ලොස්ට් නො කළ යුතු තුන් ඉරියව් විෂ් එක | සිළුමිණ

ලොස්ට් නො කළ යුතු තුන් ඉරියව් විෂ් එක

 

WANIDU hasaranga

ඩිල්ෂාන්ගෙන් ජාතික කණ්ඩායම ලද ආලෝකය වනිඳුගෙන් ද ලබා ගැනීමට උත්සාහ ගැනීම ඉතාම වැදගත් ය.

'ඒ හසරැලි මැවූ රංගනයකි. සිත ගත වෙළාගත් වින්දනයකි. කලක් ලොව ලිලිපුට්ටන් වූ බංග්ලාදේශ ක්‍රිකට්කාරයන් ඉදිරියේ දණින් වැටී සිටිය දී ශ්‍රී ලාංකේය අභිමානය සිහිපත් කළ පිති හරඹයක අවසානයේ මතු කළ හසරැලි නැඟූ රංගනයකි. ඒ වනිඳු හසරංග විසින් දියත් කළ අපූරු පිති හරඹයකි. මේ ඔහු ගැන හා ඔහුගේ අනාගතය සම්බන්ධයෙන් සිදුකරන මුරුංගා අත්තේ නොතබන සරල කියවා බැලීමකි.'

 

සියලු දේ දත්තා බහුශ්‍රැත පුද්ගලයෙකි. ක්‍රිකට් ක්‍රීඩාවේ දී එවැනි බහුශ්‍රැත පුද්ගලයකු ලෙස අවිවාදයෙන් සැලකිය හැක්කේ තුන් ඉරියව් ක්‍රීඩකයා ය. එවැනි තුන් ඉරියව් සුරුවෙක් යනු ඕනෑම රටක ක්‍රිකට් කණ්ඩායමකට වටිනා සම්පතකි. ශ්‍රී ලංකාව බිහි කළ මෑත අතීතයේ තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර සනත් ජයසූරිය, තිලකරත්න ඩිල්ෂාන්, චමින්ද වාස්, තිසර පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස් වැන්නවුන්ට ඇත්තේ ඉහළ ස්ථානයකි. මේ වන විට යළිත් ශ්‍රී ලංකාව තුළින් විශිෂ්ට තුන් ඉරියව් සුරුවකු බිහිවෙමින් ඇත. ඒ වනිඳු හසරංග ය.

මෑත කාලයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩකයන් රැසක්ම ජාත්‍යන්තර තරග වරම් හිමි කර ගත්ත ද එලෙස අවස්ථාව උදාකරගත් නවකයින් අතර තුන් ඉරියව් ක්‍රීඩකයන් සිටියේ නැති තරම් ය. නමුත් ඒ නවකයින් අතරට එක් වූ වඩා දීප්තිමත් තුන් ඉරියව් හඳුනා ගැනීම වනිඳු හසරංග යැයි කිව හැකි ය. එය මනාව සහතික කරමින් ඔහු පසුගිය දා අවසන් වුණු බංග්ලාදේශ සංචාරයේ දී ලද පරාජය අමතක කළ ද කදිම ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූයේ ය. ඒ එක්දින තරගයක අංක 8 හෝ ඊට පහළ කඩුල්ලක් වෙනුවෙන් පිති හරඹය පිණිස පිටියට පිවිස පිහිටු වූ වාර්තාවක් ලෙස ය. එවැනි ස්ථානයක සිට කඩුල්ලට පැමිණෙන ක්‍රීඩකයෙකුට ලකුණු අතරට පිවිසෙන්නට හැකියාව ඇත්තේ ඉතා අල්ප වශයෙනි.

