දිගු දුර කෙටි දුර ශූරයා බිහිවෙයි නිවාසයටත් ජය ගෙනේ | Page 2 | සිළුමිණ

දිගු දුර කෙටි දුර ශූරයා බිහිවෙයි නිවාසයටත් ජය ගෙනේ

 

සහතික පදක්කම් අතර විමලේට උත්තුංග මානසික සම්මානයක්

කැලණියේ දුර දුවන අහිංසකයා විමලසේන පෙරේරා. ගැටවරයා කාලේ හිතුවොත් හිතුව දේ කරන දඩබ්බරයෙක්. පාපැදියෙන් දාපු සෙල්ලමක් ගැන අපි ගිය සතියේ කියෙව්වා. ඒ ඔහු ධර්මාලෝකේ නිවාසාන්තර පාපැදි තරගය දිනාගත්තු ආකාරය ගැන යි. තොරණ හන්දියේ ජූලියන් අයියා ගේ දිරිගැන්වීම්, උපදෙස් එක්ක කොහොමද ඔහු තරගය දිනුවේ කියන එක ගැනයි ගිය සතියේ විමලෙ අපට හෙළිකළේ.

ආරම්භයේ දී පස් වැනියාට හිටපු ඔහු නුංගමුගොඩ වංගුවේ දී සිව් වැනියා හා තෙවැනියා පසු කර, ගල්බොරැල්ලේ කන්ද ආයාසයකින් තොරව නැඟවිත් කැළණි විහාරය පහු කළ ආකාරය මතකයන් සිත්තම් කළ සිදුවීම් පෙළක්. රැලේ පාපැදියෙන් රැළෙන් මිදී ගොස් වතුර පනිට්ටුවල සත්කාරයෙන් මාකොල හන්දියෙන් කිරිබත්ගොඩටත් එතනින් තොරණ හන්දියටත් පැමිණ ප්‍රේක්ෂකයන්ගේ ජයඝෝෂා හා සුබ පැතුම් මැද තරගය අවසන් කළ අයුරු සැබැවින්ම වදන් චිත්‍ර මැවූ සිදුවීම් පෙළක්. 'මාව වටකරගෙන හිටපු පිරිස අස්සෙ හිටපු තාත්තා මගේ ගාවට ආවහම මම ගොළු වුණා. තාත්තත් ගොළු වුණා. ‘‘තාත්තේ මම දිනුම්.’’ මට ඉබේටම කෑගැහුනා.' විමලසේන පෙරේරා දසක ගණනකට පෙර අත්දැකීමක් අද ඊයේ සිදුවූ සිදුවීමක් ලෙස විඳිද්දී අපිත් ඒ මතකය තුළට ඇතුළු වුණා. අද විමලෙගෙ කතාව කියන්නේ එතැන ඉඳලයි.

බයිසිකල් තරගයේ ජයග්‍රහණයත් සමඟ මගේ උද්යෝගය තවත් වර්ධනය වුණා. නිවාසාන්තර තරගයෙන් මගේ නායකත්වය යටත් ක්‍රියාත්මක වුණු ධර්මපාල නිවාසයට ජය අත්කර දෙන එක තමයි මගේ ලොකුම අපේක්ෂාව වුණේ.' එම සිතිවිල්ල මෙතෙක් කල් සිය දෙපාවලට හුරුකර ගෙන තිබූ පාපන්දුව වෙනුවට තවත් ක්‍රීඩා ඉසව් කෙෙරහි ඔහුගේ අවධානය යොමුකරමින් තිබුණේ ය. එය පැවසිය හැක්කේ දෛවයේ හැසිරවීමක් ලෙසිනි.

'මගේ ඊළඟ ඉලක්කය ගම හරහා දිවීමේ තරගය. ඒ තරගයට පාසලේ සෑම නිවාසයකින්ම හතර පස් දෙනෙක් සහභාගි වුණා. ඒ නිසා ගම හරහා දිවීමත් පාපැදි තරගය වගේම උද්වේගකරයි. සිංහල අවුරුදු තරගවලට දුවලා ජයග්‍රහණය කරපු පාසලේ කිහිප දෙනෙක්ම ඒ අතර හිටියා. මේ මගේ පළවෙනි රේස් එක. ඒ නිසා මේකෙනුත් කොහොම හරි දිනනවමයි කියන අධිෂ්ඨානය හිතට අරගෙන මුල් ගැම්මෙන්ම මම ඉස්සරහට පැනලා දිව්ව දිවිල්ල අහවර කළේ පළමුවැනියා විධිහටම යි. දැන් මගේ හිත හයියයි. මට දුවන්න පුළුවන් වගේම දිනන්නත් පුළුවන් කියන හැඟීම මගේ හිතට කාන්දු කළා.' ඔහු කිව්වේ ප්‍රීතියෙනි.

