පුරුෂ මානයේ රජ ඔටුනු බිඳි ඇය ය චෙස් පෙතේ රැජිණිය | සිළුමිණ

පුරුෂ මානයේ රජ ඔටුනු බිඳි ඇය ය චෙස් පෙතේ රැජිණිය

 

ජීවිතයේ වෙන්න පුලුවන් උපරිම හැලහැප්පීම්, කඩා වැටීම්, වෙන් වීම් දරාගෙන තම අරමුණ වෙනුවෙන් පියවරෙන් පියවර යා හැකි තරම් ශක්තිමත් මනසක් සහිතවූවෝ දුලබ ය. මේ සියල්ලටම කාන්තාවකට මුහුණ දීමට සිදු වූයේ නම් ඇයට සමාජයෙන් එල්ල වන පීඩනය මෙතෙකැයි කියා කිව නොහැකි ය. නමුත් ඒ සියලු බිඳ වැටීම්, වෙන් වීම් තම ජීවිතයට ශක්තියක් කර ගනිමින් සමාජ සම්මතයන් සහ සාම්ප්‍රදායික පුරුෂාධිපත්‍යයේ මානය බිඳ දමා තම අරමුණේ හිනිපෙත්තට ම ගිය ක්‍රීඩිකාවක් ලෙස එලිසබෙත් හර්මන් එසේ නැත හොත් බෙත් හර්මන් හැඳින්විය හැකි ය.

විවිධ හැලහැප්පීම්, ජීවත බිඳ වැටීම්, නින්දා හා අපහාස මැද චෙස් ක්‍රීඩාවේ උපරිම තලයට ගිය බෙත් හර්මන් නම් තරුණිය සම්බන්ධයෙන් 1983 දී වොල්ටර් ටෙවිස් නම් ලේඛකයා රචනා කරන ලද The Queen’s Gambit ප්‍රබන්ධ නවකතාව ඇසුරෙන් 2020 වර්ෂයේ දී Netflix ආයතනය විසින් කොටස් 7 කින් යුත් ටෙලි කතා මාලාවක් ලෙස මෙය නිර්මාණය විය.

මෙහි කතානායිකාව වන එලිසබෙත් හර්මන් ට කුඩා කාලයේ දී පියා හැර යෑමත්, වයස අවුරුදු 9 දී අනතුරකින් මව මිය යෑමත් සමඟ අනාථ නිවාසයකට යෑමට සිදු විය. දැඩි කුතුහලකාරී සහ ආක්‍රමණශීලි චරිතයක් වූ ඇයට එහි දී සාම්ප්‍රදායික කාන්තාවක් ලෙස හැසිරීමට සිදුවිය. එහෙත් අහඹු ලෙස අනාථ නිවාසයේ සේවකයකු වූ ෂයිබල් නම් පුද්ගලයා බිම් මහලේ චෙස් ක්‍රීඩාවේ නිරත වනු දකින ඇයට එය ඉගෙන ගැනීමට ආශාවක් ඇති වේ. චෙස් පුවරුව මතදී තමන් කැමැති අයුරින් ඔබ මොබ යන්න, ජය ගන්න, සෙසු ඉත්තන් පාලනය කරන්න අවස්ථාව ලැබෙන නිසාත් සැබෑ ජීවිතයේ දී ඒවා සිහින පමණක් වන නිසාත් ඇය තමාට ද චෙස් උගන්වන ලෙස ඉල්ලීමක් කළා ය.

“ඔයා කෙල්ලෙක්. ඔයාට චෙස් හරියන්නේ නැහැ. යන්න මැහුම් ගෙතුම් ඉගෙන ගන්න.” නිශ්ශබ්ද චරිතයක් වුණ ෂයිබල්ගේ පිළිතුර එසේ විය. එහෙත් ඇගේ දැඩි ඇවිටිලි කිරීම මත සෑම ඉරු දිනක ම චෙස් පාඩමක් උගන්වන අතර, ඇය එම පාඩම සතියේ සෙසු දිනවල රාත්‍රියේ අනාථ නිවාසයේ සිවිලිම මත මනෝමයෙන් නිර්මාණය කර ගත් චෙස් පුවරුවක් මත පුහුණු වන්නට හුරු වූවා ය. අනාථ නිවාසයේ දී ඇයට ලබා දෙන බෙහෙත් (Tranquilizers) එකතු කර එක වර පානය කර ලබන මත් ගතිය තුළින් සහජ හැකියාවට උත්තේජනයක් ගන්නා මුත් ඇය එම ඖෂධයට පසුව දැඩිව ඇබ්බැහි වූවා ය. එහි ප්‍රතිඵලයක් ලෙස වයස අවුරුදු 9 ක් වන බෙත් ඉතා කෙටි කලකින් තම ගුරුවරයා ද පරාජය කරන්නට සමත් වූවා ය.

