ද්විත්ව පුරවැසි සොල්දාදුවන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා පාපන්දු පිල කොරියාවේ හටන් බිමට | සිළුමිණ

ද්විත්ව පුරවැසි සොල්දාදුවන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා පාපන්දු පිල කොරියාවේ හටන් බිමට

 

ද්විත්ව පුරවැසිලාභී එංගලන්ත ලීග් තරගාවලියට වෘත්තීය මට්ටමින් ක්‍රීඩා කරන ක්වීන්ස් පාක් රේන්ජර්ස් ක්‍රීඩා සමාජයේ ඩිලන් සෙනන් ද සිල්වා දකුණු කොරියාවේදී ශ්‍රී ලංකා පාපන්දු සංචිතය සමඟ එක්ව තිබේ.

ක්‍රීඩකයින් 21 දෙනෙකුගෙන් සහ නිලධාරීන් 11 දෙනකුගෙන් සැදුම් ලත් ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ඉකුත් සඳුදා (31) රාත්‍රියෙහි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් පිටත්ව ගියේ ය. ඒ 2022 වසරේ කටාර් දේශයේ දී පැවැත්වෙන ජගත් පාපන්දු ශූරතා තරගාවලිය සඳහා සුදුස්සන් තෝරා ගැනීමේ මූලික වටයට අයත් ඒ, කාණ්ඩයේ තවත් තරග දෙකකට සහභාගී වීමේ අරමුණ ඇතිව ය.

මෙම වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම තරග දෙකකට සහභාගි වීමට නියමිතව තිබිණි. ඒ අනුව ඊයේ (05) ලෙබනනයට එරෙහිව ද බදාදා (09) දින දකුණු කොරියාවට එරෙහිව ද ශ්‍රී ලංකා පිල තරග වැදීමට නියමිත විය. එම තරග දෙකම ජයගත්ත ද ශ්‍රී ලංකා පාපන්දු පිලට මීළඟ ජගත් පාපන්දු ශූරතා තරගාවලියට සහභාගි වීම මේ වන විට සිහිනයක් බවට පත්ව හමාරය. ඒ දකුණු කොරියාව හමුවේ ගෝල් 08 - 00 කින් ද ලෙබනනය හමුවේ ගෝල් 03 - 00 කින් ද ලත් අමිහිරි පරාජය හේතුවෙනි.

ජගත් පාපන්දු ශූරතා සිහිනය තව තවත් ඈතට දිව යන අතරවාරයේ ශ්‍රී ලංකා ජාතික පිලට සැනසුම් සුසුමක් හෙළන්නට ඉතිරිව ඇත්තේ එළැඹෙන 2023 වසරේ චීනයේ දී පැවැත්වෙන ආසියානු පාපන්දු ශුරතා තරගාවලිය සඳහා සුදුස්සෙකු වීමේ බලාපොරොත්තුව පමණි.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් තෝරා ගැනීම වෙනුවෙන් කැඳවා තිබූ සංචිතයෙහි පුහුණු කිරීම් බැද්දගානේ පිහිටි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන පුහුණු මධ්‍යස්ථානයේ දී පසුගිය ජනවාරි මස මුල් සතියේ ආරම්භ කෙරුණි.

එය අදියර 05 ක් යටතේ ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව කණ්ඩායම නම් කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පියවර ගත්තේ පසුගිය සතියේ දී ය .

P C R සහ ඇන්ටිජන් පරීක්ෂණවලින් අනතුරුව ආරක්ෂිත ජෛව බුබුළක් යටතේ ජාතික සංචිතය පුහුණු කිරීම් සිදු කෙරුණු අතර ඒ සඳහා ශ්‍රී ලාංකේය පුරවැසි භාවය හිමි "මර්වින් හැමිල්ටන්" සහ "ඩිලන් සෙනන් ද සිල්වා" මෙවර ජාතික සංචිතයට ඇතුළත් කර තිබීම කැපී පෙනුණි. 19 හැවිරිදි වියේ පසුවන ඩිලන් සෙනන් ද සිල්වා මෙවර කණ්ඩායමට ඇතුළත් ළාබාලම ක්‍රීඩකයා ද වෙයි.

