බාල සපත්තුවේ ඇඩිඩාස් ලියා ඉන්දියාව දිනූ හිමා දාස් පදක්කම් හඹා යන ඇසෑමයේ ව්‍යාඝ්‍ර ධේනුව | සිළුමිණ

බාල සපත්තුවේ ඇඩිඩාස් ලියා ඉන්දියාව දිනූ හිමා දාස් පදක්කම් හඹා යන ඇසෑමයේ ව්‍යාඝ්‍ර ධේනුව

 

හිමා දාස්

පුංචි කාලෙ ඉඳන්ම මගේ කැමැත්ත තිබුණෙ පාපන්දු ක්‍රීඩිකාවක් වෙන්නයි. ඒත් ඉන්දියාවෙ පාපන්දු ක්‍රීඩිකාවන්ට ලොකු තැනක් නැහැ. ඒ හින්දා මම හිටියෙ ලොකු කලකිරීමකින්.

 'ඇසෑමය වසරේ එක් කාලයක දුහුවිල්ලෙන් වැසුණු නගරයකි. නගර මැදින් දිවෙන මාවත හැරුණු කල ප්‍රාන්තය තුළ කුඩා නගර, දුගී නිවාස, දුෂ්කර ජීවිත ගතකරන මිනිසුන්ගෙන් ගහණ ය. ඔවුන්ගේ මුහුණුවර වැඩිපුරම සමාන වන්නේ චීන, භූතාන ආශ්‍රිත ජන කණ්ඩායම් හි මුහුණුවරට ය. එවැනි දුගී පැලකින් මතුවී රටක් ඒකාලෝක කළ තැනැත්තියකි ඈ.'

 

කලින් කලට රට රටවල ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ නවකයින් ඉස්මතු වේ. එය එසේ විය යුතුම ය. ඉන්දියාව නිජබිම වූ ‘රන් දියණිය’ යන අන්වර්ථ නාමය ලද හිමා දාස් ඒ අතරින් ඉහළම තැනක වැජඹෙන්නියකි.

වසර 2000 ජනවාරි 09 වැනි දින ඇය උපත ලැබුවේ ඇසෑම් ප්‍රාන්තයේ නගාඕන් දිස්ත්‍රික්කයේ ඩින්ග් නම් ගම්මානයේදී ය. අන්ත දුගී බවේ පතුලටම වැටී සිටින ඇයගේ මවුපියෝ වී ගොවිතැනින් ජීවිකාව ගෙන යති.

යන්තම් ඇවිදින්නට පටන්ගත් කාලයේ සිටම හිමා හොඳින් දුව පැන ඇවිදින ඉතාමත් ක්‍රියාශීලී දැරියක ලෙස හැදී වැඩුණා ය. කෙටියෙන් කිවහොත් විනාඩියක් හෝ එක තැන රැඳී සිටීමේ පුරුද්දක් නැති ඇය හොඳම දඟකාරියකි.

ඒ නිසාම හිමා කය වෙහෙසා කරන ක්‍රීඩාවලට දැක්වූයේ අසීමිත ඇල්මකි. ඇයගේ ප්‍රියතම ක්‍රීඩාව වූයේ පාපන්දු ය. ගමේ සම වයසේ හා සම වයස ඉක්මවා ගිය පිරිමි ළමයින් සමඟින් ඇය හරි හරියට ඔට්ටු වෙමින් පාපන්දු ක්‍රීඩා කළේ කිසිවකුටත් නොදෙවැනි වෙමිනි. ඒ, ගමේ වෙල් ඉපනැලිවලදී ය.

“පුංචි කාලෙ ඉඳන්ම මගේ කැමැත්ත තිබුණෙ පාපන්දු ක්‍රීඩිකාවක් වෙන්නයි. ඒත් ඉන්දියාවෙ පාපන්දු ක්‍රීඩිකාවන්ට ලොකු තැනක් නැහැ. ඒ හින්දා මම හිටියෙ ලොකු කලකිරීමකින්.” හිමා පවසන්නී ය.

හිමාගේ කලකිරීම දුරුකළේ ඇය සතු වේගවත්ව දිවීමේ හැකියාව හඳුනාගත් ඉන්දීය ක්‍රීඩා පුහුණුකරුවෙකි.

“ඉන්දියාවෙදි ගෑනු ළමයෙක් පාපන්දු ක්‍රීඩා කළා කියලා ඇති තේරුමක් නැහැ. ලැබෙන ප්‍රතිඵලයකුත් නැහැ. ඔයාට හරි යන්නෙ කෙටි දුර දිවීම. ඔයාගෙ අනාගතය රැඳිලා තියෙන්නෙ එතන.” ක්‍රීඩා පුහුණුකරු හිමා ට පෙන්වා දුන් මාවත ඉතාමත් නිවැරැදි වූවකි. එය අවංකවම දුර දිග සිතා බලා ගත් තීරණයකි. ඒ මාවත ඔස්සේ මේ වනවිට විසිඑක් වැනි වියේ පසුවන ඇය සෑහෙන දුරක් පැමිණ සිටින්නී ය.

