්. එතැනදී දෙකට බෙදපු පිටියක පිරිමි අට දෙනෙක් එක අන්තයකත් අනෙක් අන්තයේ කාන්තාවන් අට දෙනාත් ක්‍රීඩා කරනවා. එතැන මිශ්‍ර කණ්ඩායම් නියෝජනයක් තිබෙන නිසා කාන්තාවන්ට හා පිරිමින්ට කියා වෙනස් ස්ථානයක් ලැබෙන්නේ නෑ. හැමෝටම සම තැනක් තමයි හිමිවන්නේ. ඒ වගේම කාන්තාවන් බලගන්වන්නත් ප්‍රයෝජනයට ගත හැකි ක්‍රීඩාවක් විධිහට තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගෙන තිබෙන්නේ.

ක්‍රීඩාශීලිත්වය ඇතුළු ඕනෑම ක්‍රීඩාවකින් එක්වන ගුණාංගවලට අතිරේකව තව මොනවද මේ ක්‍රීඩාව තුළින් සමාජයට එක්වන්නේ?

ඇත්තටම කියනවා නම් තවත් කණ්ඩායම් ක්‍රීඩාවලට වඩා කණ්ඩායම් හැඟීම වර්ධනය කර ගන්න මෙම ක්‍රීඩාව ප්‍රයෝජනවත්. කාන්තාවන් හා පුරුෂයන් අතර සහජීවනය, දරාගැනීමේ හැකියාව වර්ධනය කරන එක, බුද්ධි වර්ධනය වගේ බොහෝ කාරණා මෙම ක්‍රීඩාව මඟින් වැඩිදියුණු වෙනවා.

පෙර පාසල් තුළත් කෝෆ් බෝල් ක්‍රීඩාව කරන්න පුළුවන් බවක් ඔබලා කියනවා. මොකක්ද ඒ කතාව?

ඔව්. පෙර පාසලේ සිටන්ම දරුවන් ක්‍රීඩාව වෙනුවෙන් යොමු කළ යුතුයි. වර්තමාන ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මැතිතුමාත් එම අදහස ඉදිරියට අරගෙන කටයුතු කරන බව අපි දැක්කා. එය අතිශය සතුටට කරුණක්. මෙම ක්‍රීඩාව ඒ ආකාරයෙන් පෙර පාසල් දරුවනට පහසුවෙන් නියැළීමට අවස්ථාව උදා කර දෙන ක්‍රීඩාවක් බව පවසන්න අවශ්‍යයි. මෙම ක්‍රීඩාව මඟින් ළමා මරණ ප්‍රතිශතය අඩු කර ගන්නත්, කායික හා මානසික ශක්තියෙන් සපිරි දරු පරපුරක් නිර්මාණය කර ගන්නත් හැකියාව උදා වෙනවා.

දැන් ඔය ක්‍රීඩාව ලංකාව ඇතුළේ පටන් ගත්තේ කොයි කාලේ ඉඳලද?

2013 වසරේ ඉඳලා. මුලින්ම මෙම ක්‍රීඩාව ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ නෙදර්ලන්ත ජාතික මහත්මියක්. ඇය තමයි ජොසේ වෑන් නියුන්පිටි. මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වැඩමුළුවකදි තමයි මේ ක්‍රීඩාව ගැන දැනගන්නේ. එතැනදී ඒ ක්‍රීඩාව ව්‍යාප්ත කරන්න උපකාර කරන්න හා එය මුල් ඇදගන්න අවශ්‍ය පසුබිම සකස් කරන්න ඈ කැමැති වුණා. එහෙම තමයි අපි 2015 වසරේදී මුලින්ම ශ්‍රී ලංකා කෝෆ් බෝල් සංගමය පිහිටුවන්නේ.

එතකොට මේ ක්‍රීඩාවේ අන්තර්ජාතික සංගමයක් තිබෙනවා ද?

ඔව්. අපි 2015 වසරේම මෙම සංගමයේ මව් සංගමය එක්ක සම්බන්ධ වෙනවා. එහෙම සම්බන්ධ වුණු ලෝකයේ හැට අට වැනි රට තමයි ශ්‍රී ලංකාව.

දකුණු ආසියාව තුළ මේ ක්‍රීඩාව ව්‍යාප්ත වෙලා තිබෙනවා ද?