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම මෙහෙයවීමේ වගකීම මෙවර පැවරී ඇත්තේ ඩබ්ලිව්.එස්.ටී.ඩී. සුජාන් පෙරේරා වෙතය.මෙරට සිිිිටින අංක එකේ ගෝල් රකින්නා ලෙස සැලකෙන සුජාන් පෙරේරා ජාත්‍යන්තර තරග වැඩිම ගණනකට සහභාගී වී ඇති ක්‍රීඩකයින් අතරේ ඉදිරියෙන්ම පසුවේ. පාපන්දු ක්‍රීඩාව වෘත්තය කරගත් සුජාන් පෙරේරා මාලදිවයිනේ ලීග් තරගාවලිය තුළ කැපී පෙනෙන චරිතයකි. සුජාන් කළුතර සිරිකුරුස විද්‍යාලයෙන් පාපන්දු ක්‍රීඩාවට අවතීර්ණ වූ ක්‍රීඩකයෙකි.

අහමඩ් වසීම් රාසික් සහ එල්. එච්. කවිඳු ඉෂාන් සම උප නායකයින් ලෙස නම් කර තිබීමද කැපී පෙණේ. ජර්මනියේ අධ්‍යාපනය ලබමින් ජර්මන් පාපන්දු ලීග් තරඟාවලියට සහභාගී වන අහමඩ් වසීම් රාසික් අනාගතයේ තවත් ශ්‍රී ලංකා බලාපොරොත්තුවකි. කවිදු ඉෂාන් මාතර සාන්ත සර්වේශස් විදුහලෙන් පාපන්දු හුරුව ලබාගත් ක්‍රීඩකයෙකි.

ජාතික පුහුණුකරු ලෙස පත්වීම් ලබා සිටින බොස්නියානු ජාතික අමීර් ඇලජික් මහතා යටතේ ශ්‍රී ලංකා ජාතික පිල මුහුණ දෙන පළමු තරග ද්විත්වය ද මෙය වෙයි.

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම

ඩබ්ලිව්.එස්.ටී.ඩී. සුජාන් පෙරේරා (නායක)

එච්.එම්. ප්‍රභාත් රුවන් අරුණසිරි

ආර්.කේ. ධනුෂ්ක

කේ. එන්. හර්ෂ ප්‍රනාන්දු

ඒ. ඒ.එස්. රොෂාන් අප්පුහාමි

යූ. එච්. ඩී. ජූඩ් චමෝද් ඩිල්ෂාන්

බී. එම්. චරිත බණ්ඩාර රත්නායක

වයි. ඩක්ෂන් පස්ලස්

ආර්. ඒ. චතුරංග මධුෂාන්

මර්වින් හැමිල්ටන්

එම්. චලන චමීර

එස්. ජූඩ් සුපන්

එම්. එම් මොහොමඩ් මුස්තාක්

එම්. එන්. මොහොමඩ් පශාල්

එල්. එච්. කවිඳු ඉෂාන් (උප නායක)

ඩිලන් සෙනන් ද සිල්වා

අහමඩ් වසීම් රාසික් (උප නායක)

එම්. එෆ්. මොහොමඩ් ආකීබ්

එම්. ඒ. අසීකුර් රහුමාන්

එම්. ඒ. මොහොමඩ් හස්මීර්

එස්. සුපුන් ධනංජය

එම්. ජේ. රිෆ්කාන් මොහොමඩ්

 

නිලධාරි මණ්ඩලය

අමීර් ඇලජික් මහතා (ප්‍රධාන පුහුණුකරු)

අසීෆ් අන්සාර් මහතා (කළමනාකරු)

අමීර් ඩොක්සනල්ටික් (සහය පුහුණුකරු)

එම්. ආර්.එම්.ජයසූරිය (කණ්ඩායම් වෛද්‍ය )

ටී. එම්. අයි. ටී. මධුවන්ත බණ්ඩාර (මාධ්‍ය නිලධාරී)

එම්. ඊෂා රාධී ( තාක්ෂණික නිලධාරී)

අශාන් චතුරංග ගම්ලත් ( ශාරීරික යෝග්‍යතා පුහුණුකරු)

සංඛ ජයමිණ විදානාරච්චි ( දක්ෂතා විශ්ලේෂක)

එම්. අබ්දුල් බාසීත් ( භෞත චිකිත්සක)

ජීවන කල්දේරා ( සම්බාහක)

ඒ. රොෂාන් ප්‍රදීප් ( ක්‍රීඩා ආම්පන්න නිලධාරී)

සපුමල් වීදිය බණ්ඩාර

Comments