ලිංගිකත්වයක් නොමැති ක්‍රීඩකත්වය වළලු පහටත් ගෙනෙන සමානාත්මතාවය | සිළුමිණ

ලිංගිකත්වයක් නොමැති ක්‍රීඩකත්වය වළලු පහටත් ගෙනෙන සමානාත්මතාවය

 

ජූලි මාසයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලිය වෙනුවෙන් නව තරග ඉසව් කීපයක් ඇතුළත් කිරීමට එහි තරග සංවිධායකයන් තීරණය කර තිබේ. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට අනුව මිශ්‍ර සහය දිවීමේ තරගයක් මෙවර ඔලිම්පික් උලෙළට ඇතුළත් කිරීමට දැනටමත් තීරණය කර ඇත. ලිංගික සමානාත්මතාවය සම්බන්ධයෙන් වැඩි වශයෙන් සංවාදයට ලක්කෙරෙන මෙම යුගයේ මිශ්‍ර සහය දිවීමෙ ඉසව්වක් යනු ක්‍රීඩාවේ ආකර්ෂණීය බව තවත් ඉහළ නංවන්නක් වනු ඇත.'

ටෝකියෝ ඔලිම්පික් උලෙළට අලුතින් එක් කළ ඉසව්වක් ලෙස මීටර් 400 සහය දිවීමේ ඉසව්ව හැඳින්විය හැකි ය. එය මුල් වරට ජාත්‍යන්තර තරගයකදී දක්නට ලැබුණේ 2019 වසරේ දෝහා කටාර් හි දී පැවැති දහ හත් වැනි ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී ය.

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළට මෙම මිශ්‍ර සහය තරගය එක් කිරීමට බලපෑමක් ඇති කරන ලද්දේ එම ඉසව්වට ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී ලද දැවැන්ත ප්‍රසාදයයි.

මෙම තරගාවලියේ කණ්ඩායමක සංයුතිය වන්නේ ධාවකයන් දෙදෙනකු හා ධාවිකාවන් දෙදෙනෙකි. මුලදී කිසියම් කණ්ඩායමකට ධාවනයේ යෙදිය යුතු අනුපිළිවෙළක් නොතිබුණේ ය. එබැවින් එක් කණ්ඩායමක පළමු අදියර ක්‍රීඩකයකු ආරම්භ කරද්දී තවත් කණ්ඩායමක ආරම්භය ගෙන තිබුණේ ක්‍රීඩිකාවක් විසිනි.

එසේම දෝහා හි දී මෙම ඉසව්වේ මූලික වටයේ තරගයේ දී අමෙරිකාව නියෝජනය කරන ලද කණ්ඩායම වෙනුවට අවසන් තරගයේ දී අමෙරිකානු කණ්ඩායම නියෝජනය කළේ වෙනත් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් සිව් දෙනෙකි. ඊට නීතිමය බාධාවක් ගොඩනැඟුණේ නැත.

ඒ අනුව මූලික වටයට සහභාගි වූ කණ්ඩායමට අවසන් තරගයට සහභාගි වීමේ අවශ්‍යතාවක් නැතත් ඒ සියලුම ක්‍රීඩක, ක්‍රීඩිකාවන් තරගාවලිය සඳහා ඉදිරිපත් කරන ලද ලේඛනයේ ලියාපදිංචි වී සිටිය යුතු ය.

දෝහා හි දී මෙම ඉසව්වේ රන් පදක්කම දිනුවේ අමෙරිකාව විසිනි. මූලික වටයේ දී මෙරිල් රිචඩ් (තත්. 44.51), ජෙසිකා බෙසච් (තත්.51.20), ජෙස්මින් බ්ලොකර් (තත්.51.27) හා බගී ඉබොක්වේ (තත්.45.44) යන කණ්ඩායම එක්ව මි. 3.12.42 කින් තරගය අවසන් කරමින් ලෝක වාර්තාවක් සනිටුහන් කිරීමට සමත් විණි.

එහෙත් එම ඉසව්වේ අවසන් තරගයට සහභාගි වූ මයිකල් ටෙරී, විල්බට් ලන්ඩන්, ඇලියස් ෆීලික්ස් හා කර්ට්නි ඔතාලෝ යන අ‍මෙරිකානු කණ්ඩායම මි. 3.9.34 කින් එම ඉසව්ව නිම කරමින් ලෝක වාර්තාව අලුත් කළේ ය.