ඇයි නැත්තේ. ඉන්දියාව හා තවත් රටවල් කීපයක මෙම ක්‍රීඩාව ව්‍යාප්ත වෙලා තිබෙනවා. නමුත් ඉස්ලාම් රාජ්‍යයන් තුළ නම් කෝෆ් බෝල් ක්‍රීඩාව ව්‍යාප්තව නෑ. මොකද මෙය සම්මිශ්‍රිත ක්‍රීඩාවක් නිසා. ඉස්ලාම් රාජ්‍යයන් බොහොමයක් තමන්ගේ ක්‍රීඩිකාවනට යම් යම් සීමාවන් පනවා ඇති නිසා තමයි එය එහෙම වෙන්නේ.

එතකොට කෝෆ් බෝල් ආසියානු ශූරතා තරගාවලියක් තිබෙනවා ද?

තිබෙනවා. අපි 2016 වසරේ ඉන්දියාවේ ජායිපූර් හිදී පළමු ආසියානු තරගාවලියට සහභාගි වුණා. ඒ තරගාවලිය මට කෝෆ් බෝල් ක්‍රීඩාව තුළ පවතින සංහිඳියාව, සමානාත්මතාවය උපරිමයෙන් තේරුම් ගන්න මනා පිටිවහලක් වුණා. සැබැවින්ම මම නීතිගරුකව කටයුතු කරන්න සැමවිටම ක්‍රියා කරන පුද්ගලයෙක්. ක්‍රීඩකයෙක් වශයෙන් මා ලබා ඇති ශක්තිමත් පන්නරය තමයි ඒකට ඉවහල්ව තිබුණේ. නමුත් කෝෆ් බෝල් ක්‍රීඩාව සමඟ අත්වැල් බැඳගත්තාට පසුව මට මගේ මේ විනයානුකූල භාවය තවදුරටත් වර්ධනය කර ගන්න මනා රුකුලක් ලැබුණා.

මොකක්ද දැන් ඔබට ඔය තරම් සිදුවුණු බලපෑම කියලා කියන්න කැමැති ද?

ඔව්. අපි ඉන්දියාවේ ජායිපූර්වලදී තමයි ආසියානු ශූරතාවයට ඉදිරිපත් වුණේ. ඇත්තටම ඒ තරගාවලියට ඒතරම් ඉක්මනට යන්න එපා කියලා තමයි මට අපේ නෙදර්ලන්ත ජාතික මහත්මිය උපදෙස් දුන්නේ. ඒ තමයි අපිට අත්දැකීම් නැති නිසා ප්‍රතිවාදී රාජ්‍යයන් අපේ කණ්ඩායමට හොඳටම ලකුණු ගහලා අපි මානසිකව ඇද වැටෙයි කියලයි ඈ කිව්වේ. ඒත් මම අපි ලෝක සම්මේලනයේ සාමාජිකයන් වෙද්දී දුන්නු ප්‍රතිඥාවක් තිබුණා. ඒ තමයි ඊළඟ ආසියානු ශූරතාව නියෝජනය කරනවා කියලා. ඒ වචනය රකින්න මම අනතුරක් තියාගෙන ඉන්දියාවේ ජායිපූර් ආවා. අපිට හොඳ පිළිගැනීමක් ලැබුණා. එතැනදී එක තරගයක් වැටිලා තිබුණේ ලෝකයේ අංක දෙක හා තුන ස්ථානවල පසුවන තායිවානය සමඟයි. ඔවුන් තරගය අවසන් කළේ අපිට එරෙහිව ගෝල 20 ක් රැස් කරගෙන යි. එහි තිබුණු අනික් විශේෂත්වය අපි බෝලය අතට ගත්තහම ඔවුන්ගේ ආරක්ෂකයන් පන්දුව ගෝල් එකට දාන්න කියලා අපිව දිරි ගන්වමින් තමයි අපි එක්ක ක්‍රීඩා කළේ. ඉතින් මට එතැනදී ඇතිවුණා මේ ක්‍රීඩාව තුළ කොයිතරම් අපූරු මනුෂ්‍යත්වයක් තියෙනවා ද කියන කාරණය. ඒ වගේම තව දෙයක් වුණා, එක වතාවක් අපි තායිලන්තයේ තිබුණු තරගාවලියකට යද්දී නියමිත දිනට යන්න බැරිවුණා. ක්වාලාලම්පූර් නුවර පැය හතළිස් අටක් අපි හිටියා. මේ කාලය තුළ අපිට තරගාවලියේ සමාරම්භක උලෙළ අහිමි වුණා. ඒත් ඔබ දන්නවාද එදා සමාරම්භක උළෙලේ මොකද වෙලා තියෙන්නේ කියලා. අපි නැති වුණත් අපි වෙනුවෙන් අපේ ජාතික ධජය පෙරටු කරගෙන තායිලන්ත ජාතික දරුවෙක් සමාරම්භක උලෙළේ ගොස් තිබුණා.