“ඔයා කවදාහරි මේ ලෝකය අල්ලනවා. ඒක මහා ආශ්චර්යක්. ” ෂයිබල්ගෙන් ඇයට ලැබුණු ප්‍රශංසාව එය විය.

බෙත්ගේ මේ දක්ෂතා හේතුවෙන් අනාථ නිවාසයේ සිට උසස් පාසලේ චෙස් සංගමයට බැඳීමට ද වරම් උදාවිණි. එහි දී දක්ෂ චෙස් ක්‍රීඩකයන් 12 දෙනකු සමඟ එක වර ක්‍රීඩා කර අවම පියවර ගණනාවකින් ඔවුන් පැරදවීමට ඇයට

හැකියාව උදාවිණි. දෙමාපිය ආදරය නොලැබූ ඇය තම පවුල ලෙස කොටු 64 කින් යුත් චෙස් පුවරුවේ සිටිනා ඉත්තන් සලකන අතර, ඇය එහි රැජිනිය ලෙස හඳුන්වා ගන්නී ය.

ඇයට වයස අවුරුදු 13 ක් වන විට සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක් ඇගේ කැපකාරීත්වය භාර ගනු ලැබී ය. ඒ හේතුවෙන් ඇයට වෙනත් පාසලකට යෑමට සිදු විණි. එම පාසලේ දී ද ඇයට විවිධ හිරිහැරවලට මුහුණ දීමට සිදු විය. එහි දී අහඹු ලෙස චෙස් සඟරාවක පළව තිබූ චෙස් තරගාවලියකට අයැදුම් කිරීම සඳහා ඇය තම භාරකාර මවගෙන් මුදල් ඉල්ලන්නී ය.

“ගෑනු ළමයිට චෙස් ගැළපෙන්නේ නැහැ. ඔයා නැටුම් පන්තියකට යන්න.” සාම්ප්‍රදායික අමෙරිකානු ගැහැනියක් වූ තම භාරකාර මව පැවසූවා ය. ඇගෙන් ලැබුණ එම පිළිතුර නිසා බෙත් තම චෙස් පුහුණුකරු වන ෂයිබල්ගෙන් මුදල් ඉල්ලා ගන්නී ය.

“ඔයා ගෑනු ළමයෙක්. ඒ වගේ ම ඔයාට අත්දැකීම් නැහැ පිරිමි අය එක්ක තරග කරන්න.” ඒ ඇයට තරගයේ දී පුරුෂ මානයෙන් යුත් පිරිමින්ගෙන් අසන්නට ලැබුණු වදන් විය. නමුත් ඇය ඉතා සූක්ෂ්ම ලෙස ඒ සෑම පිරිමියකු ම පරාජය කර ප්‍රාන්ත චෙස් කිරුළ හිමි කර ගනී. ඉන්පසු ඈ සතු හැකියාවන් කවරේද යන්න බෙත්ගේ භාරකාර මව තේරුම් ගන්නී ය. ඈ තම පවුලේ මුදල් ගැටලු පියවීමේ අරමුණින් බෙත්ව චෙස් තරග සඳහා සහභාගී කරවන්නේ ඒ අනුව ය.

එහි ප්‍රතිඵලයක් ලෙස අමෙරිකානු සම ශූරතාව දිනා ගන්නට බෙත් සමත් වන්නී ය. ඉන් අනතුරුව ඈ තරගයක් සඳහා මෙක්සිකෝවට ගිය අතරතුර ඇගේ භාරකාර මව ද මත්පැනට ලොල් වීම නිසා මිය යන්නීය.

මේ සියලු බාධක, කම්කටොළු හමුවේ ඇය චෙස් ක්‍රීඩාවේ දී ග්‍රෑන්ඩ් මාස්ටර් කිරුළ දක්වා යන ගමනේ දී මුහුණ පෑමට සිදු වූ විවිධ පරිවර්තනයන් මෙහි අන්තර්ගත ය. සීතල යුද සමයේ රුසියානු - අමෙරිකානු රටවල දේශපාලන ගැටුම් අතරතුර ක්‍රීඩාවකින් මානව සමාජය ළං කරන්නේ කෙසේද යන කරුණු මෙහි දී මනාවට පිළිබිඹු වේ. වරක් මාධ්‍යවේදීන් ජීවිතයේ දී ඈ ලැබූ මෙම සාර්ථකත්වය ගැන විමසූ විට ඇය කියා සිටියේ Believe in yourself යන්න ය. එනම්, ඔබ ඔබව විශ්වාස කරන්න යන්න ය.