අද ඇය මලල ක්‍රීඩා භූමියට නැතිවම බැරි කෙටි ධාවන ශූරියක බවට පත්වී අවසන් ය.

ක්‍රමානුකූල, විද්‍යානුකූල පදනමක් මත පිහිටා පුහුණුව ලද හිමා, කෙටි ධාවන ශූරියක ලෙසින් වඩාත් ජනප්‍රිය වූයේ 2018 හා 2019 වසරවලදී ය.

2018 වසරේදී හිමා ලැබූ වැදගත් ජයග්‍රහණයක් වූයේ ආසියානු ක්‍රීඩා තරගාවලියේදී මීටර් 400x4 සහාය දිවීම තරගයේදී රිදී පදක්කම දිනාගැනීම ය. ඒ වසරේදී ම ඇය ෆින්ලන්තයේ ටෙම්පේරේ හි පැවැති U-20 ලෝක ශූරතා තරගාවලියේදී මීටර් 400 ධාවන තරගය නිමකළේ තත්පර 51.46 කිනි.

2019 ජූලි 02 වැනි දින, පෝලන්තයේ ෆොන්තාන් මලල ක්‍රීඩා ගෝන් ප්‍රී තරගාවලියේ දී මීටර් 200 ධාවන තරගය තත්පර 23.65 ක දී අවසන් කළේ රන් පදක්කමකට හිමිකම් කියමිනි. මේ වසරේදී ම පෝලන්තයේදී ම පැවැති කුත්නෝ මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 200 ධාවන තරගයේ දී ඇය රන් පදක්කමක් දිනාගත්තා ය.

තවද 2019 දී චෙකොස්ලොවැකියාවේ දී පැවැති ක්ලැන්ඩ්රෝ මලල ක්‍රීඩා තරගාවලියේ දී හා ටාබෝ මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 200 ඉසවුවෙන් රන් පදක්කම් 2 ක් දිනාගැනීම මෙන්ම එම වසරේ දී ම චෙකොස්ලොවැකියාවේ දී පැවැති ධාවන තරගාවලියක දී මීටර් 400 ඉසවුවෙන් රන් පදක්කමක් දිනාගැනීම ඇය තම මවුබිම උදෙසා උරුම කර දුන් සුවිශේෂ ජයග්‍රහණයන් අතර කැපී පෙනේ.

“මගේ අම්මයි තාත්තයි හරිම දුප්පත්. ඒ දුප්පත්කම හේතුවක් කරගෙන ඒ දෙන්නා කවදාවත් මාව මගේ දක්ෂකම්වලින් ඉස්සරහට යන්න අධෛර්යවත් කිරීමක් කරලා නැහැ. මම මුල්ම ජාතික තරගෙට දුවද්දි තාත්තා මට ධාවන සපත්තු ජෝඩුවක් ගෙනත් දුන්නා. ඒවා හොඳම සපත්තු නම් නෙවෙයි. ඒත් දුප්පත්කම උපතේදිම උරුම වෙලා තිබුණු මම මීට වඩා හොඳ සපත්තු ඕනැ කියලා වාද කරන්න ගියේ නැහැ.

අනෙක් අය ඔක්කොම දාලා හිටියෙ ඉස්තරම්ම සපත්තු. මම මගේ හිත සනස්සවාගන්න මගේ සපත්තුවල ‘ඇඩිඩාස්’ කියලා ලියාගත්තා. ඇය කියන්නෙ පුදුම සතුටකින්. අද මගේ නම වෙළෙඳ නමක් හැටියට යොදාගෙන ධාවන සපත්තු හදනවා.” හිමා පවසන්නී ය.

ඉන්දියාවේ මීළඟ අනිවාර්ය ඔලිම්පික් බලාපොරොත්තුව වී ඇත්තේ හිමා දාස් ය.

හිමා ක්‍රීඩාවට මෙන්ම ඉගෙනීමට ද එක සේ සමත්කම් දක්වන්නියකි. මේ වනවිට ඇය ඇසෑම් හි කොට්න් විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතුවල නිරත වෙමින් බී. ඒ. උපාධිය සමත්වීමට සූදානමින් සිටින්නීය. වර්තමානයේ ඇය ඉන්දීය පොලිස් සේවයට සම්බන්ධව සේවය කරයි.

හිමාගෙන් දේශයට උරුම වූ ජාත්‍යන්තර කීර්තියට උපහාරයක් ලෙසින් ඇයට රජයෙන් අර්ජුන් සම්මානය හිමි විය. මෑතකදී ඇය වෙත තවත් අපූරු උපහාරයක් පිදිණි. ඒ, ඉන්දියාවේ මානර්ඝාටා ජෛව විද්‍යාත්මක උද්‍යානයේ වෙසෙන ඉතාමත් ක්‍රියාශීලී ව්‍යාඝ්‍ර ධේනුවක් ‘හිමා’ ලෙසින් නම් කෙරෙමිනි.

 

නඳුන් අමන්ද මනමේන්ද්‍ර ආරච්චි

Comments