එහෙත් නිමාවුණු බංග්ලාදේශ සංචාරයේ පළමු තරගයේ දී අංක අට ස්ථානයේ ක්‍රීඩාකළ වනිඳු ලකුණු 74 ක් ලබා ගත්තේ පන්දු 60 ක ට මුහුණ දෙමිනි. තරගයේ පරාජය පෙනි පෙනී තිබියදී තරගකාරීව සහ අභියෝගාත්මකව ක්‍රීඩා කරමින් වනිඳු ගොඩනැඟූ වේගවත් සහ ආකර්ෂණීය ඉනිම හයේ පහර 5 කින් සහ හතරේ පහර 3 කින් අලංකාර වී තිබුණේ ය.

එක්දින තරගවලදී අංක 8 හෝ ඊට පහළ ක්‍රීඩා කරමින් දෙවතාවක් ම ලකුණු 70 සීමාව පසු කළ ලොව පළමු සහ එකම ක්‍රීඩකයා ලෙස වනිඳු එම සංචාරයේ දී වාර්තාවක් ද පිහිටුවනු ලැබීය. වනිඳු මීට පෙර බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව අංක අට ස්ථානය හෝ ඊට පහළින් ක්‍රීඩා කරමින් ලකුණු 80ක් ලබා ගෙන තිබීම එම වාර්තාව පිහිටුවීමට හේතු විය.

වනිඳු හසරංග යොවුන් ක්‍රීඩකයකු වන අතර ඔහුගේ ක්‍රීඩා විලාසය අපට සිහිගන්වන්නේ ටී. එම්. ඩිල්ෂාන් වැනි සුපිරි තුන් ඉරියව් ශූරයෙකි. ඩිල්ෂාන් ක්‍රිකට්වලින් විශ්‍රාම ගන්නා කාලයේ ආරම්භක පිතිකරුවකු ලෙස පිටියට පැමිණුන ද කෝඩුකාර සමයේ තරග 20 ක් ම ක්‍රීඩා කර ඇත්තේ 7 වන සහ 8 වන අංකයේ පිතිකරුවකු ලෙසය. එසේ පැමිණි ඩිල්ෂාන් ජාතික කණ්ඩායමේ ස්ථාවර තැනක් වෙන් කර ගන්නේ ද සිය තුන් ඉරියව් දස්කම් නිසාවෙනි. එබැවින් ඩිල්ෂාන්ගෙන් ජාතික කණ්ඩායම ලද ආලෝකය වනිඳුගෙන් ද ලබා ගැනීමට උත්සාහ ගැනීම ඉතාම වැදගත් ය.

එය එසේ වන්නේ අපේ රටට තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ අඩුව මෑත භාගයේ තදින්ම දක්නට ලැබුණු හෙයිනි. ආබාධයට ලක් වීමෙන් පසුව මැතිව්ස්ගෙන් ද තුන් ඉරියව් හැකියාවන් දක්නට ලැබුණේ නැති තරම් ය. තවත් තුන් ඉරියව් ක්‍රීඩකයකු වූ තිසර පෙරේරා ද ජාත්‍යන්තර පිටියට සමුදෙන බව ප්‍රකාශයට පත් කළේ පසුගියදා ය. එවන් පසුබිමෙක වනිඳුගේ වටිනාකම නිම කළ නොහැකි ය. තිසර නොමැති තැන ඇන්ජලෝ මැතිව්ස්ගෙන් තුන් ඉරියව් දස්කම් උකහා ගැනීමට නොහැකි අවස්ථාවක එය සැපිරීමට වනිඳුට හැකියාව ඇත. නමුත් ඒ වෙනුවෙන් ජාතික කණ්ඩායම තුළ නිත්‍ය ස්ථානයක් තහවුරු කර ගැනීමේ වගකීම ඇත්තේ වනිඳු හසරංග තුළ ම ය. ඒ, වගකීමෙන් ක්‍රීඩා කිරීමෙනි. එය හුදෙකලාව වනිඳුට පමණක් පැවරිය නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත. ඒ අන්කිසිවක් නිසා නොව අද ක්‍රීඩකයකුගේ දක්ෂතා දැක්වීම, පැවැත්ම ආදී සියලු කාරණාවන් සමඟ ඈඳෙන කාරණාවන් ගණනාවක් පවතින හෙයිනි. එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට, තේරීම් කමිටුවට, වගකිව යුතු මාධ්‍ය මෙන්ම සමාජ ජාලාවල ක්‍රිකට් ඇඩ්මින්වරුන්ට ද පැවරුණු සුවිශේෂ වගකීමකි.