දැන් එතකොට මේ කෝෆ් බෝල් ක්‍රීඩාව ලංකාව ඇතුළේ කොහොමද ව්‍යාප්තිය ?

අපි දිස්ත්‍රික් ගණනාවක මෙම තරග සංවිධානය කරනවා. දැනටත් පුහුණු කඳවුරු පවත්වනවා. අපිට පාසල් කණ්ඩායම් තිබෙනවා. සමස්ත ලංකා තරගාවලියක් හා පාසල් තරගාවලියක් අපි 2016 අවුරුද්දේ ඉඳලා පවත්වනවා.

දැන් ඔය කෝෆ් බෝල් ක්‍රීඩාව ක්‍රීඩා අමාත්‍යාංශය ඇතුළේ ලියාපදිංචි ක්‍රීඩාවක් ද?

තවමත් අපිට ලබා ගන්න බැරිවුණු දෙය තමයි මේ කියන ලියාපදිංචිය. වසර ගණනක් තිස්සේ අපි රට ඇතුළේ මේ ක්‍රීඩාව කළත්, අන්තර්ජාතික තරග වෙනුවෙන් එක්වුණත් තවම අපිට ලියාපදිංචිය ලබා ගන්න හැකි වෙලා නෑ.

ලියාපදිංචිය ලබා ගන්න නොහැකි වුණා කියන්නේ සංගමයේ ඉන්න නිලධාරීන්ගේ වරදක් නේද? ඔය අලුතින් එන ක්‍රීඩා බොහොම අපූරුවට ලියාපදිංචිය ලබා ගන්නෙ, ඇයි අවුරුදු හයක් ගිහිල්ලත් ඔබේ සංගමයට ලියාපදිංචියක් ගන්න බැරි?

අපි උත්සහ කරනවා. නමුත් තවමත් අපිට ලැබිලා නෑ. මෙතැනදී අපි නව ක්‍රීඩා අමාත්‍යවරයා මුණගැසී සාකච්ඡා කරන්න අපේක්ෂා කරනවා. එතුමා අවස්ථා කීපයකදී කතා කරලා අපිට කිව්වා ක්‍රීඩාවක් වශයෙන් කඩිනමින් ලියාපදිංචි කර ගනිමු කියලා. ඉදිරියේදී ඒ කටයුත්ත කර ගන්න අපිට හැකියාව ලැබේවි කියලා අපේක්ෂා කරනවා.

ඔය ලියාපදිංචියේ දී මොකක්ද දැන් පරහට හිටලා තියෙන්නේ?

නෑ පරහක් කියන්නේ දිස්ත්‍රික් සංගම් පිහිටුවලා, ඒවායේ නිලධාරී මණ්ඩල පත්කරලා, ඒ නිලධාරී මණ්ඩල තමන්ගේ දිස්ත්‍රික් සංගම්වල විගණනය කරන ලද ගිණුම් වාර්තා, මහ සභා රැස්වීමේ අනුමත ප්‍රකාශන, දිස්ත්‍රික් තරගාවලි සංවිධානය කිරීම, පාසල් තරග පැවැත්වීම ඇතුළු කරුණු ගණනාවක් සම්පූර්ණ කරන්න කියලා තමයි ක්‍රීඩා අමාත්‍යාංශය කියන්නේ. ඒකත් අදාළ සංගම් පිහිටුවලා වසර තුනක් තිස්සේ ඒවා බලාත්මක කරන්න ඕනෑ. එහෙම නැත්නම් ලියාපදිංචිය දේනනෙ නැතිලු.

දැන් එතකොට පාසල් තුළ ඔය ක්‍රීඩාව ව්‍යාප්ත කරන්න හැකියාවක් නැද්ද?