මෙවර ඔලිම්පික් තරගාවලියේ මිශ්‍ර සහය දිවීමේ තරගාවලියට එක් වීමට දැනටමත් ආසියාවේ රාජ්‍යයන් රැසක් ද සුදුසුකම් සපුරා තිබේ. ඒ අතරින් ඉන්දියාව ද එක් ස්ථානයක් හිමි කර ගෙන ඇත. එහෙත් කොවිඩ් වසංගතය හමුවේ තරගාවලියට සහභාගි වන්නේ ද හෝ තරගාවලිය පවත්වන්නේ ද යන්න සම්බන්ධයෙන් තවදුරටත් ස්ථිර අදහසක් දක්වන්නට නොහැකි ය.

ඇතැම් රටවල සහභාගිත්ව අවිනිශ්චිත භාවය නිසා මිශ්‍ර තරගාවලිය වෙනුවෙන් තරග වැදීමට නියමිතව ඇති රටවල් 22 තවදුරටත් සම්පූර්ණ කර ගැනීමට හැකියාවක් ලැබී නැත. ඒ අනුව අවශ්‍ය කණ්ඩායම් 22 සම්පූර්ණ කර ගැනීම වෙනුවෙන් පෝලන්තයේ පැවැති ලෝක සහය දිවීමේ තරගාවලිය උපකාර කර ගෙන තිබුණේ ය.

කෙසේ නමුත් කොරෝනා තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව ද මෙම තරග ඉසව්ව වෙනුවෙන් තබා තිබූ අපේක්ෂා අතහැර දමා තිබේ.

'අපි මේ ඉසව්ව වෙනුවෙන් අරුණ දර්ශන, දිල්ෂි කුමාරසිංහ, නදීෂා රාමනායක, කාලිංග කුමාර ඇතුළු දක්ෂ ක්‍රීඩක, ක්‍රීඩිකාවන් එක් කර ගන්නයි සැලසුම් කර තිබුණේ. ඒ නිසා අවස්ථාවක් ලබපු විගසින් අපි මේ තරග ඉසව්ව ලංකාව ඇතුළේ සංවිධානය කරනවා.' යැයි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සාමාජිකයෙකු 'ක්‍රීඩා' හා පැවසීය.

ඇතැම් මලල ක්‍රීඩා විචාරකයෝ හා විශේෂඥයන් මිශ්‍ර සහය දිවීමේ ඉසව්ව කිසිදු නීතිමය ක්‍රමවේදයකින් තොරව තරග වට සඳහා ධාවකයන් ස්ථානගත කිරීමට අවසරය ලබා දීමෙන් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වන බව ද ප්‍රකාශ කරති.

'ඒ අවිනිශ්චිත ස්ථානගත කිරීම් අනුව ක්‍රීඩකයන්ගේ පැත්තෙන් අසාධාරණයක් වෙන්න ඉඩ තිබෙනවා. මොකද වේගයෙන් දුවන ක්‍රීඩකයෙක්ට ජවය දෙන්න තවත් වේගවත් ක්‍රීඩකයෙක් අවශ්‍ය නිසා. බැරි වෙලාවත් ඒ මොහොතේ ක්‍රීඩකයන් ස්ථානගත කිරීම වරදක් වුණොත් පරාජය වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ක්‍රීඩකයන් ස්ථානගත කිරීම සම්බන්ධයෙනුත්, ඔවුන් දුටන්නේ කුමන තරග වටයද කියන එකත් නිශ්චිත කර ගන්න නීති හැදිය යුතුයි කියලයි අපි විශ්වාස කරන්නේ.' යැයි ඔවුහු පවසති.

මේ සම්බන්ධයෙන් පොදු අනුපිළිවෙළක් අනුගමනය කිරීමට හැකි වන ආකාරයට නීති සම්පාදනය කර දෙන මෙන් යෝජනාවක් ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයට ලිඛිතව ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය මේ වන විටත් කටයුතු කර ඇත. ඇතැම් විට ශ්‍රී ලංකාවේ යෝජනාව පිළිගන්නට මෙන්ම කාන්තා, පිරිමි සමානාත්මතාවය සලකන කල්හි එවැනි සීමා කිරීමක් සිදු නොකර සිටීමට වුවද ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය කටයුතු කරනු ඇතැයි සිතිය හැකි ය. එය එසේ වන්නේ නිශ්චිත අනුපිළිවෙළක්, කාන්තාවන් සමඟ වට ධාවනය කළ යුත්තේ කාන්තාවන් ම යැයි තීරණය කරන්නේ නම් එහි මිශ්‍රිත භාවයේ හා සමානාත්මතාවයේ උපරිම අගයන් සමාජගත නොවන හෙයිනි.

 

 

සීවලී එදිරිවීර

Comments