1983 දී වොල්ටර් ටෙවිස් නම් ලේඛකයාගේ The Queen’s Gambit නම් නවකතාව ඇසුරෙන් මෙම සිනමාපටය නිර්මාණය කර තිබේ. මෙහි එන සියලු චරිත සහ සිදුවීම් ඔහුගේ සැබෑ ජීවිතයේ සිදුවීම්වලට සම්බන්ධ වේ. වොල්ටර් ද අවුරුදු 9 දී එක්තරා රෝගයකට ගොදුරු වී ප්‍රතිකාර ගන්නේ සිය මාපියන්ගෙන් වෙන් වී වසර කිහිපයක් රෝහලක නේවාසිකව සිටීමෙනි. එහි දී ඔහු එක්තරා ඖෂධයකට දැඩි ලෙස ඇබ්බැහි වේ. රෝගය සුව වී තම දෙමාපියන් සොයා ගියත් ඔහුට පවුලෙන් ලැබෙන රැකවරණය අවම වේ. එසේ ම පාසලේ දී පහරකෑම්වලට ලක්වන ඔහු වයස අවුරුදු 17 දී නාවික හමුදාවට බැඳේ. එහි දී පූල් ක්‍රීඩාවට දැඩි ලෙස ඇබ්බැහි වූ ඔහු පසුව විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබා ගෙන පූල් ක්‍රීඩාව සම්බන්ධයෙන් The Hustler නම් ග්‍රන්ථය රචනා කරන අතර, එය 1961 දී ඇකඩමි සම්මාන ලැබූ සිනමාපටයක් ලෙස ද එළි දැක්වේ.

ජීවිතයේ පසු කාලයේ දැඩි ලෙස මත්පැනට ඇබ්බැහි වන ඔහුගේ විවාහ ජීවිතය දෙදරා යන මුත් වයස 31 දී ආචාර්ය උපාධියක් ලබා වෘත්තියෙන් ලේඛකයකු ලෙස කටයුතු කිරීම අරබයි. මත්පැනට ලොල් වීම නිසා තම බිරියගෙන් වෙන් වීමට සිදුවන ඔහු වරක් සියදිවි හානි කර ගැනීමට ද උත්සාහ කරයි. මේ කාලය අතරතුර චෙස් ක්‍රීඩාව පිළිබඳ අධ්‍යයනය කර අන්තර්ජාතික තරග සඳහා

සහභාගි වන ඔහු එයින් ලබන පරාජය සහ ලැබූ අත්දැකීම් පදනම් කර ගෙන The Queen’s Gambit නම් නවකතාව නිර්මාණය කරන අතර, එය ප්‍රකාශයට පත් කර වසර 8 කට පසුව පෙණහලු පිළිකාවක් වැලඳී මිය යයි.

වොල්ටර් ටෙවිස්ගේ ජීවිත කතාව සහ The Queen’s Gambit හි බෙත් ගේ කතාව එකිනෙකට සමාන වීම සුවිශේෂි වේ. ඔහු තම ජීවිත කතාව ප්‍රබන්ධයක් ලෙස ප්‍රතිනිර්මාණය කිරීමක් මෙහි දී සිදුවිය. වොල්ටර් ටෙවිස් මිය ගොස් වසර 34 කට පසු Scott Frank සහ Allan Scott ගේ ද්විත්ව අධ්‍යක්ෂණයෙන් The Queen’s Gambit නම් ටෙලි කතා මාලාව නිර්මාණය වේ. මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Anya Taylor Joy ය. අතිශය ගුප්ත චරිතයක් වන බෙත් ගේ චරිතය නිරූපණය කිරීමේ දී ඇගේ හැසිරීම් රටා, මුහුණේ ඉරියව්, ගමන බිමන, හැඟීම් ප්‍රකාශනයන් ආදිය තුළින් ප්‍රේක්ෂකයා වසඟ කිරීමට ඇය සමත්ව ඇත.

එසේම මෙහි ඇඳුම් හා පසුතල නිර්මාණය, ආලෝකකරණය, සංස්කරණය, කැමරා කෝණ, වර්ණ භාවිතය සහ සංගීත නිර්මාණය 60 දශකයට උචිත ලෙස ඉතා උසස් අයුරින් නිර්මාණය කර ඇති බවක් දක්නට ලැබේ. මෙය කෙතරම් ජනප්‍රිය වූයේ ද යත් Netflix හි වැඩි ම නැරඹුම් සංඛ්‍යාවක් හිමි කතා මාලාව ලෙස වාර්තා පොතට ඒකතු විය.

දිනුක මලින්ද හේරත්

Comments