තවමත් ජාත්‍යන්තර එක්දින තරග 20කට පමණක් ක්‍රීඩා කර ඇති වනිඳු ක්‍රිකට් ඉගෙන ගන්නේ ගාල්ලේ රිච්මන්ඩ් විදුහලෙනි. ඔහු මුල්වරට ජාත්‍යන්තර තරග බිමට පිවිසෙන්නේ 2017 වසරේ දී ය. ඔහුගේ පළමු එක්දින තරගය සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්විණි. කෝඩුකාර ගමනේදී ම ඔහු එහිදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගත්තේ වාර්තා පොත් අලුත් කරමිනි.

පන්දු යවන්නෙක් සිය මංගල එක්දින තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් තුන්වැනි අවස්ථාව මෙන් ම ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් එවන් දස්කමක් පෑ පළමු අවස්ථාව ද එය විය. වනිඳු පළමුවරට විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියක ක්‍රීඩා

කරන්නේ 2019 වසරේ දී නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ය. එසේම හෙතෙම ජාත්‍යන්තර ටෙස්ට් වරම් ලබා ගත්තේ 2020 වසරේ දී දකුණු අප්‍රිකා කණ්ඩායම සමඟ තරග වදින්නට ය. එහිදී ටෙස්ට් තරග හතරක ඉනිම හතක දී අර්ධ ශතකයක් ද සමඟ ලකුණු 196 ක් ද එක්දින පිටියෙහි තරග 20ක ඉනිම 18කට ක්‍රීඩා කරමින් අර්ධ ශතක 2ක් සමඟ ලකුණු 400ක් ද විස්සයි විස්ස පිටියේ දී තරග 16 ක ඉනිම 13 ක දී ලකුණු 54ක් ද ලබා ගෙන තිබේ.

පිත්තටත් වඩා දඟ පන්දුවට නිසඟ දක්ෂතා ඇති වනිඳු ටෙස්ට් ඉනිම් හතක දී කඩුලු 4 ක් එක්දින කඩුලු 19 ක් සහ විස්සයි විස්ස කඩුලු 24 ක් දවාගෙන ඇත්තෙකි. ඔහු පළමු පෙළ තරගවල දී ද දක්වා ඇති තුන් ඉරියව් දක්ෂතා කැපී පෙනෙයි. ඒ තරග 41කදී ශතක 3 ක් සහ අර්ධ ශතක 18 ක් සමඟින් ලකුණු 2486 ක් රැස් කර ගනිමිනි. එහිදී මේ දක්වා දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 80 කි.

නිමාවුණු තරගාවලියන් හි දී ඔහු පෑ දස්කම් නිසාම 2021 කැරිබියන් ප්‍රිමියර් ලීග්

තරගාවලියේ ක්‍රීඩක ලැයිස්තුවට ඔහු එක් කරගෙන තිබුණේ ය.

ඔහු කොතරම් දක්ෂ ක්‍රීඩකයකු වන්නේ ද යන්න තේරුම් ගත් කැරිබියන් ප්‍රිමියර් ලීග් හි පාලකයින් ඔහුට අමතර ව එම තරගාවලියට තෝරාගෙන තිබුණේ තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙදෙනෙක් පමණක් වීම

ද විශේෂත්වයකි. එයින් වනිඳු හසරංග පිළිබඳ ලෝකය තුළ ඇති කියැවීම තේරුම් ගන්නට පිළිවන. දැන් අවශ්‍ය වන්නේ වනිඳු විසින් ම එය අවබෝධ කරගනිමින් එකී තේරුම් ගැනීම තවදුරටත් පවත්වාගෙන යාම ය.

 

පසිඳු මිහිරාන් රැටියල

Comments