අපි යම් ප්‍රමාණයකට මේ ක්‍රීඩාව පාසල් තලයේදී කරගෙන යනවා. නමුත් ගැටලුව තිබෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයට ගියාම ඔවුන් අහනවා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි වුණු ක්‍රීඩාවක්ද කියලා. ඒ වගේම ක්‍රීඩා අමාත්‍යාංශයට ගියාම බලනවා අපි අධ්‍යාපන අමාත්‍යාංශය පිළිගන්නවාද කියලා. මේ කියන අන්ත දෙකේදි අපි තැළෙනවා.

දැන් ඔබ දීර්ඝ කාලයක් මේ ක්‍රීඩාව එක්ක ඉන්න කෙනෙක්නෙ. ඉතින් පොඩි කෙටි පාරක් සොයාගෙන ගිහින් ඔය ක්‍රීඩාව ඔය තරම් අපූරු ක්‍රීඩාවක් නම් ලියාපදිංයි කර ගන්න පුළුවන්නෙ?

ඔව්. ඒත් මම ඔබට මුලදී කිව්වා මම මේ ක්‍රීඩාව තුළින් වගේම ක්‍රීඩකයෙක් වශයෙන් මා ලබා ගත්තු විනය නිසා කෙටි ක්‍රම, වංගු වැඩවලට කැමති නෑ කියලා. දිග වුණත් නිවැරැදි මාර්ගයේ ගිහින් ඒ වැඩේ කර ගන්නයි මම

කැමති. එහෙම නැතිව උපක්‍රම දාලා අනුමත කරගෙන ලියාපදිංචිය අරගන්න මගේ කැමැත්තක් නෑ.

දැන් ඔබ මේ ක්‍රීඩාව රට ඇතුළේ තිබෙන සුරක්ෂිත භාවය ගැන සෑහීමකට පත්වෙනවා ද?

ඇත්ත කතා කරන්න එපායැ. මම ඉන්නේ කලකිරීමකින්.

ඇයි ඒ?

නෑ. මම මගේ සල්ලි වියදම් කරගෙන, අපේ කණ්ඩායමේ කීප දෙනෙක් එක්ක එකතුවෙලා මේ ක්‍රීඩාව කරගෙන යනවා. නමුත් තවම මේ ක්‍රීඩාව තුළින් රටට අරගෙන දෙන්න තියෙන ප්‍රතිලාභ ළඟා කර ගන්න නොහැකි වෙලා තිබෙනවා. ඒ ගැන මට තියෙන්නේ කලකිරීමක්. ක්‍රීඩාව අතහැරලා දාන්න කියලා හිත කියද්දී මේ ක්‍රීඩාව එක්ක රැඳිලා ඉන්නේ ඒ ක්‍රීඩාවෙන් ලැබෙන ප්‍රයෝජනය ගැන හිතලයි.

දැන් අපිට මේ කීඩාවේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල ස්ථානයක් තිබෙනවා ද?

ඔව්. කෙටි කලකින්ම අපි මේ ක්‍රීඩාවේ 51 වැනි තැන සිට 44 වැනි තැනට ආවා. 2018 වසරේ අපිට මේ ක්‍රීඩාවේ 30 වැනි තැනට පත්වෙන්න හැකිවුණා. කොවිඩ් වසංගතයට මුහුණ දුන්නේ නැත්නම් අපිට තවත් ඉදිරියට එන්න හැකියාවක් තිබුණා.

ඔබ මේ ක්‍රීඩාවේ ජාත්‍යන්තර තරගාවලියක් ශ්‍රී ලංකාවේ සංවිධානය කරන්න මීට පෙර සැලසුම් කරලා තිබුණු බවක් කියැවුණා?

ඔව්. අපි මෙම වසරේ දෙසැම්බර් 31 වැනිදා සිට ජනාවාරි 02 වැනි දා දක්වා ලෝක වෙරළ කෝෆ් බෝල් තරගාවලියක් සංවිධානය කරන්න සැලසුම් සකස් කරලා තිබුණේ. කොවිඩ් වසංගතය නිසා ලෝකයේම සැලසුම් වෙනස් වුණා. ඇකිළුණා, කල් දැමුණා.

කසුන් ඉරුගල්බණ්ඩාර

Comments