මේ අතර නිවාසාන්තර මීටර් 800 තරගය තිබුණේ ද ධර්මාලෝක ක්‍රීඩා පිටියේම ය. ඒ සඳහා වට අටක් දුවන්න තිබුණේ ය.

'අද වගේ නෙමෙයි. ඒ කාලේ පිට්ටනිය වටේ තැනින් තැන පොල් ගස් තිබුණා. තණ කොළ වැවිලා තිබුණේ අක්‍රමවත් විධිහට. තැනින් තැන වල ගොඩැලි. මොනවා වුණත් ඒ තරගයෙනුත් ජයගන්න මට හැකිවුණා.

ජයග්‍රහණ පේළියට ලැබූ සතුටින් මුහුණ ආලෝකමත් කරගන්නා විමලේ කීවේ ය. එම අතීතය ඔහුගේ ඔලිම්පික් ජයග්‍රහණයක් වැනි සතුටක් මෝදුකරවා තිබුණේ ය..

නිවාසාන්තර ක්‍රීඩා උලෙළ සමාප්ති දින උලෙළ සංවිධානය කර තිබුණේ සිකුරාදා දිනයක ය. මුළු ක්‍රීඩා පිටිය වටේටම වෛවර්ණ පාටින් කූඩාරම් ඉදිකරලා තිබුණා. වෙනදාට නැති විසිතුරක් ක්‍රීඩා පිටියට අරක් ගෙන. එදා මට තිබුණේ මීටර් 1500 තරගය. ඒ වෙනකොට මගේ නිවාසේ සෙසු සගයොත් ඔවුන් ඉදිරිපත් වුණ ඉසව්වලින් ජය අරගෙන අපේ නිවාසය මුල් තැනට ගෙනල්ලා තිබුණේ. ඒ නිසා මීටර් 1500 ඉසව්වත් මම ජය ගනීවි යැයි හැමෝම හිතාගෙන සිටියා. එදා තාත්තා නිවාඩුවක් දාල නිවාසාන්තර ක්‍රීඩා උලෙළ බලන්න ඇවිල්ලා හිටියා. ඒත් ඒ තනියම නම් නොවෙයි. ඔහුගේ ළඟින් මගේ ආදරණීය අම්මත් ඇවිත් උන්නා. ඇත්තම කියනවා නම් එදා අපේ පුංචි පවුලම පිට්ටනියේ. ඒ නිසාම මගේ හිතට ලොකු සතුටක් දැනුනා කිව්වොත් වඩා නිවැරදයි.

නිවාසාන්තර තරගාවලියේ අවසන් ඉසව්ව වුණේ මීටර් 1500 තරගයයි. ඒ තරගය ඉතාමත් පහසුවෙන් ජයග්‍රහණය කරන්න මට හැකිවුණේ හදවතේ ඉපිලිලා තිබුණු සතුට නිසයි. එදා ජයග්‍රාහී කුසලාන මගේ නිවාසයට ලබා දුන්නා වගේම මට ලැබුණු සහතික හා කුසලාන පොකුර අරගෙන ඉදිරියට එනකොට තාත්තයි අම්මයි දෙන්නම ඇවිත් මාව බදාගත්තා. එහෙම තමයි ඔවුන් දෙදෙනා ඔවුන්ගේ හිතේ සැඟවිලා, හිරවෙලා තිබුණු අහිංසක ආඩම්බරය, ආදරය දෝරෙ ගලන්නට ඉඩ දීපු ආකාරය. මට මම දිනපු සෑම පදක්කමකටම, සහතිකයකටම වැඩිය ඒ මවුපිය ආදරය ප්‍රීතියක් ඇති කළා.

අතුල රංජිත් වේදමිස්ත්‍රිගේ

Comments